කොටස් 10 කින් යුත් කෙටි කතාව
මෙතෙක් කතාව…
පාලිත මැදි වියේ පසුවන උසස් රජයේ නිලධාරියෙකි. තරුණ පාලිත, බණ්ඩාරවෙල සේවය කරද්දී කාංචනා නම් තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණි. කාංචනාගේ පියාගේ බලවත් විරුද්ධතාව මැද පාලිතට කාංචනාගේ අත ගන්න නොලැබුනේ දැඩි තීරණයක් ගැනීමට පාලිතට තිබූ නොහැකියාව මතය. අකමැත්තෙන් නමුදු කාංචනා අන් අයකු අත ගනිද්දී, පාලිත ධනවත් පවුලකින් විවාහයක් කරගෙන කොළඹ ජීවත් වෙයි. ඔහුගේ බිරිඳගේ අපහාස, උපහාස මැද ජීවත් වන පාලිත ජීවිතය කැප කොට ඇත්තේ රාජ්‍ය සේවයටයි. ඔවුන්ට පාසල් යන වයසේ පුතෙක් සිටී. පාලිතගේ ජීවිතය උඩු යටිකුරු කරමින් දිනක් කාංචනාගේ දියණිය ඔහු මුණ ගැසීමට කාර්යාලයට එයි. ඇය තමාගේම දියණිය බව සනාථ වෙද්දී ඔහු තම හද තුළ වැඩෙන පිය සෙනෙහසට ඉඩ දෙමින් ඇයගේ පීතෘත්වය භාර ගනියි. බිරිඳගේ අවලාද මැද ඔහු තීරණයක් ගනී. අද අවසාන කොටස…..
‘අනේ පාලිත,කලබල වෙන්න එපා. නෙත්මිණිට පොඩි අනතුරක් වුණානේ. ම්මේ…’ පාලිතට ගිනි පත්තු විය. ඔහුට පුටුවෙන් නැගිටුනි.
‘මොනවා? කොහේද ? ඇයි මොකක්ද වුණේ?’ තමා එක්වරම පාලිතව කලබල කළ බව කාංචනාට තේරුණි. ඔහුට පාලිත ගැන ඇති වූයේ හද උතුරා යන ආදරයකි.
‘අනේ සොරි පාලිත. එයාට එච්චර ලොකු තුවාලයක් නෑ. කලබල වෙන්න එපා’ පාලිත පුටුවේ වාඩි වුණේ අත් දෙකෙන් ඔළුව අල්ලා ගෙනය.
‘හෙට කොළඹ යනවා කියලා ටවුමට ගියා බඩු වගයක් ගන්න. අසිහියෙන් පාර පැනලා, මෝටර් සයිකලේක වැදිලා, වැටිලා. අතක වැලමිට තුවාල වෙලා, කකුලක් ටිකක් හීරිලා. තුවාලවලට බෙහෙත් දාලා දැන් ඉන්නේ ඉස්පිරිතාලේ. ඔයාට කියන්න එපා කිව්වා.’
‘දැන් කොහොමද ?’
‘දැන් හොඳයි. වේදනාවට කෙඳිරි ගානවා. මං පොඩි වැරැද්දක් කරා. මං එයාට ටිකක් තදින් අවවාද කරා ඔයාට කරදර කරන්න එපා කියලා. කෙල්ලගේ පොඩ්ඩක් හිත රිදිලා ඒකට. ඔයාට කියන්න එපාම කිව්වා. තාත්තාට කරදරයක් මාව කියලා කියනවා. ඔහොමම හිටපු දෙන්. එතකොට හිත හැදෙයි. ඔයා ගණන් ගන්න එපා පාලිත. මේ දේ මෙච්චර දුර දිග යයි කියලා මං හිතුවේ නෑ’ ඒ වන විට පාලිත තීරණයක් ගෙන අවසානය.
‘මං එනවා කාංචනා’ පාලිතට වහා කියැවුණි.
‘පාලිත ?’
‘මං එනවා කාංචනා. මට මගේ දුව ඕනා ’ පාලිතට ඇඬුම් යන්න එන බව ඔහු හිතුවේ නැත.
‘මට මගේ දුව ඕනා’ ඔහුට කෑගැසුනේය. පාලිත ඇමතුම විසංධි කළේය. කාංචනාගෙන් එක දිගට කෝල් ආවත් ඔහු උත්තර දෙන්නට ගියේ නැත. ලේකම්වරිය කාමරය තුළට ආවේ සද්දයටය. ඇය පාලිත සමඟ අවුරුදු අටක් තිස්සේ වැඩ කරන පාලිතව හොඳින් තේරුම් ගත් දක්ෂ සේවිකාවකි.
‘ඇයි සර්? සර්ට සනීප නෑ වගේ. මුකුත් ගේන්නද ?’ පාලිත ඇයට ඉඳගන්නා මෙන් සන් කළේය. පාලිතට මේ වෙලාවේ තමාගේ හිතේ ඇති වේදනාව කියන්න ඉන්නේ මැය විතරය. පාලිත ඇයට සියලුම දේ කිව්වේය. අවසානයේ ඇය;
‘සර්,මං නෙත්මිණි වුණා නම් මං කරන්නෙත් ඕකම තමයි. මට සර් ගේ හැඟීම් තේරෙනවා. ඒත් කරන්න ඕන මොකක්ද කියලා නම් තේරෙන්නේ නෑ. ඇත්තටම නෙත්මිණිව එදා දැක්ක ගමන්ම මට හිතුනේ සර්ගේ පොඩි අක්කගේ දුවෙක්වත් ද කියලයි. සර්ගේ පෙනුම තියෙනවා. මට සර්ව මගේ තාත්තා වගේ විස්වාසයි. සර් හොඳම දේ කරන බව මං දන්නවා’ ඇය කීවාය.
‘තෑන්ක්ස් පුතා ’
දින දෙකක් නිවාඩු දැමූ පාලිත තම ඇමතිතුමාට පණිවිඩයක් තියා ගෙදර ගියේය. හවස් වන තුරු නිදා ගත්තේය. තම රියදුරුව රැගෙන යනවාද නැද්ද කියා දෙගිඩියාවෙන් සිට තනියෙන් මේ ගමන යාමට තීරණය කළේය. බිරිඳට කතා කළේ හැඳ පැළඳ ගත් පසුය. පාලිතගේ තීරණයට බිරිඳට යකා නැග්ගේය.
‘ඔයාට පිස්සුද පාලිත ? මේ ගෙදර එක්ක එන්න ඒ කෙල්ලව ? මේක ඇමරිකාව නෙවෙයි. මිනිස්සු හිනස්සන වැඩ. ඔයා මොන කටකින් ද මට ඔහොම දෙයක් කියන්නෙ ?’
‘මේ අහන්න ශෙනා. මං ඔයාට අපහාස කරන්න නෙවෙයි එහෙම කිව්වේ. මේක මගේ වැරැද්දක් බව මං පිළිගන්නවා. ඒකට මට සමාවෙන්න. ඒත් දැන් ඇයි අපිට මේ දේ වඩා ප්‍රායෝගික, බුද්ධිමත් විදියට විසඳා ගන්න බැරි ? ඒ දරුවා මගේ. මේ පුතාත් මගේ. එයාලට මාව ඕනේ වගේ මටත් එයාලව ඕනේ. මං ඔයාවයි පුතාවයි දාලා යන්න හදනවා නෙවෙයිනේ. කාංචනාව මෙහේ ගේන්න හදනවාත් නෙවෙයි. ඇමරිකාවේ විදියට පාටි දාන්නයි , ජීවත් වෙන්නයි පුළුවන් නම් ඇයි අපිට වඩා පුළුල් විදියට හිතන්න බැරි?’ පාලිතගේ තර්ක ඇයට කවදත් දිරෙව්වේ නැත.
‘අනේ මේ පාලිත පිස්සු කතා කරන්නේ නැතුව ඉන්න. මං මේක කියනවා මගේ අයියලාට. මං ඔයාට එකක් කියන්නම්, ඔයාට ඒ කෙල්ලව ඕනේ නම් වෙන කොහේ ගියත් මට කමක් නෑ, මෙහේ එහෙම එනවා නෙමෙයි. හැබැයි මං ඩිවෝස් එකක් දෙන්නේ නෑ ඔයාට. අන්න ඒක මතක තියා ගන්න පාලිත ’ ඇය පළමුවරට ඇගේ නිශේධ බලය පාවිච්චි කළාය. කතා කිරීමෙන් ඵලක් නැත. එක අතකින් බිරිඳගේ තරහ සාධාරණය. පාලිත ගෙදරින් පිට වුණේය.
එදින රෑම පාලිත බණ්ඩාරවෙල ගියේය. යන ගමන් ඔහු කුමක් කරන්නේද කියා සිතුවේය. බිරිඳ වෙනස් නොවේ. කිව්වොත් කිව්වාමය. ඇය ළඟ සමාව දීම් නැත. නෙත්මිණි සමඟ කොළඹ ඇවිත් තම නිලනිවසේ නැවතීමට පුළුවන. එය තමාට අවශ්‍ය නැති බැවින් දැනට එය මන්ත්‍රී වරයෙකු පාවිච්චි කරයි. එය නිදහස් කරගෙන සුද්ද බුද්ද කරනකම් කුඩා නිවසක් වහාම කුළියට ගන්නා ලෙස පාලිත තම ලේකම්වරියට උපදෙස් දුන්නේය. පුතාට මං කොළඹ ඇවිත් කතා කරනවා. මට මේක ඔහුට තේරුම් කරලා දෙන්න පුළුවන්.
බණ්ඩාරවෙලට පැමිණ හෝටලයක නවාතැන් ගත් පාලිත පසුදා උදේ කාංචනාට කතා කළේය. ඇය කතා කළේ රහසින් මෙන් පහත් හඬිනි.
‘පාලිත, මට වැඩිය කතා කරන්න බෑ. සුමේධට ඇහෙයි. ප්‍රශ්න වැඩි වෙලා. සුමේධ මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔයා දැන් ඉස්පිරිතාලෙට යන්න. මං ටිකකින් එන්නං. එයාට ඔයාව හඳුනගන්න බැරිවෙයි. මං දන්නේ නෑ අපිට උසාවි යන්න වෙයිද කියලා මේ ප්‍රශ්නය බේරුමක් කර ගන්න’
එන ඕන දේකට මුණ දෙන්න මං සූදානම්. ජීවිතයේ මැදි වයසේ හෝ සතුටින් ජීවත් විය යුතුය.
පාලිත දුටු විගස නෙත්මිණි ඔහුගේ අත් අල්ලාගෙන ඇඬුවාය.
‘තාත්තා ආවේ නැත්තං, මං ආයේ කවදාවත් තාත්තව බලන්නේ නෑ කියලා හිතා ගත්තා’
‘එහෙනං ඔයාට හිතුන මං එයි කියලා ?’ පාලිත දුවගේ හිස පිරි මදිමින් ඇසීය. ඇය හිස සැලුවාය.
‘හනේ හනේ මගේ කට්ට කෙල්ල. බොරුවටත් එක්ක ඉස්පිරිතාලේ ඉන්නවා නේද ?’
‘නෑ ..නෑ ..ඒත් මේක නං වුණේ හොඳට’ කියමින් ඇය ඈත බැලුවාය. ඈ බැලූ දෙස බලන පාලිතට තමන් දෙසට හිනා වී ගෙන එන කාංචනාව පෙනේ. ඇයව දැකීමෙන් පාලිතගේ හද ගැස්ම එක්වරම වේගවත් විය. තම සිත වේගයෙන් අතීතයට පියාසර කරයි. දැනෙන්නේ කියා ගන්න බැරි තරම් සැහැල්ලුවකි, ආදරයකි, සෙනෙහසකි. එය සුපුරුදු හැඟුමකි. එම හැඟීම මෙතෙක් කල් තම හද තුළ කොහේ සිරවී තිබුණා දැයි කියා ඔහුට කිව නොහැක.
නිමි
—— * * * ——–
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka