සත් සමුදුරු පහු කර ගෙන හැම අවුරුද්දෙම අපි ලංකාවට යන්නේ කියන්න බැරි තරමේ සතුටකින්. කටුනායක පොල් රූප්පාවට උඩින් ගුවන් යානය පහත් කරද්දි බැහැලා දුවන්න හිතෙන්නේ මට විතරක් නෙමෙයි කියලා මම දන්නවා. යෞවනයේ පෙම් කරපු දවස්වල නොඉවසිල්ලෙන් පෙම්වතා හමු වෙන්න පෙරුම් පුරා ගෙන බලා හිටියා වගේ තමයි ලංකාවට එන මේ ගමන. ධාවන පථය දිගේ හෙමින් ඇදෙන ගුවන්යානයට ඉක්මනට නවත්තන්න බැරි ඇයි කියලා හිතෙන්නෙත් මට විතරක් නෙමෙයි, රටට ආදරේ කරන හැම කෙනෙක්ටම. හැමෝම අස්වැසිල්ලක් ලද සැනින් යන්නේ තමන්ගෙ රටට.
අපි කොයි තරම් හිතින් ගතින් වෙනස් වුණත් වයසින් මුහුකුරා ගියත් අපේ අතීතය හරියට පොළොව යටට කිඳා බැහැපු මහා විශාල ගහක මුදුන් මුල වගේ. මුදුන් මුලේ ශක්තියෙන් තමයි අපි කොයි තැනක හිටියත් ජීවත් වෙන්නෙ. අපේ හිතුම් පැතුම් කාලෙක දි පරිසරයත් එක්ක වෙනස් වෙනවා අඩු වැඩි වශයෙන්. ඒත් රටත් එක්ක බැඳුනු අපේකම නම් කවදාවත් අඩු වෙන්නෙ නෑ. අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ගායක ගායිකාවො, නළු නිලියො, කලාකරුවො ආදී බොහෝ දෙනෙක් මේ රටවල්වලට ආවම ඔවුන්ට ලැබෙන ආදර ගෞරවය කොයිතරම්ද කියලා ඔවුන් දන්නවා. ඒ තමයි අපේ නොබිඳුණු සංස්කෘතික බැම්ම.
රට වෙනුවෙන් කවුරු හරි ලබන ජයග්‍රහණයක් අපි ලෝකෙ කොයි කොනේ හිටියත් සමරනවා. ඒ ගැම්ම ගැන විස්තර කරන්න හරි අමාරුයි. ජාතිවාදී කියලා සමහරු මේ ආදරය ලඝු කළත් තමන්ගේ හිත හැම තිස්සෙම දුවන්නෙ අර හුරු පුරුදු සුවඳවත් අතීතයට. අතීතය හැම තිස්සේම හිත මුල්ලකට වෙලා හිටියට, අසුරු සැනකින් එළියට පනින්නෙ අපි ඒ අතීතය හා බද්ධ වෙලා ඉන්න නිසා. රෑ හීනෙන් හරි ලංකාවට යනවා දැක්කොත් පහුවදා දවසත් හරිම ප්‍රබෝධමත්.
අද මේ නොබිඳෙන බැම්ම ගැන ලියන්න හිතුනෙ 2024 තායිවාන් විවෘත මළල ක්‍රීඩා තරඟාවලිය ඇතුළු අනිකුත් ආසියාතික මළල ක්‍රීඩා තරඟ නැරඹුවාට පස්සෙ. මම තරඟාවලිය රූපවාහිනිය ඔස්සේ බලද්දි හැම තරඟයක්ම වගේ ඉවර වෙලා. ඒත් මට නිනව්වක් නෑ මේ සජීවි නෙමෙයි කියලා. මම අපේ තරඟකරුවන්ට දිරිය දෙමින් රූපවාහිනිය ළඟ කෑ ගැහුවා. කවුරු හරි බලා ගෙන හිටිය නම් හිතයි මට පිස්සු කියලා. ඒත් ලෝකයේ කොයි මුල්ලක ජීවත් වුනරත් ඒ නෙමෙයිද අපේකම?
තරුෂි කරුණාරත්න රන් පදක්කම් දෙකක් දිනා ගනිද්දී මගෙ ඇස්වලින් සතුටු කඳුළු කඩා වැටුනා ඒ පුංචි කෙල්ල දිහා බලා ගෙන. මේ තරඟාවලියට රට වෙනුවෙන් සහභාගි වී රන්, රිදී , ලෝකඩ පදක්කම් ගණනාවක් දිනා ගත් සියළුම ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි ණයයි. ඔවුන් තරඟ කළේ රට වෙනුවෙන්. අපි ඔවුන්ට ආදරේ ඒ නිසයි.
අපේ පුංචි රටේ නම ඔවුන්ගේ නම් ඉදිරියෙන් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලෙසින් ලියවෙද්දි අපේ ජාතික කොඩිය ඉහළට එසවී සිංහ රූපය අභිමානවත් ලෙස ඉහළ අහසේ ලෙළ දෙද්දී මතු වුණේ අපේකම. වෙනත් රටක ජීවත් වුණත්, ඒ මොහොතෙ එළියට පනින්නෙ අපේ රට කියන බලවත් වගේම උදාර හැඟීම. ඒ හැඟීම තරම් සුන්දර හැඟීමක් තවත් නැති තරම්.
මීට අවුරුදු කීපයකට පෙර සුසන්තිකා ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනපු දවස මට මෙවෙලේ මතක් වුණා (පසුව එය රිදී පදක්කමක් බවට පත් වුණා). එදා මුළු ලෝකය පුරාම සිටි ශ්‍රී ලාංකිකයින් උද්දාමයට පත් වුණ හැටි අපි රූපවාහිනිය ඔස්සේ දැක්කා. ඒ තමයි රට හා බැඳුනු අපේ ආදරය.
මම දන්නවා මේක කියවන ඔබත් හිතින් ලංකාවට යන්න ඇති. නන්දා මාලිනියගේ එක ගීතයක එන ‘හීනෙන් මගෙ රටේ නිදියන හැමදාම’ පදවැල කොයි තරම් අපූරු පබැඳුමක්ද අපේකම ගැන කියැවෙන. අපිත් සදාකාලිකවම අපේ පුංචි රට හා බැඳුනු ඒ ආදරය දරා ගෙන ජීවත් වේවි අපේ පණ නල සුළඟට මුසු වෙන තාක් කල්. රැක ගනිමු අපේකම!
ඉන්ද්‍රා දයාමණී කොළඹගේ – ඕක්ලන්ඩ්