‘කරුගේ කාර් එක වගේ.’ වජිර තමන් ළඟ සිටි බාලාට කීවේය.
‘ඔව් නේ… කරු ගොඩාක් කාලෙකින්, යං යං මට මිනිහා හම්බ වෙන්නත් ඕනෙ.’ බාලා කරුගේ අලු පාට ටොයොටා විට්ස් කාරය හඳුනා ගනිමින් එදෙසට පියවරක් තැබීය.
‘කරු මෙල්බන්වලට ගිය ගමන් ආපිට ආවේ, එහේ අල්ලලා නැති හැඩයි.’ වජිර ද බාලාට එක්වෙමින් පැවසුවේ කොක්සන් හඬක් ද සමගය.
‘මචං කාර් එකේ වීදුරුවකුත් ඇරලා. කරු කාර් එක ඇතුළේ නිදි වගේ.’ බාලා ඈතදීම සෙමින් මිමිණුවේය. ‘ම්… ම්. ඔව් යං යං කරුව බය කරමු.’ වජිරගේ විහිළුවට බාලාද එක් වූයේය.
සවස් වි තිබුණි.. බාලා සමග වජිර රෝහලට පැමිණියේ ඔහුගේ නැගණිය ආපසු රෝහලින් රැගෙන යාමටය. වජිරට රෝහල ඉදිරියේ ප්‍රධාන ගේට්ටුව අසල අහම්බෙන් ලැබුණු කාර් පාර්ක් ඉඩ ගැන සතුටක් තිබිණ. මන්ද ජනාකීර්ණ එම රෝහල ඉදිරිපසින්ම කාර් පාර්ක් එකක් ලැබෙන්නට වාසනාවක් අවශ්‍ය බව ඔහු සිතුවේය. වජිරගේ නැගණියට පළමු දරුවා ලැබෙන්නට රෝහල් ගත කළේ පෙරේදා රාත්‍රියේය. ඇයගේ සැමියා උපාලි ද තම නැගණිය සමග රෝහලේ නැවතුනේ එදා සිටය.
උත්සව කාලයට මෙවන් තැන්වල වාහන හොරකම් කරන මදාවි කොල්ලන් ද ඉඳහිට දැක ගත හැකිය. එවන් දිනක කරුගේ කාරය ද ගේට්ටුව අසලින්ම නවතා තබා ගැනීමට අවස්ථාව ලැබීම ද පුදුමයකි. ඊටත් වඩා එවැනි කලබල දිනයක තමන් දුටු දර්ශනය බාලා මවිතයට පත් කළේය.
‘ආහ්! කෝ කාරයේ කරු නැහැනේ… මෙන්න යතුරු කැල්ලත් සීට් එක උඩ. වීදුරුවකුත් බාගෙට ඇරල.’ බාලා විස්මයට පත්වෙමින් කිව්වේය.
‘මගෙ අම්මේ වෙලාවට ආවේ… නැත්නං කාර් එක උස්සනවා කොල්ලෙක්. ඊයේත් මෙතන කාර් එකක් කොල්ලො වගයක් උස්සලා පෙට්‍රල් ඉවරවෙනකම් දුවලා හැමිල්ටන් පැත්තේ දමල ගිහිල්ලා.’ වජිර මුහුණ වටපිට හරවමින් කීවේ රහසින්ය.
‘පිස්සු කොල්ලෝ… උං බීලා රවුම් ගහලා කාර් හප්පන එක දැන් පුරුද්දක් වෙලා.’ බාලා කොල්ලන්ට දොස් පැවරුවේය.
‘කරුවා කෝ එතකොට? අමතක වෙලා කලබලේට හොස්පිටල් යන්න ඇති. අපි මිනිහට කෝල් කරමු.’ වජිර තම දුරකතනයෙන් කරුගේ අංකය ඔබන ගමන් කියවන්නට විය.
‘හෙලෝ කරුද?’
‘ඔව් ඔව් කවුද ඔය?’
‘මචං මම වජිර.’
‘අම්මො මචං ගොඩාක් කලෙකින්… කොහොමද තොරතුරු?’
‘තොරතුරු නෙවෙයි, උඹ කොහෙද ගියේ… කාර් එකේ යතුරු කැරැල්ලත් දමලා, ඒ මදිවට වීදුරුවකුත් ඇරල දාල.’ වජිර නොක්කඩුවට මෙන් කියා දැමීය.
‘ඔහ්! කාර් එක තාම හොස්පිටල් එක ළඟද?’ කරු කනස්සල්ලෙන් පිළිතුරු දුන්නේය.
‘උඹට පිස්සුද? එතැන තමයි අපි ඉන්නේ… උඹ එනකන්.’ වජිර කීවේය.
‘උඹලා මොනවා කරනවද ඔතන? දැන් දවස් තුනක ඉඳලා කාර් එක කීපලක මම තිව්වද යතුරුත් එක්ක… බලපං එකෙක් හොරකං කරන්නෙ නැහැනේ මේ කාර් කබල?’ කරුගේ කතාව අණ්ඩර දෙමළ මෙන්ය.
‘මොකක්?’ වජිරට කියවිණි.
‘මේකයි මචං කාර් එක කීයකටවත් විකුණා ගන්න බැරි වුණා. කාර් බොඩි එක දෙතුන් පළක් තැලිල හින්දා. ඒත් අවුරුද්ද අලුත් නිසා රක්ෂණ වටිනකම ඩොලර් 3000 ක් විතර. හොරෙක් ගත්ත නම් වැඩේ හරි. ඒත් අපේ වාහන ගෙනියන්න තමයි හොරෙක් වත් නැත්තේ?’ කියමින් ඔහු සුසුම් හෙළනවා ඇසුනේය.
‘නැහැ නැහැ නවසීලන්ත හොරු හොරකන් කරන්නෙත් හොඳම ඒවා මිස බාල එව්වා නෙවෙයි. උං මහ වංශක්කාර හොරු,’ වජීර කීවේ කරුට ඇහෙන්නටය.
By Daya Prathapasinghe – Auckland