fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

විස්මිත ගල් පර්වත | චන්න ගුණසේකර | ක්‍රයිස්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලාංකික උරුමයක් ඇති අපිට ගල් පර්වත සහිත බලකොටුවක් කියූ සැනින් මතකයට එන ස්ථාන බහුලය. ලෝකප්‍රකට සීගිරි පර්වතය මෙන්ම යාපහුව සහ දඹදෙනිය ද ඒ අතරින් මුලින්ම මතකයට නැගේ. එලෙසම මිහින්තලේ, දිඹුලාගල, දඹුලුගල, ඇතාගල, මුල්කිරිගල, රිදීගම, සිතුල් පව්ව, නෙල්ලිගල, බතලේගල, උතුවන්කන්ද ඇතුළුව තවත් බොහෝ ස්ථාන මතකයට එනවිට ශ්‍රී ලංකාව වැනි කුඩා භුමි ප්‍රදේශයක ඇති භූවිද්‍යාත්මක විවිධත්වය මගේ සිත මවිත කරයි. මගේ මතකය මෙවන් ස්ථානකරා ඇදී ගියේ අද කලාපයෙන් මම ඔබ හමුවේ ගෙන ඒමට බලාපොරොත්තුවන නවසීලන්තයේ දකුණු දූපතේ ඇති සංචාරක ආකර්ෂණය දිනු භූවිද්‍යාත්මක ස්ථාන හතරක් නිසාවෙනි. 

කාසල් හිල් (Castle Hill) 

ක්‍රයිස්චර්ච් සිට පැය එකහමාරක් පමණ SH73 ඔස්සේ වෙස්ට් කෝස්ට් දෙසට ගමන් කිරීමේදී මාර්ගය අසලම සිට දිස්වන මීටර තිහක පමණ උසට පවා නැගුණු හුණුගල් වලින් සැදුණු පර්වත පෙළක් කාසල් හිල් ගල් ලෙස හදුන්වයි. මේවා ඈතින් දිස්වනුයේ ගලින් කරනලද බලකොටුවක් සහිත මාළිගා සංකීර්ණයක් ලෙසය (ඡායාරූප #1)ඉතා පහසු ඇවිදින මගක් ඔස්සේ මාර්ගයේ සිට දිස් වූ පර්වත ළඟටම ගොස් මෙම සොබා සෞන්දර්ය ඔබට අත්විදිය හැක. කුර ටවිටි (Kura Tāwhiti) ලෙස Māori බසින් හැදින්වෙන මෙම විස්මිත හුණුගල් පිහිටීම සහිත ප්‍රදේශය, Ngāi Tahu ජන කොටසේ අතිශය සංවේදී සංස්කෘතික උරුමයක් හා බැදී පවතී. එම නිසා මේ ප්‍රදේශයේ සංචාරයේදී එහි දක්වා ඇති උපදෙස් පිළිපැදීමට අමතක නොකරන්න.භූ විද්‍යාඥයන්ට අනුව වසර මිලියන තිහකට පමණ පෙර අභ්‍යන්තර නොගැඹුරු මුහුදින් මෙම ප්‍රදේශය වැසි පැවති අතර හිරිගල් ඛාදනය වීමෙන් දැන් දිස්වෙන අමුතුම ආකාරයේ හැඩයන් මෙම පර්වත වලට ලැබී ඇත. භූ විද්‍යාවට අනුව මෙම ප්‍රදේශය කාස්ට් භූ ලක්ෂණ සහිත වේ. මෙම ප්‍රදේශයේදී ගුහාවක් හරහා ඇති සුන්දර අත්දැකීමද, පර්වත වල ඇති වසර පන්සීයකට පෙර මෙහි සිටි ආදී වාසින්ගේ අඟුරු වලින් කල චිත්‍රද, අතිශය විරල කාසල් හිල් බටර්කප් පුෂ්පයද, ශ්‍රීත ඍතුවේදී නම් කාසල් හිල් පසුතලය සරසන හිම වැටුණු ටෝර්ලෙස් (Torlesse) සහ ක්රේගීබන් (Craigieburn) කඳු පන්තිද, කාසල් හිල් ගල් පර්වත පිහිටි ප්‍රදේශය සංචාරකයන්ගේ ප්‍රමුඛ තේරීමක් බවට පත් කරයි.

එලිෆන්ට් රොක්ස් (Elephant Rocks) 

නම කියූ සැනින් අලි මතක් වන අපට, මෙම ස්ථානය නරඹන විට අලියෙකුගේ හැඩය ගත් හුණුගල් පර්වත දිස් නොවනාමයි කිව නොහැක. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයත් පෙර සඳහන් කලා මෙන්ම ඔබ පුදුම කල හැකි පර්වත සමුහයකි. වසර මිලියන විසිපහක පමණ හුණුගල් ඛාදනයෙන් සෑදුනු මීටර දහයකට වඩා උසින් අඩු පර්වත රැසක් මෙහි වේ. ඇතැම් විට ශුෂ්ක කලාපයක් වන අනුරාධපුරයේ ඇති වෙස්සගිරිය, තෙත් තණ භුම්යකට ගෙන විත්දෝ කියා යමෙකුට සිතෙන්නටද පුළුවන. ක්‍රයිස්චර්ච් සිට පැය තුනක් පමණ SH1 හි දකුණු දිසාවට ගමන් කොට SH83 මගින් ඩන්ට්‍රුන් (Duntroon) වෙත පැමිණ අයිලන්ඩ් ක්ලිෆ් මාර්ගයේ ඇති පුද්ගලික භූමියක මෙම ගල්කුළු පිහිටා ඇත. මෙම පුද්ගලික භූමිය බැටළුවන් සිටින ගොවිපලක් නිසා ඒ පිළිබඳ සංවේදී වීමට අමතක නොකරන්න. 

මෙම ප්‍රදේශය ප්‍රසිද්ධ වීමට තවත් හේතුවක් වන්නේ මෙය “Alps 2 Ocean” නම් පාපැදි මාර්ගයේ පැවතීමයි. කෙසේ වෙතත් මෙම ස්ථානය ලෝකප්‍රකට වීමට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ, 2005 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව තුන්වැනියට සාර්ථකම චිත්‍රපටිය වූ The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe හි රූගත කිරීම් වල පසුතලය එලිෆන්ට් රොක්ස් ප්‍රදේශය සැරසු නිසාවෙනි (ඡායාරූප #2)

මොඅරාකි ගල්පර (Moeraki Boulders) 

මොඅරාකි ගල්පර දුටු සැනින් ස්වභාවිකව සෑදුනු දෙයක් නොවුවද ඒ හැඩහුරුව නිසා මාගේ මතකයට ආවේ ශ්‍රී ලංකාවේ යාපන අර්ධද්වීපයේ ඇති කදුරුගොඩ විහාරයයි (ඡායාරූප #3). Māori බසින් කෛහිනකි (Kaihinaki) ලෙස හැදින්වෙන මොඅරාකි ගල්පර, අපි කව්රුත් දන්නා කෝම්පිට්ටුවක හැඩය ගත්, විශාලත්වයෙන් නම් මීටර 2කට වඩා වැඩි විෂ්කම්බයක් ඇති ගෝලාකාර ගල් පර පෙළකි (ඡායාරූප #4). ක්‍රයිස්චර්ච් සිට දකුණු දෙසට SH1 ඔස්සේ පැය තුනහමාරක පමණ ගමනකින් ඔබට මොඅරාකි බෝල්ඩර්ස් (ගල් පර) රථ ගාල වෙත ළඟා විය හැක. ඩනීඩන් සිට නම් SH1 ඔස්සේ පැයක කාලයකින් මෙහි පැමිණිය හැක. ඉතා පහසු මිනිත්තු දහයකටත් අඩු කාලයකින් රථ ගාලේ සිට කෝකොහෙ මුහුදු වෙරළේ ඇවිදයාමෙන් මේ විශ්මය ගෙන දෙන ගල් පර ඔබට දැක ගත හැක. භූවිද්‍යාවට අනුවනම් මේවා කැල්සයිට් ඛනිජය තැන්පත් වූ මඩ ගල් (mudstone) ලෙස හදුන්වයි. වසර මිලියන දහතුනත් හැටපහත් අතර කාලයකට පෙර මුහුදු පතුලේ අවසාදිත වලින් මේවා හැඩ ගැසී ඇති ලෙසත්, දැනට දක්නට ලැබෙන විශාලතම ගල්පරය දැන් පවතින ප්‍රමාණයට සැදීමට වසර මිලියන හතරක් පමණ ගතවී ඇති බවට භූ විද්‍යාඥයන් සදහන් කරයි. කෙසේ වෙතත් මෙය ඉතා විරල, සොබාදහමේ විශ්මය ගෙන දෙන, ඡායාරූප ගැනීමට සංචාරකයන්ගේ නොමද උනන්දුවක් ඇති තවත් එක් ස්ථානයක් බව නොඅනුමානය. මුහුදු වෙරළේ ඇති ස්ථානයක් බැවින් මුහුදේ වඩදිය බාදිය අවස්ථා සහ මුහුදු රළේ වෙනස්වීම් ගැන කල් තියා දැන ගැනීමට අමතක නොකරන්න. 

පූනකෛකි පෑන්කේක් රොක්ස් (Punakaiki Pancake Rocks) 

වෙස්ට් කෝස්ට් හි ඇති පපරෝආ (Paparoa) ජාතික උද්‍යානයයේ ඩොලමයිට් තුඩුවේ ඇති මෙම හුණුගල් පාෂාණ ස්තර සකස් වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රසිද්ධම උදැසන ආහාරයක් වන පෑන්කේක් එක මත එක අසුරා ඇති ආකාරයටය (ඡායාරූප #5). එම නිසාම පෑන්කේක් රොක්ස් නම් වන මෙම පාෂාණ ස්තරය සංචාරක ආකර්ෂණය නොමදව ලබන තවත් විශේෂ ස්ථානයකි. මෙයද වසර මිලියන තිහකට පෙර මියගිය සමුද්‍ර ජීවී විශේෂ සහ පැලෑටි වලින් සැදුණු අත්තිවාරමක් මත හුණුගල් පාෂණ ස්ථර ලෙස ලුණු මිශ්‍ර ජලය සහ වාතය නිසා ඛාදනය වීමෙන් සෑදී ඇත. මීට අමතරව මෙහි වඩදිය අවස්ථාවලදී ක්‍රියාත්මක වන හුම්මානය (blowhole) නමැති සමුද්‍ර ආශ්‍රිත භූ ලක්ෂණයද ඇත. පුටායි (Putai) බ්ලොහෝල්  නමින් එය හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දික්වැල්ල හුම්මානය ලොව දෙවැනියට විශාලතම හුම්මානය ලෙස සැලකේ.

පූනකෛකි වෙත ඔබට ග්‍රේමවුත් (Greymouth) සිට SH6 ඔස්සේ උතුරු දෙසට කිලෝමීටර 44ක් ගමන් කිරීමෙන් හෝ වෙස්ට්පොර්ට් (Westport) සිටනම් කිලෝමීටර 57ක් දකුණු දෙසට ගමන් කර ළඟා විය හැක. රථ ගාලේ සිට ඉතා පහසු කිලෝමීටර 1.1ක ලූපයක අකාරයෙන් ඇති මෙම අරුම පුදුම පාෂාණ ස්තර අතරින් වැටුණු ඇවිදින මගක් ඔස්සේ, වෙරළ ආශ්‍රිත ශාක, කුරුළු විශේෂ සහ සමුද්‍ර ක්ෂීරපායී විශේෂ දැක ගනිමින්, ක්ෂිතිජය දක්වා දිවයන ටස්මන් (Tasman) මුහුදේ චමත්කාරජනකබව අත්විදිමින් මෙම ප්‍රදේශය ඔබට ගවේෂණය ක හැක. ඇතැම් ස්ථානවල පඩිපෙළවල් ඇති අතර, මෙහි ඇති සමුද්‍ර පරිසර පද්ධතියේ ඇති ඝෝෂාකාරී බවත්, ප්‍රපාත සහිත ස්ථානත් නිසා ඇවිදින මංපෙතේ ඇති අවවාදාත්මක පුවරු කෙරෙහි විශේෂ අවධානය දීමට මතක තබාගන්න. මෙම ගමන ඔබට මිනිත්තු විස්සත් හතලිස්පහත් අතර කාලයකදී නිම කළහැක.

තවත් නවසීලන්ත සංචාරක අත්දැකීමක් ලබන කලාපයේත් බලාපොරොත්තුවන්න.

By Channa Gunasekara – Christchurch

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.