fbpx
8.5 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ග්ලැසියර් දේශය | චන්න ගුණසේකර | ක්‍රයිස්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙම සංචාරක ලිපි පෙළේ තුන්වැන්න යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන ‘Te Wahipounamu’හි තවත් එක් ජාතික උද්‍යානයක් වන ‘Westland Tai Poutini’ උද්‍යානය ගැන ගෙන ඒමට මම තීරණය කළෙමි. නවසීලන්තයේ දකුණු දූපතේ බටහිර දෙසට පිහිටා ඇති, ග්ලැසියර් පෝෂක ස්ථිර හිම තට්ටුවලින් වැසුණු ඉතා උස කඳු,  සීඝ්‍ර  බෑවුම් හරහා මුහුදු මට්ටම තෙක් පිහිටා ඇති ඝන වැසි වනාත්තර, මනස්කාන්ත විල්, තෙත් බිම් සහ දුර්ග මාර්ග ඔස්සේ වැටුණු ගංඟාවලින් පිරුණු මෙම උද්‍යානය ඉතා විරල ඒකදේශික මෙන්ම වඳවී යාමේ තර්ජනයට පත්වූ ‘රෝවි’ (Rowi) වර්ගයේ කිවි පක්ෂියාගේ නිජබිම වේ. මෙම ලිපිය තුළින් මෙවන් අද්විතීය පරිසර පද්ධතියක ආශ්වාදය මෙහි මීට පෙර සංචාරය කළ හා ඉදිරියේ සංචාරය කිරීමට බලාපොරොත්තුවන සැමට ලැබේ යයි මම සිතමි. 

1960 වසරේදී ජාතික උද්‍යානයක් ලෙස නම් කළ ‘Westland Tai Poutini’, ග්ලැසියර් කන්ට්‍රි (ග්ලැසියර් දේශය) ලෙස බොහෝ අය හදුන්වන්නේ මෙහි ඇති සුප්‍රසිද්ධ ෆොක්ස් (Fox) (Māori බසින් Te Moeka o Tuawe) සහ ෆ්රාන්ස් ජෝසෆ් (Franz Josef) (Māori බසින් Kā Roimata ō Hine Hukatere) ග්ලැසියර් දෙක පිහිටා ඇති නිසාය. ජර්මානුජාතික ජූලියස් වොන් හාස්ට් නමැති භූ විද්‍යාඥයා, 1869 සිට 1872 දක්වා නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් විලියම් ෆොක්ස් මහතාට ගරු කිරීමක් ලෙස ෆොක්ස් ග්ලැසියරයත්, ඔස්ට්‍රියාවේ පළවන ෆ්රාන්ස් ජෝසෆ් අධිරාජ්‍යයා සිහිකරමින් ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරයත් මෙම ග්ලැසියර් දෙකටම යාබද ගම්මාන දෙක ද එම නම්වලින්ම නම් කරන ලදී. 

සරලව විග්‍රහ කළහොත් ග්ලැසියර්යනු ඝණත්වයෙන් ඉතා අධික නොනැසී පවතින අයිස් එහි බරටම නොනවත්වා චලනය වෙමින් සියවස් ගණනාවක් තිස්සේ එකතු වූ හිමෙන් පෝෂණය වන භූ ලක්ෂණයකි. බටහිර වෙරළාසන්න ග්ලැසියරවලින් දිගින් වැඩිම ග්ලැසියරය ෆොක්ස් ග්ලැසියරය වන අතර, සීග්‍රම බෑවුමක් ඇති ග්ලැසියරය ලෙස ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරය ප්‍රසිද්ධියක් උසුලයි. මෙම ජාතික උද්‍යානයයේ උතුරු දෙසට ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරයත් ඊට කිලෝමීටර 20ක් දකුණු දෙසින් ෆොක්ස් ග්ලැසියරයත් පිහිටා ඇත. 

මෙම ග්ලැසියර මතට යාමට හැක්කේ ගුවනින් වුවත්, දර්ශනීය භූ දර්ශන පියවි ඇසින් දැක බලාගැනීමට හැකි ඇවිදින මංපෙත් (walks/hikes/tramping tracks) බොහොමයක් සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Conservation, DOC) විසින් සකසා, සංචාරයකයන් සඳහා නඩත්තු කර තබයි. 

මම පළමුව ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරය සහ එහි සිදුවන භූ විපර්යාසය තේරුම් ගැනීමට පහසුවන ලෙස ඇවිදින මංපෙත් තෝරාගන්නා ආකාරය විස්තර කිරීමට සිතුවෙමි. ෆ්රාන්ස් ජෝසෆ් ගම්මානයේ සිට දකුණු දිශාවට  ‘Waiho’ පාලම පසු කර ග්ලැසියර ප්‍රවේශ මාර්ගය ඔස්සේ මුළු දුර කිලෝමීටර 5ක් ගමන් කිරීමෙන් ඔබට ෆ්රාන්ස් ජෝසෆ් රථගාලට ළඟා විය හැක. මෙම රථගාලේ සිට ඇරඹෙන ඇවිදින මංපෙත් අතුරින් ඉතා පහසු, පැය බාගයකින් නැවත රථ ගාලට පැමිණිය හැකි,  තැනිතලා නිම්නයක් හරහා වැටුණු පීටර්ස් පූල් (Peters Pool) walk එකෙන් ඔබගේ සංචාරය පටන් ගතහොත් ඔබට වසර දෙසීයක් වැනි කාලයක් තුළ ග්ලැසියරය පසු බැස ඇති ආකාරය මනාව වටහා ගත හැකිය. 

(ඡායාරූප-1) Peters Pool

මෙම මංපෙතේ අවසානයේ අයිස් දියවීමෙන් සෑදුනු ‘kettle lake’ නම් භූ විෂමතා ගණයට අයත්වන ‘පීටර්ස් පූල්’ නමැති විලට නිසල දිනක දී ග්ලැසියරය සහිත කඳුවල පරාවර්තනය වී සාදන දර්ශනීය පරිසරය වින්දනය කළ හැක(ඡායාරූප-1).

ඊට පසු ඔබ ෆ්රාන්ස් ජෝසෆ් රථ ගාලෙන් ‘ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියර් walk’ හෝ ‘සෙන්ටිනෙල් රොක් (Sentinel Rock) walk’ (මෙම මංපෙත් දෙකේම ආරම්භය එකම වේ) යන මංපෙත් ඔස්සේ ගමන්කොට සෙන්ටිනෙල් රොක් නැරභුම් පීටිකාවට ගමන් කිරීමෙන් ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරය සහ දියඇළිවලින් සමන්විත දරුණු බැවුම් ඇති ඝණ තෙත් වනාන්තර වැස්මක් ඇති නිම්නය දිගේ Waiho ගඟ ගලා බසින අයුරුත් ග්ලැසියරය අවසාන වසර 100 වැනි කෙටි කළක දි කිලෝමීටර 3ක් පමණ චලනය වී ඇති අයුරු තේරුම් ගත හැක. ඔබ මෙහි දී  ‘සෙන්ටිනෙල් රොක්’ පර්වතය ද 1865දී ග්ලැසියරය යටින් මතු වූ එකක් බව දැනගැනීමද පුදුමයට කරුණකි (ඡායාරූප-2)

 (ඡායාරූප-2) Sentinel Rock
(ඡායාරූප -3) Trident Creek

මෙතැන සිට නැවතත් ඔබ ‘ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියර් walk’ මංපෙතේ  වැසි වනාන්තරය අතරින්, අවසාන කොටසේ නිම්නය දිගේත්, කඳු මුදුනේ සිට ගංඉවුරට කඩාහැලෙන Trident Creek දිය ඇල්ල (ඡායාරූප -3) පසු කිරීමෙන්, මුළු දුර පැය එකහමාරක් පමණ කාලයක් ඇවිදීමෙන්, ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරය (ඡායාරූප -4) මීටර 750ක පමණ දුරකින් ආකර්ෂණීය ලෙස දැක ගත හැක. 

මෙම ගමන ගං ඉවුර දිගේ වැටී ඇති නිසා ඔබට යා හැකි දුර එදිනට ඇති පාරිසරක තත්ත්ව මත තීරණය වේ. ඉතා ක්ෂණිකව ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඇතැම් විට මුළු මංපෙතම සංචාරයට විවෘත නොකරයි. කෙසේ වෙතත් ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියරය ආශ්‍රිත ඉතා ගතිකව වෙනස්වන මෙම සොඳුරු පරිසර පද්ධතිය ආස්වාදය කිරීමට මෙම මංපෙත් ඔස්සේ ඇවිද යාමෙන් ඔබට හැකිවේ යයි මම සිතමි. 

(ඡායාරූප -4) Franz Josef Glacier

ෆ්රාන්ස් ජෝසෆ් ග්ලැසියර රථ ගාලේ සිට ෆොක්ස් ග්ලැසියර ගම්මානය පසු කර, ෆොක්ස් ගඟ හරහා වැටී ඇති පාලම පසුකළ විට මුළු දුර කිලෝමීටර 28ක් පමණ ගෙවුණු පසු ඇති රථ ගාලෙන් ආරම්භ වන ‘ෆොක්ස් ග්ලැසියර South Side Walk’ නම් මංපෙත මේ දිනවල ෆොක්ස් ග්ලැසියරය ආසන්නයටම දර්ශනයවන එකම මංපෙත වේ. මීට හේතුව ‘ග්ලැසියර නිම්න walk’ ලෙස පෙර තිබූ පැය බාගයකින් පමණ ෆොක්ස් ග්ලැසියරය ඉතා ළගට දර්ශනය වන මංපෙත පාරිසරික හේතු නිසා මේ දිනවල වසා ඇති නිසාය. ‘ෆොක්ස් ග්ලැසියර South Side Walk’ එක සඳහා ඔබට පැය දෙක තුනක් ගත වන අතර, මෙය තෙත් වැසි වනාන්තරයක් ඔස්සේ වැටී ඇති පහසු මංපෙතකි. 

කිසිවිටකත් මෙම මංපෙත්වල අවසානයේ ඇති අනතුරු ඇඟවීම් නොසලකා ගං ඉවරට නොයන ලෙස මතක් කරන්නේ ග්ලැසියර් පද්ධති ආශ්‍රිතව ඉතා ඉක්මනින් වෙනස්වන කාලගුණයක් පැවතීමයි. ෆොක්ස් ග්ලැසියරය ඉතා දුරින් දිස් උවත්, Cook Flat මාර්ගයේ ඇති ෆොක්ස් ග්ලැසියර නැරඹුම් ස්ථානවලින් ද දර්ශනීය ලෙස ඔබට ඉතා පහසුවෙන් ග්ලැසියරය (ඡායාරූප-5) දැක ගත හැක. 

(ඡායාරූප-5) Fox Glacier

ෆොක්ස් ග්ලැසියර ගම්මානයෙන් ඇරඹෙන Cook Flat මාර්ගයේ ඇති තවත් අතිශය ජනප්‍රිය සොබාදහමේ අරුම පුදුම දායාදයක් වන්නේ මැතසන් (Lake Matheson) විලයි. මෙය නවසීලන්තයේ වැඩිපුරම ඡායාරූප ගත කර ඇති විලක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. නිස්කලංක උදෑසනක හෝ සන්ධ්‍යාවක, මැතසන් විල කැඩපතක ඇතිවන ඡායාවක් ලෙස නවසීලන්තයේ උසම කන්දවන උස මවුන්ට් කුක් සහ මවුන්ට් ටස්මන් ඇතුළු කඳු පන්තිය පරාවර්තනය වන්නේ අතිශය දර්ශනීය ලෙසය (ඡායාරූප -6). 

(ඡායාරූප -6) Lake Matheson

මෙම ඡායාරූපය ගැනීමට දෙස් විදෙස් රසකාමී ඡායාරූප ශිල්පීහු, හිරු කිරණ කඳු මතට පතිතවන නිස්කලංක දිනයක් පැහැදිලි අහසක් ප්‍රාර්ථනා කරමින් මහත් උද්යෝගයෙන් පෙළ ගැසෙති. ඔබට විනාඩි 40ක කෙටි ඇවිදින මංපෙත හෝ මැතසන් විල වටා වැටී ඇති පැය එකහමාරක ‘Lake Circuit’ මංපෙත ඔස්සේ ඇවිද ගොස් විවිධ කෝණවලින් මෙම සුන්දරත්වය විඳිය හැක. මෙම විල වසර 14,000කට පමණ පෙර ෆොක්ස් ග්ලැසියරය පසු බැසීමෙන් හටගත් බවට  භූ විද්‍යාඥ මත ඇත. මෙම විලේ නවසීලන්තයට ආවේණික ආඳා විශේෂයක් වූ ලෝන්ග්ෆින් ඊල් ජීවත්වේ. 

සොබාදහම් මවගේ මේ විශ්මය වටහාගැනීමට ඇතැම් විට ඇති හොඳම ක්‍රමය ගුවනින් මෙම භූලක්ෂණ නැරඹිමයි. මේ සඳහා ග්ලැසියරය මත ගොඩ බැස්සවිය හැකි ගුවන්යානා මෙන්ම හෙලිකොප්ටර් සවාරි සංවිධානය කරන වාණිජ සේවා ස්ථාන ෆ්රාන්ස් ජෝසෆ් ගම්මානයේ ඇත. 

අයිස් ගුහා, අයිස් උමං, නිල් පැහැති අයිස් ආරුක්කු සහ මනස්කාන්ත දර්ශන ඇති ග්ලැසියර් hikes සංවිධානය කරන්නේද මෙම හෙලිකොප්ටර් සවාරි සපයන ආයතනවලින්ය. ගුවන් ගමන් ආශ්‍රිතව කරන ස්කයිඩයිව් (Skydive) අත්දැකීම සපයන ආයතන ද මෙහි විශේෂ වාණිජ අංගයකි. අඩි 20,000ක් ඉහළ අහසේ ගුවන්ගත වී ඇති ගුවන් යානාවකින් ඉවතට පැන තත්පර 85ක කාලයක් පැයට කිලෝමීටර 200ක වේගයෙන් පොළව දෙසට ගුරුත්වය යටතේ නිදහසේ වැටී පැරෂුටයක ආධාරයෙන් බිමට පතිත වීමේ ස්කයිඩයිව් ත්‍රාසජනක අත්දැකීම ලැබීමට ලොව ඇති අතිශය උමතුම ස්ථානවලින් එකක් ලෙස මෙම ප්‍රදේශය ප්‍රකටය. 

ස්කයිඩයිව් අත්දැකීම කොහොමත් අමතක නොවන අරුම පුදුම අත්දැකීමකි. නමුත් නවසීලන්තයේ ඇති උසම කඳු මුදුන් ෆ්රාන්ස් ජෝසෆ් සහ ෆොක්ස් ග්ලැසියර එක පෙළටත් වැසි වනාන්තර, ගංඟා නිම්න, විල්වලින් ගහන මුහුදු වෙරළත්, තවත් පසෙකින් ටස්මන් (Tasman) මුහුදත් දිස්වන ස්ථානයක (ඡායාරූප-7) මෙම අත්දැකීම ලැබීම වචනයෙන් විස්තර කළ නොහැක. 

(ඡායාරූප-7) Skydiving

ග්ලැසියර් rafting, quad biking, hot pools සහ glowworm ගුහාවල ඇවිදීම මෙහි ඇති තවත් වාණිජ අත්දැකීම්වේ. ෆ්රාන්ස් ජෝසෆ් ගම්මානයේ ස්ථාපිත වෙස්ට්කෝස්ට් වනජීවී මධ්‍යස්ථානයද මෙහිදී අමතක කළ නොහැක. මෙම මධ්‍යස්ථානයේ දී ඔබට පෙර සදහන් කළ කිවි විශේෂ පහෙන් දුර්ලභම විශේෂය වන ‘රෝවි’ (Rowi) වර්ගයේ කිවි පක්ෂියාත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නවසීලන්තයට ආවේණික ‘Tutatara’ නමැති කටුසු-උරග විශේෂය ද දැකගත හැක. 

ඔබ ක්‍රයිස්චර්ච් සිට ෆ්රාන්ස් ජෝසෆ් ගම්මානයට පැමිණේනම් රථ ධාවනයට පමණක් පැය පහක කාලයක් පමණ වෙන්කරන්න. ක්වීන්ස්ටව්න් සිටනම් ඔබට පළමුව ෆොක්ස් ග්ලැසියර ගම්මානයට පැය හතර හමාරක රථ ධාවන කාලයකින් ළඟාවිය හැක. ෆ්රාන්ස් ජෝසෆ් ගම්මානය සහ ෆොක්ස් ග්ලැසියර ගම්මානය අතර ගමනට පැය භාගයක් පමණ ගතවේ. මෙම ගම්මාන දෙකේම නවාතැන් පහසුකම් සහ අවන්හල් සීමිත ගණනක් පවත්වාගෙන යයි. 

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් ඇතොත් අප වෙත දන්වන මෙන් ඉල්ලා සිටීමි. මෙවන් තවත් සොබා දහමේ අපුර්ව නිර්මාණයක නවසීලන්ත සංචාරක අත්දැකීමක් ලබන කලාපයේත් බලාපොරොත්තුවන්න.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.