fbpx
9.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ග්ලොවර්ම් ගුහා – Glow-worm Caves, New Zealand | චන්න ගුණසේකර – ක්‍රයිස්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ දී ඔබ යා යුතුම අතිශය සංවේදී මෙන්ම අද්විතීය පරිසර පද්ධතියක් ලෙස හඳුන්වන UNESCO ලෝක උරුමයක් වන ‘Te Wahipounamu’ උද්‍යානය හා සබැදි සුන්දර ස්ථාන තුනක අත්දැකීම් පෙර කලාපවලින් මම ඔබ වෙත ගෙන ආවෙමි. මෙවර කලාපයෙන් මම නවසීලන්තයට ආවේණික වූ කෘමි විශේෂයක් වටා ගෙතුණු පාරිසරික පිහිටීමක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමි.

‘නවසීලන්ත ග්ලොව(ර්)ම්’ ලෙස ප්‍රකට මෙම කෘමි විශේෂය දිලීර, කීට/පණු සහ මකුළු වැනි විවිධ සත්ව අවස්ථා යටතේ වර්ග කර ඇත. කෙසේ වෙතත් මම මෙම විෂය පථය ගැන නොදන්නා බැවින් මෙම කෘමි විශේෂයේ විද්‍යාත්මක නාමය වන Arachnocampa luminosa මෙහි සදහන් කර තබමි. රෑ බදුල්ලා සහ කණාමැදිරියා වැනි කෘමියන් ජෛව-ආලෝකය දීප්තිමත්ව විහිදනවා මෙන්ම ග්ලොව(ර්)ම් විශේෂයද ජෛව-ආලෝකය ඉතා දීප්තිමත්ව නිකුත් කරන අතර එසේ කරනුයේ තම ආහාර ගොදුරු කරගැනීමට වීම විශේෂයකි. ග්ලොව(ර්)ම් විශේෂය ඉහළින් පිහිටා ඇති ස්ථරයක සිට පහළට ඉතා සිහින් කෙඳි 30ක් පමණ සකසන්නේ මකුළුවන් මකුළු දැලක් එලන අයුරින් වුවද එම මකුළු දැලක හැඩය නොමැතිවය. 

ඡායාරූප #1

මෙම කෘමි විශේෂය දැක ගත හැකි ස්ථාන අතරින් අතිශය ප්‍රසිද්ධ ස්ථාන දෙකම ගුහාවන් වීම විශේෂයකි. මෙහෙදී කේව්ස් (caves) ලෙස හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ අපි අතර ප්‍රකට බටදොඹලෙන හා පාහියන්ගල ලෙන වැනි ලෙන්/ගුහා නොවේ. ප්‍රාග් ඓතිහාසික බලන්ගොඩ මානවයාගේ සාක්ෂි හමු වූ බටදොඹලෙන ඉංග්‍රීසි බසින් ‘බටදොඹලෙන cave’ ලෙස හඳුන්වන නිසා මෙහි දී යම් අපැහැදිලිතාවයක් ඇතිවිය හැක. නවසීලන්තයේ කේවුස් (caves) ලෙස හදුන්වන භූලක්ෂණය මෙම රූපයේ දැක්වෙන (ඡායාරූප #1) පරිදි සකස් වී ඇත. භූගෝල විද්‍යාව නොදන්නා අයෙකුට වුවද මෙම රූපය  මඟින් අවබෝධයක් ඇතිවේ යයි මම සිතමි.

තේ ආනෞ ග්ලොව(ර්)ම් කේව්ස් (Te Anau Glowworm Caves) 

තේ ආනෞ ලේක් (Te Anau Lake) එකෙන් ඇතුළු විය හැකි තේ ආනෞ ගුහා පද්ධතිය පෙර සදහන් කළ පරිදි ග්ලොව(ර්)ම් විශේෂය දැක ගත හැකි ප්‍රසිද්ධම ස්ථානයකි. මෙහි තේ ආනෞ යනු Māori බසින් කැරකවෙන ජල ප්‍රවාහයක් ඇති ගුහාව යන්නයි. මෙම අත්දැකීම ඇරඹෙන්නේ තේ ආනෞහි, තේ ආනෞ විල අසබඩ ඇති වාණිජ බෝට්ටු සේවා සපයන ස්ථානයකින්ය. වර්ග කිලෝමීටර 344ක භූමියක් වසාගෙන ඇති තේ ආනෞ විල නවසීලන්තයේ දෙවෙනියට විශාලම විලය. මෙහි පැය බාගයක පමණ බෝට්ටු ගමනකින් ඔබට ග්ලොව(ර්)ම් කේව්ස් පිහිටා ඇති ඉවුර වෙත ළඟා විය හැක. මෙම බෝට්ටු ගමන සුවිශේෂි එකක් වන්නේ ඔබට දෙපසින් දිස්වන මුහුදු මට්ටමේ සිට මීටර 1,700ක් උසට නැගුනු අතිශය දර්ශනීය කෙප්ලර් සහ ම(ර්)චිසන් කඳුපන්ති සහ මිනිස් ක්‍රියාකාරම් අවම වූ නොඉදුල් ජෛව-විවිධත්වයකින් යුතු වනවැස්ම නිසාය (ඡායාරූප #2).

ඡායාරූප #2

ග්ලොව(ර්)ම් ගුහාවේ ප්‍රවේශයට පෙර ඔබට වැඩි විස්තර සහ සේවා සැපයීමට ‘Cavern House’ නමින් ගොඩනැගිල්ලක් විලේ මෙම ඉවුරේ පිහිටුවා ඇත. මෙම ස්ථානයේ මදක් ගිමන් හැර ඊළඟට ඔබ ග්ලොව(ර්)ම් ගුහාවට මාර්ගෝපදේශකයකු සමඟ ගමන් අරඹයි. මෙම ගුහාව කිලෝ මීටර 6.7ක් දිග වුවද මෙම ගමනේ දී ඔබ එතරම් දුර ගමන් නොකරයි. එසේ වුවත් මෙම භූගත පරිසරයක ඔබ ලබන අත්දැකීම වචනයෙන් විස්තර කළ නොහැක. එලෙසම මෙම ගමන ඡායා රූප ගැනීම හෝ වීඩියෝ පටිගත කිරීමට ඉඩ නොදෙනුයේ සංචාරකයන්ගේ ආරක්ෂාවට මෙන්ම මෙහි ජීවත්වන නවසීලන්ත ග්ලොව(ර්)ම් විශේෂයයේ ආරක්ෂාවටය. සෙල්සියස් අංශක 8ත් 12ත් අතර අගයක මෙම ගුහාවේ උෂ්ණත්වය වසර පුරාවටම පවතින බව සඳහන් කළ යුතුය. සාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවකින් හා පටු ස්ථානවලින් ඇතැම් විට නැවෙමින් ලෙස්සන සුළු ස්ථානවල දී සමබරතාවය ඇතිව ගමන් කළ හැකි ඕනෑම අයෙකුට මෙම අත්දැකීම විඳිය හැක. 

ඡායාරූප #3

පෙර සදහන් කළ අයුරින් තේ ආනෞ යනු කැරකවෙන ජල ප්‍රවාහයක් ඇති ගුහාව යන්නයි. මෙම ජල ප්‍රවාහය තේ ආනෞ විලට වඩා මුහුදු මට්ටමින් උසින් වැඩි ස්ථානයක පිහිටි ඔර්බෙල් (Orbell) විලේ සිට තේ ආනෞ විල වෙත ගලා බසී. ඊට අමතරව හුණුගල් ආශ්‍රිත භූ ස්ථරයක් නිසා ගුහාව තුළට ජල කාන්දුවීමක් ද සිදුවේ. ගුහාවේ ඇතැම් ස්ථාන මීටර විස්සක් පමණ උසවන අතර මෙබදු ගුහාවේ උසම ස්ථාන ‘Cathedral’ ලෙස හඳුන්වයි. ඔබ මවිත කරන භූගත දිය ඇළි (ඡායාරූප #3), ‘Cathedral’ සහ පටු හුණුගල් විවර හරහා අතිශය ත්‍රාසජනක ගමනකින් පසුව ඔබ පැමිණෙන්නේ වේල්ලක් උඩින් සකසා ඇති පීටිකාවක් මතටය. මෙතනින් පසුව ගමනට විදුලු ආලෝකය නොමැත. ඔබ ඝන අඳුරේම පීටිකාවේ සිට ඉතා කුඩා බෝට්ටුවකට මාර්ගෝපදේශකයාගේ ආධාරයෙන් ගොඩවේ. මෙම බෝට්ටු ගමනේ දී ඔබට සමීපවම වාඩි වී සිටින කිසිවෙක් දිස්නොවන තරම් ඝන අඳුරක් සහ අතිශය නිහඩ බවත් අතරින් එකවරම ඔබට පෙර කිව් ග්ලොව(ර්)ම් කෘමින් සිය ගණනක් ගුහාවේ ඔබගේ හිසට ඉහළින් හා දෙපසින් ඇති ගුහා බිත්තිවල එල්ලීගෙන අතිදීප්තිමත් ජෛව-ආලෝකය නිකුත් කරමින් ඇදහිය නොහැකි භූගත අත්දැකීමක් ඔබට ලබාදෙයි. ඔබ නැවතත් ගිය මාර්ගය ඔස්සේම ගුහාවෙන් ඉවතට පැමිණෙන අතර, ‘Cavern House’හිදී ඔබට බොහෝ විස්තර සහ වීඩියෝ පට නැරබීමටත්, විඩාව නිවාගෙන නැවතත් තේ ආනෞ විල හා අවට පරිසරයේ අසිරිය නරඹමින් බෝට්ටු ගමනකින් තේ ආනෞ වෙත පැමිණිය හැක. මෙම මුළු අත්දැකීම පැය දෙකහමාරක් පමණ වේ. මෙම ගුහා සංචාරකයන්ට ප්‍රථම වරට හඳුවන්වා දී ඇත්තේ වසර තුනක ප්‍රයත්නයකට පසුව 1948 වසරේ දී තේ ආනෞ ග්ලොව(ර්)ම් ගුහා සොයාගත් ගවේෂක ලෝසන් බරෝ (Lawson Burrow) විසිනි. ඔබට තේ ආනෞවලට ක්වීන්ස්ටවුන් සිට හෝ ඉන්ව(ර්)කාගිල්  සිට පැය දෙකහමාරක් තුනක් අතර කාලයකදී ඔබගේම රථවාහනයකින් ළඟා විය හැක. 

වයිටමෝ ග්ලොව(ර්)ම් කේව්ස් (Waitomo Glowworm Caves) 

ග්ලොව(ර්)ම් විශේෂය දැක ගත හැකි අනෙක් අතිශය ප්‍රසිද්ධ ස්ථානය වන්නේ වයිටමෝ ග්ලොව(ර්)ම් ගුහාවන්ය. මෙය විලක් ආශ්‍රිතව නොවන අතර, ගුහාව තුළ දී වියළි ප්‍රදේශයක භූගත හුණුගල් ආශ්‍රිත භූ රූප, ෆොසිල සහ ගුහාවල වෙසෙන තවත් ජීවීන් වර්ග අධ්‍යනය කරමින් තේ ආනෞ ගුහාවට වඩා වැඩි කාලයක් ගමන් කළ හැක. මෙහි සෙල්සියස් අංශක 12ත් 14ත් අතර අගයක උෂ්ණත්වයක් පවතී. මෙම ගුහාවේ ඇති උසම ස්ථානය ‘Cathedral’ එක මීටර දහඅටක් පමණ උස අතර තේ ආනෞ ගුහාවේ ‘Cathedral’ එකට වඩා වැඩි ඉඩකඩක් ඇත. ගුහාවක මෙබඳු ස්ථානයක් සංගීතඥයන්ට හොඳ ධ්වනි (acoustics) තත්ත්වයක් ස්වාභාවිකව නිර්මාණය කර දෙන බැවින් මෙම ස්ථානයේ දී ප්‍රසිද්ධ කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණ සිදු කර ඇත.  ඔබගේ මාර්ගෝපදේශකයා වුවද මෙම ස්ථානයේදී ගීත ගායනා කිරීමට ඉඩ ඇත. වයිටමෝ ගුහාවේ ඔබ පඩිපෙළවල් ආධාරයෙන් ගුහාවේ පහළ තට්ටුවලට යා යුතුය. පහළම කොටසේ ඔබට ජල පහරක් ඇති බව පෙනේ. මෙහි දී තේ ආනෞ ගුහාවේ මෙන්ම බෝට්ටුවකට ගොඩවන්නේ මේ වනතෙක් පැවතී විදුලි ආලෝකය නොමැතිවය. ඒ ග්ලොව(ර්)ම් කෘමින් සිය ගණනක් තේ ආනෞහීදී මෙන්ම ජෛව-ආලෝකය නිකුත් කරමින් සිටින අත්දැකීම විදගැනීමටය. මෙම ස්ථානය තේ ආනෞ ගුහාවේ ග්ලොව(ර්)ම් විශේෂය දිස්වූ ස්ථානයට වඩා විශාලය. තවද මෙම ගමනේ ඔබ ගුහාවෙන් ඉවතට පැමිණෙන්නේ ඔබ ගොඩවූ බෝටුට්වෙන්මය. නැවත ආ ගමන්මගේ ගුහාවෙන් ඉවතට පැමිණීමක් සිදුවන්නේ නැත. Māori බසින් ‘වයි’ යන්නෙන් ජලය යන අරුතත්, ‘ටමෝ’ යන්නෙන් විවරය හෝ ඇතුල් වන ප්‍රවේශය වැනි අරුතකුත් ඇති නිසා ‘වයිටමෝ’ ලෙස මෙම ගුහාව හැදින්වීම වඩා අර්ථාන්විත බව අපට වැටහේ. ගුහාවට ඇතුළු වූ වේලාවේ පටන් ඉවතට එන තෙක් ඔබට පැයක පමණ කාලයක් ගතවේ. දහඅට වෙනි සියවසේ අවසාන දශකයේ සිට පමණ වයිටමෝ ග්ලොව(ර්)ම් ගුහා ආශ්‍රිත සංචාර කර්මාන්තය පැවත ඇත. ඔබට වයිටමෝ වෙත ඕක්ලන්ඩ් සිට පැය දෙකහමාරක කාලයකින් ද රොටරුවා සිට පැය දෙකකින් පමණ ද රථවාහනයකින් පැමිණිය හැක. වයිටමෝ ගුහා අසළම අරනුයි (Aranui) සහ රුආකුරි (Ruakuri) නමින් තවත් ගුහා පද්ධති දෙකක් ඇත. මේවා හා සබැදි ත්‍රාසජනක ‘black water rafting’ සහ ‘abseiling’ ක්‍රියාකරකම් ඔබට කළ හැක.  

ඡායාරූප #4

වයිටමෝ සිට කෙටි වේලාවකින් ළඟා විය හැකි මරොකෝපා (Marokopa) දියඇල්ල සහ Mangapohue ස්වාභාවික පාලම ගැනත් යමක් සටහන් කිරීමට මම සිතුවෙමි. උස මීටර 35ක් වුව ද මරොකෝපා දියඇල්ලේ වෙනස්ම සුන්දරත්වයක් ඇත (ඡායාරූප #4). ඔබට පැය භාගයකට අඩු කාලයකින් පහසු මංපෙතක් ඔස්සේ (walking track) මෙම දර්ශනය නැරඹිය හැක. Mangapohue ස්වාභාවික පාලම යනු හුණුගල්වලින් සැදුණු මීටර 17ක් උස ආරුක්කුවකි. මෙය යටින් Mangapohue ජලපහර ගලා බසී. මෙම සොබාදහමේ අපුර්ව නිර්මාණයත් ඔබට පැය භාගයකට අඩු කාලයකින් ඉතා පහසුවෙන් ඇවිද ගොස් ගවේෂණය කළ හැක. මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් ඇතොත් අප වෙත දන්වන මෙන් ඉල්ලා සිටී. තවත් නවසීලන්ත සංචාරක අත්දැකීමක් ලබන කලාපයේත් බලාපොරොත්තුවන්න.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.