fbpx
17 C
New Zealand
Saturday, April 20, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මවුන්ට් කුක් ජාතික උද්‍යානය | චන්න ගුණසේකර

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

නවසීලන්තයේ උතුරු සහ දකුණු දූපත් දෙකේම කරන ලද සංචාරවලින් අනතුරුව, ඔබ දවසක නවසීලන්තයේදී යා යුතුම ස්ථානයක් ඇත්ද, කියා අසන පැනයට මගේ පිළිතුරෙන් මෙම සංචාරක විශේෂාංගයේ පළමු ලිපිය මවුන්ට් කුක්   ජාතික උද්‍යානය (Mount Cook National Park)  ගැන ඉදිරිපත්කිරීමට සිතුවෙමි. මෙම ප්‍රදේශය මා හත් වතාවක් සංචාරය කර ඇත්තේ ඇයි කියාත්, ඔබත් දවසක එම පරිසර පද්ධතියේ ඇති සුන්දරත්වය අත්විඳිය යුත්තේ ඇයි කියාත්, ඔබ දැනටමත් මෙහි සංචාරය කර ඇත්නම් තවත් නව අත්දැකීමක් විදිය හැකි බවත් කියා පෑමට මෙම ලිපිය ඉවහල් වේ යැයි මම සිතමි. 

1953 වසරේදී නවසීලන්ත රජය විසින්, වර්ග කිලෝ මීටර් හත්සිය විස්සකට සමීප කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා විශාල, වර්ග කිලෝ මීටර් හත්සිය විසි දෙකක් විශාල වූ භුමි ප්‍රදේශයක් සහිත මවුන්ට් කුක් (Mount Cook) කඳු වැටිය ජාතික උද්‍යානයක් ලෙස නම් කරන ලදී. උසින් පිදුරුතලාගල කන්ද මීටර් 2,524 වන අතර මෙය මීටර්  3,724 ක් වේ. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ, නවසීලන්තයේ උසම කන්දවන වන මවුන්ට් කුක්හි දිගින් වැඩිම ග්ලැසියර් පද්ධතිය වන, වර්ග කිලෝ මීටර් එකසිය එකක භුමියක් වසා ගත්, කිලෝ මීටර් විසි හතක් දිග ටැස්මන් ග්ලැසියරය පිහිටා තිබීමයි. 


යා හැකි මාර්ග: Christchurch සිට: SH1 -> SH79 Geraldine පසුකර Fairlieහිදී SH8 ඔස්සේ Lake Tekapo පසු කර Lake Pukaki හිදී SH80ට පිවිසෙන්න. ගමනට ගතවන කාලය (ආසන්න වශයෙන්): පැය 4
Dunedin සිට: SH1 -> SH83 Oamaru පසුකර Omaramaහිදී SH8 ඔස්සේ Twizel පසුකර SH80. පැය 3 විනාඩි 45 
Queenstown සිට: SH6 -> SH8 Cromwell පසුකර Omarama වලට පැමිණ Twizel පසුකර SH80. පැය 3    SH80 ඔස්සේ ගමන් ගනිද්දී Lake Pukaki, turquoise නිල් පැහැයෙන් දිස්වන අතර මවුන්ට් කුක් ඡායාරූප #1 ලෙස දිස්වන්නට පටන් ගනී. ග්ලැසියර ආශ්‍රිත පවතින විල්වල මෙම පැහැයට හේතුව ග්ලැසියර වලින් හටගෙන ගලා ආ අතිශය සිහින් අංශුමය පාෂාණ කොටස් විල මතුපිටට පතිතවන හිරු කිරණ පරාවර්තනය කිරීම නිසාය.

යුරෝපීය ජාතික කපිතාන් ජේ.එල්. ස්ටෝක්, 1851දී, ඉංග්‍රීසි ජාතික දේශාටක කපිතාන් ජේම්ස් කුක්ට ගෞරවයක් පිණිස, මවුන්ට් කුක් නවසීලන්තයේ උසම කන්ද ලෙස නම් කළද, මවුරි ජාතිකයන් මෙය ‘Aoraki’ ලෙස  හදුන්වන්නේ “වලාකුළු සිදුරුකරන්නා” යන අරුත ඇතිව බව සඳහන් කළ යුතුය. මීට අමතරව මෙහි ඇති කඳු එකසිය හතලිහෙන් මීටර 3,000ට වඩා උස කඳු දහනමයක්  සහ භූමියෙන් සියයට හතලිහක් වසා ගත් ග්ලැසියර් හැත්තෑ දෙකක් පිහිටා ඇත. මෙම අතිශය සංවේදී මෙන්ම අද්විතීය පරිසර පද්ධතිය යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන “Te Wahipounamu”හි කොටසකි.  

මවුන්ට් කුක් ජාතික උද්‍යානයයේ සුන්දරත්වය අත් විඳීමට ඇති පහසුම ක්‍රමය සංරක්ෂණ දෙපාර්තමේන්තුව (Department of Conservation, DOC) නම් කර ඇති ඇවිදින මංපෙත් (walks/hikes/tramping tracks) ඔස්සේ ඇවිද යාමෙන්ය. ඔක්තෝම්බර් සිට අප්‍රේල් යන මාස බොහෝ දුරට මෙවන් ගමන් සඳහා සුදුසු කාල වේ. ඉතා පහසු මෙන්ම අති දුෂ්කර, දින ගණනාවක් ගතවන මංපෙත් ගණනාවක් මෙහි ඇත. ඒ අතුරින් White Horse Hill Campground රථ ගාලෙන් ආරම්භ වන හූකර් නිම්න  මාර්ගය (Hooker Valley Track) බොහෝ සංචාරකයන්ගේ ජනප්‍රියත්වයට පාත්‍ර වන්නේ මෙම ගමන ලොව විශාල තම buttercup වර්ගයේ මල ද ඇතුළුව තවත් නවසීලන්තයට ආවේණික ශාක වර්ගවලින් හෙබි තැනිතලා නිම්නයක් හරහා වීමත්, ගමනේ දී ඉතා දර්ශණීය ලෙස දිස්වන මවුන්ට් කුක් කන්දත්, පසු කරයාමට ඇති එල්ලෙන පාලම් තුනත්, යාමට සහ ඒමට පැය තුන හතරක පමණ කාලයක් ගත වන නිසාත්, ගමනේ අවසානයේ වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වයකින් හෙබි Hooker Lake, Hooker ග්ලැසියරය සහ මවුන්ට් කුක් කන්දත් එකවර දිස් වන දර්ශනය නිසාවෙනි (ඡායාරූප අංක 2). 

ඡායාරූප අංක 2

 මෙම ගමනේ පළමු මිනිත්තු පහළොවේ දී පමණ ඔබට Mueller Lake සහ Mueller ග්ලැසියරය දිස්වේ, එයද චමත්කාර ජනක සොබා සෞන්දර්යක් ගමනට එක් කරයි. ටැස්මන් ග්ලැසියර රථ ගාලෙන් ඇරැඹෙන Blue Lakes හා ටැස්මන් ග්ලැසියර මං පෙත තවත් සුවිශේෂී ගමනක් වන්නේ යාමට සහ ඒමට ගත වන කාලය මිනිත්තු 40 ක් පමණ වීමත්, අවසන් නැරඹුම් ස්ථානයට මවුන්ට් කුක් කන්ද පෙර සදහන් කළ  ගමනට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දිශාවකින් දිස්වීමත්, තවත් පසෙකින් ටැස්මන් ග්ලැසියරය සහ ටැස්මන් විල(Tasman Lake)  ද, තවත් පසෙකින් පුකාකිවිල( Lake Pukaki) ට ජල මූලාශ්‍රය වන ටැස්මන් ගඟ මැකෙන්සි(Mackenzie) ද්‍රෝණිය ඔස්සේ ගලා යන අයුරුත් දිස්වන නිසාය. මෙම ගමනට යම්තාක් දුරකට ශාරීරික යෝග්‍යතාවයක් අවශ්‍යවන්නේ මෙහි අවසන් නැරඹුම් ස්ථානයට ගල් පියගැට පෙළකින් යා යුතු බැවිනි. 

රයිෆල්මන්(Rifleman) නැමැති නවසීලන්තයේ කුඩාම පක්ෂියා දැකගත හැකි ස්ථානයක් ලෙසත් මෙය ප්‍රසිද්ධියක් උසුලයි. ඉතා අසීරු මෙන්ම රැයක් පහන් කළ යුතු Mueller Hut මංපෙත ඔස්සේ යාමට කැමතිනම් DOC යටතේ ඇති Mueller Hut හි නවාතැන් සඳහා වෙන්කරවා ගැණීමට  අවශ්‍යය. (වැඩි විස්තර www.doc.govt.nz)

මෙම පරිසරය ආශ්‍රිත මුදල් ගෙවා කළ හැකි ක්‍රියාකාර කම් කිහිපයක් ද ඇත. බොහෝ සංචාරකයන් පවසන පරිදි මෙම ප්‍රදේශයේ ඇති සුන්දරත්වය තවත් විඳීමට නම් ගුවනින්ද යා යුතුය. එලෙසම හෙලිකොප්ටර් යානයකින් හෝ ski-plane එකකින් ටැස්මන් ග්ලැසියරය මත ගොඩ බැසීමට ද  හැකි ය. (ඡායාරූපඅංක 3). වෙනස් කරන ලද 4WD සහ ATV වර්ගයේ රථ වාහනයකින්ද ටැස්මන්` නිම්නයේ ඔබට ගමන් කළ හැක. ටැස්මන් විලෙහි බෝට්ටු සවාරියක් යෑමෙන් ටැස්මන් ග්ලැසියරයෙන් ගැලවී ආ අයිස් කුට්ටි අසලට සමීප වීමටද පිළිවන. මෙම සේවා කාලගුණය මත දැඩිව රඳා පවතින අතර ඇතැම් ක්‍රියාකාරකම් සැප්තැම්බර් මස සිට මැයි මස දක්වා පමණක් ක්‍රියාත්මක වේ.  

ඡායාරූප අංක 3

මවුන්ට් කුක් ජාතික උද්‍යානය සහ ඊට යාබද මැකෙන්සි ද්‍රෝණිය එක්ව ගත් කල තවත් ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් උසුලන විශේෂත්වයක් පවතී. ඒ 2012 වසරේදී, වර්ග කිලෝමීටර 4,300කින් යුත් මෙම ප්‍රදේශය ආලෝක දුෂණය අවම කලාපයක් බැවින් International Dark Sky Reserve එකක් ලෙස පිළිගැනීමත් සමඟ ලොව විශාලතම Dark Sky භූමි භාගය බවට Aoraki Mackenzie International Dark Sky Reserve භූමි භාගය පත්විය. එම නිසාම, රාත්‍රී අහසේ ක්ෂීරපථය, තාරකා, ග්‍රහලෝක සහ අනෙකුත් තාරකා මණ්ඩල පියවි ඇසින් මෙන්ම තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉතා පැහැදිලිව නිරීක්ශණය කිරීමේ පහසුව නිසා තාරකා විද්‍යාව හදාරන්නන් සහ ඒ පිළිබඳ උනන්දු සැමගේ ආකර්ෂණයට මෙම ප්‍රදේශය ලක්වී ඇත. 

මේ සොබාදහම් මවගේ අපුර්ව භූ සැකසුමේ සොඳුරු සේවා සපයන්නා ලෙස  මවුන්ට් කුක් කඳු පාමුලට කිලෝ මීටර් දොළහක දුරකින් මවුන්ට් කුක්              ගම්මානයක් (Mount Cook Village) නමින් වෙනස්ම ආරක ගම්මානයක් පිහිටා ඇත. සංචාරකයනට අවශ්‍ය  නවතම තොරතුරු, කාලගුණ වෙනස්වීම් සහ ඇතැම් මුදල් ගෙවා කරන වෙන් කිරීම් මෙහි පිහිටුවා ඇති සංචාරක මධ්‍යස්ථානය වන  ආරෝකි මවුන්ට් කුක් ජාතික වනෝද්‍යානයේ අමුත්තන් සඳහා වන කාර්‍යාලයේ (Aoraki/Mt Cook National Park Visitor Centre) ඇත.  

මවුන්ට් කුක්  ජාතික උද්‍යානයයේ කඳු ශිඛරවල සහ ග්ලැසියර්වල මනස්කාන්ත දර්ශනයන්ගෙන් පිරුණු මෙම ගම්මානයේ ප්‍රධාන නවාතැන් සපයන ස්ථාන හතරක් ඇති අතර, ඉන් එක් ස්ථානයක් ඓතිහාසික හෝටලයක් වන හර්මිටේජ් (Hermitage) හෝටලයයි. මෙම හෝටලයේ පිහිටුවා ඇති Sir Edmund Hillary Alpine Centreහි, ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් මෙන්ම පුරෝගාමියෙක් වූ ශ්‍රීමත් එඩ්මන් හිලරි මෙම ප්‍රදේශයට ඇති සබැදියාවත් ඔහු හා බැදුණු ඉතිහාස කරුණුත්, ඔහුට පුද කළ ගුණ සැමරුමක් ලෙස ප්‍රදර්ශනයට තබා ඇත. ඔහු පළමුව මවුන්ට් කුක්  තරණය කර ඇත්තේ 1948 වසරේදීය.

මවුන්ට් කුක් කන්ද තරණය කිරීමට ඔබ පළපුරුදු කඳුනගින්නෙක් විය යුතු අතර ඒ සඳහා දින හයක් පමණ ගත වන වාණිජ සේවා සපයන ස්ථානයකින් කලින් මුදල් ගෙවා වෙන්කරවීමක් සිදුකළ යුතුය. මෙම ගම්මානයේ ප්‍රධාන වශයෙන් ඇති අවන්හල් තුන අතරින් Old Mountaineers Cafe නම් අවන්හල සංචාරකයන් අතර ප්‍රසිද්ධවී ඇත්තේ එහි ඇති ඉතිහාස කරුණු සහ මවුන්ට් කුක්හි විශිෂ්ට දර්ශනයයි. 

මෙම ගම්මානයට කිලෝ මීටර් විසි දෙකකරින්, පුකාකි විල (Lake Pukaki )ඉව්රුතලාවේ Glentanner නමින් ඇති නවාතැන් මධ්‍යස්ථානයත් මෙම ප්‍රදේශය නැරඹීමට ඉතා සොඳුරු ස්ථානයක්වේ. මවුන්ට් කුක් මත ළා හිරු කිරණ පතිත වන උදෑසනක් මෙහි සිට ඉතා චමත්කාර ජනකව දිස්වේ. මවුන්ට් කුක්        ගම්මානයට යාබද අනෙක් ප්‍රධාන නගර දෙක වන්නේ කිලෝ මීටර් හැට හයක පමණ දුර ට්වීසල් (Twizel) සහ කිලෝ මීටර් එකසිය හතරක  පමණ දුර පිහිටි ටෙකපෝ (Tekapo) වේ. 

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් ඇතොත් අප වෙත දන්වන මෙන් ඉල්ලා සිටීමි. මෙවන් තවත් සොබා දහමේ අපූර්ව නිර්මාණයක නවසීලන්ත සංචාරක අත්දැකීමක් ලබන කලාපයේත් බලාපොරොත්තු වන්න.

චන්න ගුණසේකර

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.