ආයිමත් සීනුව නාද වුණා. මල් පොකුරකුත් අරන් දොර ඉස්සරහ හිටගෙන හිටියෙ ලස්සන තරුණියක්. දැකලා තියෙන බවක් දැනුණත් මට නිච්චියක් නෑ ඉතින්.
‘අම්මේ කොහොමද?’ මං මොහොතකට තුෂ්නිම්භූත වුණා.
‘ඔයාට කොහොමද අම්මේ? මං මීරා.’ එයා උද්යෝගයෙන් ඇහුවා.
‘මීරා? මීරා ඉස්කෝලෙ ගිහින්නෙ.’ මං හිතුවට කිව්වෙ නෑ. ඒත් මං එයාට ඇතුළට එන්න ඇරිය. එයා මල් ටික පෝච්චියට දාන අතරෙ මං කාමරේට එබිලා බැලුවා. මීරගෙ පොත් එකක්වත් මේසෙ උඩ නෑ. මීරා ඉස්කෝලෙ යන්න ගියේ අද උදේ නේද? නෑ. එහෙනම් ඊයෙ ද? හිටපු ගමන් හිතට එන භයානක, මූසල, පැටලිලි සහිත හැගීම. ඒ වික්ෂේපය. මං ඉක්මනටම ආයිත් සාලෙට එබුණ.
‘මං ඔයාට පුඩිමක් හදන් ආවා.’ එයාගෙ හිනාවෙන් මං ආයිත් සන්සුන් වුණා.
‘හ්ම්, ස්තුතියි, මං එහෙනම් ඔයාට කියන්නම් ‘අලුත් මීරා.’ කියලා’
‘ඔයා හැමදාමත් මට ඔය නම කියනවා.’ එයා පැනගෙන ඇවිත් මට හාදුවක් දුන්නා.
‘ඩේවිඩ් හවසට වැඩ ඇරිලා ආවම, මං ඔයාට සංග්‍රහ කරන්න මොනා හරි ගෙන්න ගන්නම්කො.’ මං කියද්දි එයාගෙ ඇස්වල හීනි කදුළු පටලයක් මතු වුණා.
‘මං හැමදාම ඔයාට මතක් කරනවනේ, එයා…’ එයා එතනින් කතාව නැවැත්තුවා.
හොදට අහල පුරුදුයි වගෙ දැනුණ ඒ වාක්‍යය එයා නතර කරපු එකට මං සතුටු වුණා. ‘අලුත් මීරා’ දවසම මං එක්ක හිටියා. මාව නෑව්වා. මගෙ කොණ්ඩෙ ලස්සනට කැරළි කළා. රසම රස දවල් කෑමක් උණුවෙන්ම උයලා දුන්නා. මං ආසම සින්දු මා එක්ක කිව්වා. අන්තිමේදි එයා ‘ එහෙනම් මං ගිහින් එන්නම් අම්මේ,’ කිව්වම මට දැනුනේ පුදුම හිස්කමක්.
‘හෙටත් එන්න’ නාදුනන ‘අලුත් මීරා’ ට කියන ගමන් මං හාදුවකුත් දුන්නා.
එයා ගියාට පස්සෙ සාංකාවක් දැනුණා. වෙලාවට අතට ගන්න, Reminiscence Book (මතක පොත) කියලා ගහලා තියෙන ලොකු පින්තූර පොත මං එළියට ගත්තා. මගෙ පුංචි හුරතල් මීරා මුලින්ම නර්සරියට ගිය දවස තමා මං ආසම පින්තූරෙ. ඊළගට අපි දෙන්නා පල්ලියෙදි එකට ගත්ත පින්තූරෙ. ඒකෙ මීරා ටිකක් ලොකුයි. මං ටික ටික පිටු පෙරළන් ගියා. අන්තිම පිටුවෙ, මගුල් ඇදුමින් සැරසුන ‘අලුත් මීරා’ එක්ක, මං හිනාවෙවී හිටියා.
සටහන – මෙහි සිදුවීම, වයසක මවක් මීරාගේ කුඩා කාලය සිහිකරමින් ජීවත් වෙයි. දැන් මවට මතක පැරණි දේවල් සමහරක් පමණි. ඇය බැලීමට එන්නේ දියණිය ලෙස වැඩුණූ මීරායි. එහෙත් මවගේ මතකය පුංචි මීරාගේ ළමා කාලයයි. ඩිමෙන්ෂියා රෝගීන් ඔය වගේය. මීරාගෙ අම්මට ඩිමෙන්ෂියාව කියා දැන ගත්තේ ඇයට ටික ටික දේවල් අමතක වෙන්න ගත් විටය. මෙවැනි අයට කවදාටත් වඩා ආදරය රැකවරණය අවශ්‍යය වේ.
මනෝ-වයෝවෘද්ධ ඒකකය,
මානසික රෝග පිළිබද විශේෂඥ මධුෂානී ඩයස්
මුල්ලේරියාව රෝහල – ශ්‍රී ලංකාව