ගාමිණී සරත් විජේකෝන් මහතා ලියූ ගීත කිහිපයක් රසිකයෙකු විසින් අප වෙත එවනු ලැබ ඇත. මේ, එම පද රචනයන් පිළිබඳ අදහස් කිහිපයකි.
පිය සෙනෙහසට ගී කව් තව ලියැවෙනවා…
ගාමිණී සරත් විජේකෝන් ගී පද රචනා.
වෙන්ව ගිහින් නුඹ කල්ප සතක් ගෙවිලා
ඉදිකඩ පැන ගෙන වරෙන් මගේ පුත…
ඉදිකඩ පැන ගෙන වරෙන් මගේ පුත
ඉස්සර වාගෙම—සිනහ වෙලා…’
අප අතහැර ඔබ ආදරය කළ දැරියක සමග පිටව ගොස් කාලයක් වෙනවා. ඉනිකඩ පැන හිනා වී යළි දැක ගන්නට වරෙන් මගේ පුත.
‘සිප්හල අහවර— වී නුඹ එනතුරු
නෙත් දල්වා ගෙන මා සිටි මොහොතේ
පැටවුන් අතරින් දුටු නුඹෙ සිනහව
තවම රැඳී ඇත— හද පතුලේ…’
එදා පාසල ඇරී එන දරුවන් අතර මා දුටු ඔබේ සිනහව තවම මට සිහිපත්වේ.
‘කිරි සුුවඳට ඇඟ දැවටුන දා සිට
සත් මහලින් බැඳි සිහින පුරාවට
මාලිග බිම වැටුනත්…මට කම්නැත
නුඹ සතුටින් නම්— දිවිය පුරා…
පිපුන මලක…’
ඔබ කිරි සුවඳ මා ඇඟ දැවටුණ දා සිට මැවූ සත්මහල් සිහින මාලිගා බිඳ වැටුණත් කම් නැත, ඔබ සතුටින් නම්…ඉනිකඩ පැන හිනා වී යළි දැක ගන්නට වරෙන් මගේ පුත.
ඕක්ලන්ඩ්හි, සරත් විජේකෝන් මහතා රචනා කළ විවිධ ශිල්පීන් ගැයූ ගී සමූහය අතරින් එක් ගීයක සාරාංශය එසේය. පුතෙකු යෙහෙළියක හා හිතුවට ගෙයින් පිටවන විට සිරිත් විරිත් හා පීතෘ ආදරය යන දෙයාකාරයෙන්ම පියෙක් පීඩනයට පත් වේ. සත්‍ය නම් ඒ මුහුණ යළි දකින තෙක් සෑම පියෙක්ම ආ-මග බලමින් සිටින වගය. මෙම සංවේදී අත්දැකීම සරත් විජේකෝන් අලංකාරයට ගීයකින් සිතුවම් කරයි.
වියපත් පියෙක් ඉස්තෝප්පු හාන්සි පුටුවේ ඇලවී රෑ වනතුරු ඉණිකඩ දෙස බලා සිටියි. ඒ අතර මිතුරන් සමග පාසල ඇරී එන පුතුගේ සෙල්ලංකාර සිනහව ඔහුට සිහිපත් වේ. පුතු පැමිණියේ නැත. එහෙත් ඔහු එක ප්‍රාර්ථනාවක් කරයි. ඒ සෑම පියෙකුගේම ප්‍රාර්ථනයකි. ‘අපට මොනවා වුණත් කමක් නෑ, උඹලා හොඳින් ඉන්නවා නම් ඒ ඇති.’
ගීයෙහි අදහස තීව්‍ර කරන බොහෝ යෙදුම් ඇත. උදාහරණ ලෙස; පිපුන මල, පිරිපුන් දැරියක සඳහාද, සුවඳ ආදරය සඳහාද, සත් මහල් මාලිග බලා පොරොත්තු සඳහාද යෙදුණ රූපකයන්ය. ඉදිකඩ පැන ගෙන වරෙන්, නුඹ සතුටින් හිටපන් වැනි යෙදුම් ප්‍රාර්ථන කාව්‍යයෝක්තීන්ය. පාසල් ඇරී එන පුතුගේ සිනහව දැකීම අතීත සිදුවිම් සිහිපත් කිරීමකි. කල්ප සතක් ගෙවිලා, සත් මහලින් බැඳි මාලිග වැනි අතිශයෝක්ති කාව්‍යාලංකාරයන්ය.
දරුවෙකුගේ උපත, සුරතලය හා වියෝව ගැන කෙරුණ නිර්මාණ විශ්ව ගීත සාහිත්‍යයේ කොතෙකුත් ඇත. එහෙත් මෙහි වස්තු බීජය කරගත් සිදුවීම, පියෙකුගේ දෘශ්ටිකෝණයෙන් සාහිත්‍ය නිර්මාණ වලට අප රට වුව යොදා ගෙන ඇත්තේ ඉතා අඩුවෙනි. මෙම සංවේදී බිම්කඩ තෝරා ගැණීමෙන් මාලනී ජයරත්න වැනි කිහිප දෙනා අතරට නවසීලන්තයෙන් සරත් විජේකෝන්ද එක් වේ.
මෙහි තනු හා සංගීතය සාගර සම්පත් විසින්ද ගායනය ක්‍රිශාන්ත එරන්ද විසින්ද කරනු ලැබ ඇත. තාලය සංවේදී ගීයකට හොදින් ගැලපේ. ක්‍රිශාන්ත මියුරුව හසුරුවන ස්වරහඬ ප්‍රතිභාපූර්ණ ගායකයන් කිහිප දෙනෙකුම සිහිපත් කරවයි. මේ අනුව, අනෙකුත් ශිල්පීන් සමග එකතුව සරත් විජේකෝන් රචනාකර ඉදිරිපත් කළ ‘පිපුණ මලක සුවඳට පැටලී’ යන ගීය හොඳ කලා නිර්මාණයකි.
‘කසාවත දරන මගෙ පොඩි පුතේ’ අපට ලැබුණ තවත් ගීතයකි. පියෙකු පාර දෙස බලා ඉන්නේ ඉපනැල්ල හා දියකඩිති උඩින් පැන එන වයසේ සිටි දරුවෙකුට ඒ ලෝකය අහිමි කරවූ පාපයට පුතෙකුගෙන් සමාව ඉල්ලන්නටය. සාගර සම්පත්ගේ තනුවට දයාන් විතාරණ ගායනය කරන,
‘කසාවත දරන මගෙ පොඩි පුතේ මේ අහන්
මගෙ දෑස පියවෙන්න කාලෙ දැන් ඇවිදින් හෙමින්…’ ඒ අනුවේදනීය කතාව දිග හරියි.
එමෙන්ම, සාගර සම්පත්ගේ තනුවට සහ සංගීතයට ඔමායා ජයරත්න ගායනය කරන ‘මිරිවැඩි සඟලක්’ ගීතයද පීතෘ ආදරය කුළුගන්වයි .පාවහන් රහිතව ගව් ගණනක් දුර ගෙවා තමාට මිරි වැඩි සඟලක් ගෙන ආ පියා ගැන දියණිය සිහිපත් කරයි.
‘මිරිවැඩි සඟලක් නොදුටු දෙපා යුග- ගව් ගනනක් දුර ඇවිද ගිහින්
සියුමැලි මගෙ පා යුග සනසන්නට- මිරිවැඩි සඟලක් අරන් ඇවිත්
සිනා සුනා මතකයි අප්පච්චී
සිනා සුනා මතකයි…’
ඊට අමතරව, සාගරගේ තනුවට සහ සංගීතයට සුනන්ද කවිරාජ් ගායනය කරන ‘මුතු වරුසාවක’ ගීය මවකට කරන උපහාරයකි.
‘මුතු වරුසාවක කඳුලු ගලා ගිය
ආදර බර දෑසින්
මහ සාගරයක සෙනෙහස වින්දෙමි
නැලවී ඔබෙ තුරුලේ
අම්මේ ඔබෙ තුරුලේ…’
මහ සිප්හල, මගෙ උර තලයේ, මගෙ සිත රිදවා, සඳට හොරා හා ප්‍රථම ප්‍රේමයක් වෙනත් තේමා පාදක කරගෙන ලියා ඇත. අමිල වික්‍රමසිංහගේ සංගීතයට ගාමිණී සිරිවර්ධන ගයන මනමාල සුදු සේල හා මාධව හේවාවසම් ගේ සංගීතයට ගාමිණී ගයන කන්ජි පුරම් වෙනම තලයක ගීත දෙකකි.
‘මනමාල සුදු සේල ඇඳලා රුවින් ඉන්න
රන්තෝඩු සත්මාල පළඳා සිනාසෙන්න
හඳ සේම බබලන්න
තරු සේම දිලිසෙන්න
කවදාද නුඹ එන්නෙ හැමදාම ළඟ ඉන්න…’ එය ගමේ ආදර කතාවක කොටසකි.ගාමිණීගේ හඬ අව්‍යාජ ගැමි බව අඟවයි.
‘කන්ජි පුරම් සාරි ඇඳන් මාල පළඳලා
දොරට වඩින්නට නැටුමක් නටන්න උන්නා.’ඒ දමිළ යුවතියකගේ බලාපොරොත්තුවයි. එහෙත්;
‘අහසින් ගිනි මල් වැටුණා
ගහකොළ බිය වී සැලුණා … …’
‘සරෝජනී විරාජිනී සුබාෂිනී පමෝදනී
මල් මාලා තියාන අත බලාන උන්නා… ‘ ඒ යුද්ධයේ ප්‍රතිවිපාකයයි.
මුල්ම ගීත ත්‍රිත්වයේ යම් විශේෂයක් ද ඇත. ඒ, ටී.එම්.ගැයූ, ‘අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…’ ගීයෙන් ඉඟි කළ, ‘පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී…’ යන අඩුව යන්තමින් හෝ පුරවන නවසීලන්තයේ තවත් ගී රචකයෙක් ගැන සටහනක් තැබීමට අපට හැකි වීමය. හේ නමින් සරත් විජේකෝන්ය. ඔහුට ශ්‍රී ලංකන්ස් අපි සුබ පතමු.