fbpx
13.5 C
New Zealand
Friday, April 26, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ආධ්‍යාත්මික දියුණුව: මිනිසුන් හැදීමෙන් රට හදන අධ්‍යාපනයක් | ආචාර්‍යය රෝහණ උල්ලුවිස්හේවා.

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අධ්‍යාපනය කුමක් සඳහා ද?  රට හැදීම සඳහා ද නැතිනම් මිනිසුන් හැදීම සඳහා ද? බොහෝවිට අපට ඇසෙන්නේ රට හැදීම ගැනයි. රටේ ආර්ථිකය ගොඩනැගීම ගැනයි. අනෙක් දියුණු රටවල තත්ත්වයට අපේ රටත් දියුණු කිරීමේ අවශ්‍යතාවය ගැනයි. රට හැදීමට අවශ්‍ය ආකාරයෙන් නවීන දැනුම, තාක්ෂණය හා පුහුණුවෙන් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අරමුණු කරගත් අධ්‍යාපනයක අවශ්‍යතාවය ගැනයි. නිදහස ලැබීමෙන් පසු ගත වූ දශක හතකට වැඩි කාලයක් තුළ සිදු වූ සෑම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකම අරමුණ වූයේ මෙයයි. බලාපොරොත්තු වූ ආකාරයට රට හැදී නැත. හැදෙන පාටකුත් නැත. 

මිනිස්සුන් හදන්නේ නැතිව රට හදන්න පුළුවන් ද යන ප්‍රශ්නය දැන් මතුවෙමින් පවතිනවා. අපේ රට තවමත් නොහැදී තියෙන්නේ ප්‍රාග්ධනය, දැනුම, තාක්ෂණය හා පුහුණු ශ්‍රම බලකායක් අප රටේ නොතිබීම ද? එසේ නොවේ නම් පවතින ප්‍රාග්ධනය, දැනුම, තාක්ෂණය හා පුහුණුව රටේ පොදු යහපත සඳහා ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කැප කිරීමට සැදී පැහැදී සිටින රටට ආදරය කරන අවංක වු, සත්‍යගරුක වූ, විනයගරුක වු, නීතිගරුක වු, පරිත්‍යාගශීලි හා පරාර්ථකාමී වූ තම සුඛ විහරණය පොදු යහපත වෙනුවෙන් කැප කිරීමට සූදානම් මිනිසුන් අප රටේ හිඟවීම ද? අප රට තවමත් නොහැදී තිබීමට ප්‍රධාන හේතුව දෙවැන්න බව දැන් පැහැදිලි වෙමින් තියෙනවා.

එසේ වුවත් දැනට පවතින අධ්‍යාපන ක්‍රමය මගින් මිනිසුන් හැදීමක් සිදුනොවන බවයි පෙනෙන්නේ. මන්ද රට හැදීමට අවශ්‍ය ආකාරයේ ඉහතින් සදහන් කරන ලද යහපත් ලක්ෂණ දරන උගත් පිරිසක් බිහිකිරීමට  අධ්‍යාපනය සමත් වී නැති බවයි පවතින සාක්ෂිවලින් තහවුරුවන්නේ. පවතින අධ්‍යාපනයෙන් බිහි කරන ලද උගතුන් හා පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලැබීමට නොහැකි වූ නූගතුන් සංසන්දනය කරන විට උගතුන් නූගතුන්ට වඩා පරාර්ථකාමීත්වය, අවංක බව, පරිත්‍යාගශීලී බව, විනය ගරුක බව, නීතිගරුක බව, පොදු යහපත වෙනුවෙන් තම සුඛ විහරණය කැප කිරීමට සූදානම් බව හා රටට ආදරය කරන බව ආදී ගුණාංග අතින් ඉහළ මට්ටමක සිටින බවක් පෙන්වීමට සාක්ෂි නැහැ. උගත් නූගත් දෙපිරිසම මෙම ගුණාංග අතින් පහළ මට්ටමක සිටින බවයි පෙනෙන්නේ.

එසේනම් දැන් අපට අවශ්‍යවන්නේ රට හැදීම හෝ රටේ ආර්ථිකය හැදීම මෙන්ම රටේ මිනිසුන් හැදීමත් අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමයක්. විසි එක්වන සියවසට අවශ්‍ය නවීන දැනුම, තාක්ෂණය හා පුහුණුව නොඅඩුව ලබාදෙන එමෙන්ම අන්‍යයන්ට හා පොදුවේ රටටත් ආදරය කරන ජාතිවාදී, ආගම්වාදී හෝ කුලවාදී නොවූ අවංක, සත්‍යගරුක, විනයගරුක, නීතිගරුක තම පෞද්ගලික සුඛ විහරණය පොදු යහපත වෙනුවෙන් කැප කිරීමට සූදානම් පරාර්ථකාමී පුද්ගලයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බව  පැහැදිලිවම පෙනෙනවා. වෙනත් වචනවලින් කිවහොත් රට හැදීමට පමණක් නොව මිනිසුන් හැදීමටත් යොමු වූ අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. මිනිස්සුන් නොහදා රට හදන්න බැරි බව දැන් සක්සුදක් සේ පැහැදිලි නිසයි. පාසල් දරුවන් තුළ මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ද ධනාත්මක වෙනසක්  සිදුවන ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.

මෙන්න මෙතනදි තමයි අධ්‍යාපනයට ආධ්‍යාත්මිකත්වය (spirituality) ඇතුල් කිරීමේ අවශ්‍යතාවය මතු වෙන්නේ. ආධ්‍යාත්මිකත්වය යන වචනය ඇසෙන විටම බොහෝ දෙනකුට සිතෙන්නේ මේ කතා කරන්නේ ආගම ගැන කියලයි. නමුත් එය එසේ නොවෙයි. ආධ්‍යාත්මික  යන වචනය “අධි” සහ “ආත්ම” යන සංස්කෘත වචන දෙකේ එකතුවෙන් සෑදී ඇති බව සංස්කෘත භාෂාව පිළිබඳ විශාරදයින්ගේ අදහසයි. “අධි” වචනයෙන් උසස් හෝ උතුම් යන අර්ථයත් ආත්ම වචනයෙන් පුද්ගලයා යන අර්ථයත් දෙනවා. එවිට අධි+ආත්ම හෝ ආධ්‍යාත්මය යන වචනයේ අර්ථය පුද්ගලයකුට එළඹිය හැකි උසස්ම තත්ත්වය වශයෙන් දක්වනවා. පුද්ගලයෙක් මෙම උසස්ම තත්ත්වයට එළඹුණු විට එම පුද්ගලයාගේ චර්යාවන් තුළින් විද්‍යාමාන වන උසස් ගුණ සමුදාය ආධ්‍යාත්මික ගුණ වශයෙන් හඳුන්වනවා. අසීමිත ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව, පරාර්ථකාමීත්වය, අවංකබව හා පොදු යහපත වෙනුවෙන් කැප වීම ආදී බොහෝ ගුණ ආධ්‍යාත්මික ගුණ වශයෙන් පිළිගන්නවා. වෙනත් වචනවලින් කියතොත් යහපත් මනුෂ්‍යයකු තුළ තිබිය යුතු ගුණ වශයෙන් සෑම සමාජයක් හා සංස්කෘතියක් තුළම  පිළිගන්නා ගුණ ආධ්‍යාත්මික ගුණ වශයෙන් හඳුන්වන්න පුළුවන්.

ආධ්‍යාත්මික ගුණ පිළිබඳ මෙම අර්ථකථනය නවීන විද්‍යාව සමඟ ඉතා හොඳින් ගැලපෙනවා. මනෝවිද්‍යාවට අලුතෙන්ම එකතු වූ විෂය ධාරාවක් වන Transpersonal Psychology පිළිබඳ විශාරදයන් පෙන්වා දෙනවා මනුෂ්‍ය වර්ගයා (Homo sap) තවමත් තම පරිණාමය සම්පූර්ණ කොට මනුෂ්‍යයන් වශයෙන් එළඹිය හැකි උසස්ම තත්ත්වයට එළඹී නැති බව. ශාරීරික වශයෙන් පරිණාමය වී අන් සියලු ජීවීන් අභිබවා මනුෂ්‍යයා බවට පත් වූ නමුත් මානසික වශයෙන් තවමත් පරිණාමය සම්පූර්ණ කොට නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

අප පරිණාමයේ තවමත් ඉතිරි වී ඇති කොටස ඔවුන් හඳුන්වනවා මනෝ ආධ්‍යාත්මික (Psycho – spiritual) දියුණුව වශයෙන්. ඒ වගේම ස්නායු විද්‍යාවේ (Neuro science) මෑත කාලීන පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා, ආධ්‍යාත්මික ගුණ වශයෙන් අප හඳුන්වන ගුණ සමුදාය සෑම මනුෂ්‍යයකුගේ මොළයේ දෘඩව රැහැණිකරනයව(Hardwired) ඇති බව. ඒ කියන්නේ එම ගුණ මිනිස් මොළයේ නොමැකිය හැකි ආකාරයට රැඳී පවතින බව. මින් පෙනී යන්නේ ආධ්‍යාත්මික ගුණ මනුෂ්‍යයින් වශයෙන් අපට උරුම වූ ගුණ සමුදායක්. අපේ සැබෑ ගතිය පරාර්ථකාමීත්ව යයි. ආත්මාර්ථකාමීත්වය පසුව අපේ මොළයට ඇතුළු වී පැලපදියම් වූ තාවකාලික ලක්ෂණයක්. අධ්‍යාත්මික දියුණුවේ දී සිදුවන්නේ අප තුළ සැඟවී පවතින පරාර්ථකාමීත්වය ඇතුළු මෙම ආධ්‍යාත්මික ගුණ සමුදාය සජීවී ලෙසින් අප චර්යාවන් තුළින් විද්‍යාමාන වීමයි.

සෑම ආගමක්ම ආධ්‍යාත්මික ගුණ අගය කරනවා. ආධ්‍යාත්මික ගුණ පුද්ගලයා තුළින් විද්‍යාමාන වන ආකාරයට පුද්ගලයින් ආධ්‍යාත්මිකව දියුණු වීම සඳහා විවිධ ක්‍රමවේද විවිධ ආගම් මගින් ඉදිරිපත් කර තියෙනවා. සෑම ප්‍රධාන ආගමකම ප්‍රධාන අරමුණ වන්නේ ආධ්‍යාත්මික දියුණුව යි. සෑම ප්‍රධාන ආගමකම හරයවන්නේ ආධ්‍යාත්මික දියුණුවයි. ඒ කියන්නේ එම ආගම අදහන පිරිසට, පුද්ගලයින් හෝ මනුෂ්‍යයෙක් වශයෙන් එළඹිය හැකි උසස්ම තත්ත්වයට එළඹීම සඳහා ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදය පහදා දීමයි.  ඒ ඒ ආගම්වල නිර්මාතෘවරුන්ගේ අභාවයෙන් පසු ගත වූ දීර්ඝ කාලය තුළ දී ඔවුන්ගේ ඉගැන්වීම්වල හරය වූ ආධ්‍යාත්මික දියුණුව ක්‍රමයෙන් නොවැදගත් තැනකට ඇද වැටී ඒ වෙනුවට දේශපාලන හා වාණිජමය වශයෙන් වැදගත් වූ වෙනත් අරමුණු ඒ ඒ ආගම්වල හරය බවට පත් වී තිබෙනවා. ඒ නිසා අද බොහෝ ආගම් ආගමික සංවිධාන හා ඒවායේ නායකත්වය දරන පූජකවරුන් මගින් අධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු යහපත් සමාජයක් ගොඩනැගීමට එතරම් දායකත්වයක් සිදුවන්නේ නැහැ. අන්‍යයන් සමග සුහදව, සම්පත් බෙදා හදාගෙන සාමකාමී සහජීවනයෙන් ජීවත්විය හැකි පුද්ගලයන් බිහි කිරීමට වඩා අන්‍ය ජාතීන්, අන්‍ය ආගම් හෙලාදකින, තම ආගමේ නාමයෙන් අන්‍ය ආගමිකයන්ට හිංසා පමුණුවන, ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණු පිරිසක් බිහි කරන බව අද පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. මේ නිසා ආධ්‍යාත්මිකත්වය හා ආගම එකක් ලෙස සලකන්න බැහැ. 

මේ නිසා ආගම ඉගැන්වීම මගින් ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු දරු පිරිසක් බිහි කළ හැකි යැයි සිතන්න අමාරුයි. මෙතෙක් කල් සෑම පාසලකම   මෙන් ආගම ඉගැන්වූ නමුත් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුදැරියන් අධ්‍යාත්මිකව දියුණු වූ බවක් පෙනෙන්නේ නැහැ. ආගම පාසල්වල ඉගැන්වීම මගින් ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු, පරාර්ථකාමී, පොදු යහපත වෙනුවෙන් කැප වූ විනයගරුක, නීතිගරුක, සත්‍යගරුක  පුරවැසියන් බිහි වූ බවක් පෙනෙන්න නැහැ. පාසල්වල ආගම ඉගැන්වීම මගින් එවැනි පුරවැසියන් බිහි  වූවානම් රට මේ වගේ තියෙන්න බැහැ. ආධ්‍යාත්මික ගුණයෙන් හෙබි යහපත් පුද්ගලයින් තැනින් තැන ඉඳහිට සුළු වශයෙන් හමුවන නමුත් පොදුවේ ගත් විට අප සමාජය ආධ්‍යාත්මික වශයෙන් ඉතා නොදියුණු තත්ත්වයක පවතින බවයි පෙනෙන්නේ. එය උගත්, නූගත් හා දුප්පත්, පෝසත් යන සෑම සමාජ ස්ථරයකටම, සෑම  ආගමකටම හා ජාතියකටම පොදු වූවක්. 

ආධ්‍යාත්මික වශයෙන් නොදියුණු සමාජයකින් බිහිවන හා එබඳු සමාජයක ජීවත්වන දේශපාලන නායකයින්, පාලකයින් හා වෘත්තිකයින් මෙන්ම ආගමික නායකයින් හා පූජකවරුන් ද ආධ්‍යාත්මිකව නොදියුණු හා ආධ්‍යාත්මික ගුණ නොපවතින පුද්ගලයින් වීම පුදුමයක් නොවේ. අවංක බව, නීතිගරුක බව, ජනතා සේවයට කැපවීම, ජාති ආගම්වාදී නොවී සියලු ජන කොටස්වලට සමානව සේවය කිරීම හා තම පෞද්ගලික සුඛ විහරණය යහපත වෙනුවෙන් කැප කිරීම වැනි ගුණ ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වෙනුවට තම තනතුරු සහ බලය පොදු යහපතට වඩා තම සුඛ විහරණය සඳහා යොදා ගැනීම පුදුමයට පත්විය යුතු දෙයක් නොවේ.

ආගම ඉගැන්වීමෙන් ආධ්‍යාත්මිකව දියුණු වූ සමාජයක් බිහි කිරීමට නොහැකි බව පෙනී යන්නේ නම් අපට ඊළඟට ඉතිරිවන විකල්පය වන්නේ ආධ්‍යාත්මිකත්වය විධිමත් අධ්‍යාපන ක්‍රියාදාමයට ඇතුළත් කිරීමයි. මෙම විකල්පය හා බැඳුණු අමතර වාසි කිහිපයක් ද පවතිනවා. ආගම ඉගැන්වීමේ දී මෙන් නොව ආධ්‍යාත්මිකත්වය ඉගැන්වීමේ දී එය විද්‍යාත්මක සාක්ෂි සහිතව තාර්කිකව ගැනීමට හැකිවීම එක් ප්‍රධාන වාසි සහගත තත්ත්වයක්. මන්ද පෙර මෙන් නොව අද පාසල් අධ්‍යාපනය ලබන විසි එක්වන සියවසේ දරුවන් විද්‍යාත්මකව හා තාර්කිකව සිතන පිරිසක්. නවීන විද්‍යාව සමග නොගැලපෙන අතාර්කික වූ විශ්වාස හා කතාන්දර මත පදනම් වූ ආගමික ඉගැන්වීම් පිළිගැනීමට ඔවුන් සූදානම් නැහැ. ඇතැම් විට ගුරුවරුන්ට දෙමාපියන්ට හා පූජකවරුන්ට ඇති ගෞරවය නිසා ප්‍රශ්න නොකොට පිළිගනු ලැබුවත් තමා ඉගෙන ගත් ආගමික ඉගැන්වීම්වල අතාර්කික බව හා සාවද්‍යතාවය වැටහෙන විට ඔවුන් ඒවා අත්හැර දමනවා. තම ජීවිතයට බද්ධ කර ගන්නේ නැහැ. 

අනිත් වාසිදායක තත්ත්වය වන්නේ ආගමික නොවූ විද්‍යාත්මක විෂයයක් වශයෙන් ආධ්‍යාත්මිකත්වය උගන්වන බැවින් එය වෙනස් වෙනස් ආගම්වලට අයිති දරුවන් සිටින පන්තිකාමරවල ඉගැන්වීමට හැකිවීමයි. මෙය බහු ආගමික සමාජයට වඩාත් යෝග්‍ය වූවක්.

ආධ්‍යාත්මිකත්වය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීම අනාගතයේ දී ආගම් අතර සහජීවනය ඇති වීමට හේතු වෙනවා. විවිධ ආගම්වලට අයත් දරුවන් ආධ්‍යාත්මිකත්වය විද්‍යාත්මක විෂයක් වශයෙන් හදාරන විට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා තම තමන්ගේ ආගම්වල පටු සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. ආධ්‍යාත්මික ගුණ මනුෂ්‍යයින් වශයෙන් තමාටත් තම පන්තියේ අන්‍ය ආගමික දරුවන්ටත් උරුම වී ඇති බවත් එම ගුණ සමුදාය තම තමන්ගේ චර්යාව තුළින් විද්‍යාමාන වන පරිදි අධ්‍යාත්මිකව දියුණු වී පූර්ණ මනුෂ්‍යයෙක් බවට පත්වීම තම ජීවිතයේ පරමාර්ථය බවත්, තම ආගම එම පරමාර්ථය මුදුන්පත් කරගැනීම සඳහා එහි ආදි කර්තෘතුමා විසින් ඉදිරිපත් කරන ලද එක් ක්‍රමවේදයක් පමණක් බවත්, තවත් එවැනිම ක්‍රමවේද අනෙක් ආගම්වල ආදි කර්තෘවරුන් විසින් ද ඉදිරිපත් කොට ඇති බවත් ඔවුන්ට අවබෝධ වෙනවා. 

වෙනස් වෙනස් ක්‍රමවේද තුලනාත්මකව, විද්‍යාත්මකව හා තාර්කිකව අධ්‍යයනය කරන විට ඔවුන්ට ලැබෙන පුළුල් හා ගැඹුරු අවබෝධය තුළින් තම තමන්ගේ ආගම්වලින් තම මනසේ රෝපණය කරන ලද පටු සීමාව හා ආගමික මමත්වය(Religious Ego තම ආගම පමණක් හරි, අන් සියලුම ආගම් වැරදියි) ඉක්මවා ගොස් සෑම විටම පොදු වූ මනුෂ්‍යත්වය දකින්න පුළුවන් වෙනවා.

එමෙන්ම තම තමන්ගේ ආගම්වල ආදි කර්තෘවරුන් ගේ අභාවයෙන් පසු විවිධ දේශපාලනික හා වාණිජමය ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් පසු කාලීන ආගමික නායකයින් විසින් එකතු කරන ලද ඉගැන්වීම්, පුද පූජා හා විශ්වාසයන්හි නිශ්ඵලභාවය ඔවුන්ට වටහා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එවිට විවිධ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ආගම් අතර භේද වපුරන ආගමික නායකයින්ට, දේශපාලන නායකයින්ට, පූජකවරුන්ට තවදුරටත් එම කාර්යය කරගෙන යාම අපහසු වෙනවා. තම තමන්ගේ ආගම්වල හරය වූ ආධ්‍යාත්මිකත්වය නැවත සොයා ගැනීමටත් එය අනුගමනය කිරීමටත් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා.

කෙසේ වුවත් ආධ්‍යාත්මිකත්වය ඉගැන්විය යුත්තේ පන්ති කාමරයට සීමා වූ විභාග මඟින් දරුවන්ගේ දැනුම මනින සාම්ප්‍රදායික විෂයක් ලෙසින් නොව පිහිනීම, සංගීතය හා ශාරීරික ව්‍යායාම වැනි ප්‍රායෝගික විෂයයක් ලෙසයි. පන්ති කාමර තුළ න්‍යායාත්මක දැනුම ලබා දීමෙන් අනතුරුව ඔවුන් තුළ ආධ්‍යාත්මික දියුණුව ඇති කරන ප්‍රායෝගික අභ්‍යාසයන්හි යෙදවීම අවශ්‍යයි. මෙබඳු ප්‍රායෝගික අභ්‍යාස අතර ආගමික අභ්‍යාස මෙන්ම ආගමික නොවන නවීන විද්‍යාව මත පදනම් වූ ආධ්‍යාත්මික අභ්‍යාස ද පවතිනවා. ආධ්‍යාත්මිකව  දියුණු 

වීමෙහිලා මෙම බොහෝ අභ්‍යාසවල සාර්ථකත්වය විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කරලා තියෙනවා. එකිනෙකාගේ ආගම, සංස්කෘතික පසුබිම හා පෞද්ගලික රුචි අරුචිකම් අනුව තම තමාට වඩාත් ගැලපෙන අභ්‍යාස හෝ ක්‍රමවේද තෝරා ගන්න පුළුවන්.

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට රටේ මිනිසුන් හදා රට හදන්න නම් රටෙහි අධ්‍යාපනයට ආධ්‍යාත්මිකත්වය ඇතුළු කිරීමේ අවශ්‍යතාවය දැන් පැහැදිලියි. ආධ්‍යාත්මික ගුණයෙන් සපිරුණු පුද්ගලයෙක් රටක් හැදීමේ පූර්ව අවශ්‍යතාවයක්. මේ දිනවල කෝවිඩ් වසංගතය නිසා අප රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මෙම වසංගතය මෙපමණ දරුණු තත්ත්වයකට පත් වුණේ රටේ මිනිසුන් විනයගරුක නොවීම, නීතිගරුක නොවීම, සත්‍යගරුක නොවීම, ආත්මාර්ථකාමී වීම හා වගකීම් රහිතව හැසිරීම් නිසා බව දැන් රහසක් නොවේ. මේ සියල්ල ආධ්‍යාත්මික නොදියුණු බවේ ලක්ෂණ. රට හැදීම සඳහා, රටේ ආර්ථිකය හැදීම සඳහා රටේ මිනිසුන් හැදීම අවශ්‍ය බවට මෙය සරල උදාහරණයක්. අධ්‍යාපනයට ආධ්‍යාත්මය ඇතුළු කිරීම අවශ්‍යයි රටේ මිනිසුන් හැදීම සඳහා. එහෙත් මෙය කෙටිකාලීන විසඳුමක් නොවේ. අඩු තරමින් තවත් පරම්පරාවක් හෝ දෙකක් ගත වේවි. එහෙත් අපේ රටේ අනාගත සුභ සිද්ධිය සඳහා එය අවශ්‍යයි. 

නිමි.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.