fbpx
11.9 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කලා කෙත අස්වද්දන සොඳුරු මිනිසා – Interview with Priyananda Wijesundera by Niranjan Herath

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

අලගියවන්න මුකවෙටිතුමාගේ සුබාෂිතයේ එන “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත – වෙනින් අනික් දෙයකට අනිකෙක් සමත’’ යන කවිය අභියෝගයට ලක් කල මිනිසුන්ද ඉඳහිට හෝ අපට දකින්නට ලැබේ. නවසීලන්තයේ වෙසෙන එවැනි එක් පුද්ගලයෙක් සමග පසුගියදා අපි පිළිසඳරක යෙදුනෙමු.

සියලුම කලා මාධ්‍යයන්හි එකසේ දස්කම් පා ඇති ඔහු නමින් සිංගප්පුලිආරච්චිගේ දොන් උදය ගුප්ත ප්‍රියානන්ද විජේසුන්දරයි.

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගයන “බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ” යන ගීතය අසා ඇති හැම කෙනෙක්ම පාහේ දන්නා ප්‍රියානන්ද විජේසුන්දරයන් බොහෝ දෙනෙක් හඳුනාගෙන ඇත්තේ ගී පද රචකයෙකු ලෙස වුවත් ඔහු පුවත්පත් කලාව, ගුවන්විදුලිය, සිනමාව සහ රූපවාහිනිය යන සියලුම ක්‍ෂෙත්‍රයන්හි අගතැන්පත් පුද්ගලයකි.

ශ්‍රීLankaNZ වෙනුවෙන් ඔහු සමග අප කල කතා බහයි මේ.

ඉස්සෙල්ලම කියන්ඩකෝ ඔබතුමා දැනට මොනවාද කරන්නෙ කියලා.

මම දැනට ඕක්ලන්ඩ් නුවර පෞද්ගලික රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයක සහ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. ඊට අමතරව ගීත රචනා කරනවා. සංගීත සංදර්ශන වලට ගායකයෙක් විදියට, නිවේදකයෙක් විදියට, ශබ්ද පරිපාලකයෙක් විදියට සහභාගී වෙනවා. ඔය වගේ විවිධ දේවල් කරනවා.

ඒ කියන්නෙ බොහොම කාර්ය බහුල ජිවිතයක්?

එහෙමමත් නැහැ, මට මෙහෙම වැඩ කරලා පුරුදුයි. අනිත් එක කලා කටයුතු වල යෙදිලා ඉන්නකොට, මට නම් වැඩ අධිකයි කියලා දැනෙන්නෙ නැහැ. මම හිතන්නෙ ඒ වැඩ වලින් අපිට ලැබෙන මානසික සතුට සහ ආශ්වාදය නිසා අපිට වෙහෙසක් දැනෙන්නේ නැහැ.

එතකොට ඔබ තවමත් ගීත රචනා කරනවා කිව්වෙ ප්‍රවීණ ගායකගායිකාවන්ටද?

අපෝ නැහැ, ඒ අය සමග මගේ හිතවත්කම් සම්බන්ධකම් තවමත් තියෙනවා, ඒ වුනාට ඒ ප්‍රවීණ ගායකගායිකාවන් ගොඩාක් අය දැන් නිර්මාණ කරනවා අඩුයි නේ. අනිත් එක මම කොහොමත් එහෙම වර්ග කරගෙන ගීත රචනා කරේ නැහැනේ.

ඔබ එහෙම කිව්වට අපි අහල තියෙනවා ඔබ අපේ රටේ ප්‍රවීණ ගායකගායිකාවන්ට දහසක තරම් විශාල ගීත ප්‍රමාණයක් ලියලා තියෙනවා කියලා?

ඔව්, ඒ වගේ ප්‍රමාණයක් ලියලා තියෙනවා මම හිතන්නෙ, ඒ වුනාට ඒවා ඔක්කොම ප්‍රවීණයන්ටම නෙවෙයි. හැමෝටම ලියපු ඒවා. අනිත් එක ඔය සංඛ්‍යාව ගැනත් යමක් කියන්න ඕන, මම ගාව මම ලියපු ගීත ඔක්කොම නැහැ, අනිත් එක සමහර ඒවා පටිගත වෙලා නැහැ, පටිගත කරපු ඒවත් අදවෙනකොට කොහේ තියෙනවද කියලා මමවත් දන්නෙ නැහැ.

පටිගත නොකරපු ගීත කිව්වේ?

ඒ කියන්නෙ, මම ගුවන් විදුලියට සම්බන්ධ වුනෙ පාසැල් යන කාලෙනෙ, එතෙන්දි මට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා අඳුනාගන්න ලැබුනා. එතුමා මාව  ගීත රචනා කරන්නට උනන්දු කලා. ඊට පස්සෙ මම ලියන ගීත කරුණාරත්න අබේසේකර මහත්මයා ලවා අනුමත කරවගෙන, ඒ කාලෙ තිබුන ළමාපිටිය කියන වැඩසටහනේ ගායනා කරවනවා. ළමාපිටිය කියන්නෙ අපි වගේ කුඩා දරුවන්ට අත්වැලක් දෙන්න තිබුන වැඩසටහනක් නිසා ඒ ගීත පටිගත කිරීමක් කරන්නෙ නැහැ, ඒ වෙලාවෙ කිව්වා, එච්චරයි.

 

ඒ වගේම ඒ කාලෙ පටිගත කිරීම් නෙවෙයි තිබුනෙ, තැටිගත කිරීම්. එක තැටියක ගීත දෙකයි. ඉතින් මේක වියදම් අධික වැඩක්නේ. ඒ වගේම ඔය තැටිගත කිරීමත් වාදක මඩුල්ලක් ඉස්සරහ, සජීවීව කරන වැඩක්. ඒ නිසා වෙන්ඩත් ඇති ඔය ගීත තැටිගත නොකරෙ.

තව ඔය ගුවන් විදුලියේ වැඩි ප්‍රසිද්ධියක් නැති ගායකයොත් මම ලියපු ගීත කිව්වා, ඒවත් ඉතින් තැටිගත වෙන්නෙ නැහැනෙ, රචකයයි ගායකයයි දෙන්නම ආධුනික වුනාම.

මේ ළමාපිටියෙන් බොහොම දක්ෂ ගායකගායිකාවන් බිහිවුණා නේද?

ඔව්, නන්දා මාලනී, මාලනී බුලත්සිංහල, නිරංජලා සරෝජනී  පවා ආවේ ළමාපිටියෙන්,

එතකොට ඔබේ තැටිගත කරපු පළමු ගීතය මොකක්ද?

මුලින්ම තැටිගත කරේ, “හැන්දෑ කොරේ ගෙදර පැත්තෙ” කියන ගීතය. ඒ 1967 වසරේදී, ඒක ගායනා කලේ ලාලනි සෝමසිරි. ලාලනී කියන්නෙ, අතුල සෝමසිරි මහත්මයාගේ බිරිඳ. මම එතුමාව දැන අඳුනගෙන තිබුනෙත් නැහැ. මම ගීත ලියලා ඔය ඒ කාලෙ හිටපු ගායකගායිකාවන්ට යවනවනෙ, එහෙම යවපු එකක් එතුමාගේ බිරිඳ ගායනා කරන්ඩ තෝරාගෙන තිබුනා.

 

අපි බොහෝ විට අහලා තියෙනවා, ඔබේ නමත් එක්ක කියැවෙන විශේෂණ පදයක්, “ප්‍රවීණ ගේය පද රචක” කියලා. එතකොට ඔබ මේ තරම් ප්‍රවීණත්වයකට ආවෙ කොහොමද?

ඒ කාලෙ මිනිස්සු අතරට නම ගෙනියන එක ලේසි නැහැ. කොහොම හරි අර තැටිගත කරපු මගේ ගීතය නිසා මගේ නමත්  ටිකක් ගායකගායිකාවෝ දැනගත්තා. ඒ නිසා තව අය මට කියලා ඔය ගීතයක් දෙකක් ලියවා ගත්තා.

ඔහොම ඉන්නකොට මේ කාලෙ මඩවල එස් රත්නායක, කරුණාරත්න අබේසේකර, මහගම සේකර වගේ ප්‍රවීණ අය එකතුවෙලා ගීත රචකයන්ට සම්මන්ත්‍රණයක් කරා. ඒකට මමත් ගියා. මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය අජන්තා රණසිංහ වගේ අයත් මේ සම්මන්ත්‍රණයට ඇවිත් හිටියා. මේ වගේ වැඩසටහන් වලට සහභාගී වුන නිසා මගේ ගීත රචනා වැඩි දියුණු වුණා. ඒ වුනාට ගීතයක් ලියලා, ගායකයෙකු ලවා කියවලා තමන්ගේ නම රටේ මිනිස්සු අතරට ගෙනියන එක අද කාලේ වගේ එදා ලේසි නැහැ. මොකද තිබුනෙ ගුවන් විදුලිය විතරයිනෙ.

ඉතින් කොහොමද ඔබේ ගීත ජනතාව අතරට ගෙන ගියේ?

මෙහෙම යනකොට ගුවන් විදුලි සංස්ථාවේ පාලක මණ්ඩලය තීරණයක් ගත්තා “හොඳ ගීත” ටිකක් නිර්මාණය කරන්ඩ ඕන කියලා. ඒ නිසා තමයි ඔය “තරංගනී”, “ප්‍රබුද්ධ ගීත” වගේ වැඩ සටහන් ඒ කාලේ බිහිවුනේ.  මේ වැඩසටහනටත් මමත් ලිව්වා. මේවට ලියපු නිසා මට නැගී එන ගීත රචකයෙකු විදියට නමක් හදාගන්න පුළුවන් වුනා.

එතකොට ඔබ නිවේදකයෙක් වුනෙ කොහොමද?

මම පොඩි කාලෙ ගෙදරදි කට්ටිය එකතු කරගෙන, ඔය ගුවන් විදුලියෙ යනවගේ පොඩි පොඩි වැඩ කරනවා. හැබැයි මමවත් අපේ ගෙවල්වල කිසිකෙනෙක් වත් මම නිවේදකයෙක් වෙයි කියලා නම් හිතුවෙ  නැහැ. කොහොම හරි මේවා දැකපු අපේ මාමා කෙනෙක් ගුවන් විදුලියේ ළමා පිටියට මගෙ ඉල්ලුම් පත්‍රයක් දැම්ම. එතනින් තමයි ටික ටික මේ ගමන පටන් ගත්තෙ.

ප්‍රසිද්ධ වේදිකාවක මුලින්ම නිවේදක වැඩක් කරපු එකනම් පුදුම අහම්බයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, අගමැතිණිය කාලේ එතුමියගෙ සහභාගිත්වයෙන් කතරගම ශුද්ධභුමියක් කරන උත්සවය තිබුණා. ජී එස් බී රාණි පෙරේරා මහත්මිය තමයි මේ උත්සවය ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරන එක නිෂ්පාදනය කරේ. නිවේදකයො විදියට වැඩ කරේ ප්‍රේමකීර්ති මහත්මයයි අමරබන්දු රූපසිංහ මහත්මයයි.

මම ඔය ගීත ලියන නිසා, රාණි පෙරේරා මහත්මිය මාව අඳුනනවනෙ. ඉතින් මේ වැඩේට ගිය කණ්ඩායමට එතුමිය මාවත් එකතු කර ගත්තා. මට තිබුන රාජකාරිය තමයි රෙකෝඩරය උස්සා ගෙන යන එක. මේ රෙකෝඩරෙන් නිවේදකයො කියන ඒවා අරගෙන, ගුවන් විදුලියේ ජංගම රථයට දීලා එතනින් තමයි කොළඹට යවන්නෙ. කොළඹින් තමයි ඊළඟට මුළු රටටම දෙන්නෙ.

කොහොමහරි එදා මූලික උත්සවේ ඉවර වෙලා ලංකාවේ ජනප්‍රිය ගායකගායිකාවන්ගේ සහභාගිත්වයෙන් සංගීත සංදර්ශනයක් තිබුනා. මේක පටන් ගන්ඩ යනකොට නිවේදකයො දෙන්නම නැහැ. බණ්ඩාරනායක  මැතිණිය ගැන මම කියන්ඩ ඕන නැහැනෙ, හැමෝම දන්නවනෙ. මොනවා කරලා හරි වැඩේ නොකලා නම් මුළු ගුවන් විදුලියම එදා ගෙදර. ඒ නිසා රාණි පෙරේරා මහත්මිය මට කතා කරලා කිව්වා, “මල්ලි අපේ දෙන්නා කොහෙ ගිහින්ද මන්දා, බලාගෙන ඉඳලා බැහැ, මැතිනිත් ඇවිත් ඉන්නෙ. ඔයා නිවේදනය කරන්ඩ. නැත්නම් අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා” කියලා කිව්වා. රටේ අගමැතිනියි, ඇමති මණ්ඩලයයි, මහා ගොඩක් රාජ්‍ය නායකයොයි ඉස්සරහ ජිවිතේට ගුවන් විදුලියෙන් රටටම කතා කරලා නැති මගේ කකුල් වෙව්ලන්ඩ ගත්තා.

ඒත් රාණි පෙරේරා මහත්මිය නෙවෙයි මට කිසි බුරුලක් දුන්නෙ. “ඔන්න මල්ලි එහෙනම් හෙඩ් ෆෝන් එක” කියලා එයාම ඒක මගේ ඔලුවේ දැම්මා, දාලා කිව්වා, “දැන් ඔයාට ඇහෙයි  ප්‍රධාන පාලක මැදිරියෙන් ඔයාට මයික්‍රෆෝනය භාර දෙනවා කියලා කියනවා. එතකොටම පටන් ගන්ඩ” කියල. මටත් කර කියා ගන්ඩ දෙයක් නැහැ, මට හෙඩ් ෆෝන් එකෙන් ඇහුනා “දැන් අපි මයික්‍රෆෝනය යොමු කරනවා කතරගම පූජා භුමියේ සිටින නිවේදකට” කියනවා, ඊට පස්සෙ මම කතා කරගෙන, කරගෙන ගිහින් මුල්ම ගායනයට අමරදේව මහත්තයට අරාධනා කරා.

කොහොම හරි අමරදේව මහත්මයා ගීතය ගයනා කරන අතරෙ අපේ නිවේදකයෝ දෙන්නා ආවා. මේක තමයි මගේ පළමු ගුවන්විදුලි නිවේදක අවස්ථාව. හැබැයි අපි මේක ගුවන් විදුලියෙ පාලනාධිකාරියට නොකියා රහසක් විදියට තියා ගත්තා. එතැන හිටපු අය ඇරෙන්ඩ මම හිතන්නෙ අදටත් කවුරුත් දන්නෙ නැහැ, එදා ඒ නිවේදනය කරේ මම කියලා.

ඊට කාලෙකට පස්සෙ මම ගුවන් විදුලියේ සහන නිවේදක තනතුරකට ඉල්ලුම් කරලා සමත් වුනා. ඒ වුනාට මගෙ ගුරු වෘත්තීය නිසා ඒක දිගටම කර ගෙන යන්ඩ බැරි වුනා. ඒ වුනාට රෑට තියෙන නිසා සංගීත සංදර්ශන වල නිවේදක කටයයුතු වලට නම් සම්බන්ධ වුනා.

ඊළඟට අපි දන්නා තරමින් ඔබ සිනමාවටත් සම්බන්ධයි. ඒ ගැනත් ටිකක් කියමුද?

ඒක වුනෙ මෙහෙමයි. මම ඉස්කෝලේ ටිකක් ලොකු පන්තිවල ඉන්නකොට මට චිත්‍රපටි පිස්සුවකුත් හදුනා. ඒ නිසාම ඒ කාලෙ ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන්, රජයේ චිත්‍රපට අංශයෙන් කරන තිරනාටක රචනා පාඨමාලාවකට මම ගියා. ඒ පාඨමාලාව අවුරුද්දක එකක්, ඔය සුමිත්‍රා රාහුබද්ධ, දයාරත්න රටගෙදර වගේ අද ඉන්න ප්‍රවීණයොත් හිටියා. ඒ වුනාට මට නම් ඒ පාඨමාලාව කරා කියලා සිනමාවට සම්බන්ධ වෙන්ඩ අවස්ථාවක් ලැබුනෙ නැහැ.

 

ඔහොම කාලයක් ඉන්න කොට එස් ඒ ප්‍රේමරත්න මහත්මයා මට චිත්‍රපටියක දෙවෙනි සහය අධ්‍යක්ෂක විදියට ඇවිත් වැඩ කරන්ඩ කියලා කිව්වා. දයා විමලවීර මහත්මයා තමයි ඒකෙ අධ්‍යක්ෂක, රන්ජිත් සිරිවර්ධන මහත්මයා පළමු සහය අධ්‍යක්ෂක.

ඊට පස්සෙ, තව දයා විමලවීර මහත්මයාගෙ මිහිදුම් සිහින චිත්‍රපටියෙයි තව කීපයකයි වැඩ කරා. ඒවාගෙ වැඩ කරලා චිත්‍රපටියක වැඩ කරන හැටි ඉගෙන ගත්තා.

එතකොට ඒ කාලෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසා අතරමග වැඩ නතර කරලා තිබුන “සිව්රඟ සේනා” කියන චිත්‍රපටිය මම ඉවරකරලා දුන්නා. හැබැයි ඒකෙ කොහෙවත් මගෙ නමක් නම් නැහැ. එහෙම නම නොදානවාට එකඟ වෙලා තමයි මම වැඩේ කරේ.

“දෙව්දුව” කියන  චිත්‍රපටය තමයි මම මුලින්ම ගිවිසුම් ගහලා මගේ නමින්ම වැඩ කරපු චිත්‍රපටිය. ඒ චිත්‍රපටියෙ මම විජය, මාලනී, අනෝජත් එක්ක රඟපෑවත් එක්ක. 

තව මම හිතන්නෙ අපි රුපවාහිනී මාධ්‍ය ගැන කතා කලේ නැහැ නේද?

ඔව් නේ? ඔය රූපවාහිනිය ලංකාවෙ පටන් ගත්තෙ ෂාන් වික්‍රමසිංහ මහත්තයානේ. එයා තමයි ඔය ITN එකේ මුල් අයිතිකාරයා. ඒ කාලෙ ඕක පුද්ගලික චැනල් එකක්. අනිත් එක ඕක විතරයි ලංකාවෙ තිබුනෙ. එතකොට මේ චැනල් එකට රුපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන්න තව පුද්ගලික ආයතන දෙකක් විතර කොළඹ තිබුනා. මගේ තිබුන චිත්‍රපටි සම්බන්ධ පළපුරුද්ද නිසා, ඔය දෙකෙන් එකක් වුන “වීඩියෝ ග්‍රැෆික්ස්” කියන තැන මට වැඩ කරන්න ලැබුනා.

මෙතන වැඩ කරගෙන යනකොට ජාතික රූපවාහිනියත් ලංකාවෙ පටන් ගත්තා. ඒකට ප්‍රේමකීර්ති මහත්මයා එහෙමත් සම්බන්ධ වුනානෙ, ඒ කාලේ.  කොහොම හරි මමත් නිවේදකයෙක් විදියට ජාතික රූපවාහිනියට සම්බන්ධ වුනා. එතනදී මම සමහර වැඩ සටහන් වල නිවේදකයා විදියට් කටයුතු කලා, ප්‍රවෘත්ති නිවේදකයෙක් හැටියටත් කටයුතු කලා.

මේ වෙනකොට මම උදේට ඉස්කෝලෙ උගන්වනවා, හවසට අර “වීඩියෝ ග්‍රැෆික්ස්” කියන ආයතනයෙ වැඩ කරනවා, රෑට රූපවාහිනියෙ නිවේදක වැඩ කරනවා. ඔය අතරෙ සංගීත සංදර්ශනවල නිවේදක වැඩ කරන්නත් යනවා.

මෙහෙම වැඩ කරගෙන ඉන්නකොට වීඩියෝ ග්‍රැෆික්ස් ආයතනය වසා දමන්න ඒකෙ පාලනාධිකාරිය තීරණය කලා. කොහොමහරි මේ කාලේ තව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් කොළඹ තිබුනා “ආර් ආර් ප්‍රොඩක්ෂන්” කියලා. එතන වැඩ කරා අපේ සිනමාවෙ හිටිය ඩොමී ජයවර්ධන මහත්තයගෙ පුතා රෝයි ජයවර්ධන. එයා මට කතා කරා එතන වැඩට එන්ඩ කියලා. ඒ පාර මම එතෙන්ට ගියා.

 ඔය කාලෙ TLN එක පටන් ගත්තානේ. මම ITN එකෙත් වැඩකරලා තියෙන නිසා ෂාන් වික්‍රමසිංහ මහත්මයා මට TLN  එකට එන්ඩ කිව්ව. එතන මම නිවේදක වැඩ, වැඩසටහන් නිෂ්පාදක කටයුතු එහෙම කරගෙන ඉන්නකොට දවසක් ෂාන් වික්‍රමසිංහ මහත්මයා මට කතා කරලා කිව්වා, එයාට TLN එකේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නත් අදහසක් තියෙනවා කියලා. ඉතින් මම කිව්වා අපි පටන් ගමු කියලා. එතකොට එතුමා කිව්වා, එහෙමනම් මට කරන්ඩ කියලා. ඒ නිසා මට TLN එකේ පළමු ප්‍රවෘත්ති වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබුනා. ඒ වගේම තමයි ඒ ප්‍රවෘත්ති ප්‍රකාශය ලංකාවෙ පෞද්ගලික රුපවාහිනි ආයතනයක කල පළමු ප්‍රවෘත්ති විකාශය.

හොඳයි එහෙනම් අපි ඔබතුමා ගැන බොහෝ කරුණු කතා කරා. මේ තොරතුරු අපි සමග බෙදාහදා ගත්තට ඔබට ගොඩක් ස්තුතියි. අපි දන්නවා ඔබ බොහොම කාර්යබහුල පුද්ගලයෙක්. එහෙම තියෙද්දිත් ඒ කාලයෙන් ටිකක් අපි වෙනුවෙන් වෙන්කරාටත් ඔබට ගොඩාක් ස්තුතියි. මේ වෙලාවෙ ශ්‍රීLankaNZ වෙනුවෙන් අපි ඔබතුමාට, තව බොහෝ කාලයක් ශ්‍රී ලාංකික කලාවට සේවය කරන්නට  ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

 

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.