අපේ පුංචි සන්දියේදී, රතුපාට මලින් පිරුණු එරබදු ගසුත්, රතු පාටින් හා කහ පාටින් පිරුණු කජු ගසුත්, පලබර වුන අඹ ගසුත්, කොහාගේ නාදයත්, සිංහල අලුත් අවුරුද්ද සංකේතවත් කළ හදවතේ රැඳී ඇති අතිශය සුන්දර මතකයන්ය.

අද දවසේ අපේ දරු මුණුබුරන්ට පෙන්වන්නට මේ බොහොමයක් නැත්තේ අප පිටරටක ජීවත්වන නිසාම නොව, ලංකාවේ ඉතා ඈත පිටිසර ගමක වුවද මේවා දකින්නට අසන්නට ලැබෙන්නේ මඳ වශයෙන් බැවිනි. ගම නාගරීකරණය වීමෙන් ස්වභාවිකව ලැබුණු බොහෝ දේ අපෙන් ගිලිහී ගොස් ඇත්තේ අපේ පාරම්පරික සංස්කෘතික වටිනාකම්ද අපට අහිමි කරමින් බව අමතක කළ යුතු නොවේ.
සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු සාමුහිකත්වයද එම සිරිත් විරිත් අපෙන් ගිලිහී යද්දී අපට නැතිවී යාම පුදුමයක් නොවේ. සියල්ල වාණිජකරණය වෙමින් පවතින රටාවක් තුළ පැරණි දේවල් ඒ අයුරින් රැක ගත නොහැකිවීම සත්‍යයක් වුවද එය අපේ හදවත පාරන්නේ එම සිරිත් විරිත්වලට අප මහත්සේ ඇලුම් කළ හෙයිනි.

එදා කුඩා දරුවන් ලෙස අපට සිංහල අලුත් අවුරුද්දේ ලැබුණු ප්‍රීතිය හා සතුට අපේ දරුවන්ට නොලැබීම අවාසනාවකි. අපේ කුඩා කාලයට ආපසු හැරී බැලුවොත් කුඩා දරුවන් වූ සියලු දෙනාටම ඉතාමත් සරල ජීවිතයක් උරුම වී තිබුණු අතර වත් පොහොසත්කම් පසෙක ලා අපි සියලු දෙනාම ප්‍රීතිමත් දරුවෝ වීමු.
සිංහල අලුත් අවුරුද්ද සෑම විටම එළඹුණේ අපේ පාසැල් නිවාඩුවත් සමඟය. මේ වන විට ගොයම් කපා ගත් පසුව නිදහස් වූ කමතද නිවාඩුවත් සමඟ අපේ සෙල්ලම් පිට්ටනිය වේ. පල දැරූ කජු හා අඹ ගස් ලේනුන්ට, කුරුල්ලන්ට හා අපට වෙන් වී තිබුණි. ගස් යට එකතු වුන කජු තලා කෑම කුඩා අපට මහත් විනෝදයක් විය.
අවුරුදු නිවාඩුව අපට මුළුමනින්ම සෙල්ලමින් ගත කිරීමට ලැබුණා යයි කීවොත් නිවැරැදිය. දෙමාපියන්ද අවුරුද්දට සැරසුන හෙයින් අපේ සෙල්ලමට තහංචි දැම්මේ නැත.
අඹ ගස්වලට හා කජු ගස්වලට පොලු ගසන්නට හෝ ගස්වල පහල අතුවල තිබූ ගෙඩි කඩන්නට ගස්වලට නගින්නට අපිට අවසර නොතිබූ නමුත් ඒ තහනම තැකුවේ අප නොවේ. පලතුරු කහට නොගෑවුණ එකම ගවුමක්වත් ඒ කාලයේ මට නොතිබු අතර, ඒ නිසා තරහෙන් පිපිරුණු අම්මාගෙන් හැම විටම තාත්තා මා බේරා ගත්තේ දරුවන්ට ළමා කාලයක් තිබිය යුතු යයි සිනාසී කියමිනි.
උදෑසන අවදිවූ මොහොතේ සිට ඉර බැස යන තෙක් කෙළි සෙල්ලම් හා දඟකම්වලින් කාලය ගත කළත් අප අනිකුත් පාසැල් නිවාඩුවලට වඩා සිංහල අලුත්අවුරුදු නිවාඩුවට ගේ දොර වැඩවලටත්, වත්ත පිටියේ වැඩවලටත් හවුල් වූයේ සෑම නිවසක්ම අලුත් අවුරුද්දට සූදානම් වූ බැවිනි. දෙමාපියන් හා හවුල්ව වැඩ කටයුතු කළේ අලුත් අවුරුද්ද එනතෙක් තිබූ නොඉවසිල්ල නිසාමය.
අපේ වත්තේ වැට තිබුණේ පන්සල් වත්ත මායිම් කරමිනි. වැට අද්දර තිබූ විශාල කොස් ගසේ දෙපොට ලනුවලින් බඳින ඔන්චිල්ලාව තරම් සිත් ගත් දෙයක් තවත් නොමැති විය. ඔන්චිල්ලාව පදින්නට මගේ පවුලේ අය පමණක් නොව වටපිටාවේ ළමයින්ද එකතුවීමෙන් රෑ බෝවී අම්මා අඬ ගසන තුරුම ඔන්චිල්ලා පැදීම අපේ සිරිත විය.
දවල් දවසේ තොරතෝංචියක් නැතුව පැද්දෙන ඔන්චිල්ලාවට කළුවර වැටුණ විට ගොඩ නැඟුනේ ඔන්චිල්ලා පැදීම තහනම් වූ පිරිසකි. ඒ පන්සලේ වැඩ සිටි කුඩා සාමනේර හාමුදුරුවරුන්ය. ලොකු හාමුදුරුවන් පිටත වැඩම කළ විට හොර රහසේ කළුවරේම ඔන්චිල්ලාව වෙත එන මගේ මල්ලීගේ වයසේ පසු වූ ඔවුන් දුටු විට මගේ පියාගේ නෙතට කඳුළු පිරිනු අයුරු මට මතකය. ඔවුන්ට ඔන්චිලි පදින්නට අවස්ථාව දීමට අපට එළියට එන්න එපා යයි මගේ පියා කීවේ ඔහුගේ කුඩා කාලයේදී අල්ලපු වැටේ පන්සලේ සාමනේර හාමුදුරුවරුන් සමඟ සෙල්ලම් කළ දවස් මතක් වී විය යුතුය.
අවුරුද්ද ලංවෙන විට දුර බැහැර සිටින නෑදෑයින් පැමිණීම එක්තරා විදියක පවුල් අතර සබඳතාවය සවිමත් කළා වැනිය. කෑම්බීම් සෑදීම ඇඳුම් මැසීම ආදී දහසක් වැඩ අම්මාට තිබුණත් ඈ ඒ සියල්ල කළේ සතුටිනි.
නිවෙස අසල විසූ කැවුම්-ආච්චි ගෙන්වා ගෙන ආස්මී, කැවුම්, අතිරස වැනි කැවිලි සාදා ගත් අතර කොකිස්, අග්ගලා, මුං කැවුම්, පැණි වළලු ආදිය අම්මා සෑදුවාය. මුට්ටිවල අසුරා දුමේ තැබූ කෑම අවුරුද්ද ලබන තුරු අපට තහනම් වුවත් ඒවා හොරෙන් කෑමෙන් අප ලැබුවේ ඉමහත් සතුටකි. දුම් ගසා ඉදවාගත් වත්තෙන් කපා ගත් කෙසෙල් කැන් කීපයක්ම සැරසුණේ අවුරුද්දටය.
අවුරුද්ද පුරාම බොන්නට වතුර දුන් ළිඳ සමඟ කාසි, අඟුරු හා මල් දමා කෙළෙහි ගුණ දැක්වූ අම්මා, ළිඳෙන් ගත් වතුර කලයක්, තෙල් හා මල්ද රැගෙන අපි සමඟ නොනගතයට පන්සල් යාම සිරිතක් විය.
නැකතට ලිපි ගිනි මෙලවීමට අම්මා සූදානම් වෙද්දී අප කළේ රතිඤ්ඤා පත්තු කිරීමය. නැකැත් වේලාව ගමට මතක් කරමින් පිපිරුණ රතිඤ්ඤාවල ශබ්දය දිගු වේලාවක් ගම පුරා ගිගුම් දුන් අයුරු තාමත් මතකය.
නැකතට අනුභව කිරීමෙන් පසු ගනුදෙනු කිරීමට එක්වන නෑදෑයින් හා අනෙකුත් අයගෙන් ලබා ගන්නා කාසිවලින් කැට ගැසීම මහත් විනෝදයක් විය. අවුරුද්දේ අපේ සිත්ගත් අංගයක් වූයේ බක්මහ උළෙලයි. තිරික්කල රේස් අපට මහත් විනෝදයක් ගෙන දුන් අතර බයිසිකල් රේස්, ලිස්සන ගහේ නැගීම, පොල් අතු විවීම, කොට්ටා පොර, කණා මුට්ටි බිඳීම හා අවුරුදු කුමාරිය තේරීම ආදිය බක්මහ උළෙල ඔපවත් කළ අතර අදත් ඒවා අපේ සිත්වල පැලපදියම් වී ඇත්තේ ඒවායින් ලැබූ ආස්වාදය නිසාය.
නෑගම් යාමත්, තෑගිබෝග ලැබීමත්, හිස තෙල් ගෑමත්, අවුරුදු කාලයේ පැවැති අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රත්, ඒවායේ රැඳි උත්සවශ්‍රීයත් එදා මෙන් අද දකින්නට නැතත් ඒ මතකයන් අපේ සිත්සතන්හි තැන්පත්ව ඇත.
ජීවිතයේ සුන්දර වූ ළමා කාලය ළමයින් ලෙසම සතුටින් ගතකළ අප දැනුදු සිහියට නඟා ගන්නේ ඒ ප්‍රීතිමත් කාලයයි. සිංහල අලුත් අවුරුද්ද අපේ ජීවිත හා බැඳුණු මුල් පෙලේ සංස්කෘතික අංගයක් වූවා පමණක් නොව එකිනෙකා කෙරෙහි සමගියෙන් බැඳෙන්නට ඉවහල් වූ බව අමතක නොකළ යුතුය. අප අගය කළ ඒ සිරිත් විරිත් ක්‍රමයෙන් ඈත්ව ගියත් හැකි අයුරින් අපේ දරුවන්ට ඒවායේ වටිනාකම කියා දීම අපේ යුතුකමයි. දරුවන් හා එක්ව අවුරුදු සමරන්නට ලෝකයේ කොහේ ජීවත්වුවත් අපට පුළුවන. අවශ්‍ය වන්නේ අපේ ජීවිත හා බැඳුණු අවුරුදු චාරිත්‍රවල හරය ඔවුන්ට කියාදීම පමණි.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඉන්ද්‍රා දයාමණී කොළඹගේ. ඕක්ලන්ඩ් – නවසීලන්තය