fbpx
8.9 C
New Zealand
Friday, July 19, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පරපුරක උරුමය වෙනුවෙන් අවි රැගෙන සටනට ගිය පෙම්වතා එනතුරු බලා සිටි යුවතියකගේ ගීතය… | සුරංග දසනායක

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

‘නැගිටිනු!’ජේෂ්ඨ උත්තමයාගේ  තියුණු හඬින් මම තිගැස්සී  ගියෙමි…..

‘හ්ම්…….නම….?’

‘වි…………….විමලා……………..විමලා සිරිවංශ.’

බිය මුසු නවකයන්  දෙදෙනෙකු  මැදින් මා හිඳෙනු ලැබීය. මගේ වම් පසින්  වීරසේකර ය. දකුණු පසින් සිටියේ නුඹ. පැත්තට පීරූ, කණ වැසෙන්නට  රැළි  දමා පීරූ කොණ්ඩය, සිහින් දැලි රැවුල සහ අත් පා. වැලමිටට ඉහළට, පළලට අත්  නවා තිබුණු සුදු පැහැති කමිසය. ඉගට හිරවුණු පාද අන්තය මහත බෙල් බොටම් කලිසම, රබර් සෙරෙප්පු දෙක. ඒ  නුඹ දුටු පළමු දින මසිතේ ඇඳුනු නුබේ රුව.

සමාජ විද්‍යාව, සරසවියේ දී මට, නුඹට , වීරසේකරට  පොදු වූ විෂය. මහැදුරු හේරත්, අපගේ අසහාය ගුරු, ප්‍රතිරූප චරිතය. පළමු වසරේ අවසාන විභාගයෙන් නුඹ ප්‍රථමයා, මම දෙවෙනියා, වීරසේකර තුන්වෙනියා.

සරසවියට මල් වසන්තය ඇරැඹෙන්නේ ජනවාරි මාසයේ සිටමයි. මුලින්ම පිපෙන්නේ පුංචි දම්පාට මල්. පෙබරවාරි මාසයේ රොබරෝසියා මල්.  දවස තිස්සෙම මල් වැස්ස වහිනවා. රොබරෝසියා මලින් සරසවියේ පාරවල්, තණපිටි වැසිලා යනවා. අප්‍රේල් මාසයේ කහපාට මලින් රූස්ස ගස්වල එතිලා තිබුණු වැල් පිරිලා යනවා. ඒ වසන්තයේ දවසක කහපාට මල්වියන යට, රෝස -දම් පැහැ මල් පලස මත මගේ ළගින් ඉඳගෙන නුඹ මට ආදරෙයි කිව්වා.

මල් මාවතේ මල් පලස මතින් අපි ඇවිඳගෙන ගියා. නුඹේ  උරමඩළේ හිස තියාගෙන  මහවැලියේ  සිලිසිලි හඩ මම අහගෙන  හිටියා. ගඟ දිය පිසගෙන හැමුව සුළඟින් සීතල වුණු මගේ නළල් තලය නුඹේ  සුසුමින් උණුසුම් වුණා. පුර පොහොය ළංවෙනකොට  හන්තානට ඉහළින් හඳ පායනවා  අපි බලාගෙන  හිටියා. ලෝකයම එළිය කරන පුරහඳ. නුඹ මගේ දිවිය එළිය කරන සරා සඳ.

සිරිපොද වැටුණු දවසක වැහි අඳුරේ කුඩේ යටින් නුඹ මාව හිල්ඩා නේවාසිකාගාරයට ඇරලුවා. කුඩෙන් බේරෙන වැහි බින්දුවක් අතටගත් නුඹ, ” හැමදාම වහිනකොට අපේ ගේ තෙමෙනවා. තෙමෙන තැන් හොයා හොයා මැටි බදුන්  තියනවා. අම්මා, අයියාලා අක්කලා වෙන ගෙවල් හදනවා. අම්මේ මම අපේ ගේ කවදා හරි හදනවා” කියලා මිමිනුවා. නුඹටත් අයිති වෙලා තිබුණු ඒ සිතුවිල්ල සරසවි කුරුටු ගීයක්.

ඊට වසරකට පසු නිස්සාර විප්ලවයක ආරම්භය සිදුවුණා. මහැදුරු හේරත් තුන් කල් දකින  බුද්ධියෙන්  ඒ විප්ලවයේ  නිසරු බව පැහැදිලි කළා. සිදුවුණේ ප්‍රතිවිප්ලව වාදියෙක් විදියට ඔහුව හන්වඩු ගැසීම. නුඹ ඒ විප්ලවයේ ගොදුරක්වනු දැකීමට මට බැරි වුණා. නුඹට මම එපා කිව්වා මම දන්නා විදියට. ඒත් හිරු නැගෙනසේ නොවෙනස් විශ්වාසයක්. විප්ලවයෙන් පසු බිහිවන අලුත් ලොව ගැන නුඹට තිබුණේ එවන් විශ්වාසයක්.  පීඩිත පන්තියේ ජයග්‍රහණය දෝත දරාගෙන නුඹ හිටියේ එළඹෙන ළඟම දිනයේදී පීඩිත පන්තියට ඒ ජයග්‍රහණය පුදන්න.

සති කීපයකට පසුව එළැඹි තවත් දිනයකදී ධනපති  විරෝධී අරගලයේ මහා පෙළපාලිය ඇරඹුණේ සරසවිය ඇතුලෙන්මයි.  පෙළපාලිය සැතපුම් කාලක් යන්නට මත්තෙන් ධනපති පන්තියේ රුදුරු වෙඩි උණ්ඩය මගේ මිතුරු, අපේ සොයුරු, නුඹේ පෙරටු සගයා, වීරසේකරගේ හදවත පසාරු කරගෙන ගියා. පීඩිත පන්තියේ රතු ලෙයින් සරසවි බිම තෙමී ගියා.

වෛරයේ ගිනිදැල් නුඹලාගේ හදවත් තුළ බුරබුරා නැගුනා. සති කීපයක් ගෙවිලා ගියා. වෛරයේ ගිනි පුපුරු  අළුයට සැඟව ගියා. බොහෝම ටික කාලයකට. නුඹෙත් නුඹේ සගයන්ගේත්  ඒකමතික තීරණය වුණේ “ලේ වන්දිය” ලෙයට ලෙය, මරණයට මරණය !!

සති දෙකතුනකට පසුව පුරපෝය හඳ  පායා තිබුණු ගොම්මන් යාමයක සරසවි මල් මාවතේ මහවැලි ඉව්රේ දී නුඹ මාව හමුවුණා. ඒ රහසිගත සන්නද්ධ අවි පුහුණුවට පිටත්වීමට මොහොතකට පෙර. මහවැලියේ සිසි සිලි හඬ මට ඇහුනේ යමක් මගේ කණට කොඳුරනවා වගේ. ‘මේ ජීවන ගංගාධාරයේ …දෙපස පිපී ඇති ප්‍රර්ථනා මල් නෙලනොගන් මිතුරේ ….නෙලූ මලේ නටුවෙන් ගලයි රතු ලේ ….රතු ලේ මුසුවෙයි නීලවර්ණ වූ ජීවන ගංගාධාරයට..’ මහවැලිය මගේ කණට කෙඳිරුවා. ඒ විලාපය මම නුඹේ කණට කෙඳිරුවා. ගස්වල එතුණු ලතා මඩුළු කහපැහැ  පොහොට්ටුවලින් පිරී තිබුණේ ඉදිරියේ එන අප්‍රේල් මාසයේ පරිසරය සරසන්නට. නුඹෙත් මගෙත් ලෝකයට වඩා වටිනා පීඩිත පන්තියේ අලුත් ලොවක් තනන බලාපොරොත්තු දෝත දරාගෙන නුඹ අඳුරේම නොපෙනී ගියා. ඒ කව්රුත් නොදන්නා රහස් ඉසව්වකට.

ඊළඟ පුරපෝය දිනයේ දී පොරොන්දු වුණු ලෙසම නුඹ එනකම් තුන් මහල් සරසවි පාය ඉදිරිපිට විසල් ගස් සෙවණේ මම බලා සිටියා හෝරා ගණනාවක්. හන්තානට ඉහළින් හඳ පායාගෙන ආවා. මළානික තරු දෙක තුනක් අහසේ දිළිසුනා. ගස්වල අඳුරු සෙවනැලි අතරින් නුඹ මා ළඟට පැමිණියා. කලකින් නොකැපූ පනාවක් නොදුටු කොණ්ඩය නුඹේ මුහුණේ බාගයක් වසාගෙන සිටියා. දකුණතින් නුඹ කොණ්ඩය පසුපසට කළා. මුහුණ පුරා අපිළිවෙලට වැවුණු රැවුල, ගිලුණු කම්මුල්, විඩාබර ඇස්, අන්ඩ දැමූ රළු කමිසය, ඩෙනිම් කලිසම. ඒ නුඹමද? විප්ලවවාදියෙක්ද ? කොහොම නමුත් භයානක පෙනුමක්. ඊටත් වඩා භයානක දෙයක් නුඹේ වමතේ තුවක්කුවක්. ලංකාවේ කම්මලක හදපු තුවක්කුවක්. ධනපති පන්තියේ මැෂින් තුවක්කුවට එරෙහි වන්නට යන ‘ගල්කටස්’ තුවක්කුවක්. මට ඉහළට ඇදුනු හුස්ම පහළට දමන්නට බැරි වුණා. තුවක්කුව, නුඹේ විඩා බර මුහුණ,සන්නද්ධ අරගලයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්  දිළෙන තරුකැට වැනි ඇස්. නෑ, ගැඹුරු ළිං පතුලක  සඳ එළියෙන් දිළෙන වතුර ටිකක් වැනි ඇස්. මාව මහා හිස් අවකාශයක අතරමන් කළා.

“බයවෙන්න එපා විමලා, අපි විප්ලවය ජයගන්නවා. සියල්ල සූදානම්..! , සියල්ල නිවැරදියි….!!” නුඹ හෙමිහිට කිව්වා. කහපාට මල් පිපුණු ලතා මඩුළු අපි දිහා බලාගෙන හිටියා කම්පාවකින් වගේ.

“ලබන පෝය දවසට මම  එනවා මෙතෙන්ටම. විප්ලවයෙන් පස්සේ එළඹෙන පළවෙනි පෝය. ඊළඟට සිංහල අවුරුද්ද. පීඩිත පන්තිය සමරන පළවෙනි සිංහල අවුරුද්ද …” නුඹ තිර හඬින් කිව්වා.

විප්ලවයේ අරගලය අවසන් වුණා. නීල වර්ණ වූ ගංගා ජලයට රතු ලේ මුසු වුණා. ප්‍රර්ථනා සුන් වුණා.  පුරපෝය දිනය එළඹුණා. වනස්පති වෘක්ෂය යට නුඹ එනතුරු මම බලාගෙන හිටියා. හෝරා ගණනාවක්. හන්තානෙන් නැගුනු පුරහඳ දිළිසුනා. අහසේ මුදුන් වූ හඳ පෙරයම අරුණට ඉඩදීලා බැසගියා. මල්ගොමු, ලියගොමු අනුකම්පාවෙන් මා දිහා බලාගෙන හිටියා.මහවැලිය සිලිසිලි හඬ නොනගාම හිමිහිට ගලාබැස්සා. මහවැලිය ගොළුවෙලා. ඊළඟ පෝය දවස වෙනකම්ම මම හැමදාම ඒ වෙලාවටම වනස්පති වෘක්ෂය යට බලාගෙන හිටියා. නුඹ කවදාවත්ම අවේ නැහැ. හැමදේම යථා තත්ත්වයට පත්වුණා. මගේ හිත හැර.  හැම මාසයකම පුරපෝය දිනයක් එළඹුනා. හැම අවුරුද්දකම මල් වසන්තය පැමිණුනා. මහවැලිය නිසලව තවමත් ගලා බසිනවා. මල්ගොමු ලියගොමු දකින්නට, මහවැලියේ සිලිසිලි හඬ අසන්නට නුඹ නැහැ. හැම පෝය දවසකම මම නුඹ එනකම් බලාසිටියා. හොඳින්ම දන්නාමුත් නුඹ නොඑන බව මගේ හිත රවටමින් මම බලා සිටියා.

දශක පහක් ගෙවිලා ගිහින්. බොහෝදේ වෙනස් වෙලා. බොහෝ වෙනස්කම් සිදුවෙලා. නමුත් මගේ සිත එහෙමමයි. මගේ වාසගම එහෙමමයි.  ගැහැනියකගේ ජීවිතයේ නම වෙනස්වන දිනය මට එළඹුණේ  නෑ . මම තවමත් විමලා, විමලා සිරිවංශ. මහාචාර්ය විමලා සිරිවංශ…

හන්තානෙන්  නැඟ එන සඳ හැමදාමත් ලස්සනයි  
මගේ ළඟින් නුඹ නැති සඳ  ඒ පුරහඳ කළුවරයි……
සිලි සිලි හඬ මහවැලියේ හැමදාමත් ඇසෙනවා  
නුඹ ඇවිදින් මගේ කනරට කොඳුරන සේ දැනෙනවා 
ලියගොමුවල මල් පිපිලා නුඹ නැහැ එය දකින්න 
නුඹේ සුවඳ මට දැනෙනවා බැහැ අමතක කරන්න…..

 

සුරංග දසනායක

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.