fbpx
9.9 C
New Zealand
Friday, March 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

කර්මය – පූජ්‍ය කැළණියේ අරියසීල හිමි

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

 

කර්මය යනු පිං පව් දෙවර්ගයටම සාධාරණ නාමයකි. කර්මයෝ ඔවුන් විසින් සිදුරකන්නාවූ කෘත්‍යයන්ගේ වශයෙන්ද, විපාක දෙන ආකාරයාගේ වශයෙන්ද, විපාකදෙන කාලයාගේ වශයෙන්ද, විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන්ද ප්‍රභේදයට පැමිණෙති.

කෘත්‍ය කර්‍ම චතුෂ්කය:
ජනක  කර්‍මය 
උපස්ථම්භක කර්‍මය 
උපපීඩක කර්‍මය 
උපඝාතක කර්‍මය වශයෙන් කර්‍මය සතර වැදෑරුම් වේ.

ජනක කර්‍මය:

මරණින් මතු සත්වයා අන්‍ය භවයකට පමුණුවා අභිනව පුද්ගලයකු කොට උපදවන්නාවූ කුශලා අකුශල කර්මය ජනක කර්මය නම් වේ.
තවත් ක්‍රමයකින් කියතොත් අනාගත භවයෙහි ප්‍රතිසන්ධිය ගෙන දෙන්නාවූ කර්මය ජනක කර්මය නම් වේ. අංග සම්පූර්ණ වී බලවත්වූ කුශලා අකුශලයෝ ජනක කර්ම වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නොපැමිණෙති. ප්‍රතිසන්ධියක් ගෙනදීමට තරම් ශක්තිය නැති කර්මයෝ ජනක කර්මයකින් භවයෙහි උපන් සත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන්ම නොදී අභාවයට යති.
සුගති දුගතීන්ට පැණවීමේ ශක්තිය ඇති බොහෝ ජනක කර්ම එක් පුද්ගලයෙකුට ඇත්තේය. එයින් එක් වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයකි.
ජනක කර්ම බොහෝමයකට එකවර විපාක දීමේ අවකාශයක් නැත. සත්වයකු එක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාකය ලබමින් සිටින කාලයයි. 
මරණයට පැමිණීමෙන් ඒ භවය කෙලවර වූ කල්හි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේදී ඉදිරිපත්වූ ජනක කර්මයකින් සත්වයා නැවත සුගතියට හෝ දුගතියට පමුණුවනු ලැබේ.
කර්ම බලයෙන් සත්වයා නැවත උපදින ආකාරය:
මරණයට ලංවූ සත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූද උපකරණ වූද වස්තූන්ය.
ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳවූ යම්කිසි වස්තුවකි. මරණාසන්නයේදී කර්මාදීන් අතුරෙන් යම්කිසිවක් එළඹ සිටි කල්හි මැරෙණ සත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවති.
එසේ පවත්නා කල්හි කාලක්‍රියා කරන සත්වයාගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම් කිසි ස්ථානයක ප්‍රතිසන්ධි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණේ.
මැරෙන්නා වූ සමහර සත්වයන්ට කර්මාදිය මරණයට ඉතාම ආසන්නයේදී වැටහෙන්නේය. සමහර කෙනෙකුන්ට පැය ගනණක් කල් ඇතිවද වැටහෙන්නේය. සමහර කෙනෙකුට දින දෙක තුනක් තිබියදී ද වැටහෙන්නේය. යමෙකුට කර්මාදිය තරමක් වැටහුන හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම්ගත හැකිය.
 
මරණාසන්නයේදී අපායට ගෙනයන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතෙකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපාහයෙන් ගැලවී සුගතියට යා හැකිවන ලෙස සමහර විට පිහිටවි හැකිය.
එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේදී විපාක භවයට පැමිණිමෙහි නියත තත්වයක් නැති කර්ම එළඹ සිටි විටය. නියත කර්ම හැම දේනාටම නැත.
බොහෝ සෙයින් මේ සත්වයෝ අනියත කර්ම ඇත්තෝය. අනියත කර්මය වුවද මරණයට ඉතා ලංව තිබියදී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැක්කේ කලින් කර්මාදිය වැටහුණු අයටය. මිය යන කෙනෙකුට හිතවතකු විසින් කළයුතු උසස්ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට ඉඩ සලස්වා දීමයි.
එය කළයුත්තේ මෙසේය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහිකළ යුතුය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කළයුතුය. එසේ කිරීමට රෝගියා නොසමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළයුතුය.
භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැළැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහි තිබුණු පාපකර්මය රෝගියාට අමතකවී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවනි. සිත් කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් ම සුගතියට පැමිණෙන්නේය.
මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි.
ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කළ්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි.
ඇතැම් දරුවෝ මාපියන් මැරෙන්නට යන කල්හි කෑකෝ ගසා කලබල කොට මිය යන්නහුට පිනක් සිහිකරගන්නට ඉඩ නොදී ඔවුන් අපායට යන්නට සලස්වති.
එය මාපියන්ට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මාපියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මාපියෝද එසේ කරති. 
ඔවුහු දරුවන්ගේ සතුරෝය. මැරෙන අවස්ථාවේදි සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනෙකුගේ පරම කළ්‍යාණ මිත්‍රයාය.
උපස්ථම්භක කර්‍මය :
කුශල වූ හෝ අකුශල වූ හෝ කර්මයකින් උපන් සත්වයාට ජීවත් වීමට උපකාර වන්නාවූ කුශල වූද අකුශල වූද කර්ම උපස්ථම්භක කර්ම නම් වේ.
ප්‍රතිසන්ධියක් දීමට තරම් බලවත් නොවූ කර්මයෝ ද, ප්‍රතිසන්ධියක් දීමට අවස්ථාව එතෙක් නොපැමිණි ජනක කර්මයෝ ද, වරක් ප්‍රතිසන්ධිය ගෙනදුන් ජනක කර්මයෝ ද, උපස්ථම්භක කර්මයෝ වෙති.
අකුශල කර්මයන්ගේ උපස්ථම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සදහා ජීවත් කරවීමය. සත්ව සන්තානයට පමණක් නොව කර්මයෝ කර්මයන්ට ද උපස්ථම්භක වෙති. 
යම්කිසි කුශල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුයේ යහපතක්ය යනාදීන් කළ පින්කම් නැවත නැවත සිහිකොට ප්‍රීති වේ නම්, කළ කුශලය ගැන සතුටුවීම් වශයෙන් පසුව ඇතිවන්නාවූ කුශල චේතනාවන්ගේ අනුග්‍රහයෙන් පළමු කර්‍මය බලවත් වේ.
පසුව ඇතිවන්නා වූ ඒ කුශල චේතනාවන්ගේ අනුග්‍රහය ලැබූ කුශලය පළමු අල්ප විපාකයක් ඇතිකරන දුබල පිනක් ව තිබුණේද පසුව උසස් ඵල දීමට සමත් කුශලයක් වේ. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරයයි.
උපපීඩක කර්‍මය:
නොයෙක් රෝග ඇතිකිරිම, තනතුරු වලින් පහකිරීම, නෑයන් මිතුරන් නැතිකිරීම, ධනය නැතිකිරීම, කෙත්වතු පාළුකිරීම, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදියෙන් වරින් වර සත්වයන්ට පීඩාකරන්නාවූ කර්මය උප පීඩක කර්මය නම් වේ.
ප්‍රතිසන්ධි දීමට සමත් නොවන දුබල කර්මයෝ ද, ප්‍රතිසන්ධියක් එතෙක් ඇති නොකලා වූ ජනක කර්මයෝද, වරක් ප්‍රතිසන්ධිය ගෙන දුන් ජනක කර්මයෝ ද උප පීඩක වශයෙන් විපාක දෙන්නාහුය.
උප පීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝ ද දුබල කෙරෙති. බලවත් අකුශලයක් කළාවූ තැනැත්තා විසින් ඒ අකුශලයට විරුද්ධ වූ කුශල් පසුව බොහෝ කරන ලද්දේ නම්, පසුව කළාවූ කුශල බලයෙන් කලින් සිදුකල බලවත් අකුශලය දුබල වේ.
පසුව කළාවූ කුශලයෝ අකුශල කර්මයට උපපීඩක වෙති.
උපඝාතක කර්‍මය:
ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වේ. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදි ගුණවතුන්ට කරන්නා වූ අපරාදයෝ බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. 
ප්‍රතිසන්ධිය දෙනකල්හි ඔවුහුම ජනක කර්මයෝ වෙති.
ඒවායින් ද ඉතා බලවත් වූ කර්මය ම උපඝාතකත්වයට පැමිණ සත්වයාගේ ජීවිතය නසන්නේය. 
කුශල පක්ෂයේද උපඝාතක කර්ම ඇත්තේය.
නරකයෙහි උපන් පසු කළ පින් සිහිව ඉන් චුතව දේව්ලොව උපදනා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් ප්‍රේතත්වයෙන් මිඳී සුගතියෙහි උපදනා ප්‍රේතයන්ගේද වශයෙන් කුශලෝපච්ඡේදක කර්මය කිය යුතුය. උපඝාතක කර්මයන්ගෙන් ඇතැමෙක් සත්වයන් නසා ජනක කර්මයෙන් දෙවන ජාතියේ විපාකත්වයට පැමිණෙති. ඇතමෙක් උපච්ඡේදනය පමණක් කරති.
මරණාසන්නයේදී සුගති දුර්ගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකය දෙන කර්මය ද කර්මයන් නසන්නාවූ ද උපඝාතක කර්මයකැයි කිය යුතුය. 
උපච්ඡේදක කර්ම යනුද උපඝාතක කර්මයටම ව්‍යවාහාර කරන අන් නමකි.


සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!
සාධු! සාධු! සාධු!

සැකසුම: පූජනීය කැළණියේ අරියසීල හිමි



Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.