fbpx
12.9 C
New Zealand
Monday, October 7, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ශ්‍රී ලංකාරාමයේ අතීත පිය සටහන් – ස්වාමීන් වහන්සේලා හා දායක දායිකාවන් එක්ව ගිය ගමනක්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ශ්‍රී ලංකාරාමයේ අතීතය සිහිකරමින් එහි අවුරුදු විසි පහක ගමන් මගට සම්බන්ධ වූ ස්වාමීන් වහන්සේලා හා ගිහි දායක දායිකාවන් හමුවීමට  මම විහාරස්ථානයට ගියෙමි. ප්‍රථමයෙන්ම හමුවූයේ මෙම විහාරස්ථානයේ මුලසිටම ක්‍රියාකාරී දායකයකු වූ ප්‍රේමසිරි විජයවර්ධන මහතා ය. 2002 වසර වන විට විවිධ ගැටළු හා දුෂ්කරම කාලයේදී විහාරස්ථානයේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වී සිටි  ඔහු  මා දුටු විට සුපුරුදු සිනහවකින් ඔහු අප සමග කතාවට එක් වීය.

‘ඔබ ලංකාරමය විහාර භාරකාරත්වයේ ප්‍රථම උප සභාපතිවරයා. සභාපතිවරු තුන්දෙනෙක් ඉතා කෙටි කාලයක් තුළ විවිධ හේතුමත විහාරස්ථානයෙන් ඉවත් වෙන විට ඔබ විහාරස්ථානයේ සභාපති තනතුරට පත් වෙනවා. මෙම පසුගිය අවුරුදු විසිපහ  පුරාවට අඛණ්ඩව පන්සල සමග ළඟින්ම කටයුතු කළ ඔබ එක්ක පන්සලේ වගතුග ටිකක් කතා කරන්න කැමතියි,’ මම පවසා සිටියෙමි.

‘මොනවද දැනගන්න ඕන විස්තර?’ විජේ පෙරලා ඇසීය.

‘අවුරුදු 25 ක් ගතවන විට අංග සම්පුර්ණ විහාරස්ථානයක් ඇති වුණා. එදා දාන, සීල හා භාවනා කටයුතුවලට සීමා වුණාට අද මේ ස්ථානය නවසීලන්ත ලාංකික ප්‍රජාවගේ සංස්කෘතික හා සමාජීය වැඩ සටහන් විශාල මට්ටමින් සිදු වනවා. ඒ ගැන මතවාද තියෙන්න පුළුවන්. ඔබ හිතන විදිය කිව්වොත්?’

‘2002 වන විට පන්සල වැහෙන මට්ටමට ආවා. ඒ වන විට මම සභාපති. අපේ භාරකාර මණ්ඩලය මහත් වෙහෙසක් අරගෙන තමයි එම දුෂ්කර අවධිය පසු කර ගත්තේ. ඒ සියලුම බාධක ජයගන්න වල්ගම මුණීන්ද්‍රවංශ නායක හාමුදුරුවන් සමත් වුණා. ඒකට ප්‍රධාන හේතුව සතුරු මිතුරු කවුරුත් සමග මෙත් සිතින් සුහදව කතා කරලා ප්‍රශ්න විසඳීමේ කදිම ඥානයක් හාමුදුරුවන්ට තිබීම. ඒ වගේම එදා ඉඳලා අද වෙනකම් දවසින් දවස ඉතා වේගයෙන් පන්සල දියුණු වුණා. නවසීලන්ත ලාංකික බෞද්ධ ආයතනයක් ලෙස මෙවන් මෙහෙවරක් ඉටුකරන්න හැකි වු තවත් කරුණක් ලෙස මම දකින්නේ නායක මාහිමිපාණන්ට කීකරුව ගෝල හිමිවරුන් විහාරස්ථානයේ ඇප කැප වෙමින් වැඩවාසය කිරීමයි. ඒ වගේම ක්‍රියාකාරී භාරකාර මණ්ඩලයක් තම ශ්‍රමය ධනය වැය කරමින් අඛණ්ඩව කටයුතු කිරීමයි. විහාර වාසී හිමිවරුන් ද දායකයින්ද නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මත එකම අරමුණකට කටයුතු කිරීම නිසා තමයි අද පන්සල වඩාත් සමාජයට විවෘත වී ලාංකික සමාජයට අවශ්‍යම තිබු ජාතික උත්සව, වෙසක් තොරණ, දන්සල් වැනි දහස් ගණනින් සහභාගි වන විවිධ සංස්කෘතික අංග පන්සල ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වෙන්නෙ.

‘අද අපේ ලාංකික ප්‍රජාවගේ තුන්වන පරපුර ආගමික මෙන්ම අපේ සංස්කෘතියෙන් මිදිලා යන බවක් පෙනෙනවා. නමුත් ඉහත සමාජීය වැඩසටහන් නිසා නවසීලන්ත ලාංකික තරුණ වැඩිහිටි සැවොම එක මිටකට ගන්නට පන්සලට හැකිවෙලා තියෙනවා. ඒක ඉතා හොඳ පැත්තක්,’ ඔහුගේ පැහැදිලි කිරීමත් සමග කාර්යය බහුලව සිටි ඔහු තවත් කාර්යයක් වෙනුවෙන් යාමට මගෙන්  සමු ගත්තේ නැවත හමුවෙමු යයි පවසමිනි.

ඊළඟට අපිට හමු වූ සාගර මහතා වර්තමානයේ භාරකාරත්වයේ සභාපතිවරයා විය. ඔහු දශකයට වඩා වැඩි කාලයක් මෙම දායක සභාවේ ක්‍රියාකාරී නිලතල හෙබ වූ අයෙක් වීය. 2024 ජුනි 29  දිනට අවුරුදු 25 සපිරෙන විහාරස්ථානයේ උත්සව කටයුතුවල වගකීම ඔහු වෙත භාර වී තිබුණි. ඒවන විටත්  විහාරස්ථාන වාසී වල්ගම රේවත හිමියන් සමග කමිටු සාකච්ඡාවට යන්න අපෙන් ඉවත යන්නට ඔහුට සිදුවිය.

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් නගරයේ පදිංචි ව සිටින සීමිත ලාංකික ප්‍රජාවගේ බලවත් ඉල්ලීම මත විහාරස්ථානයක් ගොඩනගා එය තවත් තරුණ උගත් හිමි නමකට භාර දී විවේක සුවයෙන් සිටින කොච්චිකට්ටුවේ පඤ්ඤාසිරි හිමියන් අපට හමු වන්නේද අහඹුවෙනි.

‘හාමුදුරුවන් හමුවුණු එක අපිට ඉතාම වැදගත්,’ වැඳ නමස්කාරය කරමින් මම කීවෙමි.

‘එහෙමද? මොනවද වැදගත් කාරණය?’ එම හිමියෝ සන්සුන්ව ඇසූහ.

‘මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවලට මුල් කාලයේ ඉඳලම සම්බන්ධ වූ ඔබ වහන්සේ මෙම ස්ථානයේ  අද පවතින දියුණූව ගැන මොනවද අදහස් කරන්නෙ ?’ මම සාකච්ඡාව විවෘත කළෙමි.

‘මම නවසීලන්තයට වැඩියේ වල්ගම ශ්‍රී මුණීන්ද්‍රවංශ නායක හාමුදුරුවන්ගේ කාරුණික ඉල්ලීම මතයි.  එවකට අවුරුදු විසි ගණනක තරුණ භික්ෂුවක් වුවද මුල්ලේරියාව ශ්‍රී විවේකාරාම විහාරයේ විහාරාධිපති ලෙස මම එකළ කටයුතු කළා.  2003.03.21 වෙනිදා මම නවසීලන්තය එනවිට ඇල්ලේ චන්දවිමල  මාහිමිපාණන් විහාරවාසීව සිටි අතර ඊට සතියකට දෙකකට පෙර  සිට තවත් තරුණ හිමි නමක් වූ උඩගල්දෙණියේ යසස්සි හිමියන්ද වැඩම කර විහාරවාසීව සිටියා. එවකට වර්තමාන විහාරය ඉදිකිරීමට පෙර තිබු කුඩා ආවාසය අපේ වාසස්ථානය මෙන්ම බුදු මැදුර මෙන්ම දාන සීල භාවනා සියලුම වැඩකටයුතුවලට යොදා ගත්තා. එකල ඕක්ලන්ඩ්වල සිටි සීමිත ලාංකිකයින් නිසා ඉතා කුඩා දායක පිරිසකගේ උරහිස මත විහාරස්ථානයේ සියලු බර දරන්නට වුණා.

‘ටික කාලයකින් ඇල්ලේ හිමිපානන්ද ලංකාවට වැඩම කළ අතර යසස්සි හිමිටත් මටත් සියලු බර විඳින්නට වුණා. නමුත් එම කාලය තුළ නායක හිමියන් අපව දිරිමත් කර කළ යුතු දෑ දිනපතාම අපට පැවරුවා. අපිට පුළුවන් වුණා විහාරස්ථානය වඩාත් හොඳින් රැක ගන්නට. ඒ අතර තුර වල්ගම මාහිමියන් නැවත ලංකාවේ සිට වැඩම කළ අතර යසස්සි හිමියන් ආපසු ලංකාවට වැඩම කළා. එදා ඉඳන් 2016 යාබද ඉඩම මිලදී ගැනීම මෙන්ම විහාර ගෙය ඉදිකිරීම එකළ සිටි භාරකාරත්වය මෙන්ම දායක දායිකාවන් පුදුම ලෙස කැප වුණා. ඒ සමගම ධර්ම ශාලාවත් සංඝාවාස ගොඩනැගිල්ලත් බිහිවුණේ විශ්ම කර්ම වැඩක් වගේ. ඒ සඳහා ඇප කැප වූ අය බොහොයි. ඔවුන් නැත්නම් අද මෙතරම් අංග සම්පුර්ණ විහාරස්ථානයක් ඉදිකිරීමේ නායක හාමුදුරුවන්ගේ සිහිනය ඉටු නොවන්න ඉඩ තිබුණා. අද මම විදේශගතව සිටියත් මෙම විහාරස්ථානයේ තිබෙන වේගවත් දියුණුව මෙන්ම ලංකික ජනතාවට සිදුවන මහඟු සේවාව දකින විට මට දැනෙන්නේ මහත් සතුටක්,’ උන්වහන්සේ  විස්තර කළෝය.

විහාරවාසී යසස්සි ස්වාමීන්වහන්සේ ද  හමු විය යුතු යැයි සිතුණු බැවින් ඉක්මනින් සංඝාවාසය වෙත මම  පිය නැගුවෙමි. උන්වහන්සේ අපිව පිළිගත්තේ මහත් කාරුණිකවය.

‘ඔබ වහන්සේ  මෙම පන්සලේ  අතීතය දැක ගත් ස්වාමීන් වහන්සේ නමක්. අපි දැන ගන්න කැමතියි අද වනවිට ශ්‍රී ලංකාරාමයේ ජනතා සේවය ගැන එදාට වඩා අද වෙනකොට තිබෙන දියුණුව ගැන?’

‘ මුණීන්ද්‍රවංශ මහ නාහිමියන්ට තවත් කළ යුතු සේවාවන් ගොඩාක් තියෙනවා. ඒ සඳහා ඇප කැපවීමට විහාරවාසී අපි සැවොම නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මත ඇප කැප වෙනවා. නවසීලන්ත ලාංකික පවුල්වල තුන්වන පරපුරවල් දැන් ටික ටික අපේ සංස්කෘතියෙන් ඈත් වෙනවා. විශේෂයෙන්ම නවසීලන්තයේ ඉපදෙන පරපුර භාෂාව නොදැනීම නිසා මෙන්ම පන්සල් ආශ්‍රය ටිකෙන් ටික ඈත් වීම ඉහත කරුණට ප්‍රධාන හේතුව වෙනවා. අපි මොනයම් වැඩසටහන් සංවිධානය කළ ද තරුණ ප්‍රජාව ගෙන්වා ගැනීමට අපි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. එබැවින් ඒ සඳහා වැඩ පිළිවෙලක් දහම් පාසැල තුළින් මෙන්ම පන්සල හරහා ද කළ යුතුය. පන්සල සියලුම බෞද්ධ ලාංකිකයිනට නවසීලන්තයේ තමන්ගේ පොදු ස්ථානය බවට  පත් කරගත යුතුය.

දෙවන කරුණ ආගම් භේදයකින් තොරව සියලුම ලාංකිකයින් එක් රැස්වී සුහදව සංවිධානය වන ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩ සටහන්,  වැඩ මුළු හා විවිධ ප්‍රජා කටයුතු හරහා ලාංකිකයින් එක පොකුරකට ගැනීම අප පන්සල වෙත පැවරෙන වගකීමක්. අනාගතයේදී අපේ සංස්කෘතිය ආගම දහම රැක දීමට නම් ළදරු පරපුරට තම සමජයේ වතාවත් සිරිත් විරිත් ගැන දැණුවත් කිරීම අප විහාරස්ථානය විසින් කළ යුතුම වෙනවා,’ යසස්සි හිමියෝ  අපට විහාරස්ථානයේ කෙරෙන සමාජීය මෙහෙවර ගැන මා දැනුවත් කළහ.

මා  කීපවරක්ම වල්ගම රේවත හිමියන් හමුවීමට ගියද  උන්වහන්සේ තරුණ කණ්ඩායමක් සමග සාකච්ජාවක සිටියහ. එය නිම වූ පසු නැවත දායක පිරිසක් සමග පන්සලට අලුතින් මිලදී ගත් ඉඩමේ ලොකු සාකච්ජාව යෙදුණාහ. මා එතැනට ගොස් උන්වහන්සේ මුණගැසීමේ අපේක්ෂාවෙන් ටික වෙලාවක් බලා සිටියෙමි.

‘මහත්තයා මම එන්නම්. තව විනාඩි පහක් දෙන්න,’  උන්වහන්සේ දන්වා සිටිසේක.

පසුව  අපවෙත වැඩම කළ  ඒ හිමි සමග මම ධර්ම ශාලාවේ මේසයකට සමීප වුණෙමි.

‘හාමුදුරුවනේ, මම ආවේ පන්සලේ අතීත වගේම වර්තමාන කතාවත් ගැන කෙටියෙන් පත්තරයට ලියන්න,’ උන්වහන්සේ ගේ අවසරය පිට අසුන් ගන්නා ගමන් මම පවසා සිටියෙමි.

‘මහත්තයා මම මේ පන්සල පටන් අරගෙන කාලයකට පස්සෙ පැමිණියේ. මෑත යුගය ගැන නම් විස්තර කරන්න පුළුවන්.’

මා වෙත පැහැදිලි කර දුන් හා මා දැක ඇති ආකාරයට උන්වහන්සේ, නායක මා හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ තරුණ කණ්ඩායම් වගේම වැඩිහිටි දායක දායිකාවන් ඇසුරු කරමින් ඔවුන් හා විහාරස්ථාන භාරකාරත්වය සමග මනා සම්බන්ධීකරණයක් කරමින් සිටිති. මෙම උත්සව සංවිධාන කටයුතුවලට සිය ගණනක් සහාය දෙති.  එමෙන්ම හාරදහසක් පමණ ලාංකිකයෝ උත්සවවලට සහභාගි වෙති.

‘පසුගිය බක්මහ උළෙල, වෙසක් තොරණ, දන්සැල් ආහාර සල්පිල් කඨින පිංකම් වගේ විවිධ වූ දැවැන්ත කටයුතු ටිකක් ගැන යමක් දැන ගන්න ඇත්නම්,’ මම කියා සිටියෙමි.

‘මහත්මයා ඒක මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම අනුව තමයි අප මේවට සහභාගි වෙන්නෙ. මේවායේ සම්පුර්ණ ගරුත්වය උදේ, හවස, රාත්‍රී ඇප කැප වන භාරකාරත්ව සමිතිවල සභාපතිවරුන් ඇතුළු කණ්ඩායමට හිමි විය යුතුයි. ඊට අමතරව දහස් ගණනක් දායකයන් අපට කැමැත්තෙන් සහයෝගය ලබා දෙනවා. ඒ නිසා තමයි මෙච්චර විශාල වැඩසටහන් රැසක් වර්ෂය පුරා ක්‍රියාත්මක වෙන්නෙ. විහාරවාසී යසස්සි හාමුදුරුවෝ ඇතුළු සියලුම හාමුදුරුවරු දායක දායිකාවන් සමග උරෙන් උර ගැටිලා  කටයුතු කරලා තමයි අරමුණු සාර්ථක කර ගන්නේ. පසුගිය බක්මහ උළෙලට  සංවිධාන මණ්ඩලයේ සාමාජිකයන් විතරක් 250 ක් පමණ හිටියා. සල්පිල්, සංස්කෘතික අංග හා ක්‍රීඩා ඇතුළු දවස පුරා විශාල සෙනගක් හසුරවමින් හරියට විනාඩියට හැම දෙයක්ම සාර්ථකව අවසන් කරන්නට අපේ දායක තරුණ වැඩිහිටි අය දක්ෂ වුණා. විශේෂයෙන්ම වර්තමාන නවසීලන්ත ළමා පරපුරට අපේ බෞද්ධ සංස්කෘතිය පමණක් නොව සිංහල සිරිත් විරිත්වලින් දැණුවත් කළ යුතුව තිබුණා. මෙවැනි උත්සව ඇතුළේ  අපි තරුණ හා ළමා ප්‍රජාවට කියා දුන්නේ එම පාඩම. විශේෂයෙන්ම මිහිඳු දහම් පාසැලේ ළමුන් ඉතා ක්‍රියාකාරී ලෙස මෙම සියලුම උත්සවවලට සහභාගි කර ගන්නවා. ඒ තුළින් අපේ ඊළඟ ළමා පරපුර අපේ බෞද්ධ සංස්කෘතිය හා ලාංකික සිරිත් විරිත් ඉගෙන ගැනීම අද දවසේ අපේ විහාරස්ථානයෙන් ආගමික වැඩසටහන්වලට අමතරව කරන තවත් දෙයක්. ජාතියක් විධියට අපේ අනන්‍යතාවය රැක  ගැනීම නායක හාමුදුරුවන්ගේ අපේක්ෂාවයි.’යි පවසමින් රේවත හාමුදුරුවන් පැහැදිලි කළෝය.

වැඩ බහුල හිමි නමකට එතරම් කාලයක්  සාකච්ඡාවක රැඳී සිටිය නොහැක. තවත් පිරිසක් රේවත හාමුදුරුවන් හමුවීමට අපේක්ෂාවෙන් ද සිටියහ. මා මිදුලට බැස යන විටම  හමු වූ තවත් මිතුරෙක් පන්සල ආරම්භයේ සිටම අදවන තෙක් ඉතිහාසය කට පාඩමින්ම අපට කීවේය.

‘අපිට ලාංකික හාමුදුරු නමක් නවසීලන්තයට අවශ්‍ය වෙලා තිබුණේ 1990 දශකයේ මුල් කාලයේ සිටමයි. එක දවසක් ආරංචි වුණා ලංකාවේ හිමි නමක් වන මුගුණුවල අනුරුද්ධ නම් ස්වාමීන්වහන්සේ  නමක්  ඔටාහු වියට්නාම පන්සලක ඉන්නවා කියලා. ගොඩාක් අය  ඒ ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. පන්සලක් පටන් ගන්න තියෙන උවමනාව කිව්වම එක දවසක් එම පන්සලේ නුග ගහ යට රැස්වීමක් තිබ්බා. අපි විසි දෙනෙක්  විතර හිටියා මට මතක විධියට. දායකයෝ වියදම් ගැන නොයෙක් යෝජනා කළා. ඒවාට හාමුදුරුවන්ගෙ පිළිතුර ඉතා ඝෘජු එකක්.

‘මහත්තයලට තියෙන විධියට ආධාර කරන්න මදි ටික මම හොයා ගන්නම්. දානයත් පුළුවන් විදියට දෙන්න. නැති දවසට ඒකත් අපි බලා ගන්නම්. ඒ නිසා අපි එකතුවෙලා ලංකාවේ පන්සලක් නවසීලන්තෙ පටන් ගමු. දහම් දැණුමැති නායක ස්වාමීන් වහන්සේ නමක් මෙහාට එන්න මම කැමති කර ගත්තා ඊයේ.’  පද්මසිරි ලැම්බට් වන ඔහු අපට විස්තර කළේ 1999 දී මුගුණවෙල ස්වාමීන්වහන්සේ  සමග වු මුල්ම කතා බහ ගැනය.

‘මුල්ම විහාරස්ථාන දායක සභාවේ සභාපති දෙල්වල මහතා  ටික කාලයකින් විදේශ ගත වුණාම ෂර්ලි පෙරේරා තාවකාලික සභාපති වුණා. 2000 අවුරුද්ද තිස්ස ප්‍රනාන්දු සහතා සභාපති වෙලා දැනට විහාරස්ථානය තිබෙන ඉඩම සහ ගෙය මිලදී ගන්න විශේෂ මෙහෙයක් ඉටු කළා.

‘ඒ කාලයේ අශෝක  ඩයස් දොස්තර මහත්තයා   මාසිකව ආධාර ප්‍රධානය කරවීමට දිවා රාත්‍රී දෙකේම දායක දායිකාවන් පෙළඹෙව්වා. ඒක විශාල ශක්තියක් වුණා පන්සලේ පැවැත්මට. 2005 දී ජස්ටින් සිල්වා  මහතා සභාපතිත්වයට පත්වුණා. එම කාලයේ විහාරස්ථානයේ නව ගොඩනැගිලි ආරම්භ වුණා. 2007 දී කුමාර් වික්‍රමආරච්චි  මහතා සභාපති වශයෙන් පත් වීමත් සමග සංඝාවාසය ඉදිකිරීම අරමුණ කල එළියට පැමිණියා. ඒ අනුව 2011 වනවිට සංඝාවාසය ඉදි වුණේ නිශ්ශංක කුමාරවංශ මහතා  සභපති වෙලා ඉන්න කාලේ. 2013 කාලයේ ධර්මසේන මැදගොඩ මහතා සභාපතිත්වය දරන කාලය තුළ චෛත්‍යය ගොඩ නැංවීමට අවශ්‍ය කටයුතු සංවිධානය වුණා.

‘2014 බන්දුල එදිරිවීර මහතා එම තනතුර දරන යුගයේදී තමයි චෛත්‍යය ඉදි කරලා විවෘත කළේ. දොන් හෙට්ටිආරච්චි මහතා  2016 ඉඳල 2021 වෙනතුරු දුෂ්කරම කොරොනා ව්‍යවසනය සමයේ භාරකාරත්වය භාර ගත්තේ. ඉතා අසීරු කාලයක් වුවද යාවට තිබු තවත් ඉඩමක් පන්සලට එම වකවානුවේ හිමි කර ගත්තා. 2021 සිට ලැම්බට් ප්‍රනාන්දු මහතා  සභාපති වුණා. එකළ ඊට යාව තිබුණු තවත් ඉඩමක් පන්සලට මිලදී ගැනීමට හැකිවීමත් සමග අද තිබෙන ඉඩ කඩ ඇති අංග සම්පුර්ණ විහාරස්ථානයක් නවසීලන්තයට ක්‍රමක් ක්‍රමයෙන් හිමි වුණා.’  ඔහු විස්තර කළේය.

සටහන විභවි විසින්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.