ඩනීඩීන් වාසී ශ්‍රී ලාංකික තරුණ පිරිස සමග අත්වැල් බැඳ ඔටාගෝ සරසවියෙහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය හා එක්ව මෙවර ඩනීඩින් බක්මහ උලෙළ උත්කර්ෂවත් අයුරින් මැයි මස පළමු දින පැවත්වූහ.
කිරි උතුරවා අලුත් අවුරුදු මේසය ඉදුල් කිරීමෙන් බක්මහ උලෙළ ආරම්භ කරන ලදී. උලෙළහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩනීඩීන් සිටිකවුන් සිලයේ මන්ත්‍රී වරයකු වන ස්ටිව් වොකර් මහතා සහභාගී විය. ප්‍රධාන සංවිධායක ඉදුනිල් සිල්වා මහතා පිළිගැනීමේ කතාව පැවත්වූ අතර සුරංග දසනායක මහතා හා රන්දිම ගමගෙ මහතා උත්සව සභාව මෙහෙය වූහ. ඔටාගෝ සරසවියෙහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය වෙනුවෙන් දනුධ ජයවර්ධන, හිරුෂි ජයසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සභාව ඇමතූහ.
ඩනීඩීන්වාසී ශ්‍රී ලාංකික දුදරුවන් ඉදිරිපත් කළ අලංකාර අවුරුදු නැටුම උත්සවය විචිත්‍රවත් කළේය. උත්සවය ට සහභාගීවූ ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් කළ ජන ගී ගායනා අංගය උත්සවයෙහි අවුරුදු සිරිය වර්ධනය කරවීය. අලියාට ඇස තැබීම, කනා මුට්ටිය බිදීම, කොට්ටා පොර ගැසීම, බනිස් කෑම, බැලුම් පිපිර වීම, ගම හරහා දිවීම, ගොනියෙහි බැස දිවීම, දෙහි ගෙඩිය හැන්දෙහි තබා දිවීම ආදී අවුරුදු ක්‍රීඩා රාශියක් දිනය පුරා පැවැත් විය. සමහර තරග සදහා ලාංකීය දූ පුතුන් පමණක් නොව හිතවත් කිවි දරු දැරියන්ද උද්යෝගයකින් යුතුව සහභාගී වීම කැපී පෙනුනි.
කුඩා දරුවන් හා වැඩිහිටියන් සඳහා වෙන් වෙන්ව සංගීත පුටු තරග පැවැත්වු අතර එම ඉසව් පැමිණි සිටි පිරිස සිනා සාගරයක ගිල්වීමට සමත් විය. ඔටාගෝ සරසවියෙහි ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් පැමිණි දනුධ ජයවර්ධන, හිරුෂි ජයසිංහ, අනුක ජයකොඩි, භාවනා විජේසූරිය, තරුෂි නානයක්කාර, රන්මලී එගොඩගම, විමුක්ති ඉදුනිල්, සතු සුගත්, ජයලි පෙරේරා. ත්‍රිවින්ද්‍ය විලියම්, ගරුන්යා උදයකුමාරන්, ටාෂි ගමගේ යන තරුණ තරුණියන් දිනය පුරාම රැදෙමින් බක්මහ උලෙළ සාර්ථක කරගැනීමට කැපවීම වැඩිහිටි කාගෙත් ප්‍රශංසාවට පාත්‍ර විය. අවුරුදු කුමරා ලෙස විමුක්ති ඉදුනිල් හා අවුරුදු කුමරිය ලෙස රන්මලී එගොඩගම කිරුළු පැළැඳූහ.
සටහන : නදී – ඩනීඩීන්
ඡායා රූප : නිශාන්ත නාමල් ගමුවගේ