fbpx
9 C
New Zealand
Tuesday, June 28, 2022

The Only Sri Lankan Community Newspaper in New Zealand

අධාත්මික දියුණුව ලෞකික යහ පැවත්මටද අවශ්‍යය – ආචාර්‍යය රෝහණ උල්ලුවිස් හේවා සමඟ ශ්‍රීLankaNZ පිළිසඳර

Must read

~~ පිළිසඳරක් with Dr. Rohana Ulluvis Hewa ~~

අද, පිළිසඳර වැඩසටහනට අප හා එක්වන්නේ  වන ආචාර්‍යය රෝහණ උල්ලුවිස් හේවා  මහතාය. ඒ මහතා අදහස් කරනවා අපගේ අධ්‍යාත්මික දියුණුව ගැන වැඩි අවධානය යොමු කරල  අපේ සාකච්ඡාව ගෙනියන්නට.

මුලින්ම අපි ශ්‍රී ලංකන්ස් වෙනුවෙන් ඔබ  තුමන් ඉතා සාදරයෙන් හා ගෞරවයෙන් පිළි ගන්නවා.  ඒ ගමන්ම  අපට කරුණාකරල කියන්න පුළුවන්ද ඔබ ලංකාවේ ඉටු කළ කාර්‍යභාරය?

 මේනකා, පළමුවෙන්ම මේ අවස්ථාවට සහභාගි වීමට මට ඇරයුම් කළාට ඉතාම ස්තුති වෙනවා.

අපේ රටේ කළ කාර්‍යභාරය ගැන කතා කරන කොට, මම පළමුවෙන්ම ශ්‍රී ජයවර්ධන ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හදාරලා  එම විශ්ව විද්‍යාලයේම ආචාර්යවරයෙකු විදිහට සේවයට බැඳුණා. ඊට පසුව පශ්චාත් උපාධිය කිරීමට පිට රට ගියා .  මුලින්ම ජර්මනියෙ Heidelberg විශ්ව විද්‍යාලයේ අවුරුදු දෙකකුත්  එක්සත් රාජධානියේ London school  of Economic වල විද්‍යාපති (Masters) උපාධියත්  ජපානයේ විශ්ව විද්‍යාලයේ අවුරුදු හතරක ආචාර්‍යය උපාධියත් කළා.  

මගේ ඉගැන්වීම් , දේශන, පර්යේෂණ, උපදේශන කේන්ද්‍රගත වෙලා වුණේ ආර්ථික සංවර්ධනය ත් සංවර්ධන භූගෝල විද්‍යාවත් ගැනයි. ඒ විෂයයන්ට සම්බන්ධ වෙච්ච දෙයක් තමා තිරසාර සංවර්ධනය (sustainable development )  කියන දේ. මගේ පර්යේෂණත් හා ඉගැන්වීම් වලත් යෙදෙන කොට තිරසාර සංවර්ධනය ලබා ගන්නේ කොහොමද,  ඒකට තියෙන බාධා මොනවාද කියන දේවල් පිළිබඳව සොයා බැලුවා. 

1970 – 1980 –  මහවැලි ව්‍යාපෘතිය, කර්මාන්තපුර ව්‍යාපෘති වගෙ ඒවයෙන්  රටේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් වුණ කාලයේ ඒ  කඩිනම් සංවර්ධනයත් සමග ඇතිවූ පාරිසරික විපාක හා සමාජය තුළ ඇතිවුණු සෘණාත්මක වෙනස්වීම් ගැන මම පර්යේෂණ හා උපදේශන සේවා සිදුකළා. උදාහරණයක් විදිහට මහවැලි ව්‍යාපාරය සිදු කරන කොට ඇති වුණ පාරිසරික විනාශවීම්, දේශීය කෘෂිකර්මයට ඇති වුණ ඍණාත්මක බලපෑම් වගේ දේවල් සැලකිල්ලට අරගෙන සමාජය තුළ ඇති වන ඍණාත්මක බලපෑම් ගැනත් ,එහි ප්‍රතිලාභ  බෙදී යාමේ අක්‍රමතාවය  ගැනත් අවධානය යොමු කළා.

සංවර්ධනයේදී සිදු වෙන තවත් දෙයක් මේ වගේ සිදුවීම වල වැඩිපුරම බලපෑම වුණේ  පිරිමි පාර්ශවයට.  ග්‍රාමීය පැතිවල කාන්තාවන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටමකට ඇද වැටුණා. තවත් කරුණක් තමයි ලාංකීය දේශීය කෘෂි කෘෂිකර්මාන්තයේ ඇති වුණ  විනාශවීම. දේශීය දැනුම පිරිහෙන්න  පටන් ගත්තා. මේ වගේ බලන කොට  රටක කඩිනම් සංවර්ධනයේදී පරිසරයෙත් සමාජයෙත්  ඇතිවෙන අසමතුලිත බව නිසා තිරසාර සංවර්ධනයක් රට තුළ සිදු නොවන බව මා කළ පර්යේෂණවලින් අනාවරණය වුණා.

මේ කියන කාරණා අනුව, විෂයපථයක් විදිහට ගත්තොත් ඔබ භූගෝල විද්‍යාවෙන් අධ්‍යාත්මික විෂයකට යොමු වෙලා තියනවා. මේ වෙනස සිද්දවුණේ කොහොමද කියල කියන්න පුළුවනිද? 

 ඒ  ඉතා කෙටි කාලයක් තුළ වුණ වෙනස් වීමක්.  ලංකාවේ තිරසර සංවර්ධනය ගැන කළ  පර්යේෂණවලින් පස්සෙ  මම ඉස්ලාමීය රටක් වන බෲනායිවල විශ්වවිද්‍යාලයට සේවයට ගියා. ඒ රටේ මම ඉගැන්නුවේ සංවර්ධන භූගෝල  විද්‍යාව, සම්පත් කළමණාකරණ භූගෝල විද්‍යාව, ආර්ථික භූගෝල විද්‍යාව වගේ විෂයයන්. මම  විශ්වවිද්‍යාලය ට ගියාට පස්සෙ  ඉස්ලාමීය ආගමික  දෘෂ්ටිකෝණයෙන් මිනිස් සංවර්ධනය දිහාත් බලන්න ඕනි කියල අලුත් ප්‍රතිපත්තියක් ආවා.  ඉස්ලාම් ආගම ගැන  මම නොදන්න නිසා, මගේ  දේශනයක් කරන්න මම ඒ විශ්වවිද්‍යාලයෙම ආර්ථික විද්‍යාව ඉගැන්වූ ඉස්ලාමීය ආචාර්‍යයවරයෙකුට ආරාධනා කළා. ආර්ථික සංවර්ධනයකට නම් ඒක පුද්ගල ආදායම එක්කම පුද්ගලයෙකු ආධ්‍යාත්මයෙනුත් දියුණු විය යුතුයි, ඒ තුළින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ හැකියි නැතිනම් ඒක පුද්ගල ආදායම වැඩි වුණාට ඔවුන්ගේ සතුට අඩු වෙන්න පුළුවන්  කියන අදහස ඉදිරිපත් වුණා.  

අනිත් කරුණ අධ්‍යාත්මික දියුණුවක් සිදු නොවුණොත් එය පරිසර විනාශයටත් හේතුවන්න පුළුවන්.  මම මෙච්චර කල් හිතාගෙන හිටියේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන්නේ බාහිර මය වෙනස් වීම විතරයි කියලා. නමුත් ඊට අමතරව  තිරසාර සංවර්ධනයක් සඳහා අප ඇතුළෙ අධ්‍යාත්මිකව වෙනස්වීමත් අවශ්‍යයි කියලා තේරුම් ගත්තා. මම මේ ගැන දිගටම අධ්‍යයනය කළා. ශිෂ්‍යයන් එක්ක කතා කළා. ඉස්ලාම් ආගම ගැන කියවන්න පටන් ගත්තා. කුරානය ඇසුරු කරන්න පටන් ගත්තා. තිරසාර සංවර්ධනයට අධ්‍යාත්මිකව ශක්තිමත් විය යුතුයි යන්න ඒ තුළින් මම අවබෝධ කරගත්තා. 

මම අවුරුදු පහමාරක් විතර බෲනායිවල හිටියා. ඒ කාලයේදී භාවනා කරන්න මට අවස්ථාවක් ලැබුණා ඒ තුළින් මගේ සිත සැහැල්ලු වුණා. එතනදී මට හුඟක් දේවල් ගැඹුරින් දකින්නට අවස්ථාවක් ලැබුණා. එතකොට මම ආර්ථික සංවර්ධනය හා අධ්‍යාත්මික දියුණුව පිළිබඳ තවදුරටත් පුළුල් ව දකින්නට පෙළඹුණා.

මොකක්ද මෙතනදි අධ්‍යාත්මික දියුණුව කියල ඔබ අදහස් කරන්නෙ?  කොහොමද අපි අධ්‍යාත්මික දියුණුව ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපා ගන්නේ?

මෙය ආගමක් නොවේ , ඇතුළාන්තයෙන්ම සිදුවන වෙනසක්. ඒ කියන්නේ  ‘මම’ (self) කේන්ද්‍රකරගත් චින්තනයේ සිට ඒ චින්තනය (empathy) පොදු ජනතාව කේන්ද්‍රකරගත් චින්තනයකට පරිණාමනය වෙනවා කියන එකයි.  අන්න ඒ විදිහේ ඇතුළාන්තයෙන් සිදුවන වෙනසකට තමා අධ්‍යාත්මික වෙනස කියන්නේ. මේ ඇතුළාන්තයෙන් සිදුවන වෙනසට විවිධ ක්‍රමවේදයන්  ආගම තුළින් හඳුන්වා දී තිබෙනවා. 

තව විදියකට ගත්තොත් මුලින්ම  සතුන්ගේ තත්වයේ ඉඳලා ටික ටික පරිණාමයවෙලා , අපි මනුස්සයා බවට පත්වෙලා තියෙනවා. මනුස්සයා තමයි පරිණාම යේ  අග්‍රඵලය. නමුත් දැන් මේ පිළිබඳ අලුත් මත ඉදිරිපත් වෙලා තියෙනවා. වර්තමානයේ මනෝවිද්‍යාවේ අලුත් විෂය නිර්දේශයට ( ‘ transpersonal psychology ‘) අනුව, අපේ   පරිණාමය තවමත් අවසන් වෙලා නෑ.  මෙතෙක් කල් පරිණාමය වුණේ ජීව විද්‍යාත්මක වශයෙන් පමණයි.  ශරීරය විතරයි . නමුත් ඊළඟට අපේ චින්තන පරිණාමය සම්පූර්ණ වුණාම  තමා මනුෂ්‍යයෙකු සම්පූර්ණ බවට පත්වෙනවා කියන්නේ . මේක  චින්තන පරිණාමය (psychological spiritual development) කියලා ඔවුන් විසින් හඳුන්වනවා. අපි පූර්ණ මනුස්සයෙකු බවට තවම පත්වෙලා නැහැ. මෙතැනදී  ‘මම’ කේන්ද්‍ර කරගත් චින්තනයේ සිට පොදු ජනතාව පිළිබඳ චින්තනයට මාරු වීම, සිදුවිය යුතු වෙනසක් ලෙස මම දකිනවා.

අනිත් කරුණ නම් අධ්‍යාත්මික දියුණුවක් සිදු නොවුනොත් එය පරිසර විනාශයටත් හේතුවන්න පුළුවන්. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන්නේ බාහිරමය වෙනස් වීම විතරයි කියලා. නමුත් ඊට අමතරව  තිරසාර සංවර්ධනයක් සඳහා අප ඇතුළෙ අධ්‍යාත්මික වෙනස්වීමත් අවශ්‍යයි කියලා තේරුම් ගත්තා. පසුව මම මේ ගැන දිගටම හෙව්වා .ශිෂ්‍යයන් එක්ක කතා කළා. ඉස්ලාම් ආගම ගැන කියවන්න පටන් ගත්තා. කුරානය ඇසුරු කරන්න පටන් ගත්තා. ඒ තුළින් තිරසාර සංවර්ධනයට ආධ්‍යාත්මය ශක්තිමත් විය යුතුයි යන්න මම අවබෝධ කරගත්තා. 

මම අවුරුදු පහමාරක් විතර එහි තනියම හිටියා. ඒ කාලයේදී භාවනා කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ තුළින් මගේ සිත සැහැල්ලු උනා. එතනදී මට හුගක් දේවල් ගැඹුරින් දකින්නට අවස්ථාවක් ලැබුණා. එතකොට මම ආර්ථික සංවර්ධනය හා අධ්‍යාත්මික දියුණුව පිළිබඳ තවදුරටත් පුළුල් ව දකින්නට පෙළඹුණා. මෙතැනදී මම කේන්ද්‍ර කරගත් චින්තනයේ සිට පොදු ජනතාව පිළිබඳ චින්තනයට අපි මාරු වීම,  සිදුවිය යුතු වෙනසක් ලෙස මම දකිනවා.

උදාහරණයක් විදිහට ගහක් වැඩෙන කොට පරිසරයෙන් ඔක්සිජන්, වතුර, සූර්යාලෝකය ලබාගන්නවා.  පස්සෙ ගහ ආහාර නිෂ්පාදනය කරනවා . ඒ දක්වාම ගහ  කරන්නේ තමන්ගේ අවශ්‍යතාවයට ආහාර නිපදවීමයි. ඊට පස්සෙ මල්, ගෙඩි සෑදී අන්‍යයන්ට ප්‍රයෝජනය ගැනීමට ක්‍රියා කරනවා. අන්න ඒ වගේ අපි පීදිච්ච නැති ගස් වගේ. හිත හැම තිස්සේම ‘මගේ’ (self) යහපත තකා සියලුම දේ සිදු  කරවා. එහෙම ඉඳලා පූර්ණත්වයට පත් වුණහම පොදුජන යහපත ට සේවය කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමට කටයුතු කරනවා. නමුත් අධ්‍යාත්මික දියුණුවේ දී සිදුවන්නේ  ‘මම’ කේන්ද්‍රකරගත් චේතනාවේ ඉඳල පරාර්ථකාමී චේතනාවකට ළඟා වීමයි.

ආචාර්යතුමනි  අධ්‍යාත්මික දියුණුව ප්‍රායෝගිකව අපේ දියුණුවට වැදගත් වන්නේ කොහොමද?

විවිධ සොයාගැනීම් වලට අනුව මිනිසා නිර්මාණය වෙලා තියෙන්නේ අධ්‍යාත්මිකව දියුණු වෙන්න පුළුවන් විදිහටයි. විභව වශයෙන් මේ තත්ත්වයට පත් වෙන්නට හැම මනුෂ්‍යයෙකුටම හැකියාව තියෙනවා.  එය  ජීවිත-අරමුණ ලෙස පෙන්වා ගැනීමට හැකි විද්‍යාත්මක සාක්ෂි ලෙස, ඇමරිකා එක්සත් ජනපදයෙ විද්‍යාඥයින් විසින් අවුරුදු 80 ක පමණ දත්ත එකතු කර ආත්මාර්ථකාමී චින්තනය ඇති මිනිසුන්ට වඩා පරාර්ථකාමී චින්තනය සහිත පුද්ගලයින් නිරෝගීව සතුටින් දීර්ඝ කාලයක් ජීවත් වන බව සොයාගෙන තියෙනවා.

නමුත් අපි ජීවත් වෙන්නේ ‘මම’ කේන්ද්‍රකරගෙන .අන්න ඒ නිසා අපිට අපේ සතුට නැති වෙලා තියෙනවා.  සෞඛ්‍ය සම්පන්න බව නැති වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් ජීවත් වෙන්න අමාරු වෙලා තියෙනවා. නමුත් මනුෂ්‍යයකු ලෙස අපි නිර්මාණය වෙලා තියෙන්නේ අධ්‍යාත්මිකව දියුණු වෙලා පූර්ණ මනුෂ්‍යයකු බවට පත්වීමටයි.එසේනම් අපට අධ්‍යාත්මික දියුණුව අවශ්‍ය වන්නේ මරණින් පස්සෙ නොවේ . එය මනුස්සයකු ලෙස පූර්ණත්වයට පත් වූ පසු ලැබෙන ප්‍රතිලාභයකි.

 අපි හැම සේම තමන් වෙනුවෙන් වැඩ කරන නිසා මානසික පීඩනයකට පත්වෙනවා. තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඇති ආශාව නිසාම අපිව පෙළඹීමට වෙනවා. පස්සෙ මේ ඉලක්ක අපිට නොලැබෙයි කියන බයට අපි ක්‍රියාත්මක වෙනවා. අකමැති දේ බයෙන් හරි කරනවා. එතකොට අපි මානසික පීඩනයකට  පත්වෙනවා, නැත්නම් මානසික ව ගැටීමකට පත් වෙනවා.  එතකොට අපිට ප්‍රශ්න එනවා. නමුත්  අපි  පූර්ණත්වයට පත් වෙනකොට පොදු ජනයාට සේවය කිරීමට ඇති  කැමැත්ත එහෙමත් නැතිනම්  ‘විශ්ව ආදරය’  අප තුළ ඇතිවෙනවා.  එතකොට  සන්තෝසෙන්, සිහියෙන් අපිට වැඩක් කරන්න පුළුවන් වෙනවා.

ඊළඟට අපේ සම්බන්ධතාවයන් යහපත් තත්වයට පත් පත් වෙනවා. මෙයට සාක්ෂි විදිහට ඇමරිකා එක්සත් ජනපදය විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් විසින් කළ ගවේශනයක් ඔස්සේ වැඩ කරන ජනයා Takers, Matches, Givers කියල කොටස් තුනකට බෙදා හඳුන්වා තියනවා. 

1.Takers – තමන් දෙනවට වඩා අනුන්ගෙන් ගන්න පෙළඹ වෙන අය

2.Matches – තමන් ගන්න ප්‍රමාණයට සරිලන ලෙස දීම.  බැලන්ස් කරන අය.

3.Givers-: තමන්ට ලැබෙන දෙයට වඩා,  අනුන් වෙනුවෙන් සේවයට කැප වුණ අය.

මෙහි ඇති රසවත්ම සොයාගැනීම ලෙස හැම විටම ජීවිතය සාර්ථක වන්නේ  Givers ල බව හඳුනාගෙන තියනවා. සමහර අවස්ථාවලදී ඔවුන් Takers ලා නිසා ප්‍රශ්න ඇති කර ගැනීමේ තත්ත්වයට පත්වෙනවා. හේතුව Takers ලා තමන්ව ඉස්මතුවෙලා ඉන්න තැත් කිරීම නිසාය.  ඒ නිසා ඔවුන් Takers ලාට අසු නො වී  වැඩ කළ යුතු බව පවසා සිටිනවා.

මේ හැම අයුරකින්ම බලන කොට ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අධ්‍යාත්මික දියුණුවේ ප්‍රායෝගික පැත්ත උදව් වන බව පෙනෙන්නට තියනවා.

අපි කැමැතියි ඔබ ලියූ පොත් පත්  පිළිබඳවත් දැනගන්නට.

මම මුලින්ම Spirituality and Sustainable Development කියල පොතක් ලියුවා. මා පෙන්වා දුන්නේ තිරසාර සංවර්ධනයක් සිදු වන්නට නම් බාහිර සාධක වලට අමතරව මනුස්සයෙකුගේ ඇතුළාන්තයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවයි. විද්‍යාත්මක සාක්ෂි ඇතිව ප්‍රකාශයට පත් මේ පොත ලියන්න මට අවුරුදු පහක් ගත වුණා .පසුකාලයක මේ පොතේ අන්තිම  පරිච්ඡේදය Policy  Recommendation එකක් ලෙස පාසල තුළ ඉගැන්විය යුතු බව සඳහන් වුණා.  මාගේ දෙවැනි පොත ‘Understanding Spirituality in Rational Terms’  කියල  නම්කළා.මේ වගේ පොත් තමා මම  මෙහෙ සිට ලීවේ .

ඒ පොත් වලට ලැබුණු පිළිගැණීම් හා සම්මාන පිළිබඳ සඳහන් කළොත්?

පළමු පොතට  ලොකු ඉල්ලුමක් තියෙන්න පුළුවන් කියල ඇමරිකාවේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු ප්‍රකාශයට පත්කර කරන්න කිව්වා . 2014 වසරේ මේ පොත ඇමරිකාවේදී International Book Award Ceremony එකේදි හොඳම පොත් හතරෙන් එකක් ලෙස නිර්දේශ වුණා. ඊට පස්සෙ නවසීලන්තයේ පළ කළ  Spirituality Demystified කියන පොතට ‘Aston Wylie Charitable Trust වලින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී පළමු සම්මානය ලැබුණා.

ඊළඟට ‘ Manawatu Standard’, Massey University, Guardian කියන පත්තර වලින් සාකච්ඡා පවත්වන්නත්  ආරාධනා ලැබුණා. ඊට අමතරව මුල් මාස දෙකේදීම ඇමරිකා එක්සත් ජනපදයේ පුස්තකාල වලට මේ පොත හඳුන්වා දුන්නා. ඔස්ට්‍රේලියාවේත් යුරෝපයේ රටවලත් දුන්නා මේ පොත ජනප්‍රිය වුණා. අමෙරිකා එක්සත් ජනපදයේ  සමහර අධ්‍යයන ආයතන වල මේ පොත  පාඨ ග්‍රන්ථයක්  (Text Book)  එකක්  ලෙස යොදා ගත්තා. එම ශිෂ්‍යයන්ට Zoom තාක්ෂණය ඔස්සේ දේශනයක් පැවැත්වීමට  මට අවස්ථාව ලැබුණා. තවත් අවස්ථාවක, මෙය උපයෝගී කරගෙන එක් ශිෂ්‍යයෙක් ‘ Sustainable Spiritual Journey’  කියල පර්යේෂණ නිබන්ධනයක් (Thesis) සම්පූර්ණ කළා. මම මේ ගැන නවසීලන්තයේත් හා ඕස්ට්‍රේලියාවේයේත් දේශන පවත්වලා තියනවා. ඊට පස්සෙ  ‘Sustainable Development and Spirituality’ කියන සංකල්පය ලොව ප්‍රචලිත වුණා.  නවසිලන්තයේ එළිදැක්වූ මාගේ දෙවැනි පොත ඇමේසන් හරහා අලෙවි වන නිසා ඒ ලොව පුරා අදටත් විසිරිලා තියනවා. 

ආචාර්යතුමනි මේ ව්‍යාපෘතිය ලංකාවේ සිදු වන්නේ කොහොමද?

ලංකාවේ පත්තර වලින් මගේ සම්මුඛ  පරීක්ෂණ පවත්වා තියෙනවා. මේ ගැන පත්තරවල   පළවෙලා තියෙනවා . මීට අමතරව  ඇතැම් පදනම්, සංවිධාන දේශන පැවැත්වීමට මට ආරාධනා කරල  තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  පීඨාධිපති තුමා මේ  සම්බන්ධව දේශනයක් කරන්න  මට ආරාධනා කළා. මම Spirituality and Management යන මාතෘකාව ඔස්සේ දේශන පැවැත්වූවා . ඒ දේශනයෙන් පස්සේ මේ මාතෘකාව ඉගැන්වීම් කටයුතු සඳහා  යොදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් විදිහට  ‘Centre for Spirituality in Sustainability of Business Management’ ලෙසින් ඉගෙනුම් මධ්‍යස්ථාන යක් බිහිවුණා. මම  2018 වසරේ මාස හයක පමණ කාලයක් ලංකාවට ගිහින් මේ විෂය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගත්තා. 

අධ්‍යාත්මික දියුණුව සම්බන්ධයෙන් ඔබ ගේ ඉදිරි දැක්ම මොකක්ද?

අද ලෝකය ටික ටික නරක අතට හැරෙනවා යි අදහස් කෙරෙනවා . නමුත් මම දකින්නේ ලෝකය යහපත් අතට හැරී ගෙන එනවා කියන එකයි . දැන් දැන් මිනිසුන් අධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා සහ දියුණු වෙමින් පවතිනවා. World Spiritual Revolution, යන පොතේ මිනිසුන් අධ්‍යාත්මිකව දියුණුවෙමින් පවතින බව සාක්ෂි සමඟ ම පෙන්වා දී තිබෙනවා. මිනිසුන් යහපත් වීම ලෝකයේ සිදුවන ඊළඟ විප්ලවයයි. දියුණු යුරෝපීය රටවල මේ විප්ලවය මුලින්ම සිදු වෙනවා.  අධ්‍යාත්මික දියුණුව පිළිබඳව ලියැවෙන පොත්, සඟරා අලවි  වෙමින් පවතින බව ඇමෙරිකාවේ කළ පර්යේෂණවලින් හෙළි වී තියනවා.  ඇමෙරිකාවෙ මේ පිළිබඳ කටයුතු කිරීමටත් භාවනායෝගී මධ්‍යස්ථාන හා විවිධ ක්‍රියාකාරකම් කිරීමටත් සුදුසු ස්ථාන බිහිවී තියනවා.අතීතය හා වර්තමානය  සසඳන කල දැන් යුද ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර අලුත්ම සංඛ්‍යාත වලට අනුව යුද්ධයකින් මැරෙන සංඛ්‍යාව ද අඩුවෙමින් පවතී. ඉතින් මම එය දකින්නේ යහපත් ලෙසයි.තව කාරණයක් ලෙස අද දියුණු රටවල අධ්‍යාත්මික දියුණුව සිදුවන්නේ ආගමික බලපෑමක් නොමැතිවයි. මෙය We are not Religious, but Spiritual’ ලෙස ද හඳුන් වනු ලබනවා. 

 ලාංකික ප්‍රජාව සඳහා ඔබගේ දායකත්වය කොපමණද? 

අධ්‍යාත්මිකව දියුණු වීමේ ප්‍රායෝගික වැදගත්කම  මැයෙන් මම පත්තරයට ලිපි පෙළක් ලියමින් යනවා. ගොඩක් අය හිතන්නේ අධ්‍යාත්මිකත්වය  අවශ්‍යවන්නේ මේ ලෝකයෙන් පස්සේ කියලා . නමුත් එය ලෞකික අපට සන්තෝෂයෙන්  ජීවත් වන්න  ගොඩක්ම බලපානවා. ඒ නිසා පත්තරය හරහා  මම ඒ දැනුම ලබා දෙනවා. තවදුරටත් අධ්‍යාත්මිකව දියුණු වීම පිළිබඳව මං පර්යේෂණයක් කරන්න බලාපොරොත්තු  වෙනවා. ලංකාවේ දියුණුවට එය යොදා ගැණීමට සිතා ඉන්නවා. ලංකාවේ විවිධ ව්‍යාපෘතීන්  සඳහා මාගේ ඉගැන්වීම් කටයුතු සිදු කරමින් පවතින අතර මාගේ යෝජනාව වුණේ  නවසීලන්තයේ ජීවත් වන විට  වගකීම් සහිත පුරවැසියෙක් ලෙස ජීවත්වීම, නීති ගරුක බව,  විනය ගරුක බව වැනි ආකල්ප වර්ධනය කර ගනිමින් ජීවත්වන ලෙසයි. 

ඔබ තරුණ පරම්පරාවට දෙන පණිවිඩය කුමක්ද?

විද්‍යාත්මකව හා තර්කානුකූල පදනමෙන් අධ්‍යාත්මික දියුණුව දෙස බලා  පරිපූර්ණ මිනිසකු වශයෙන් සතුට සාමය සැනසීම තම දියුණුව තුළින් ලබා ගැනීමට කළ යුත්තේ කුමක් ද කියා සිතා බැලීමට මම ඔවුන්ට ආරාධනා කරනවා. එසේ සිදු නොවේ නම්,  එසේ නොවීමට හේතුව ද සොයා බලන ලෙස යෝජනා කරනවා. එවිට තමන් දැනට ප්‍රගුණ කරන ආගම සරල කර  ඒ පිළිබඳව විද්‍යාත්මකව සොයා බලා තමාගේ  අධ්‍යාත්මික දියුණුවට යොදා ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.  

ඔබගේ වටිනා කාලය මිඩංගු කරමින් අප හා සම්බන්ධ වීම පිළිබඳ ශ්‍රී ලන්කන්ස් හි  අප සියලු දෙනාම   ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.

*** *** ***

Interviewed by Menaka Jayasinghe.
Written by Gavithri Yatihammana.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.