අද දිනයේ ‘ශ්‍රීලංකා නවසීලන්ත’ පුවත්පත ප්‍රජාව වෙනුවෙන් අපේ පිළිසඳරට එකතුවන්නේ වෙලිංටන්හි ‘ඇවලෝන් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ’ වෛද්‍ය රණසිංහ කළුපහන මහතාය.

වෛද්‍යතුමනි, ඔබ කෝවිඩ් 19 (COVID 19) වසංගතය හමුවේ කාර්ය බහුල වූ බව අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඒ පිළිබඳ වර්තමාන තත්ත්වය දැනගන්න කැමතියි.

නවසීලන්තය හතරවැනි මට්ටමට (Level Four) ආවහම අපට අපේ වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වුණා. පළමුවෙන්ම දුරකථන සංවාද හා වීඩියෝ දර්ශන මගින් රෝගීන්ව පරීක්ෂා කිරීම ආරම්භ කළත් එය එතරම් පහසු වැඩක් වුණේ නෑ. අපේ විමසීම් කවුන්ටරයේ වැඩ කරන අය සියලුම දෙනා මුලින්ම හුදෙකලා කර වූවා. කලින්දවසකට රෝගීන් විස්සක් තිහකට සේවය සැපයූ වත් COVID 19 තත්ත්ව යටතේ රෝගීන් පහක් හයක ගානකට තමා සේවය සපයන්න සිද්ධ වුණේ. ටික දවසක් යද්දි තේරුණා, ඒක ටිකක් කරදරකාරී තත්ත්වයක් කියලා. ඉතින් මම කල්පනා කරලා බලලා කිව්වා කැමති කෙනෙකු ට දුරකථන ඇමතුමක් දීලා කෝවිඩ් රෝග ලකෂණ නැත්තං ඇවිත් බෙහෙත් අරගන්න හෝ පැමිණ හමුවන්න කියලා.

ඔබ තුමා සේවය කරන්නේ තමාගේ ම තැනක ද ?

‘Avalon Medical Centre’ කියන තැන තමා මමයි මාත් එක්ක වැඩ කරන දොස්තර මහතෙකුයි දෙන්නම වැඩ කරගෙන යන්නේ.

වෛද්‍ය තුමනි, පවුල් කීයකට විතර ඔබේ සේවාව සපයනවා ද?

මගේ ලැයිස්තුවේ 2000-2500 විතර ඉන්නවා අනිත් දොස්තර මහතාගේ ලැයිස්තුවේත් සැලකියයුතු සංඛ්‍යාවක් ඉන්නවා. ලෙඩුන් සංඛ්‍යාව 1600 ක් හෝ ඊට වැඩිනම් ඒක පූර්ණ සේවාවක් (full practice) විදියට ගනන් ගැනෙනවා.

ඒ අතරින් සෑහෙන පිරිසක් ලංකාවේ වෙන්න ඕනේ කියලයි මගේ හැඟීම නම්.

ඔව්. මම හිතනවා වෙලිංටන්වල සිටින දොස්තර මහත්වරුන් අතරින් වැඩිම ශ්‍රී ලාංකීය රෝගීන් ප්‍රමාණයකට සේවය සපයන්නේ මම කියා.

ඒ පවුල්වල දරුවන් සහ ඔවුන්ගේ දරුවනුත් දැන් ඔබතුමාගෙන් සේවය ලබා ගන්නවා නේද?

ඔව් ඇත්තෙන්ම.

මම හිතන්නේ ඔබ තුමා ශ්‍රීලාංකිකයන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. ශ්‍රී ලාංකික අපට එය විශාල සේවයක්. ඔබ තුමා කල්පනා කරන්නේ කොයි ආකාරයකටද?

ඇත්තටම මේ විදිහට මම කරගෙන ආවා. ඒත් අවුරුදු තුනක හතරකට කලින් පොඩි වෙනසකටත් එක්ක මගේ සේවාවට 50 % මුදලක් අය කරනවා. එය ගෙවා ගත හැකි අයට මම ඒ මුදල ගෙවන්න කියලා ඉල්ලා සිටියා. ඒ කොහොම වෙතත් අපට යම්කිසි ප්‍රතිපූර්ණයක් රජයෙන් ලැබෙනවා. උදාහරණයක් විදියට අවුරුදු 12 න් පහළ ළමයෙකුට අපගේ සේවය ලබා දෙනවා නම් කොහොමත් අය කිරීමක් සිදුකරන්නේ නැහැ. ලැබෙන ප්‍රතිපූර්ණය සලකා බලා ඒ පිළිබඳ තැකීමක් නොකර සිටිනවා.

අනික් ප්‍රජාවන් හා සම්බන්ධ වීම කොහොමද?

යම්කිසි කෙනෙක් මුදල් ගෙවා ගැනීමේ අපහසුතා ඇත්නම් ඔවුනටද නොමිලේ යම් සහනයක් ලබා දීමට කටයුතු කරනවා.

ඔබ මූල්‍යයමය අතින් වගේම මානසිකමය අතින් ද ගොඩක් දෙනෙකු ට උපකාර කරන බව මම අසා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඔබ නිවාඩුවට ගියද එනතුරු බලා සිටිනවා. විශේෂයෙන් වැඩිහිටි පිරිස. ඉතින් ඔබ තුමාට ඉන් ලැබෙන තෘප්තිය පිළිබඳ දැනගන්න මම කැමතියි ?

ලංකාවේ අපි ඉගෙන ගන්නකොට සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනයක් අපිට ලැබුණා. ඉතින් අඩුම ගානේ රටේ කෙනෙකුටඋදව්වක් ලෙස මගේ රාජකාරිය කරන්න පුළුවන් නං ඒක මට සතුටක්. මගේ පරමාර්ථය වන්නේද මා ලැබූ අධ්‍යාපනය උපකාරී කර ගෙන ශ්‍රීලාංකිකයන්ට මගේ සේවාව සැපයීමයි.

වෛද්‍ය තුමනි, ඔබ තුමාගේ කුඩා කාලය හා වෛද්‍යවරයෙකුගේ තත්ත්වය හිමි කරගන්නට දායක වුණ ලංකාවේ පවුල්මය හා අධ්‍යාපනික පසුබිම කොයි වගේද පැවතුණාද දැනගන්න කැමතියි.

කුඩා කාලේ මම හොඳටම දුප්පත් පවුලකින් ආවේ. අම්මා කවදාවත් ඉස්කෝලේ ගිහිල්ලා නෑ. මං හිතන්නේ තාත්තා අවුරුදු හතරක් විතරක් වෙනකන් ඉස්කෝලේ ගියා. ඒ අයට විශේෂ රැකියාවන් තිබ්බෙ නෑ. අම්මා මැහුම් මහල ජීවිතේ හුරු කර ගත්තා. තාත්තා දොඩම්දූවේ, අම්මා හිටියේ වටවල. තාත්තා රස්සාවට ගිහිල්ලා එතනින් තමා අම්මාව අඳුරගෙන තියෙන්නෙ. කොල්ලො තුනයි. මගේ ලොකු අයියා දැන් ජීවතුන් අතර නැහැ. ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්යය වරයෙක්.

අම්මගේ තාත්තගේ අදහස උනේ අපිට උගන්නන්න. ඒ නිසා අපිව ගෙනාවා දොඩම්දූවේ තාත්තලගෙ ගෙදර. එහි අපේ නැන්දලා දෙන්නා ඔවුන්ගේ දේපළ වලින් යැපෙන දෙයින් අපට ඉගැන්නුව. ඉඩම්දුවේ පොඩි ඉස්කෝලෙකින් මූලික අධ්‍යාපනය හදාරල, වටවල ඉස්කෝලෙට ගියා. අවුරුදු දහයක් විතර හිටියා. එතකොට මගේ අයියා මහින්ද විද්‍යාලයට ගියේ. අයියා කිව්වා, “මේ මනුස්සයා මෙහේ තියලා වැඩක් නැහැ, කොලේජ් එකට දා ගන්ඩ ඕනේ කියලා “ .එතනින් මාව වෛද්‍ය පීඨයට තේරුණා. 1962 මුලින්ම පේරාදෙණිය වෛද්‍ය පීඨයට තේරුණ පිරිසෙන් කොටසක් තමා අපි. පසුව මම සෙල්ලමට වැටුණා. කොහොමෙන් හරි හොඳින් ඉගෙනගෙන, වත්තේගම වෛද්‍ය නිලධාරි වෙලා ඉන්නකොට කල්පනා කළා කොහේ හරි එළියට ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඉල්ලුම් පත්තර දැම්මා. නවසීලන්තයෙන් කිව්වා, ඕනේ වෙලාවක එන්න කියලා. හරිම සතුටින් භාරගත්තා. මම ඉල්ලුම් පත්තර එකයි දැම්මෙ, ඒත් පිළිතුරු තුනක් ආවා.

ඒ කාලේ තෝරා ගැණීමේ පිළිවෙල කොහොමද ?

ඒ කාලේ කෙලින්ම ඉස්පිරිතාලයට නැත්තං දෙපාර්තුමේන්තුවට ලියන්න පුළුවන්. ඒ ගොල්ලන්ට ඒ දවස් වල දොස්තර මහත්වරුන් හිටියෙ නැහැ. හැමතිස්සෙම කවුරුහරි එනකන් තමා බලාගෙන ඉන්නේ .ඒ කාලේ ඇබෑර්තු ගැන විස්තර රජයේ පොතක් තිබ්බා . ඒ දවස් වල දොස්තර කෙනෙක් හොයාගන්න අමාරු අවස්ථා තිබ්බා. 1974 මම මෙහෙ එනකොටත් නවසීලන්තයෙන් වටිනාකමක් දුන්නේ රටවල් හයකට විතරයි. ලංකාව ඉන් එකක්. ඔස්ට්‍රේලියාව ,දකුණු අප්‍රිකාව, කැනඩාව එංගලන්තය කියන රටවල් වලින් ආපු උපාදිධාරීන්ව විතරයි ගත්තේ. ඇමෙරිකාවෙන්වත් බාරගත්තේ නෑ.

විශේෂයෙන් පේරාදෙනිය වගේ විශ්වවිද්‍යාල උපාධියක් තිබුණ ලංකාවේ අධ්‍යාපනයට විශේෂ තැනක් තිබිලා තියෙනවා?

ඔව්, ඉස්සර අපි බ්‍රිතාන්‍ අධිරාජ්‍යය යටතේ හිටිය නිසා අවුරුදු ගානක් යනකම් අපිට ලොකු පිළිගැනීමක් තිබ්බා.

පොඩි කාලේ ගැන කතා කරා, ඒ කාලයේ මූල්‍යමය ලෙස කරදර තිබුණු වකවානුවක ඔබට සම්පූර්ණ වශයෙන්ම පාරිසරික නිදහස් බව සැකසිලා තිබුණා නේද? ඉතින් අපි ඒ ගැනත් කතා කළොත්.

යන්තම් වේල් තුන කාල ඉන්න පුළුවන් වුණා නම් අපිට ඒක ඇති .අම්මලා තාත්තාලා අපිට කෑම වේල දුන්න නම් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ .අපිට තියෙන විදියට සතුටු වෙනවා, පවුලක් විදියට සහෝදරයොත් එක්ක සතුටින් ඉන්න, එච්චරයි.

නවසීලන්තයට ආවහම එකලාසයක් වුණේ කොහොමද?

මුලින්ම මං මාස නමයක කොන්තරාත් එකකට ආවේ වංගනුයි රෝහලට. ටික දවසකින් මට ඒ වාතාවරණය හරිගිය නැති නිසා මාස නවයක් වැඩ කරලා කොන්තරාත් එක කඩල වන්දි ගෙවලා මෙහෙන් පිට වුණා. ඒකට හේතුව වුණේ ඒක විශාලමූලික රෝහලක්. සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලා දහ දෙනෙක් ඉන්න ඕනේ තැන අපි කණිෂ්ඨ වෛද්‍යවරුන් දෙන්නෙක් විතරයි හිටියේ. ඉතින් අපිට ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් ගෙන් කිසිම අනුකම්පාවක් උදව්වක් තිබ්බේ නෑ .සති අන්තය හරිම අවිවේකයි.

මේ හේතූන් නිසා මම ඊළඟට සාමාන්‍ය සේවාවට(General Practice) ආවා. මුලින්ම Cartlan වලට ආවා. එතන හරිම හොඳයි. මා සමග සිටි අනෙත් වෛද්‍යවරයා කාන්තාවක්. එතනදි අපි දෙන්නාගෙ නොගැලපීම් හේතුකොටගෙන මම Lower Hutt වලට ආවා. විශ්‍රාම යන්න හිටිය වෛද්‍යවරයෙක් ගෙන් මම මේ තැන අරගෙන ටිකෙන් ටික දියුණු කරන්න පටන් ගත්තා. ඒ වෙද්දි මෙතැන ගොඩක් දුර්වල මට්ටමක තමා තිබ්බේ. ප්‍රසව හා නාරිරෝග සේවාවන් මොනවත් කළේ නැහැ ඒත් මම මෙතන ඒ සේවාවල්ද සපයන්න පටන් ගත්තා. වර්තමානය වෙද්දි මේ තත්වයට ඇවිත් තියෙනවා.

ඒකාකාරී කටයුතු කරන අතරම ලාංකිකය ජනකොටස (Sri Lankan Community) එක්කත් කටයුතු කළා. ඒ පිළිබඳ ඔබට මොනවද කියන්න තියෙන්නේ ?

ඒ දවස් වල මම ශ්‍රී ලාංකීය මිත්‍රතා සංගමය ට සම්බන්ධ වෙලා හිටියා. කමිටුවේ සභාපති වෙලත් හිටියා. ඒ වෙද්දී අපි අවුරුද්දකට සැරයක් හමුවෙලා හැමෝම එකට සතුටු වුණා. නමුත් 1983 අවුරුද්දේ ලංකාවේ කෝලාහලය ආරම්භ වුණු වෙලාවේ අපිට දැනුණා දමිළ ප්‍රජාව රට ඇතුළේ බොරු ප්‍රචාර ගෙනියනවා කියලා. ඒ නිසා අපි සිය දෙනෙක් එකපාර එකතුවෙලා USLA සංගමය ආරම්භ කරා. මුල් අවුරුදු කිහිපය ම අපිට තිබ්බේ සාමය පෙරදැරි කරගෙන ශ්‍රී ලාංකික නාමය ඉදිරියට ගෙනයාමට කටයුතු කිරීමයි. ඒත් ලංකාවෙ තත්ත්වෙ වෙනස් වෙනවාත් සමගම සංස්කෘතික කටයුතු ප්‍රචාරයද වැඩි වෙන්නට පටන් ගත්තා . ඇත්තටම දැන් වෙද්දි මේ හරහා තමා ප්‍රජා සංස්කෘතික කටයුතු කෙරීගෙන යන්නේ.

සංගමයක් ආරම්භ කරනකොට ඒ දවස්වල නවසීලන්තය තිබ්බෙ නීති රීති හා පහසුකම් මොනවාද ? අදහස් ප්‍ර‍රකාශ කරන්න තිබ්බ නිදහස මොනවගේද?

සංගමයක් පටන් ගන්න ප්‍රශ්නයක් තිබ්බේ නැහැ . නමුත් නීති-රීති රෙගුලාසි තිබ්බා. අපි නීත්‍යානුකූල විදිහට එක ආරම්භ කළා. සමාජයක් ලෙස ලියා පදිංචි වුණා. අපෙ නීති රීති මාලාවන් ඉදිරිපත් කළා. එතනදී අපි බැලුවේ අපේ රටේ පවතින සත්‍යය මොකක්ද කියලා, මෙහෙ දේශපාලනඥයන්ට කියලා දෙන්න. නමුත් අපිට වැඩිය පියවර දහයක් විතර ඉස්සරහින් තමා මේ දෙමළ ප්‍ර‍ජාව හිටියේ. ඉතින් අපි හැමතිස්සෙම හිටියේ වග උත්තර කරුවන් වගේ (Defensive) . නවසීලන්තය තමා අනිත් රටවලට වඩා මේ ගැම්ම දුන්නෙත්. මට එක සේවා දායකයෙක් (Patient) හිටියා, Lower Hutt පාර්ලිමේන්තු ධූරය දැරුව. ආරම්භයේදීම මම එයාට කතා කරලා කිව්වා මේ තත්ත්වය ගැන.

එයා හැමතිස්සෙම කිව්වේ මං දන්නා ලංකාවේ සිද්ධි මට කියන්න එන්න ඕනේ නෑ කියලා. අපිට හිටිය ඩයස් කියලා දොස්තර මහත්තයෙක්. එයා උදේ හවස මේකටම තමා කාලේ යෙදෙව්වෙ. ඉතිං අපිට මේ තත්ත්වය හමුවේ ගොඩක් දේවල් කරන්න සිද්ධ වුණා. එතනින් එහාටත් ලොකු ලොකු දේවල් වුණා . ඒ දේවල් වලටත් ඉදිරිපත් වෙලා පැහැදිලි කිරීම් කරගන්න වුණා. සත්‍යය පහදලා දෙන්න බොහොම අමාරු වුණා. ඒත් දැන් කාට කාටත් දැනිලා තියෙන්නේ ඒගොල්ලො කවුද කියලා.

සමාජ කටයුතු කරද්දී අපේ මානසික නිදහස සමාජ ආරක්ෂාව ඉතාම වැදගත්. ඒ නිදහස ආරක්ෂාව නවසීලන්තයේ ජීවත්වෙද්දී ඔබ දැක්කා. සමහරවිට ලංකාවේ අපට ඒ නිදහස නැතිවෙන්නත් තිබ්බා. මේ වගේ කටයුතුවලට සහභාගි වෙද්දී ඔබ කොහොමද ඒ වගේ දේවල්වලට මුහුණ දුන්නේ?

අවුරුදු දෙකකට සැරයක් අපි ලංකාවට ගියා. කරන්න පුළුවන් හැමදේම අපි කරා. ප්‍රබාකරන් මැරුණ දවසේ කොඩියක් දැම්මා. 2009 මැයි මාසයේ ඉඳලම ගිය අවුරුද්ද වෙනකම් ඒක දාලා තිබ්බා. මට තර්ජනය කරල දුරකථන ඇමතුම් ඇවිල්ල තියෙනව. ගොඩක්ම එන්නෙ පාන්දරට. මම එතකොට කියනවා “ තමුසෙගෙ කතාව තමුසෙ කරගන්න, මගේ කතාව මම කර ගන්නම්, “ කියලා. ජීවිත තර්ජනය නං තිබ්බේ නැහැ. ඒත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි මෙහෙ ආව මුල්ම දවස් වල අපිට කිට්ටුවෙන්ම හිටියේ දෙමළ අය. ඒත් මේ ප්‍රශ්න ආවට පස්සෙ සේරමලා දෙපැත්තකට වුණා.

ලංකාවෙ අපිටත් දෙමළ යාලුවෝ ගොඩක් ඉන්නව. සමීප ආශ්‍රය පවා තියෙනවා, අපි අතර නැති ඒ මත භේද විවිධ හේතු නිසා ඇතිවෙනවා.

අනෙක් ජන කොටස් ගත්තාම මේ ප්‍රවණතාවය මෙහේ අඩුයි. ඒත් මේ කාරණේදී අපි වැරදියි කියලා තමයි කියන්නේ. ඉතින් අපිත් ඒවට උත්තර දෙනවා .මේක මේක බලන්න කියලා විවිධ කරුණු කාරණා පහදලා දෙනවා. එයාල පිළිගන්නේ නැහැ.

ආපසු ඔබගේ වෘත්තීමය කටයුතු පිළිබඳ සලකා බැලුවොත් මේ රටට ආවේණික වෙනස්කම් තිබෙනවා ද විවිධ ජාතීන්ගෙන් පිරිච්ච රටක් නිසා විශේෂ යමක් වෘත්තීමය වශයෙන් හදාරන්න තිබෙනවාද?

General Practice වලට ආවහම අපිට ඉබේම ඉගෙන ගන්න වෙන නීති රීති මාලාවක් තියෙනවා, ඒවට කියනවා Cultural Sensitivity කියලා. සමහර ඒවා අපි දේශන වලට ගිහිල්ලා දැනගන්න ඕනේ. කොයි විදිහට ඒ සම්බන්ධකම් පවත්වා ගන්න ඕනෙද වෛද්‍ය ක්ෂේත්‍රයේ එයාලා සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද මළ ගෙවල් වලට ගියාම අපිට වැඩිය වෙනස්කම් තියෙනවා ඒවා, ඒ කටයුතු සිදු කරන්නේ කොහොමද කියලා ඉගෙනගන්න වෙනවා.

ඇතැම් අය බිම වාඩි වෙලා කතා කර කර ඉන්නවා. ලංකාවෙ වගේමයි, පවුල් ඒකකයට එයාලා හරියට ගරු කරනවා සමහර වෙලාවට ආතලා ආච්චිලා තමයි ළමයි ව බලා ගන්නේ. හුඟක් වෙලාවට ඒ ගතිය තියෙනවා සැමොවන් අයගෙත්. සමහර වෙලාවට පවුල් හතරක් පහක් එක ගෙදරක ඉන්න වෙලාවල් තියෙනවා.

ඔබ තුමා ලාංකීය ජන ප්‍රජාවට සේවයක් සලසන වා වගේම මෙහේ සිටින අනෙකුත් ජන ප්‍රජාවන්ටත් උපකාර කරනවා නේද?

මං මෙහෙත් ගොඩක් දේවල් කරනවා. මම මුලින්ම ආවෙ කාල්ටන් (Carlton ) වලට. එයාලා ග්‍රාමීය පළාත්වල සේවය කරන්න පුහුණු දොස්තර මහත්මයෙක් එහෙ නෑ, එහෙම කෙනෙක් හොයනවා එයාලාට මග පෙන්වන්න, පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මම පුළුවන් කිව්වා. වැඩේ බාරගත්තා. එයාලට ටයිප් කරන්න කිව්වා. කරල විභාග තියලා එයාලා සුදුසුකම් ලබනවද කියල බලලා කියන්න කිව්වා. තව කටයුතු කරන හැටි පෙන්නා දෙන්නත් (Demostration) කිව්වා. එතනින් තමා මම මුලින්ම ජන සමාජ ව්‍යාපෘතීන් (Community Services) පටන් ගත්තේ. එයාලට වුවමනාවක් තිබ්බා ඩොක්ටර් කෙනෙක්ව සෙන් ජෝන්ස් වගේ ගිලන් රථ සේවයකට පත්කරන්නත්. අවුරුදු එකහමාරක් විතර මම ඒ වැඩෙත් එල්ලිලා හිටියා. ඒ දවස්වල තමා වියට්නාමයෙන් මිනිසුන් එන්න පටන් ගත්තේ. යාළුවෙක් කතා කරලා ඇහුවා එයාලට උදව් කරන්න එන්න පුලුවන්ද කියලා. පස්සේ අපි වටපිටාවේ ගිහිල්ලා ඇඳන්, ලී බඩු, සල්ලි එකතු කරලා එයාලව ස්ට්‍රෝක් වැලි (Stokes Valley)වල පදිංචි කළා.

ඊට පස්සේ ලංකාවේ ලාංකීය ජන සමාජයීය ව්‍යාපෘතීන් (Community Projects) වලට සහභාගි වුණා. මුලින්ම කොබ්බෑකඩුව අරමුදලෙන් පටන් ගත්තෙ. USLA එකෙන් තමා ප්‍රධානයන් කළේ. මම දෙපාරක් ම ගිහිල්ලා සල්ලි බාරදුන්නා. පස්සේ ආරක්ෂක හමුදාවලට සල්ලි දුන්නා. හැමෝම එකතු වෙලා ලංකාවට කිරිපිටි ඇරියා. මහාරාජා එකෙන් පැකට් කරලා තමා ඒවා බෙදාහැරීමේ කටයුතු සිද්ධ කළේ. පස්සේ රණවිරු මංසල හදන තැන්වලට අපි උදව් කළා. ඒකෙන් තමා ඉබ්බාගමුවේ පාන්ගොඩ කෑම්ප් එක තියෙන තැනට ටෙලිවිෂන් අරන් දෙන එක ගන්න ගියේ. ඒත් අපි ලෑස්ති වෙනකොටම ඒ පහසුකම් ඔවුනට ලැබුණ කියපු නිසා, අපෙන් වෛද්‍ය උපකරණ අරන් දෙන්න සල්ලි දෙන්න පුලුවන්ද කියලා ඇහුවා. මම හයදාහක් එකතු කරා. ඊට පස්සේ අවුරුද්දේ ගිහිල්ලා එතන බැලුවා. ඇත්තටම හොඳට වියදම් කරලා එතන හදලා තිබ්බා.USLA එකෙන් සල්ලි එකතු කරලා මිහිඳු සෙත්පතුල එකටත් ජනවාරි පලවෙනිදා ආධාර කරා. ලංකාවේ වටවල, හැටන් පැත්තෙ වුණු ගංවතුර නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඉතින් මම මගේ අයියගේ දුවගෙන් ඇහුවා මොනවගේ දේවල්ද කරන්න ඕනේ කියලා. ‘මේ ගොල්ලොන්ට සල්ලි දීල වැඩක් නැති නිසා එයා කිව්වා, බාප්පා එයාලට නිදියන මෙට්ට අරන් දෙන්න,’ කියලා. මම අරන් දුන්නා. මේ වටවල ව්‍යාපෘතියට මම USLA එක සම්බන්ධ කර ගත්තේ නැහැ. ඒත් USLA ඒකෙනුත් දායකත්වයක් ආවා.

මම මගේ යාලුවෝ මාර්ගයෙන් තමා එකේ සල්ලි එකතු කරගත්තේ. ආයෙ පාරක් කඩුවෙල ගංවතුරට ආධාර වශයෙන් නිදියන මෙට්ට අරන් දුන්නා. අනිත් එක තමා මගේ පරණම ඉස්කෝලේ තිබුණු පුස්තකාලය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබ්බ, නිකං ගල් කුළු දෙකක් විතරයි තිබ්බේ. මගේ අයියාගේ පුතා මගෙන් ඇහැව්වා උදව්වක් කරන්න පුළුවන් කියලා, මං කිව්වා ඔයගොල්ලො ලෑස්ති කරගන්න මම උදව් කරන්නම් කියලා. මම එයත් කරල දුන්නා. ඒ වගේ වැඩ තමයි ඉතින් මම කරේ දැන් නං ගෙදරට වෙලා නිස්කලංකව ඉන්නවා .

දැන් මොනවටවත්ම සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නෙ නැහැ මොකද USLA එකේ ඉන්නකොට අපි හැමදාම වගේ සෑහෙන්න වැඩ කළා. අන්තිමට මම කිව්වා තරුණ අයට කවුරුහරි මේවා ඇවිත් භාරගන්න කියලා, භාරගෙන කරගෙන යන්න කියලා. ඒත් ඒකත් වැඩක් වුණේ නෑ. කොහොමහරි දැන් අවුරුදු හයකට කලින් කට්ටියක් ඇවිත් බාර ගත්තා. මම පැත්තකට වෙලා ඉන්නවා.

ලාංකීය ජන සමාජයීය ව්‍යාපෘතීන් (Community Projects) වලට ලංකාවෙ අයගෙන් ලොකු සහයෝගයක් තියෙනවද?

ඔව් ගොඩක් තිබ්බා. මට තියෙන්නේ ඉතින් ඊමේල් එකක් යවන එක විතරයි. ඒගොල්ලො ලොකු සහයෝගයක් දෙනවා. සමහර වෙලාවට ඒ සහයෝගය දෙන්න මගේ පුද්ගලික බැඳීම නිසා හෝ යාලුකම නිසා හෝ වෙන්නත් පුළුවන්.

ලංකාවෙ අය පවුලක් විදියට කටයුතු කරනවා නේද?

ඔව්. ඔව්.

දැන් ඔබ මේ ගමන දිහා ආපහු හැරිලා බලනකොට, තවත් කෙනෙකුටත් පුරුදු කරගත යුතු දෙයක් කියන්න පුළුවනිද ?

එකම දේ, මම කරපු කිසිම දෙයක් ගැන මගේ පසුතැවීමක් නැහැ. කල්පනා කරලා බලද්දී මට ඇත්තටම සන්තෝෂයි. කොච්චර කොයි විදිහට හොඳ වැඩ කළත් සමහර අය ඉතිං ඒ වගේම ප්‍රයෝජන අරගෙන මට කරදර කළා, නැත්නම් මාව පැත්තකට දානවා, ඒත් ඒව මම ගණන් ගන්නේ නෑ. ඒවා ගණන් ගන්න ගියොත් මට පිස්සු හැදෙනවා. මම කරපු දේවල් ගැන විතරයි මම හිතන්නේ. අනිත් අයට මාව අවශ්‍යය නැත්නම් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි.

ඔබ හොඳ අරමුණක් තියාගෙන ඉන්නවා තමන්ගේ ඉලක්කයට යන්න. මේ පිළිබඳව ඔබ දරන මතය මොකක්ද? ඔබ, ඔබ තුළින් දකින විශේෂත්වයක් තිබෙනවාද? ඉලක්ක හඹා යෑමේ හැකියාවන් වගේ දේවල් වලින් ඔබ පුහුණු කරගත් විශේෂ ගුණාංග මොනවාද?

ඔව් මගේ හිතට මොකක් හරි අදහසක් ආවොත් මම ඒ ගැන කල්පනා කරනවා, ප්ලෑන් කරනවා. ඊට පස්සේ ඒ ගැන කාගෙන් හරි හරි උපදෙසක් ගන්න මට ඒ දේ තනියෙන් කරන්න බැරි දෙයක් නම් හුඟක් වෙලාවට උපදෙසක් ගන්න එක තමා වටින්නේ ඊට පස්සේ මගේ අදහස ක්‍රියාවට නංවනවා. මම සෑහෙන්න වඩු වැඩ කරනවා. දැන්නම් කරනවා හුඟක් අඩුයි ඉතින් මොකක් හරි ව්‍යපෘතියක් ඔළුවට ආවොත් රෑ තිස්සේ කල්පනා කරනවා. මේක වුණොත් මේක වෙනවා මෙතෙන්ට ඇණයක් ඇහුවොත් මේක වෙනවා, අන්න ඒ විදියට හොඳට කල්පනා කරනවා. ඊට පස්සෙ ආපහුසටහන් කරගෙන කරලා බලලා අන්තිමට සාර්ථකව ඒ වැඩේ නිම කරනවා.

ඒ විනෝද කාර්යයන් පොඩි කාලේ ලංකාවේදී ඉගෙන ගත්තාද?

වඩුවැඩ නම් මම පටන් ගත්ත මෙහෙ ආවට පස්සේ.

මෙහෙ ඒකට අවශ්‍ය පහසුකම් හරියට තියෙනවා, ලේසියෙන්ම කරගන්නත් පුළුවන් නේද?

ඔව් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ඉතින් ලංකාවේ නං ඒ වැඩේ කරන්න හරිම අමාරුයි , අපට උවමනා විදිහට හොඳ ලී එහෙමත් හොයා ගන්න එක අමාරුයිනේ.

අවසාන වශයෙන් බලාගෙන ඉන්න තරුණ දරුවන්ට දෙන්න තියෙන විශේෂ පණිවිඩය මොකක්ද?

එයාලට මට කියන්න තියෙන්නෙ ඔයාලට දක්ෂතාවයන් තියෙනවා නම් ක්‍රීඩා හරි විනෝද කාර්යයන් කරාට කමක් නෑ , කවදාවත් තමන්ගේ ඉගෙනීම අතාරින්න එපා.

අන්තිමට සහනයක් ලැබෙන්නෙත් ඒ ඉගෙනීමෙන් ම තමා. අපේ අය ක්‍රිකට් ක්‍රීඩා වගෙ ඒවයෙන් වලින් ඉහලට යන්න ආසාවෙන් බලන් ඉන්නවා. නමුත් මම කියලා තියෙන්නේ එතනින් අපිට ජයගන්න පුළුවන් තත්ත්වයක් එන්නේ නැහැ , ඉගෙනීමෙන් විතරයි ජීවිතේ සම්පූර්ණයෙන්ම ගෙනියන්න පුළුවන්. මමත් සෙල්ලම් කරා පසුබැස්සා ගොඩක් අවස්ථා තිබ්බ.විභාග ෆේල් වුණා ඒ නිසා තමා දන්නේ ඉගෙනීම තමයි වැදගත්ම කියලා.

පසුකාලීනව ලැබෙන දැනුම විනය දෙක ම එක්ක ඉහළ තත්ත්වයකට යන්න පුළුවන් කියලයි ඔබගේ අදහස එහෙම නේද ?

ඔව්!

ඉතින් අපි වෙනුවෙන් අද කාලවේලා වෙන් කරගත්තාට ඔබතුමාට ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඔබ කරපු, කරන සියලුම දේ අපි ඉතාමත්ම අගය කොට සලකනවා .

ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවා කියලාප්‍රජාවර්ථනා කරමින් අපි පිළිසඳර මෙතනින් අවසන් කරනවා.

ආයුබෝවන්.

“හදවතින්ම ශ්‍රී ලාංකික Dr. Kalu” An Interview with Dr Ranatunga Kalupahana QSM MB BS (Cey), FRNZCGP with Lakjeewani Wimalasiri for SriLankaNZ Community Newspaper.

Check out the full interview here