fbpx
9 C
New Zealand
Sunday, October 13, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

වගකීම, වගවීම උරුම කරගත් නිවේදන පරපුරේ තරුණ කටහඬින් දසක සතරක් සිට ඔබ අමතන නිවේදිකාව, ‘සුමනා නෙල්ලම්පිටිය’

Must read

පිළිසඳර මෙහෙයවීම- කාංචනා දිසානායක | සැකසුම- ගාවිත්‍රී යටිගම්මන 

වගකීම, වගවීම උරුම කරගත් නිවේදන පරපුරේ තරුණ කටහඬින් දසක සතරක් සිට ඔබ අමතන නිවේදිකාව, ‘සුමනා නෙල්ලම්පිටිය’
Full Video Interview – https://www.srilankanz.co.nz/sri-lanka/interview-with-sumana-nellampitiya-fullvideo

කාංචනා –ශ්‍රී ලන්කන්ස් පුවත්පත පවත්වන පිලිසඳර වැඩ සටහනට විශේෂිත පුද්ගලයෙක් අද එකතු වෙලා තියෙනවා. ඇය, ශ්‍රී ලාංකීය නිවේදන ක්ෂේත්‍රයේ  ප්‍රථම රූපවාහිනි ප්‍රවෘති නිවේදිකාව, සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි. අපි ඉතාමත් ආදරෙන්, සුමනා නෙල්ලම්පිටිය මහත්මියව ආයුබෝවන් කියලා පිළිගන්නවා.

පුංචි පුංචි අපහසුතාවයන් මැද්දේ වුණත් අපි සමග එකතු වීම පිළිබඳ ප්‍රථමයෙන් මම ඔබට ස්තුති වන්ත වෙනවා. එහෙමනම් මුල  පුරන්නත් එක්ක අහන්න කැමති යි, ‘ඔබ නිවේදන ක්ෂේත්‍රයේ ඉතාමත් දීප්තිමත් තරුවක්. ඉතිං පාසල් කාලේ ඉඳලම ඔබ ඔබේ මේ දක්ෂතාව කොහොමද දැක්කේ කියල.’

සුමනා නෙල්ලම්පිටිය – ඔව්, පාසල් යන කාලයේදී සාමාන්‍යයෙන් මම හැම වැඩකදීම,හැම අංශයකින්ම ඉදිරිපත් වීමේ හැකියාවක්  තිබුණා. ක්‍රීඩා වලට, කවි කියන්න. ඒ වගේ  කථනයට. ඒක වෙන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් වැඩි දුරට දියුණු වෙලා අද මේ තත්වයට ඇවිත් තියෙන්න. 

පාසල් කිහිපයකටම මම ගියා. පළමුවෙන්ම ගියේ නුගේගොඩ මිශ්‍ර පාසලට. ඊට පස්සේ සුජාතා විද්‍යාලයට. අවසන් වරට මම ගියේ ගෝතමී බාලිකා විද්‍යාලයට. මගේ මේ මාධ්‍යයට ඇතුල් වෙන්න පදනම දැම්මෙ ගෝතමී බාලිකා විද්‍යාලය. මම විවාද කණ්ඩායමේ නායිකා වෙලා හිටියා. ඒ වගේම විද්‍යාලයේ වෙනුවෙන් කෙරුණු වැඩ කටයුතු වල දී ඉදිරිපත් කිරීම්වලට සහභාගි වුණා. එතනින් තමා මට මේ නිවේදන කලාව කියන එකට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. පාසල් කාලෙදි තමා තමන්ගේ දක්ෂතාවයන් එළි දක්වන්න අවස්ථාව ලැබෙන්නේ.

එතකොට කොහොමද ගුවන් විදුලි සංස්ථාවට ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ?

ගුවන්විදුලියට සම්බන්ධ වුණේ මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වෙලා ගෙදර ඉන්නකොට, ගැසට් පත්තරේක දැක්කා ගුවන් විදුලි සංස්ථාවට සහය නිවේදකයන් අවශ්‍යයි කියලා. ඒ අනුව යොමු කළ  ඉල්ලුම් පත්‍රයට මට කැඳවීමක් ලැබුණා. කට හඬ පරීක්ෂණය, ලිඛිත පරීක්ෂණය, සම්මුඛ පරීක්ෂණය, කියලා පරීක්ෂණ තුනක් තියලා කණ්ඩායමක් තෝරා ගත්තා. ඒ කණ්ඩායමට මාස හයක පුහුණුවක් දුන්නා. ඒ මාස හයක පුහුණුවෙන් පස්සේ නැවත වරක් පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණා. ඒ පරීක්ෂණයෙන් මුලින් හය දෙනෙක් තෝරගත්ත. අවසන් වර කණ්ඩායමට ඇතුල් වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඒ කියන්නෙ තමන්ගෙ තරුණ කාලයේදීම තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ.

ඔව්, වයස  දාහතේදී විතර.

එතකොට මොන වගේ වැඩසටහනක් ද ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ?

සාමාන්‍යයෙන් ගුවන් විදුලි සංස්ථාවේ ඕනෑම නිවේදකයෙකුට පුහුණුවෙන් පස්සේ ලැබෙන්නේ මැදිරි සම්බන්ධතා නිවේදන කටයුතු. මැදිරියේදී කරන දෛනික ඉදිරිපත් කිරීම. ඒ අනුව මටත් ලැබුණේ දෛනික ඉදිරිපත් කිරීමක්. ඊට පස්සේ කාන්තාවන් හා සම්බන්ධ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. කාන්තා වැඩසටහන් වලට සම්බන්ධ වීමේදී මාගේ ගුරුවරිය උනේ දයා ධර්මසිරි මහත්මියයි. එතුමියගේ මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මගේ අතින් වුණ වැරදි වලට එතුමිය බැනුම් ඇහුවා. 

ඒ කියන්නේ සජීවීව වෙන වැරදි වලට එතුමිය බැනුම් ඇහුවා. එතකොට මිනිස්සු කියන්න පටන් ගත්තා මිනිස්සුයි මේ නිවේදන කටයුතු කරන්නේ කියලා. මොකද මට එක සැරයක් වැරදුණා. වැරදිලා මට හිනා ගියා. හිනා ගියාම මගෙත් එක්ක දයා අක්කා ටත් හිනා ගියා. ඊට පස්සෙ සම්පූර්ණයෙන්ම ඒක කපල දාල ආපහු වැඩසටහන පටන් ගත්තා.

ඒ කියන්නේ සම්ප්‍රදානයානුකූලව වැඩසටහනක් ඉදිරිපත් කිරීමත් තමයි ඒ කාලේ තිබුණේ. අපට ඒ කොළයේ තියෙන දේ හැර වෙන දෙයක් කියන්න බෑ. නමුත් ඉතින් එහෙම දෙයක් උනහම මිනිස්සුන්ට හරි පුදුමයි. සාමාන්‍ය මිනිස්සු නේද මේ වැඩසටහනක් කරන්නේ කියලාහැඟීමක් ඇති වෙනවා.

සාමාන්‍යයෙන් ඉස්සර කාලේ අපි නිවුස් බලනකොටත් වැඩසටහන් ඉදිරිපත් කරනවා. මේගොල්ලන් හරියටම මේ දේ ෆෝකස් කරලා කරන්නේ අනවශ්‍ය විහිළු. ඒ වගේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.

කතා කරන භාෂාව නෑ. ඔක්කොම ව්‍යාකරණානුකූලව කතා කරන්න ඕනේ. තියෙන දේ විතරයි කියන්න පුළුවන්. ගායක ගායිකාවන්ගෙ නම් කියන්න පුළුවන්. ඒ විදිහට කොටුවුණ රාමුවක තමා අපි ඒ දවස්වල වැඩ කරේ. පසුකාලීනව ඒක වෙනස් උනේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා ගෙනාපු වෙනස් රටාවත් එක්ක. සම්ප්‍රදානයානුකූලව තිබ්බ නිවේදන කටයුතු වෙනමම කලාවකට ඉදිරිපත් කරන්නේ නැතිව, අපිට පොඩි පොඩි වෙනස් කම් කරන්න අවස්ථාව හම්බවුණා. 

ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. අවශ්‍ය දේවල් විතරයි කතා කරන්නේ. බොරු විහිළු තහළු නැහැ. තමන් මොනව හරි කියලා තමන්ම හිනා වෙන්නෙත් නැහැ. පසු කාලීනව රාමුවෙන් පිට ගිහිල්ලා වැඩසටහන් ඉදිරිපත් කරන්න හම්බවුණා.

හොඳයි  මමත් වෘත්තියෙන් නිවේදිකාවක් විදිහට ලංකාවේ සේවය කළා. ඉතින් මගේ හිත තුළ තාමත් තියෙන්නෙ ඔබේ කලින් වැඩසටහන්  ඉදිරිපත් කළ ආකාරයයි, කැමැත්තයි. ඒ වැඩසටහන් වලට කැමති කට්ටිය තාමත් ඉන්නවා. වර්තමානයේ සමහර නිවේදක නිවේදිකාවන් කතා කරන ස්වරූපය, භාෂාව හසුරුවන විදිහ දැක්කහම ඔබට මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නේ?

මම කාලෙකට ඉස්සෙල්ලා පුවත්පතක කියෙව්වා ලෝකෙ භාෂාවලින් ලස්සනම දෙවැනි භාෂාව අපේ භාෂාව කියලා. එකක් හින්දි භාෂාව ඊට පස්සේ අපේ භාෂාව. එතකොට අපිට මෙච්චර ලස්සන භාෂාවක් තියෙනවා. අපිට හසුරුවන්න පුළුවන්. අපිට ඕනෑම ඉමකට කතා කරන්න හැකියාව තියෙනවා. ලස්සන වචන තියෙනවා. එතකොට මේ භාෂාවට කරන අසාධාරණය දැක්කහම දුක හිතෙනවා. 

ඇත්තටම මම මේ තරුණ පරම්පරාවට දොස් කියන්නේ නැහැ. හැමෝමත් එහෙම නෙවේ. දැන් අපේ රටේ මේ විශේෂයෙන්ම මාධ්‍ය මුදලටම යටවෙලා. මුදල් හම්බ කිරීමේ පරමාර්ථය විතරයි තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ප්‍රේක්ෂකයාට ප්‍රයෝජනවත් වැඩසටහනක්  අවවාදයක් දෙන වැඩසටහනක් තියෙන්න ඕනෑ. 

ගුවන් විදුලියේ හරි රූපවාහිනියේ හරි කතා කරන ඕනෑම තැනකදි දැනගන්න ඕනෑ, අපි කාටද කතා කරන්නේ කියලා. පුංචි ළමයගෙ ඉඳලා මහ වියතා දක්වා ගුවන් විදුලියේ දේ අහනවා. ඒ අයට සමබරව කතා කරන්න ඕනේ. සරල භාෂාව  හරියට හසුරවල කතා කරන්න පුළුවන් නම් අපිට හරි ලස්සන භාෂාවක් තියෙනවා. ඉතින් මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඒක මේ විදියට විනාශ වෙන්නේ කියලා.

ඒ කාලයේ ඔබ වගේ නිවේදිකාවන්  දැනුමෙන් ඉතාමත්ම පොහොසත් අය. ඒගොල්ලොන් ගොඩක් පොතපත හොඳට ඇසුරු කරලා සංවාදයක යෙදෙන්නට කලියෙන්,  සම්පූර්ණ විස්තරයක් සහිතව ලෑස්ති වෙලා එනවා. වර්තමානයේ මේ අවබෝධයයි රූපයයි වෙනස් විදියට තමා නිවේදන කලාවට යොදාගෙන තියෙන්නෙ කියලා මට හිතෙනවා.

ඇත්ත!

සමහර ලස්සන ළමයි නිවේදිකාවන් වෙලා ඉන්නවා. නමුත් කතා බහ කරනකොට අවබෝධය පොඩ්ඩක් අඩුකමක් අපිට  තේරෙනවා. ඔබ හිතන්නේ, තමන්ගේ වෘත්තියෙන් ඉදිරියට යාමට මොන වගේ  පසුබිමක් ද හරි නිවේදකයාට හෝ නිවේදිකාවකට තිබිය යුත්තේ ?

පළමුවෙන්ම උච්චාරණය,   භාෂා ඥානය , පොතපත දැනුම, එදිනෙදා රටේ හා ලෝකයේ තොරතුරු පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. ඉස්සර අපි සම්මුඛ සාකච්ඡාවක් කරනකොට, ඒ සාකච්ඡාවට අදාළ සියලුම කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා තමයි ඒ පුටුවේ වාඩි වෙන්නේ. පස්සේ වාඩිවෙලා කරන්නේ, මොකුත්ම දන්නෑ වගේ අපි ඒ පුද්ගලයත් එක්ක කතා කරනවා. අමතක වුණ දෙයක් අවශ්‍ය වෙලාවට මතක් කරල නිවැරදි කරන්න අපි දැනුවත්ව ඉන්න ඕනේ.

දැනුම, පෙර සූදානම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මට හුඟක් වෙලාවට සිද්ධ වෙලා තියෙනවා සමහර පෞද්ගලික රූපවාහිනී ආයතන වලට ගියාම වාඩි වුණාට පස්සේ තමා අපි ගැන අහන්නේ. ඒක මාධ්‍යවේදියෙකුට කිසිසේත්ම සුදුසු දෙයක් නෙවේ. මාධ්‍යවේදියා පෙර සූදානමකින් එන්න ඕනෙ. නැතිනම් නිකං ගිරව් වගේ කතා කරලා කටට එන  දේ කියලා, අහලා වැඩක් නැහැ.

ඒ සකච්ඡාවේ මාතෘකාවට අදාලව ඒ පුද්ගලයාගෙන් ගන්න පුළුවන් මොනවාද කියලා අපි දැනගන්නට ඕනේ. ඒක  දැනගන්න අපි එයා ගැන දැනගෙන ඉන්න ඕනේ.  ඒ දැනුවත්කම ඇතුව සම්මුඛ සාකච්ඡාවට  සහභාගි  වෙන්න ඕනේ.

අපිට සමහර වෙලාවට වැඩසටහනක් බලද්දි පුංචි පුංචි අඩුපාඩුකම් තේරෙනවා. ඒක නිවැරදි කරන්න කවුරුහරි ඉන්නවනම් හොඳයි. ඉතිං ඔබ ඇත්තටම නිවේදන ක්ෂේත්‍රයේ ඉන්න අයට මොන වගේ උදව්වක් දෙන්න බලාපොරොත්තුවෙන් ද ඉන්නේ? ඔබේ සේවය කොයි විදිහටද සලස්වන්න කැමැත්තෙන් ඉන්නේ?

මම නම් හරි කැමැතියි මැරෙන්න ඉස්සෙල්ල තමන් සතු දැනුමබෙදා දෙන්න.  දැන් මට අවුරුදු හැත්තෑ හයයි. මගේ ජීවිත කාලයෙන් අවුරුදු පනස් ගානක් මං  මාධ්‍යයේ ඉඳලා තියෙනවා. ජීවිත කාලය පුරාවටම අත්දැකීම් විඳලා තියෙනවා. ඒ අත්දැකීමෙන් ලැබුණ දේවල් මම කැමතියි, අපේ පරම්පරාවට කියල දෙන්න. මගේ වෘත්තිය මුදලට පාවා දෙන්න මම කැමති නැහැ. මගේ දැනුම මම ස්වෙච්ඡාවෙන් තව පරම්පරාවකට දෙන්න ඕනේ.  එතකොටයි ඒකෙ වටිනාකම තියෙන්නේ. එහෙම පසුබිමක් තාම සැකසිලා නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් මම ඒකට සූදානම්. 

ඔබට ඒ අවස්ථාව ලැබෙන්නට කියලා අපි ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම  මේ අපට ලැබුණ අගනා අවස්ථාවක්. අපි මේ වැඩසටහනෙන් විවිධ පුද්ගලයන් සමග කතාබහ කරනවා . තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් කතා කරනවා. මේ වෙලාවේ මම කැමැතියි, තරුණ ගැහැනු ළමයින් පිළිබඳ ඔබෙන් ටිකක් විමසන්න. මොකද අපේ කාලේ ටිකක් වෙනස්. මම හිතන්නේ ඔබේ කාලේ ඊටත් වඩා වෙනස්.  වර්තමානය සම්පූර්ණයෙන්ම වෙනස්  වෙලා. මට හිතෙනවා ගැහැනු ළමයින්ගේ ජීවිතය ගොඩක් ෆේස්බුක්, සමාජ මාධ්‍ය ටික් ටොක් වගේ දේවල් වලට යොමු වෙලා වැඩියි කියලා. මේ පිළිබඳව ඔබ මොනවද හිතන්නේ?

ඒකට වගකියන්න ඕනේ දෙමව්පියෝ. දෙමව්පියෝ වර්තමාන කාලයේ විශේෂයෙන්ම  තම දූ දරුවන්ගේ හැසිරීම ගැන දැඩිව බලන්නට ඕනි. ඒ දරුවන්ට හරි වැරදි කියලා දෙන්නට ඕන. හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි කාලෙක දී ඒවාට යොමු වුණොත් ගොඩ ගන්න හුඟක් අමාරුයි.

අපි අනාගතයට යන්න ඕනි. අපේ  දැනුම වැඩි කරගන්න ඕන. නමුත් ඒකෙ සීමාවක් තියෙනවා.  නිශ්චිත තෝරාගැනීමක් තියෙන්න ඕන. ඒ තෝරා ගැනීම කරන්න උදව් කරන්න ඕනේ දෙමව්පියන්. දෙමව්පියනුත් මේ නවීන රැල්ලට හසුවෙලා ගියොත් තමන්ගේ දරුවන් කොහේද යන්නේ කියලා හොයාගන්නත් බැරි වෙයි. 

විශේෂයෙන්ම ගැහැණු දරුවෝ අද  කරන විලාසිතා, පෙනී සිටින වෙළඳ දැන්වීම් දැක්කහම මුදලට දරුවන් මෙච්චර විකිනෙන්න ඇයි කියන ප්‍රශ්නය එනවා. ඒ තරමටම වාණිජකරණය වෙලා. ප්‍රසිද්ධියට හරි වෙනත් කාරණා වලට වෙන්න පුළුවන්. මොකක් උනත් වැරැද්ද වැරැද්දමයි.

තමන්ගේ දරුවන් වෙළෙඳ දැන්වීම් වලට යොමු කරනවා නම්,  ඒවා පටිගත කරන, රූපගත කරන තැන්වලට ගිහිල්ලා ඒ අයගේ ඇඳුම් පැළඳුම් කොහොමද කියලා මුලින්ම ඒ ගැන කතා බහ කරලා දැන ගන්න පුළුවන්.

එහෙම නැත්තම්, මොන වගේ ඇඳුමක් ද අඳින්නෙ,  මොන වගේ වෙළඳ දැන්වීමටද  පෙනී සිටින්නේ, ඒකෙන් සමාජයට නරකක් වෙනවද, එහෙම නැතිනම් මගේ ප්‍රතිරූපයට කරදරයක්  වෙනවද, මගේ ප්‍රතිරූපය නරක් වෙනවා ද, මට මිනිස්සු කතා කරන්නේ නැතිව යයිද, මම මේ වගේ ඇඳුමක් ඇදලා ගියොත් මට මෙහෙම වෙනවා නේද කියන හැඟීම දරුවන්ට ඇති කරන්න නම් දෙමව්පියෝ දරුවන්ගේ පස්සෙන් ඉන්න ඕනේ.

නැතිනම් තරුණ කාලයේ තරුණ දරුවෝ තමන් ගැන එච්චර හැඟීමක් කරන්නේ නැහැ. සෙල්ලම් වයස. එනිසා හැම තිස්සෙම වැඩිහිටියෝ පිටිපස්සේ ඉඳලා ඒ අය දැනුවත් කරලා නිදහස හරි විදිහට පාවිච්චි කරවා  ගන්න, වැරදි විදිහට පාවිච්චි කරනවා නම් ඒක නිවැරදි කරන්න දැනගන්න ඕනේ.

ඔබ කිව්වා වගේ දෙමව්පියෝ අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවන් පිළිබඳ කල්පනාවෙන් ඉන්න ඕනෙ. ඒ වගේම මම අහන්න කැමතියි මමත් කසාද බඳින්නට කලින් මගේ අම්මා ගෙදර වැඩ කටයුතු ටික ඔක්කොම ඉගැන්නුවා. මහන්න ගොතන්න, උයන්න, ඒ වගේ දේවල් දැනගන්න ඉන්න ඕනේ කියලා. මම හිතනව විදියට දැන් තරුණ පරම්පරාවේ වර්තමානයේ ඉන්න ගැහැනු ළමයි ඒ වගේ පෙර සූදානමක් තිබේද පවුල් ජීවිතයට ඇතුළු වෙන්නට කලින්?

මම හිතන්නේ නෑ නැහැ කියලා. ඒකට හේතුත් තියෙනවා. හුඟක් වෙලාවට ළමයි පාසල් යනවා. උපකාරක පන්තිවලට යනවා. ළමයින්ට විවේකයක් නැහැ, ගෙදර දොර වැඩ කටයුතු කරන්න. නමුත් පාසල් සමයෙන් පස්සෙ දරුවෝ රැකියාවකට යනවා. එහෙම නැත්නම් වෙනත් දේකට යනවා.

විවාහ වෙනවා. කෝ එතකොට ඒ දරුවන්ට  අලුතෙන් දෙයක් ඉගෙනගන්න කාලේ. අපේ කාලේ අපි පාසල් ගිහිල්ලා, ගෙදර ඇවිල්ලා, දහවල් කෑමෙන් පස්සෙ විවේකත් අරගෙන හතරෙ ඉඳල විතර  සෙල්ලම් කරනවා.

අපි පරිසරයත් එක්ක බැඳිලා හිටිය. ගහ කොළට ආදරය කරා. මල් ගස් බැලුවා. අම්මලත් එක්ක හරි හරියට ඉඳගෙන මල් පැල හැදුවා. නමුත් දැන් දරුවෝ එහෙම නැහැ. වර්තමාන තත්ත්වය අනුව බොහෝදුරට මට පේන දෙයක් තමයි පුද්ගලික ජීවිතය ඇතුළේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සොයා ගන්නට බැහැ. මොකද තාක්ෂණයත් එක්ක ජීවත් වෙනවා මිසක් අපේ දරුවන් සමාජයත් එක්ක ගැටිලා නැහැ. සමාජයේ තියෙන ප්‍රශ්න දන්නේ නැහැ. තමන්ට යමක් වුණාම ඒක විසදන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හරි ආත්මික යි.

අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ අම්මලා අපිට  සෙල්ලම් බත් උයන්න දෙනවා. හාල් ටිකක් පරිප්පු ටිකක් පොල් ටිකක් දෙන අපි ඒවා කාලා බලලා දෙමව්පියන්ටත් දීලා රස බලලා ඒවායේ හොඳ හෝ නරක දෙමාපියන් වශයෙන් කියලා දීලා අපිත් ඒවා අගය කරනවා. 

තමන්ගේ මැහුම් ගෙතුම් මහන්න අම්මා පුරුදු කරන්න ඕනේ. ගෙදර කොට්ට උරයක් මහන්න පුරුදු කරන්න ඕනි. දැන් ළමයින්ට ඒවා කරන්න කාලයක් නැහැ.  මහ පුදුමාකාර විදිහට ජීවිතේට තරගකාරී තත්වයක් උදාවෙලා තියෙනවා. එහෙම දරුවෙකුට සමහරවිට ස්වාමියාගෙන්  එහෙම නැත්තං නැන්දම්මාගෙන්  ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒකට දොස් කියන්න වෙන්නේ දෙමව්පියන්ට. 

තමන් කරන වැඩකටයුතු වලට දරුවන් සහභාගි කරවා ගන්න ඕනි. උයන්න පිහන්න යද්දි ඇවිල්ලා පුතේ මේකට උදව් කරන්න, මැහුමක ඉරිච්ච තැනක් තියෙනවා නම් ඒක මහලා දෙන්න කියන්න ඕනේ. යොමු කිරීමක් කරන්න ඕනේ. එහෙම නැතුව හැල්මේ ගිහින් අත ඇරලා දැම්මහම ඒ ළමයි අනාථ වෙනවා.

මේ ඔස්සේ  අපේ කතාබහ වෙනම මාර්ගයකට ගිය බව දැනුනා.  ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න ඔබත් සමග මේ විදිහට සම්බන්ධ වෙච්ච එක ඉතාමත් සුන්දරයි. මම නැවතත් අපේ ප්‍රශ්නයට එන්නම්. නිවේදිකාවක් විදිහට ජීවිතය ගත කරපු කාලය පිළිබඳව ඔබ කොහොමද සතුටු වෙන්නේ?

ඇත්තටම මම මගේ නිවේදන රැකියාව පිළිබඳ හරිම තෘප්තිමත්. කවුරුහරි මගෙන් ඇහුවොත් ඊළඟ ආත්මේ ඔබ මොනවගේ රැකියාවක්  ද කරන්න  කැමති කියලා. මං කියනවා නිවේදිකාවක් හෝ නිවේදකයෙක් වෙන්න කැමතියි කියලා. ඒ තරමටම මේ වැඩ කටයුතු වල දී තෘප්තිමත් . හැලහැප්පීම්, හොද නොහොද, අමනාපකම්, මේ සියල්ල මේ මාධ්‍ය ජීවිතය තුළ ඇති සොඳුරු දේවල්. අපි මාධ්‍යයට යන කාලේ අලුත් අවුරුද්දට ගෙදර ඉන්න, වෙසක් එකට පහනක් කූඩුවක් පත්තු කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ හැම වෙලාවෙම අපි රාජකාරියෙ යෙදිල හිටියෙ. රට වෙනුවෙන් වැඩ කළේ. රටට යමක් දුන්න. මම අවුරුදු 52 ට වැඩි කාලයක්  මාධ්‍ය ජීවිතේ ගත කරලා තියෙනවා. මම මගේ ජීවිතේ ගැන හරිම සතුටුයි. යම් මාධ්‍යවේදීන්ට ලබාගන්නට බැරි දේවල් හොඳ මාධ්‍යවේදියෙකුට ලබාගන්න පුළුවන්. 

උදාහරණයක් හැටියට කියන්නම්. එක දවසක් මමයි මගේ පුතෙකුයි දුර ගමනක් ගියා. අපි පාරේ යනකොට අර මගේ පුතා ඇහුවා නැන්දේ මේ මේගොල්ලොත් පාරට යන නිසා වාහනයට දාගෙන යමු කියලා. ඉතින් මම හා කිව්වා. මගේ පුතාගේ පුරුද්දක් තියෙනවා කවුරුහරි හම්බවුණත් මාව පෙන්නලා අහනව, මෙයාව අදුරනවද කියලා. එදත් අර සුපුරුදු විදියට වාහනෙන් ඇවිල්ල ටිකක් දුර යනකොට අර කාන්තාවගෙන් පුතා  ඇහුවා මේ කවුද කියලා දන්නවාද කියලා. ඒ කාන්තාව කිව්වා නෑ කියලා. ආයෙ කිව්වා හොදට බලන්න කියලා. ආයෙ කිව්වා නෑ කියලා. ඊට පස්සේ පුතා කිව්වා  එයාගෙ නම මේකයි කියලා. වාහනෙන් අර කාන්තාව නැගිටලා, මගේ අත් දෙක අල්ලගෙන මට කියනවා, ඔබතුමියගේ හුස්ම වැටෙන තැනක ඉන්න ලැබීමත් වාසනාවක් කියලා. 

ඒ මිනිසුන්ගේ ආදරය. හැමෝම සලකන්නෙ මාධ්‍යවේදියා තමන්ගේ කවුරුහරි කියලා. ඒ තරමටම සමීපයි. යාලුවෙක් යෙහෙලියක් තමන්ට තියෙන කරදරයක් කියන්න පුළුවන් එක්කෙනෙක්, දුක බෙදාගන්න පුළුවන් එක්කෙනෙක්, සතුටට සහභාගි කරවා ගන්න පුළුවන් එක්කෙනෙක් වගේයි. 

ලෝකෙ කොහේ හිටියත් හොඳ මාධ්‍යවේදියෙක් නං මනුස්සයන්ගෙ මතකේ තියනවනං ඕනෑම තැනකදී අදුරගෙන තමන්ගේ කෙනෙක් වගේ කතාබහ කරන එක මොන තරම් සතුටක්ද!

ඔබ ටික කාලයක් ඩුබායි රටේ සේවය කරලා තියෙනවා. එහෙදි ඔබ කළේ කාන්තාවන්ට ඇති ප්‍රශ්න, ගැටලු සම්බන්ධයෙන් කතා කරපු එක. ඒ අත්දැකීම කොහොමද?

ඒ අත්දැකීම අපේ රටේ අත්දැකීම් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද මැදපෙරදිග රටවල් වල කාන්තාවක් ගැන,  මුදල් ගැන, ආගම ගැන කතා කරන්න බැහැ. කතා කරන්නේ නැහැ. එතකොට ඒවට දැඩි නීති තියෙනවා. එතකොට අපි කියමුකෝ, එක කාන්තාවකට කරදරයක් වෙලා නම් අපිට කතා කරන්නට පුළුවන්.  උපදේශනය දුන්නට පස්සෙ මම හුඟක් දුරට කියනවා  ෆෝන් එකේ වෙන නොම්බරයක් ගහලා තියෙන්න කියලා. ඒ මොකද හේතුව ඒ ගෙදර mama හෝ baba කාටද කෝල් කලේ කියලා බලනවා. එතකොට ඒක ගුවන්විදුලි ආයතනයන් නම් ඒ ළමයාට එතනින් මහා කරදරයක් ඇතිවෙනවා. 

හුඟක් වෙලාවට කාන්තාවට උපදෙස් දෙන්න පුළුවන්. දැඩි පීඩනයට පත්වෙලා ඉන්න අයට මොකද කරන්නෙ, තානාධිපති කාර්යාලය ට දැනුම් දෙන්න,එහෙම නැත්නම් පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න. නීති විරෝධී වැඩ වලට නම් යන්න එපා. මොකද ඩුබායි වගේ රටවල දී නීති විරෝධී වැඩ වලට ගියොත් අතරමං වෙනවා වෙනවමයි. ඒ නිසා නීත්‍යානුකූල විදිහට එතනින් අයින් උනානං හොඳයි. 

එයාලගේ හිත සනසලා දුක බෙදාගෙන, අන්න ඒ වගේ පරිසරයක් හදන්න තමයි මම බැලුවේ. ඩුබායි වල මහා විශාල පිරිසක් අසන්නන් හිටියා. මොකද ඒ අයට සිංහල වචනයක්වත් අහන්න ඒ ගොල්ලන්ගෙ නිර්මාණය ඉදිරිපත් කරන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ නිසා ගුවන් විදුලියත් එක්ක හරියට එකතු වෙලා හිටියා. 

හරි පුදුම දෙයක් තමා අකුරක්වත් ලියාගන්න බැරි ළමයි ලස්සනට තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කළා. මම ළඟ අදටත් සමහර නිර්මාණ තියෙනවා. ඒගොල්ලො කියනකොට මම ලියා ගත්තු දේවල්. මොකද ඒ කාලේ ඉඳන්ම පාළුව, දුක, කණගාටුව ඔවුන්ට තිබ්බා.  ඒ අයගේ දක්ෂතා ගුවන්විදුලියෙන් අහන්න මම සැලැස්සුවා. පුදුම සතුටකින් තමයි ඒ අය ඉන්නේ. හැබැයි ඒගොල්ලො මෙහෙ ආව ගමන් ඔක්කොම නැති වෙලා යනවා. මොකද සුපුරුදු පරිසරයට වැටුනහම ඒවා අමතක වෙලා යන නිසා.

අනිවාර්යෙන්ම, ඒ ගොල්ලන් තම අදහස් තව කෙනකුට කියලා නිදහස්වීමේ ගතියක් ලබන්නට ඇති. ඒ වගේම ලංකාවේ ඉන්නවා අසරණ වෙච්ච කාන්තාවන් සහ දරුවන් උදව් උපකාර බලාපොරොත්තුවෙන්. නමුත් උදව් කරන්න  කට්ටියක් නෑ. ඉතින් ඔබ මොන වගේ දෙයක්ද ලංකාවේ අසරණ කාන්තාවන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ ? කොහොමද ඔවුන් ගැන හිතන්නේ?

කාන්තාව සඳහා මීට වඩා පුළුල් දැනුමක්, පුළුල් ව්‍යාපෘතීන්, පුළුල් ක්‍රියාකාරකම් වෙන්නට ඕනේ. අපි පත්තරේ හරි, අන්තර්ජාලය හරි බැලුවොත් හැමදාම දකින්නට හම්බ වෙන්නේ වහලක් නැති අසරණ දරු පවුලක්, තාත්තා නැති අම්මා විතරක් දරුවෝ  සමග ජීවත් වන අසරණ පවුලක් ගැන. හරියට ඉන්න තැනක් නෑ. මං හිතන්නේ මේ වගේ දේවල් වලට මැදිහත් වෙන්න පුළුවන්.

 විශේෂයෙන්ම රජය ග්‍රාමීය  මට්ටමෙන් අපහසුතා වලට ලක්වෙලා ඉන්නේ  කවුද කියලා හොයලා බලලා ඒ අය ගැන සංගණනයක් කරලා තෝරාගෙන උදව් කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න පුලුවන්නම් වටිනවා.

පිටරටවල ජීවත්වන  ඉන්නව ලංකාවට උදව් කරන්න කැමති අය. නමුත් ඔවුන්ට හොයාගන්න අමාරුයි උදව් ඕන අයගේ ඇත්ත ස්වරූපය මොකක්ද කියලා. ඔබ හිතන්නේ නැද්ද,  ලංකාවේ අයට උදව් කරන්න පුළුවන් සුදුසු මාර්ගයක් දැන් පිටරට වල කට්ටියට අවශ්‍යයි කියලා?

ඔව්, සුදුසු මාධ්‍යයක් අවශ්‍යයි. මගේ පිටරට යාලුවො ඉන්නව මෙහෙ ඉන්න අයට උදව් කරන. මම හුඟක් වෙලාවට කරන්නේ තොරතුරක් ලැබුනහම ඉස්සෙල්ලාම ඒ අය පිළිබඳව හොයා බලනවා . අපේ නම්, රූපවාහිනී වාර්තාකරුවන් ගුවන්විදුලි වාර්තාකරුවන් හැමතැනම ඉන්නවා. ඒ ගොල්ලන්ගේ මාර්ගයෙන් අර පවුල්වල තොරතුරු දැනගන්න පුළුවන්. දැනගෙන ඒ අයට උදව් කරනවා. නැතිනම් ගොඩක් වෙලාවට බොරුකාරයන්ට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විමසීමක් කරන්න ඕනේ. 

දැන් බලන්න අසරණ වෙච්ච ලෙඩ්ඩු කොච්චර ඉන්නවද කියලා. පිළිකා රෝහලකට ගිහින් ආවහම කාංචනා මට දවස් දෙක තුන යනකං මගේ හිත හදාගන්න අමාරුයි. පුංචි දරුවෝ, එතකොට දුර පලාත්වල ඉඳන් එන අම්මල, තාත්තල බෙහෙත් ගන්න නැතුව ඉන්න අය, අසරණයට අය මොන තරම් ඉන්නවද?  මම හුඟක් වෙලාවට කරන්නේ පෞද්ගලිකවම ඔවුන් ගැන සොයා බලනවා. ලොකුවට දේවල් කරන්න ගියාම සමහර අය එක්කෝ ප්‍රසිද්ධියට අපිව පාවිච්චි කරනවා. මට එහෙම දේවල් වෙලා තියෙනවා. ඒක නිසා දැන් මම කරන්නෙ පුද්ගලිකව.

 මුදලක් අතට හම්බ උනහම මම රෝහලට ගිහිල්ලා කතා කරල අවශ්‍ය දේ මොනවද බලලා උපකරණ ඕනේ නම් උපකරණ බෙහෙත් ඕනි නම් බෙහෙත් අරන් දෙනවා. ඒව කරන්න මම උදව් ගන්නේ මගේ යාළුවන්ගෙන්. සමහර විට මට දරන්න බැරි ප්‍රමාණ වල උදව් ඉල්ලනවා. එතකොට මම පිටරට ඉන්න මගේ යාළුවන්ගෙන් ඒ සඳහා අවශ්‍ය උපකාර ලබාගෙන ඒවා පරිත්‍යාග කරල, පින්තූර සමග මගේ යාලුවන්ට අරිනවා. එහෙම නැත්තං නවීන තාක්ෂණය ඔස්සේ මම ඒ ගොල්ලන් ඒ මොහොතේදී සහභාගි කරවා ගන්න නැතිව මේක කරන්න අමාරුයි. නැතිනම් කොතනින් පටන් අරන් කොතනින් කෙළවර කරන්නද කියලා හිතාගන්න බැහැ.

ඒ විතරක් නෙමේ අපිට තව කෙනෙකු ගැන විශ්වාසය තියලා වැඩක් බාර දෙන්න බැහැ. මම කරන වැඩේ ගැන මට විශ්වාසයි. අපි අපේක්ෂා රෝහලට කෑම වේලක් දුන්නා. එතකොට ඒකට අවශ්‍ය දේවල් ඉස්සෙල්ල දවසෙ ගිහිල්ලා රෝහලට භාර දෙන්න ඕන. ඉතින් වෙන එක් කෙනෙකුට භාර දීලා ඕක අඩුපාඩුවක් වුනොත්? අපි කියමු, අපිට ඕනේ මුංඇට මෙච්චර ප්‍රමාණයක් කියලා. මම ළඟ ඒ ප්‍රමාණය තිබ්බෙ නෑ. මම ගිහිල්ලා දුන්නෙ මට තිබ්බ ප්‍රමාණය කිව්වොත් වැඩක් නෑනෙ. ඒ නිසා මට කරන්න පුළුවන් දේ මම පුද්ගලිකව කරනවා මිසක් සමිති සමාගම් පිහිටවල එහෙම කරන්න යන්නේ නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.

මේ අවස්ථාව මට මේ ගැන අහන්න තියෙන සුදුසුම අවස්ථාවයි . මම හිතන්නේ ඔබ දරු මුණුබුරන් සමග ජීවිතය ගතකරන කාලය මේක. මොකද විවේකී දවසට කරන්නේ?

දැන්නම් මගේ පුංචි මිණිපිරි  ගෙදර ඉන්නවා මාත් එක්ක. එයාට වයස මාස නමයයි. මුළු කාලයම ගත වෙන්නේ එයත් එක්ක. මම පොත් කියවන්න කැමති. එනිසා පොතක් පතක් කියවනවා. කොරෝන කාලේ නිසා මේ දවස්වල ගෙදර ඉන්නේ. රූපවාහිනිය බලනවා. මම තෝරාගත්තු වැඩසටහන් බලනවා. ඉතින් මිනිබිරිය ඉන්නකොට හරි සුන්දරයි.

අපේ කතාව අතරතුර ඔබ ඔබගේ වයස සඳහන් කළා මේ ඔබගේ මුහුණ දිහා බලාගෙන තාමත් මම කල්පනා කරන්නේ තාමත් පැහැපත් හරිම සුන්දරයි. ඔබේ ජීවිතය හරි ලස්සනට ගෙවිලා යනවා නේද, ඒ නිසා වෙන්න ඇති ඔබගේ ලස්සන තාමත් රැදිල තියෙන්නෙ කියලා.

මම ඒකට එක හේතුවක් කියන්නං. කලාකරුවා හැමදාම අලුත් වෙවී ජීවත් වෙන්නේ. මම පරණ ගීතයක් අහනකොට පරණ විදිහට නෙමේ අහන්නේ. අලුත් විදිහට. ඒකෙ අර්ථකථනය මගේ ඔළුවට එන්නේ අලුත් විදිහට. මොකද කලාකරුවන් හුඟ දෙනෙක් තාම මං වගේ ඉන්නවා. ඒ අයට හිතෙන්නේ කලාකරුවෙක් උනහම කලාව අලුත් විදිහට පේන නිසා ජීවිතය අලුත් වෙනවා. ස්වරූපයත් එහෙම වෙනවා ඇති.

ඉතාමත් ස්තූතියි ඔබගේ කාලය අප වෙනුවෙන් මේ විදිහට වෙන් කළාට. ඒ වගේම මේ අවස්ථාව ලැබුණ එක මටත් භාග්‍යයක්.  ලංකාවට ආවොත් ඔබ බලලා යන්න එන්නම්.  එතෙක් නිදුක් නිරෝගි ජීවිතයක් ගත කරන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.   

බොහොම ස්තූතියි කාංචනා මටත් මේ අවස්ථාව ලබා දීපු එක ගැන. හරිම සතුටුයි. ඔබ මාධ්‍ය ඇතුලේ ගත කරපු වෙනම රටකට ගිහිල්ලා ජීවත් වෙන කෙනෙක්. ඒ රටේ අත්දැකීම් එක ජීවත් වෙන කෙනෙක්. ඔබ බොහොම ලස්සනට වචන හැසිරෙව්වා. මට ඒ ගැන බොහොම සතුටුයි. මේ අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි. හැමදෙනාටම ආයුබෝවන්.

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.