සැමවිටම මා පිටුපසින් සිටි අම්මාට සෙනෙහසින්…
පංසලේ ඝංටාරෙ හඬ ඇහෙන මායිමේ
සොම්නසින් පිරී ගිය අපෙ හතර මායිමේ
දුව පැනල ඇවිදිච්ච හැටි ලමා කාලයේ
මතක් වෙනවා අම්මෙ, මට නිතර දෙවේලේ
ඉස්සරහ කාමරෙට මාරු වෙන්නට කලින්
මැද කාමරේ ඇඳන් දෙක එකට යා කරන්
අපි හතර දෙන නිදා ගත්තු හැටි පිලිවෙලින්
කොහොම නම් මැකෙන්නද අම්මෙ මගෙ මතකයෙන්
මතකයි මට එක් දිනක් මං ගොඩක් පුංචි ඇති
බොන්න බැරි තරමටම ගිලල පැනඩෝල් පෙති
කුඩු කරල දිය කරල හැන්දකින් පෙව්ව හැටි
අසනීප වෙලා මං උන්නු රෑ ජාමෙකදි
උදේ තාත්තා එක්ක බයිසිකලේ නැඟ ඉඳන්
පාසලට යන්න පෙර අවදි වූ තැන් පටන්
කවා පොවා මා අන්දවා හැඩ කරන්
වෙහෙසුණා නුඹ අම්මෙ මතකයිනෙ මට හොඳින්
දිනවලදි කුමක් හෝ මා විසින් ජය ගත්තු
වේදිකාවක් උඩදි මා රඟපු මා ගයපු
නුඹෙ නෙතේ කොණක හිඳ දිදුලනා මිණි කඳුළු
දැක්ක මතකයි අම්මෙ ඔබෙ වතේ හරි සොඳුරු
නුඹෙ අතින් ඉදුණු බත් පතේ තිබු රස සුවඳ
මතකයෙන් නොම ලිහී තාම තියෙනව යසට
මාළු පිනි එක දෙකක් එක්ක මා උයන බත
ඉඳුල් සේ මට හැඟෙයි සසඳද්දි සමඟ එය
වියලි තණ පතක් ලෙස පා වෙද්දී විඩා ගත
සිසිල දෙන දියලුමක් ලෙස පෙනේ නුඹව මට
රිදුම් දෙන ගතේ තැන් නොම තකා ඉන්න විට
සිතට හරි විඩාවයි නුඹ ලඟින් නොමැති කොට
ආයෙමත් යන්න ඇත්නම් ලමා කාලයට
එක හේතුවක් උඩ, හරි අගෙයි සිතෙයි මට
යන විටදි මම යලිත් මගෙ ලමා කාලයට
අම්මලත් යනවානෙ යලි තරුණ කාලයට
අම්මගෙ පුතා
මලිත් චතුරංග සමරසිංහ – Auckland