ආදරණීය ………
අතිශයින් කුරිරු වූ එක්තරා අදිසි බලවේගයක් ඔබ මා වෙන් කොට අවසන්ය. මාද ඒ ලොව වෙත යනතුරු ඔබ පිළිබඳ මතකයන් නොමියන වග මම දනිමි. ඒ මතක අතරේ ගෙවුණු මොහොතක, මගේ කඳුලින් ලියැවුණු මේ වදන් වැල්, පාළු සීතල සොහොන් බිමක හුදෙකලාවෙම නිදන, ඔබ අසලින් විකසිත වුණු ‘සුදු රෝසමලක්’ වේවා.
කඳුල ඉකිබිඳින හඬ ලෝකයට නෑසෙන්න,
රෑහි හඬ මැදියමේ පිනි වැස්සේ මුසු වෙන්න,
හුදකලා හදවතට වියෝ දුක නොදැනෙන්න,
තාරුකා එළි දිගේ අතීතය පැමිණෙන්න.
සීත උදුවප් මහේ දිනක ඇය මගේ ලෝකයට ආවාය. ‘ජීවිතය සුන්දරය’ යැයි එදා මම දිනපොතේ ලියුවෙමි. එදායින් තෙමසක් ඉකුත් වූ තැන අලුත් දිනපොතක ‘ජීවිතය මරණයකි’ යැයි ලියන්නට මට සිදුවිය. මගේ ලෝකය උඩුයටිකුරු කළ ඒ සිදුවීම මුල සිට අග දක්වා ලියා ඔබේ සිත් වෙහෙසීමට මට අවැසි නැත. නමුදු, කඳුකරයම වැහි බීරුමෙන් අඳුරු වුණු සැදෑවක, මා ආදරය කළ අවිහිංසකාවිය රතු පස් කන්දක් යට සැඟව ගිය බව පමණක් කීම සෑහේ යැයි සිතමි.
එදායින් පසු කළ යුත්තේ කුමක් දැයි සිතීමට මම බොහෝ වෙහෙසුනෙමි. ‘මා ද ඇගේ ලොව වෙත යා යුතුය’. ඒ මට ඇති වූ පළමු සිතුවිල්ලයි. ඇගේ මතකය රැඳුණු ආත්මය මරා දැමිය යුතු යැයි ඊට පසු මට සිතුනි. නමුදු අවසන, ඇය කුළුදුලේ මට පිදු ඇගේ සුපිරිසිදු ආදරය තුරුලු කොටගෙන මීයෙන තුරු ජීවත්වීමට මම සිතා ගතිමි. තෙමසක ආදරයක් ජීවිතයකට මෙතරම් බලපාවි යයි මම නොසිතුවෙමි. එහෙත් ඒ තෙමස තුළ ඇය මගේ මතකයට බොහෝ දෑ එක්කාසු කළාය. ඇගේ ආදරය සුන්දරය. ඒ ආදරයේ මතකය මිහිරිය. එවන් මිහිරි මතකය අද මා ජීවත් කරවීමට තරම් බලගතුව සිටී. පෙර දිනක මගේ සුරත පිරිමැදූ මුදු මොළොක් දෑතින්ම අද ඇය මගේ හදවත පිරිමදින්නීය. ඒ සුවදායක මිහිරෙන් මත්ව මම දෑස් පියා ගනිමි. දහසක් තාරුකා නිවි නිවී දිලෙන අහස යට……. මොහොතක් පාසා අසිරිමත් දේ සිදුවන පොළොව මත……. හුදකලා වූ මම, මා සිතේ උපදින සහසක් කල්පනා තෙලි තුඩගින් වදන් වලට පෙරැළීමට තැත් කළෙමි. අවසන, ඒ සිතුවිලි සමුදාය මෙසේ පත්ඉරුවකට කැටි කළෙමි.
අහිංසක දිගු නීල දෙනෙත් පියළිය වසා,
නිබඳ හසරැලි නැගුණු රතු දෙතොල් පෙති පියා,
දෑත් බැඳ සුදු වතින් ඔබ නිදන අයුරු දැක,
කඳුළකින් දෙකඩ විය මගේ හද හදවත වහා.
විලාපය නගන්නේ දෙකඩ වුණු හදවතයි,
කඳුළු මල් හලන්නේ බොඳව ගිය නෙත් යුගයි,
දයාබර බව සොයා වන වැදුණු එක් දිනෙක,
මා සමඟ සිනාසුනු රෝස මල මුකුලිතයි.
(තවත් කොටසක් මතුවට…..)