මුල් වතාවට ඉස්කෝලෙකට යන දවස අද එළැඹිලා,
පොත් මිටිය තුරුලට අරන් මං දිව්වෙ පිම්මේ හිනැහිලා,
තාත්තා නම් උන්නෙ තරහින්, දන්නෙ නෑ ඒ ඇයි කියා,
මටත් කලියෙන් කාරෙකේ ඉඳගත්තෙ අම්මයි හැඩ වෙලා.
‘Night club යන ඇඳුම් ඇඳගෙන කවුද ඉස්කෝලෙකට යන්නේ?
මොළේ කළඳක් නැද්ද තමුසෙට? දරුවටයි දැන් ලැජ්ජ වෙන්නේ,
Fashion sense නැති ගමේ ‘බයියල’ style ගැන මොනවාද දන්නේ?’
කියා තරහින් ‘Gucci’ අව් කණ්නාඩි අම්මා දමා ගන්නේ.
‘කිරිස්’ ගාලා break ගහලා තාත්තා කාරෙක හිටෙව්වා,
අබ ඇටත් පිපිරෙන්න රත්වුණු අම්මා ඇස් ගෙඩි දෙක නැටෙව්වා,
පිටුපසින් ආ ‘වීල්’ එකකට අම්මවත් මාවත් පැටෙව්වා,
‘බුදුන් සරණයි, මයෙ පුතේ’ කියමින් තාත්තා දොර වැහැව්වා.
පරක්කුයි හොඳටෝම bell එක ගහන්නත් දැන් ළඟ නිසා,
අම්මා දුවනවා මාව ඇදගෙන ගේට්ටුව තව දුර නිසා,
කොට සාය ‘කිටි කිටියෙ’ හිරටම ඉරෙයිදෝ දන්නැති නිසා,
‘හෙමින් යමු, අම්මේ’ කියන්නද? කිව්වෙ නෑ මං බය නිසා.
ගේට්ටුව ළඟ අයියලා රැළ හිනාවෙයි ඉඟි බිඟි පපා,
මාත් හිනැහී බැලූවත් උන් බැලුවෙ නෑ පොඩි මං දිහා,
පහුකරන් දුවනා අතරතුර හැරී බැලුවම තොල් හපා,
කට ඇරන් උන් බලං උන්නේ ‘පස්ස’ ගැස්සෙන හැටි දිහා.
ලොකු ස’ර් හරි සැර හැඩයි සුදුවට ඇඳන් හිටියත් එයා,
පළමු දවසෙම බිම බලාගෙන කිව්ව ‘good morning’ කියා,
සද්දයක්වත් නැති නිසා මං බැලුව ස’ර්ගේ මුව දිහා,
ලොකු ස’ර්’ගෙ ඇස් තිබුනා අම්මගේ කර පළල් හැට්ටේ දිහා.
පංතියේ ටීචරුත් අමුතුයි හිටියෙ දැක්කත් නැති ලෙසයි,
මුකුත් වරදක් කළාදෝ මං? වෙන්න බෑ දැක්කෙත් අදයි,
බුලත් අතදී වැන්දොතින් නම් මා දිහා බලනා හැඩයි,
කියනවා ‘චක්කරේ’ ටක්කෙට ටීච එතකොට යාළු වෙයි.
පංතියට මා ඇරලවා දුක්බර හිතින් ආපහු හැරෙද්දී,
කොල්ලො කොක් හැඬළුවා හයියෙන් අම්මා නැවිලා හිස සිඹිද්දී,
යට සාය නැති කොට සාය ඇඳි අම්මා තරහින් පිපිර යද්දී,
ඔරවලයි පංතියට ඇය ගියෙ ගස්සගෙන ටීචටත් යද්දී.
අයියලා නම් කමක් නෑ දැන් යාළුවොත් මගෙ හිනාවෙන්නේ,
අම්මා පාසැල් ආවොතින් හරි අලකලංචියක් නොවෙද වෙන්නේ,
ලොකු ස’ර් යි ටීචයි තවම නෑ මූණ බලලා හිනාවෙන්නේ,
අම්මා නාවට කමක් නෑ හෙට තාත්තා මං එක්ක එන්නේ.
ක්‍රිෂාන්ත වෑවිට -වෙලිංටන් නුවරදී