fbpx
11.9 C
New Zealand
Sunday, April 21, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මිල්ෆඩ් සවුන්ඩ් – (Milford Sound-Piopiotahi) | චන්න ගුණසේකර-ක්‍රයිස්චර්ච්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙම සංචාරක විශේෂාංගයේ දෙවන ලිපියට මා තෝරාගත් ප්‍රදේශය නවසීලන්ත වැසියන් ලොව  ‘අට වන පුදුමය’ ලෙස හඳුන්වති. අතිශය චමත්කාරජනක මෙන්ම, සොබාදහම් මවගේ තවත් පුදුමාකාර ඉතා විරල භූ විෂමතාවයක් වන මිල්ෆඩ් සවුන්ඩ් (Milford Sound, Māori බසින් Piopiotahi) පිහිටා ඇත්තේ ෆියෝර්ඩ්ලන්ඩ් ජාතික උද්‍යානයේ වයඹ දෙසට වන්නටය. 1952 වසරේදී නවසීලන්ත රජය විසින්, කඳුපන්ති, විල්, ෆියෝර්ඩ් සහ වැසි වනාන්තරවලින් වසාගත් වර්ග කිලෝ මීටර් 12,000ක භුමි ප්‍රදේශයක් ෆියෝර්ඩ්ලන්ඩ් ජාතික උද්‍යානයක් (Fiordland National Park) ලෙස නම් කරන ලදී. මෙම අතිශය සංවේදී මෙන්ම අද්විතීය පරිසර පද්ධතියද යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් වන “Te Wahipounamu”හි කොටසකි.  

මෙම සංචාරක ප්‍රදේශයේ ඇති ඉතා පුළුල් පරාසයක විහිදෙන කරුණු සම්පිණ්ඩනය අසීරු බැවින් මෙම විශේෂාංගය මම මිල්ෆඩ් සවුන්ඩ්, සහ තේ ආනෞ  (Te Anau) සිට මිල්ෆඩ් සවුන්ඩ් දක්වා ඇති මිල්ෆඩ් මහාමාර්ගය ආශ්‍රිත කරුණුවලට සීමා කරමි. භූගෝල විද්‍යාව හා සබැදි සංකීර්ණ තාක්ෂණික කරුණු දන්නා අයට, මෙම ප්‍රදේශයේ ඇති අතිශය ජනප්‍රිය මෙන්ම දින ගණන් ගතවන ඇවිදින මංපෙත් තරණය කර ඇති අයට සහ මෙහි ඇති අනෙකුත් ෆියෝඩ්වල සංචාරය කර ඇති අයට මෙය සඳහන් කිරීම වැදගත් යැයි මම සිතුවෙමි.   

මිල්ෆඩ් සවුන්ඩ් යනු ෆියෝර්ඩ් (Fjord/Fiord) නමින් හඳුන්වන භූ විෂමතාවයකි. සරලව විග්‍රහ කළහොත් ෆියෝර්ඩ් යනු ග්ලැසියර ආශ්‍රිතව සෑදුනු ඉතා උස කඳු අතර ඇති දිග, පටු මුහුදට විවෘතව ඇති කලපුවකි. සාමාන්‍යයෙන් ගංඟා පතුල හෝ කලපු “V” හැඩයක් ගත්තද ෆියෝර්ඩ් පතුල  “U” හැඩයක් ගනී. “සවුන්ඩ්” ලෙස හඳුන්වන භූ විෂමතාවය ෆියෝර්ඩ් එකකට වඩා පුළුල් ලෙස මුහුදට විවර වේ. ලොව ෆියෝර්ඩ් බහුල ලෙස පිහිටා ඇති රටක් වන්නේ නෝර්වේය. ඊට අමතරව ෆියෝර්ඩ් දැක ගත හැකි රටවල් ඇත්තේ අතලොස්සකි. මිල්ෆඩ් සවුන්ඩ්හිදී මුහුදු පතුලේ ගැඹුර මීටර 265ක් වන අතර දෙපස ඇති මීටර 1,517 උසැති The Elephant සහ මීටර 1,302 උසැති  The Lion යන කඳුත්, කිලෝ මීටර 15ක දිග මුහුදට විවර වන කලපුව, ෆියෝර්ඩ් එකක තිබිය යුතු භූ ලක්ෂණ මනාව පිළිබිඹු කරයි. 

මිල්ෆඩ් සවුන්ඩ් තවත් ජනප්‍රිය ෆියෝර්ඩ් එකක් වන්නේ මෙහි ඇති මීටර 1,692 උසැති මෛටර් පීක් (Mitre Peak) කන්ද නිසාය. මෙය බොහෝ සංචාරක ප්‍රවර්ධන ඡයාරූපවල සහ ඇතැම් චිත්‍රපටවල දැකගත හැක. මීට අමතරව ස්ථිරව පවතින මනස්කාන්ත දිය ඇලි දෙකත් (උස මීටර 162ක් වන Lady Bowen Falls සහ උස මීටර 155ක් වන Stirling Falls) වැසී දිනයන් හිදී ඇතිවන සිය ගණනක් දිය ඇලි නිසා වචනයෙන් විස්තර ක නොහැකි අද්වීතීය පරිසර පද්ධතියක් මෙහි ඇත. මෙහි සුන්දරත්වය විදීමට ඇති පහසුම සහ හොඳම ක්‍රමයක් වන්නේ මෙහි ඇති බෝට්ටු සවාරියයි (Milford Sound Cruise). මීට අමතරව ගුවනින් හෝ kayak කිරීමෙන්ද ඔබට මිල්ෆඩ් සවුන්ඩ් අත්දැකීම ලබාගත හැක. කෙසේ වෙතත් මෙහි පැමිණෙන බොහෝ සංචාරකයින් අනිවාර්යයෙන් බෝට්ටු සංචාරය මඟ නොහරින්නේය. බෝට්ටු සවාරියේදී Stirling Falls දිය ඇල්ල මුහුදට වැටෙන පාමුලට ගමන් කිරීමත්, ‘ටස්මන් මුහුදට’ මිල්ෆඩ් සවුන්ඩ් එකතුවන ස්ථානයට යන ගමනත්, සවාරියේ දෙපස දකින සීල් මත්ස්‍යයින් සහ ඩොල්ෆින්  මත්ස්‍යයින් නිසාත් මෙම සවාරිය ලොව අනෙකුත් බෝට්ටු සවාරිවලට වඩා වෙනස්ම අත්දැකීමක් හා මතකයන් සංචාරය කරන සැමට අත් කරදෙයි. තවත් සොබා දහමේ විශ්මය තීව්‍ර කිරීමට බෝට්ටුවේම රාත්‍රිය ගතකළ හැකි සංචාරක පැකේජද මෙහි ඇත.

මීට අමතරව මිල්ෆඩ් සවුන්ඩ් රථගාල අසලින් ආරම්භවන ඉතා පහසු කෙටි ඇවිදින මංපෙත් ඔස්සේ ගමන් කිරීමෙනුත් විවිධ මානයෙන් භූ දර්ශන ආස්වාදය කළ හැක. මිල්ෆඩ් සවුන්ඩ් ප්‍රදේශය තවත් විශේෂතා සහ විරල සොබාදහම් ලක්ෂණවලින් සමන්විතය. මෙම ප්‍රදේශයේ මිනිසුන් සැරිසරන නවසීලන්තයේ වර්ෂාපතනය අධිකම ප්‍රදේශයක් ලෙස සැලකේ. එය වසරකට මීටර හතකට ආසන්නය. ශ්‍රී ලංකාවේ  වර්ෂාපතනය අධිකම වටවල ප්‍රදේශයේ වර්ෂාපතනය වසරකට මීටර පහක් පමණ වේ.

තවද මිල්ෆඩ් සවුන්ඩ් ෆියෝර්ඩ්හි උතුරු දෙසට සමුද්‍ර රක්ෂිතයක් ලෙස නම් කර ඇති අතර එය නවසීලන්තයේ ප්‍රධානම සමුද්‍ර රක්ෂිත දහයෙන් එකකි. මෙහිදී ඔබට අත්විඳිය හැකි තවත් විශේෂ දෙයක් වන්නේ මීටර දහයක් පමණ ගැඹුරකින් ඇති දිය යට නිරීක්ෂණාගාරයකින් (underwater observatory) ඉතා ගැඹුරු මුහුදේ (deep sea) සමුද්‍ර ජෛව විවිධත්වය නිරීක්ෂණයයි. සාමාන්‍යයෙන් මීටර 200කට වඩා ගැඹුරු මුහුද, ‘deep sea’ ලෙස හදුන්වනු ලබයි. මිල්ෆඩ් සවුන්ඩ් ෆියෝර්ඩ්හි “U” හැඩති සාගර පතුල නිසාත්, කෙතරම් වැස්සත් මෙම පිහිටීම නිසා දිය යට ඇති නිසොල්මන් බවත්, ඇති අන්කාරයත්, ඒකාකාර අඩු උෂ්ණත්වය වැනි සාධක නිසා මෙම විරල අත්දැකීම ඔබට මීටර දහයක් දිය යටදී දිස්වේ. වාණිජ බෝට්ටු සවාරි (cruise operator) ගෙන යන එක් ආයතනයක් පමණක් මෙම දිය යට නිරීක්ෂණාගාරයට ඔබව රැගෙන යයි. 

රථ වාහනයකින් මිල්ෆඩ් සවුන්ඩ් පැමිණීමට ඇත්තේ එක මහාමාර්ගයකි. මෙය ආරම්භ වන්නේ Te Anau නගරයෙන්ය. ලොව ඇති දර්ශනීයම මාර්ගයක් ලෙස Te Anau සිට මිල්ෆඩ් සවුන්ඩ් වෙත ඇති කිලෝ මීටර 121ක මාර්ගය හඳුන්වයි. මෙහි අතරමග නතරකර සිරි නැරඹිය යුතු ස්ථාන එමටය. ඒවා අතරින් මිරර් ලේක්ස් (Mirror Lakes) නම් විල කාගේත් නැවතුමක් වන්නේ නිස්කලංක දිනක අවට ඇති උස් කදුවල ඡායාව දත්ත කණ්නාඩියක් මත පරාවර්තනය වුවා මෙන් දිස්වන නිසාය. මීට අමතරව ලෝක ප්‍රසිද්ධ ඇවිදින මංපෙත් Routeburn Track සහ Milford Track මෙන්ම තවත් බොහෝ ඇවිදින මංපෙත්වල ඇරඹුම සනිටුහන් වන්නේ මෙම මහාමාර්ගයේ ම දෙපස ඇති නැවතුම් වලින්ය. 

තවත් චමත්කාරජනක දර්ශන ඇති නැවතුම් වන්නේ එග්ලින්ටන් නිම්නය (Eglinton Valley) සහ හෝලිෆඩ් නිමනයයි (Hollyford Valley). මෙම ගමනේදී ඔබට ග්ලැසියර ජල  මුලාශ්‍ර වලින් පෝෂණය වන මන්කි ක්‍රීක් (Monkey Creek) ගංගාවෙන් ජලය පානයට හැකියාව ඇත. උසින් අඩු නමුත් වේගයෙන් ගලා බසින ගංගා සහ දිය ඇලි හරහා වැටුණු “The Chasm” නමින් මංපෙතක් කාගේත් නැවතුමක් වී තිබුණාට මේ දිනවල එය වසා දමා ඇත්තේ නාය යාම් තත්වයක් නිසාවෙනි. 

ග්ලැසියර සහ හිමෙන් වැසුණු කදු මුදුන්, අනන්තයට විහිදෙන නිම්න, වේගෙන් ගලා බසින ගංගා සහ මනස්කාන්ත විල් මෙන්ම වැසි දිනකදී හෝ වැසි කාලයකදී උස් කදු ශිකර, පර්වත දිගේ ඇද හැලෙන ගණන් කර අවසන් කළ නොහැකි තාවකාලික දිය ඇලි නරමින් පැමිණෙන ඔබට මිනිසාගේ තාක්ෂණික දියණුව පිළිබුඹු කරන කිලෝමීටර් 1.2කට වඩා දිග හෝමර් උමග (Homer tunnel) හරහා තම රථ වාහනයේ විදුලි ලාම්පු දල්වාගෙන ගමන් කිරීමට සිදුවීම මෙම ගමන ඔබට අමතක නොවන එකක් කරනවාට සැක නැත. වෙනත් ලොවකට පිවිසෙන විවරයක් සේ මෙම උමගෙන් ඉවතට එන ඔබට ඉතා සීග්‍ර බෑවුම් සමග වැලමිටි වංගු කිහිපයක් පසු කරද්දී මිල්ෆඩ් සවුන්ඩ් භූ විෂමතාවය දිස් වීමට පටන් ගනී. 

ඇතැම් අය තමන්ම රථ පදවාගෙන Te Anau සිට මිල්ෆඩ් සවුන්ඩ් වෙත ළගා වේ. මේ ගමනේ ඇති අතිශය ආකර්ෂණිය ස්ථාන නිසා ගමනට ගතවන කාලය නිර්ණය අපහසුය.  Te Anau සිට මිල්ෆඩ් සවුන්ඩ් ගමනට රථ ධාවනයට පමණක් පැය දෙක හමාරක කාලයක් වෙන් කිරීම සුදුසුය. මාර්ගයේ තත්ත්වය, කාලගුණය සහ යාමට සහ ඒමට (කිලෝ මීටර 242) අවශ්‍ය ඉන්ධන  Te Anau නගරයේදී සැලසුම් කරගැනීම සුදුසුය.  මිල්ෆඩ් සවුන්ඩ්හි ඇත්තේ එකම එක නවාතැන් පහසුකම් සපයන ස්ථානයක් පමණි. එබැවින්  Te Anau නගරය මිල්ෆඩ් සවුන්ඩ් දොරටුව මෙන්ම සොඳුරු සේවා සපයන්නා වේ. මෙහි ළඟා විය හැකි තවත් ක්‍රමයක් නම් සංචාරක බසයක ආසන කලින් වෙන් කරගැනිමෙන්ය. ඔබට ක්වීන්ස්ටවුන් සිට වුවද මේ ක්‍රමය භාවිතා කළ හැක. ක්වීන්ස්ටවුන් සිට Te Anau වෙත ගමනට කාලය පැය දෙකක් පමණ වේ. 

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් ඇතොත් අප වෙත දන්වන මෙන් ඉල්ලා සිටීමි. මෙවන් තවත් සොබා දහමේ අපුර්ව නිර්මාණයක නවසීලන්ත සංචාරක අත්දැකීමක් ලබන කලාපයේත් බලාපොරොත්තුවන්න. 

චන්න ගුණසේකර-ක්‍රයිස්චර්ච්

 

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.