නිවෙස්හි සිටින උදවියගේ බලපෑම් මත විවාහ කරගන්නා වූ බොහෝ තරුණියන් විසින් මතු කරන පළමු පැනය නාඳුනන පුද්ගලයෙකු සමඟ කෙසේ ජීවත් වන්නේ ද යන්නයි. එසේම මධ්‍යම පන්තිය නියෝජනය කරන තරුණියකට කිසිදා පවුලේ කීමට පිටින් විවාහයක් කරගැනීමට නොහැක. එම පන්තිය නියෝජනය කරන තරුණයන් ද එම ඉරණමට මුහුණ දෙනු ලබයි. ඔවුන් සිය සිහින කුමරිය සම්බන්ධයෙන් කෙතෙරම් සිහින මැව්ව ද තමන් බලාපොරොත්තු වන ආකාරයක තරුණියක හමු වූවද එම සබඳතාවයට නිවසින් බාධා පමුණුවන්නේ නම් එය අතහැරීමට සිදුවන්නේ ඔවුන්ගේ පවුල් පසුබිම නිසාය. ඔහු පවුලේ වැඩිමල් දරුවෙකු නම් එය තවත් බලපාන්නේ එම තරුණයාගෙන් පසුව තවත් උදවිය සිටින නිසාය.
දිව්‍යා ද මධ්‍යම පන්තියක් නියෝජනය කළ තරුණියකි. ඇයගේ පියා රාජ්‍ය සේවකයෙකු මෙන්ම ඇයට තවත් නැගණියන් දෙදෙනෙකු ද විය. විවාහක වයස පැමිණ තිබුණ ද ඇයගේ කෙළිලොල් බාවයට කිසිදු අඩුවක් නොවිය. නමුත් එදා දවසේ උදෑසන ඉතාමත් සතුටින් අවදිවන ඇය ලැබුණු පුවත නම් එතරම් සතුටුදායක නොවිය. එදින සවස හතරට ඇයව මනමාලි බැලීමට මනමාල පාර්ශවයේ උදවිය පැමිණෙනවා යැයි පැවසු පසුව ඇය බොහෝ සේ කල්පනා කරන්නීය. අනතුරුව නියමිත වේලාවට නිවස වෙත නොගොස් සිටීමට තීරණය කළ ඇය නිවස කරා පිටත්ව යන්නේ රාත්‍රීය උදාවීමෙන් පසුවයි. ඈ සුපුරුදු කෙළිබස් දොඩවමින් ඇයගේ මව සමඟ නිවස තුළට ගිය විට ඇය විශ්මයට පත් වූයේ, මනමාල පාර්ශවයේ සියලු දෙනාම ඇයගේ පැමිණීම වෙනුවෙන් මඟ බලා සිටි බැවින්ය. එපමණ වේලාවක් මනමාලයා රැඳිසිටියේ, දිව්‍යා සමග පෞද්ගලිකව යමක් කීමට වූ බැවින් ය. නමුත් ඔහු කීමට අදහස් කරමින් සිටි සියල්ලම ඇය විසින් එම අවස්ථාවේදී පවසන ලදි. එම නිසා සිය අදහස වෙනස් කරමින් චන්ද්‍රකුමාර් දිව්‍යා සමඟ යුග දිවිය ඇරඹීමට තීරණය කරන ලදි. නමුත් මේ විවාහය සම්බන්ධයෙන් දිව්‍යා තුළ එතරම් කැමත්තක් නොතිබුණ ද හදිසියේ සිය පියා රෝගාතුර වීම නිසා ඇය ද විවාහයට එකඟ විය. දිව්‍යා හා චන්ද්‍රකුමාර්ගේ විවාහ ජීවිතය කෙසේ ගත වුණේ ද මධ්‍යම පන්තියක් නියෝජනය කරන තරුණියක් දෙමාපියන්ගේ බලපෑම මත සිදු කරගන්නා විවාහයකින් මුහුණ දෙන අකරතැබ්බ මොනවාද යන්න තේමා කරගනිමින් තිරගත කෙරුණු චිත්‍රපටියට මෞනරාගම් (නිහඬ සංගීත ස්වරය) යනුවෙන් නම තබන ලදි.
මනිරත්තිනම් නම් වූ අද්විතීය සිනමාකරුවාගේ පස්වන චිත්‍රපටිය ලෙසයි මෙය රසිකයා වෙත පැමිණියේ. මෙය ප්‍රථමයෙන් දිව්‍යා යන නාමකරණය යටතේ කෙටි කතාවක් ලෙස මනිරත්තිනම් විසින් ලිවීම ඇරඹිය. නමුත් එය අවසන් වනවිට ඒ තුළ ඇති සිනමාත්මකබාවය දුටු ඔහු විසින් තිරපිටපතක් ලෙස මෙය වෙනස් කරනු ලැබුවේ මසක් වැනි කාලයක් තුළය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මනි විසින් ප්‍රථම වතාවට සිය මව්බසින් පිටපතක් රචනා කිරීමයි ඔහු මීට පෙර සිය පිටපත් රචනය කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් ය. මීට පෙර රචනා කිරීමට ආරම්භ කළ දිව්‍යා කෙටි කතාවේ වස්තු විෂය වී තිබුණේ මංගල රාත්‍රීයට සුදානමකින් නොසිටි යුවළක් සම්බන්ධයෙන් ය. අනතුරුව එය මෞනරාගම් ලෙස නම් කෙරුණ අතර එහි නිෂ්පාදන කටයුතු සුජාතා ෆිල්ම්ස් ආයතනය විසින් භාරගෙන තිබුණි. එම සමාගම අනතුරුව ජී.වි. ෆිල්ම්ස් ලෙස නම වෙනස් කරනු ලැබිය.
1986 අගෝස්තු 15 වන දින තිරගත කෙරුණු එහි පළමු දිනය චිත්‍රපටි ශාලාව අතුරුසිදුරු නැතිව පිරිගියේය. ඉන් නොනැවති, දින 175ක් තිරගත වූයේ ද බොක්ස් ඔෆීස් වාර්තා තබමින්ය.මෞන රාගම් චිත්‍රපටිය මනිරත්තිනම්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. එම වසරේ හොඳම දමිළ චිත්‍රපටියට හිමි ජාතික සම්මානය හා වසරේ අධ්‍යක්ෂකවරයාට පිරිනැමෙන ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි වූයේ ද මෙයටයි.
තිරපිටපත කුමක් වූවද? අධ්‍යක්ෂකවරයා කවුරුන් වූවද? චිත්‍රපටිය ජනප්‍රියවීමට එයට රංගනයෙන් දායක වන නළු නිළියන්ට ඉන්දීය සිනමාවේ වැදගත් ස්ථානයක් හිමි වෙමින් තිබුණි. වත්මන වනවිට එම තත්ත්වය බොහෝ දුරට වෙනස්ව ඇති බව මතක් කළ යුතුයි. නමුත් මනිරත්තිනම්ට එය එතරම් අපහසු කරුණක් වූයේ නැත. ඔහුගේ පෙර චිත්‍රපටිවල ඉතා හොඳ රංගනයක් ඉදිරිපත් කළ මෝහන් චන්ද්‍රකුමාර්ගේ චරිතයටත් රේවති දිව්‍යාගේ චරිතයටත් තෝරාගනු ලැබීය. එමෙන්ම නවරස නායගයන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කාර්තික්ටත් මෙම චිත්‍රපටියේ හවුල්කාරයෙක් වීමේ අවස්ථාව උදාවිය. කාර්තික්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ මෞනරාගම් චිත්‍රපටියයි.
මෙවැනි චිත්‍රපටිවල සංගීතයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. දෙබසින් කීව නොහැකි දෙය පවා සංගීතය තුළින් මතු කර දැක්විය හැකිය. මෙම චිත්‍රපටියේ දී එයට වඩාත් සුදුස්සෙකු ලෙස සැලකෙන ඉලයරාජා මනීරත්තිනම්ගේ තේරීම විය. එයට ඔහු වඩාත් සාධාරණයක් ඉටු කළා යැයි කීමට හැක. චිත්‍රපටිය 80 දශකයේ තිරගත වූවත් එහි ගීත අදටත් රසවිඳිය හැකි මට්ටමක තිබෙනවා යැයි කීමට හැක. එහි අඩංගු වූ සමහර ගීත උදෑසන සිට සවස දක්වා මිමුණු අවස්ථාද නැතිව නොවේ. එතරම් එහි ගී ප්‍රේක්ෂකයාගේ හදවතට සමීපවී තිබුණි.
චිත්‍රපටියේ සාර්ථකත්වය මත ඉන් අනතුරුව මෞනරාගම් 1992 වසරේදී කසක් යන නමින් හින්දි භාෂාවෙන් ද, 1999 වසරේදී චන්ද්‍රෝදයා යන නමින් කර්ණාටක භාෂාවෙන් ද ප්‍රතිනිර්මාණය විය. මෞනරාගම් චිත්‍රපටිය ජනතාවගේ ප්‍රසාදය දිනා ගත්ත ද විචාරකයින්ගෙන් සෘණාත්මක විචරා ගලා එන්නට විය. 1980 වර්ෂයේ චිත්‍රගත වූ නෙන්ජතෙයි කිල්ලාදේ, 1981 වසරේ තිරගත වූ අන්ද ඒලූ නාට්කල් මෙන්ම තවත් බොහෝ චිත්‍රපටි අනුසාරයෙන් මෙය නිර්මාණය කළ බවට චෝදනා එල්ල විය. චිචාරක අදහස් හෑල්ලුවකට ලක් කරමින් ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටිය වැඳළගනි ලැබිය. එම නිසාම මෞනරාගම් චිත්‍රපටිය දින 175ක් පුරාවට තිරගත විය.
ජෙගන් ගනේෂන් – ශ්‍රි ලංකාව