බුදුරජාණන් වහන්සේ විසින් පන්සාලිස්වසක් පුරා සුදේසිත ධර්මස්ඛන්ධය සුත්‍ර විනය අභිධර්ම වශයෙන් පිඨකත්‍රයකින් සමන්විත ය. මෙහි සූත්‍ර පිඨකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් ධර්ම ග්‍රන්ථ පහළවකි. ධම්ම පදය ඒ අතර සූවිශේෂි ධර්ම ග්‍රන්ථයකි. එය බෞද්ධ දර්ශනයේ හරය සාරාංශ කරගත් ධර්ම භාණ්ඩාගාරයකි. ලෝක ආගමික ඉතිහාසයට අයත් සාමයික ග්‍රන්ථ බොහෝ ඇතැත් ඒ අතර ධම්මපදයට හිමි වන්නේ උසස් තැනකි. මෙහි අන්තර්ගත ධර්ම න්‍යායන් සමස්ථ මානව සංහතියට ආලෝකයක්ම බලා දෙයි. බෞද්ධයාගේ හස්ථ සාර ග්‍රන්ථය ලෙස හදුන්වන්නේ එබැවිනි.
කිසියම් දේශයකට ආගමකට ජාතියකට හෝ වර්ගයකට සිමා නොවූ සාර්වභෞමික හා සර්වකාලීන වූ උපදේශාත්මක කෘතියක් වන ධම්මපදය තුළ බුදුරාජාණන් වහන්සේගේ සාමාජික දෘෂ්ඨීය උසස් අන්දමින් අන්තරගත ය.
ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂියාවෙන් අවිශ්වාසයෙන් කුලල් කා ගැනීමට මාන බලන රාග, දේෂ, මෝහ සිතුවිලිවලින් හා අපාරධයන්ගෙන් දුෂිත වූ මනුෂ්‍ය සමාජයට ධම්මපදයෙහි අන්තර්ගත උපදේශාත්මක ගාථා පාඨයන්ගෙන් ලැබෙන මාර්ගෝපදේශය ඉමහත් අස්වැසිල්ලකි.
මිනිසා දෛනිකව මුහුණ දෙන ඕනෑම ගැටළුවකට අවශ්‍ය විසදුම් ධම්මපදයේ ගාථා තුළින් ලබාදෙයි. ඇලීම් හා ගැටිම් තුළින් පිඩිතව සිටින චිත්ත අවිවෙකතාවනයෙන් හා අසහනයෙන් කර්කශව සිටින නව පරපුරෙහි මිනිසුන්ට මනසෙහි සන්සුන් බව තැන්පත් බව පමණක් නොව ප්‍රඥාවන්තයන්ගේ විමුක්ති සාධනයටත් අවශ්‍ය දැනුම් සම්භාරයක් ධම්මපද ග්‍රන්ථ ප්‍රදානය කරයි.
ධම්මපද ගාථා සංග්‍රයෙහි වග්ග 26 කි. අන්තර්ගත ගාථා 423 කි. එහි 12 වන වග්ගයේ 02 වන ගාථාව,
“අත්තාන මේව පඨමං – පතිරූපේ නිවාසයේ
අථඤ්මනුසාසෙය්‍ය – න කිලිස්සෙය්‍ය පණ්ඩිතේ ”
තමා පළමු කොට සුදුසු ගුණ ධර්මයන් හි පිහිටා අනතුරුව අනන්‍යන්ට අවවාද අනුශසනා කළ යුතු ය. එබදු පණ්ඩිතයා හෙවත් ඥානවන්තයා කිලිටු බවට පත් නොවන්නේ ය.
අප සමාජයේ “ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට” යනුවෙන් ව්‍යවහාර වන්නේ ද මෙම අදහසයි. මෙහි සදහන් සුදුසු ගුණ යනු පස් පව්, දස අකුසල් නොකිරිම හා ලාභයට ගිජු නොවීම. අගතියට පත් වීමෙන් තොර සන්සුන් පැවැත්ම යි. පුද්ගලයාගේ ජිවිතය සාර්ථක කර ගැනීම පිණිස හැම විටම මග පෙන්වීමක් අවශ්‍ය වෙයි. අතීතයේ සිටම මිනිසාට ආගම ධර්මය අවශ්‍ය වූයේ ඒ සදහා ය. බොහො අවස්ථාවල එම මග පෙන්වීම් මෙලොව පරලොව සුගතිය පිණිස හේතු වන බව ඔවුන්ගේ විශ්වාසය විය. එහෙත් ඇතැම් මාර්ගෝපදේශයන් තමන් බොහෝ වූ වැරදි කරමින් අනුගාමිකයන්ට ඒ දේ නොකරන ලෙස අනුශාසනා කළහ.
නිරතුරුව විවිධ විපරිණාමයන්ට ලක්වන ලෝකය තුළ සදාකල් හි වරද සගවා තැබීම අසිරු ය. කුමන අවස්ථාවක හෝ සමාජයට එය හෙළි වනු ඇත. ස්වකීය නායකයා වැරදිකරුවකු බව දුටු විට සත්‍යවාදි පිරිස ඔහුව පිළිකුලෙන් බැහැර කරනු ඇත. සුචරිතයේ නාමයෙන් පැවති බොහෝ සංවිධාන විනාශ වී යන්නේ ද එබැවිනි.
තමා වැරදි ක්‍රියාවල යෙදෙමින් අනුනට අනුශාසනා කරන්නා ගුණගරුකයෙකු නොවේ. ඔහු වංචනිකයෙකි. ඔහු විසින් දෙනු ලබන අවවාද, කකුළුවා තම පැටවාට දෙනු ලබන අවවාද වැනි ය. පා අටක් ඇති කකුළුවා ගමන් කරන්නේම හරහට ය. උගේ වරද ඌට නොපේනේ. එය බලා සිටින පැටවා ද එලෙස ගමන් කරන විට පැටියාගේ වරද ඌට පෙනේ. කෙළින් ගමන් කරන ලෙස කකුළුවා දොස් පැවරුවත් පැටවා ගමන් කරන්නේ ම වැඩිහිටි කකුළුවා අනුවම බැවිනි. ඌට කිසිදිනෙකත් නිවැරදිව ගමන් කිරිමට පුරුද්දක් ඇති නොවේ. මග පෙන්වන්නා වැරදි කරමින් අනුගාමිකයින්ට අනුශාසනා කිරිම ද ඒ හා සමාන ය. එයින් තමාටවත් සමාජයටවත් කිසිදු යහපතක් සිදු නොවේ.
සමාජ සංවර්ධනයක් ඇති කිරිමට ඉදිරිපත් වන පුද්ගලයා වංචාවෙන් තොරව පළමුව නිවැරදි විය යුතු ය. විචාරශිලි මිනිසා ඔහුදෙස බලා සිටින බැවිනි. එසේම අනුන්ට පුරුදු කළ හැක්කේ ද තමන් තුළ ඇති ගුණ ධර්මයකි. මේ නිසා තමා ප්‍රථමයෙන් ආදර්ශවත් විය යුතු ය. එය ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයකි. තමා ගුණ ධර්මයේ පිහිටන විට අනුශාසනා නොකළත් අනුගාමිකයන් ඔහු අනුගමනය කිරිමට පෙළඹේති.
ඉතාම වැදගත් දෙය වන්නේ පළමුව තමා ගුණ ධර්මයේ පිහිටිම ය. එබැවින් අද පවා අනුශාසකයන් කොතෙකුත් සිටියත් කොතෙක් බණ දහම් ඇසුවත් මිනිස් සමාජය වරදින් මුදවා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ නායකයාගේ පටන් ම එම වරද සාර්ථකව සිදුවන බැවිනි. බුදුරාජාණන් වහන්සේ මෙම ගාථාවේ දී පෙන්වා දෙන්නේ අනුශාසකයා නිවැරදි භාවයේ පිහිටා දෙවැනිව අනුශාසනා කළ යුතු බවයි. මෙම ධර්මතාවය අතීත සමාජයට පමණක් නොව වත්මන් සමාජ තන්ත්‍රයටත් මහගු උපදේශයක් බව පෙන්වා දිය හැකි ය.
By Ven. Walgama Rewatha Thero – Sri Lankaramaya – Ōtāhuhu – Auckland