fbpx
11.5 C
New Zealand
Saturday, April 27, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සතුට, තණ්හාව සහ දුක: තාර්කික දැක්මක් | ආචාර්ය රෝහන උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝර්ත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී දුක, තණ්හාව සහ සතුට පිළිබඳව කතාබහ කරන විට මෙම සංකල්පවල ගැඹුරු තේරුම බොහෝවිට අපි දකින්නෙ නැහැ. ඒ නිසා මේ සංකල්ප තුන අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැටහෙන්නෙ නැහැ. මෙම රචකයා කාලයක් තිස්සේ මේ පිළිබදව පොතපතින් ලද දැනුම සහ තම ඇතුලාන්තය ගවේෂණය කිරීම තුළින් ලද අවබෝධය ඉතා කෙටියෙන් පාඨකයින් සමග බෙදා ගැනීමට දරන උත්සාහයකි මේ. මෙහිදී මෙම සංකල්ප තුන රචකයා අවබෝධකරගත් ආකාරයට පැහැදිලිකොට ඒ අතර සම්බන්ධතාවය විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ තාර්කිකව දැක්වීමට උත්සාහ දරනවා.

සතුට:
තම සිත එහි මූලික පිරිසිදු බවෙහි පවතින විට තමාට දැනෙන්නේ සතුට. එය තම ඇතුලාන්තයේ පවතින පිරිසිදු බව සහ ඒ නිසා ඇතිවන නිවීම සහ මානසික සුවය තුළින් උපදින ස්වාහාවික හැගීමක් මිස ආශ්වාදය නමින් හදුන්වනු ලබන, තමා කැමති දෙයක් ලැබුන විට ඇතුලාන්තයේ ඇතිවන ඇවිස්සීම(excitement) මගින් ජනිතවන කෘතීම වූ තාවකාලික සතුටක් නොවේ. වෙනත් විදියකට කියනවා නමි පිරිසිදු සිත නිවිලා. නිවුන සිතක සතුට පවතිනවා, නමුත් අපේ සිත බොහෝවිට අපිරිසිදු නිසා අපට ඒ සතුට අත්විදින්න බැහැ. අපි හැම කෙනෙකුගේම ඇතුලාන්තයේ මේ ආකාරයට සැනසීම, සාමය හා සතුට පවතින බව සෑම ආගමක් පිළිගන්නවා. ‘බුද්ධ ස්වභාවය’ සෑම පුද්ගලයෙකුගේම ඇතුලාන්තයේ පවතින බව බෞද්ධ පොතපතෙහි සදහන් වන අතර ඒ ආකාරයටම ‘ස්වර්ග රාජ්‍යය’ තමා තුළ පවතින බව බයිබලයෙහි සදහන් වෙනවා. හින්දු ආගමෙහි අග්‍රගන්‍ය පුස්තකය වශයෙන් පිළිගනු ලබන භගවත්ගීතයට අනුව බ්‍රහ්මන් හෙවත් දෙවියන්වහන්සේ සෑම මනුෂ්‍යයකුගේම ඇතුලාන්තයේ වැඩසිටිනවා. භාවනාවෙන් හෝ තමා කැමති මොනයම් හෝ ක්‍රමයකින් තම සිත සන්සුන් කරගෙන නිවුන තත්ත්වයට පත්කරගත් විට මෙහි සත්‍යතාවය අත්දකින්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒ කියන්නෙ සිත නිවාගත් විට බුද්ධ ස්වභාවය නොහොත් ස්වර්ග රාජ්‍යය එහෙම නැත්නම් දිව්‍යමය ස්වභාවය තමන්ගේ ඇතුලාන්තයේ පවතින බව දැනෙන්න පටන් ගන්නවා. එම ස්වභාවය තමයි නිවීම, සැනසුම් සුවය, සතුට, පූර්ණ තෘප්තිමත් බව, සියලුදෙනා කෙරෙහි නිරුත්සාහයෙන්ම හටගන්නා අව්‍යාජ ආදරය සහ පරාර්ථකාමී සිතුවිලි හා හැසිරීම. මෙම පරාර්ථකාමී ස්වභාවය මනුෂ්‍ය මොළයේ නොමැකෙන ආකාරයට රැහැණීකරණය (hardwired) වී ඇති බවත් එය මනුෂ්‍යයාට ආවේනික වූ ස්වභාවය බවත් ස්නායු විද්‍යාඥයන් (neuroscientists) සොයාගෙන තියනවා. තමාට සාමාන්‍ය ජීවිතයේ දී නොදැනෙන විදියෙ අමුතුම අත්දැකීමක්. සිත එහි මූලික පිරිසිදු බවට පත්වූ කෙනෙකුට මෙම අත්දැකීම ලබන්න පුළුවන්. එවිට ඒ පුද්ගලයාට දැනෙන්නෙ නිවීම, සැනසීම සහ පූර්ණ තෘප්තිය. එවැනි පූර්ණ තෘප්තියට පත්වූ සිතක් අතීතයටත් අනාගතයටත් හැමවිටම ඇදී යන්නෙ නැහැ. එය ටිකෙන් ටික වර්තමානයට පත්වෙනවා. ඒ වගේම පුද්ගලයා පූර්ණ තෘප්තියට පත්වී සිටින නිසා තම සතුට වෙනුවෙන් අමුතුවෙන් කිසිවක් බාහිර ලෝකයෙන් අවශ්‍ය වෙන්නෙ නැහැ. එවිට ඔවුන් තුළ කොහොමත් තිබෙන පරාර්ථකාමිත්වය මතුවෙනවා. ඔවුන්ට තියෙන්නෙ සාමූහික චින්තනයක්. සමස්තය කේන්ද්‍රගත චින්තනයක්. මමත්වය කේන්ද්‍රගත චින්තනයක් නොවේ. දුකට පත්වූවෙකුට උදව් කරන්න දෙවරක් හිතන්නෙ නැහැ. මේ තත්වයෙන් පවතින පිරිසිදු සිතක් හරිම නිදහස් සහ විමුක්තිමත්. එබදු සිතකින් තම සිතිවිලි, කතාබහ සහ එදිනෙදා ක්‍රියාකාරකම් මෙහෙයවෙන පුද්ගලයා හැමවිටම නිරුත්සාහයෙන්ම සමාජයට යහපතක් වන දේ පමණයි හිතන්නේ, කතා කරන්නේ සහ කරන්නේ. එවැනි සිතක් ඇති පුදිගලයින් සමාජයට ආශීර්වාදයක්.

තණ්හාව:
නමුත් අපට මෙවැනි පිරිසිදු සිතක් හදාගන්නත් නඩත්තු කරන්නත් අමාරුයි. අපේ එදිනෙදා ජීවිතය ගත කරන විට අපි කැමති හා අකමැති හදා ගන්නවා. මේ කැමති දේ අතර පරිභෝජනය කරන්න කැමති ද්‍රව්‍යමය දේ මෙන්ම අපි ‘පවත්වා ගැනීමට’ කැමති සමාජ තත්ත්වය, බලය, අනන්‍යතාව, කීර්තිය හා ප්‍රසිද්ධිය වැනි ද්‍රව්‍යමය නොවන දේවල් ද පවතිනවා. ඒවා අපේ මොළයේ ලයිස්තුගත වෙනවා. ඉන් පස්සේ කැමති හැටියට ලයිස්තු ගතවූ දෙයක් ලැබුනවිට මොළය විසින් ආශ්වාදය ජනිත කරන ස්නායු රසායනිකයක් (neurochemicals) නිපදවනවා. අපි එවිට ආශ්වාදය විදිනවා. එහි වරදක් නැහැ. සිත එහි මූලික පිරිසිදු තත්වයේම තියනවා. ඒ නිසා එයට පුළුවන් අපේ සිතිවිලි, කතාබහ සහ ක්‍රියාකාරකම් කාගේත් යහපත සදහා මෙහෙයවන්න. නමුත් ප්‍රශ්නය වන්නේ අපි ඒ ආශ්වාදය නැවත නැවතත් විදීමට ආශාවක් ඇතිකර ගතහොත් ඒ ආශාව මොළයේ වාර්තා ගතවෙනවා ස්නයු ව්‍යුහයක් (neural-structure) වශයෙන්. ඒ කියන්නේ ඒ ආශාව මොළයේ රැහැණීකරණය වෙනවා. ඒ වගේම යම්කිසි දෙයකට හෝ පුද්ගලයෙකුට අපි අකමැති වුණාම එයත් මොළයේ වාර්තාගත වෙනවා මේ අකාරයටම. එවිට ඒ දෙය හෝ පුද්ගලයා නැවත හමුවූ විට මොළය විසින් නිපදවනවා අපට නුරුස්සන හැගීමක්, තරහක් ජනිත කරන ස්නායු රසායනිකයක්. නමුත් මෙම අත්දැකීම ලොකු ප්‍රශ්නයක් නොවේ. ඒ අප්‍රසන්න බව ඇතිවෙලා ටික වේලාවක් තිබිලා නැතිවෙලා ගියාම එය ඉවරයි. නමුත් ප්‍රශ්නය වන්නේ එම අත්දැකීම නැවත ලැබීමට දැඩි අකමැත්තක් ඇති වුණොත්. එතකොට ඒ බව මොළයේ රැහැණීකරණය වෙනවා. මේ ආකාරයට බාහිර බලපෑම්වලින් උත්පාදනය වූ කැමති සහ අකමැති දේ මොළයේ රැහැණීකරණය වීමේ සංසිද්ධියට අපි කියනවා සිත අපිරිසිදු වෙනවා කියලා. මෙය තණ්හාවයි. මේ ආකාරයට සිතෙහි පැවතුන මූලික පිරිසිදු බව නැතිවන විට ඒ කියන්නේ තමා කැමති හා අකමැති දේ දැඩි ලෙස මොළයේ රැහැණීකරණය වූ විට එහෙමත් නැත්නම් තණ්හාව බලවත් වූ විට අපි නොදැනුවත්වම ඒ කැමති අත්දැකීම් නැවත නැවතත් ලැබෙන ආකාරයටත් සහ අකමැති අත්දැකීම් නැවත නැවතත් නොලැබෙන ආකාරයටත් අපේ සිතිවිලි, කතාබහ සහ ක්‍රියාකාරකම් මෙම තණ්හාව විසින් මෙහෙයවනවා. නොදැනුවත්වම අපි තණ්හාවෙහි වහලුන් බවට පත් වෙනවා.

දුක:
අන්න එතකොට අපේ ඇතුලාන්තයේ නිරන්තරයෙන් පවතින මේ පූර්ණ තෘප්තිමත් ස්වභාවයෙන් අපි විසන්ධි (disconnect) වෙනවා. ඒ කියන්නෙ දැන් අපේ සිතිවිලි, කතාබහ හා ක්‍රියාකාරකම් මෙහෙවෙන්නෙ ඇතුලාන්තයේ පවතින මූලික පිරිසිදු තත්ත්වයෙන් නොවේ. දැන් ඒවා මෙහෙයවෙන්නෙ තණ්හාවෙන්. ඒ නිසා දැන් අපේ සිතිවිලි, කතාබහ සහ ක්‍රියාකාරකම් තව දුරටත් පරාර්ථකාමී නැහැ. දැන් අපි නොදැනුවත්වම වගේ හිතන්නේ, කතාකරන්නේ සහ ක්‍රියා කරන්නේ තමන්ගේ මොළයේ රැහැණීකරණය වී ඇති තමා කැමති හා අකමැති දේ අනුව. තණ්හාව අපිව පාලනය කරනවා. තණ්හාව තෘප්තිමත් කරලා අවසන් කරන්න බැහැ. ඒ නිසා දැන් පූර්ණ තෘප්තිය අත්විදින්න බැහැ. පූර්ණ තෘප්තිය අත්දැකපු කෙනෙකුට, එය වින්දනය කරපු කෙනෙකුට මෙම විසන්ධි වීමම දුකක්. තම ඇතුලාන්තයේ ස්වාභාවිකව නිරන්තරයෙන් පවතින බව අත්දුටු සැනසුම් සුවය සහ තෘප්තිය අහිමි වීමම දුකක් ලෙස දැනෙනවා. ඒ කියන්නෙ තණ්හාව නිසා දුක හටගන්නා බව දකිනවා. නමුත් තම ඇතුලාන්තයේ මෙවැනි ස්වභාවයක් පවතින බව නොදන්නා, එය කවරදාකවත් අත්නෝදුටු , ප්‍රඥා සම්පන්න නෙවූ කෙතෙකුට මෙය දුකක් ලෙස නොදැනෙන්න පුළුවන්. එය ප්‍රශ්නයක් ලෙස නොදැනෙන්න පුළුවන්. මන්ද, එවැනි පුද්ගලයෙක් විසන්ධි වීම නිසා දැනෙන අතෘප්තිකර ස්වභාවය දැනෙන විටම එය මැඩපවත්වා ගැනීම සදහා කුමන හෝ බාහිර ක්‍රමයක් මගින් ආශ්වාදයක් හෝ තෘප්තියක් ලබාගැනීමට කටයුතු කරනවා. ඒ නිසා අශ්වාදය පිණිස පරිභෝජනය කිරීමට අවශ්‍ය බාහිර දේවල් නොකඩවා සපයා ගැනීමට තරම් වත්කම් ඇති එහෙත් ප්‍රඥා සම්පන්න නොවූ කෙනෙකුට හිතෙන්න පුළුවන් (ඇතුලාන්තයෙන් විසන්ධිවූ) ජීවිතය දුකක් නොවේ කියලා. එය දුකක් කියන කතාවේ ඇත්තක් නැහැ කියලා. නමුත් මේ බාහිරව ලබාගන්නා තෘප්තිය, ඇතුලාන්තයෙන් ලැබෙන තෘප්තිය වගේ නොවේ. එය තාවකාලිකයි. ආශ්වාදය පිණිස කරන දෙය නොකඩවාම කරගෙන ගියත් ඉන් ලැබෙන ආශ්වාදය ටික ටික අඩුවෙනවා. එවිට අර ඇතුලාන්තයෙන් විසන්ධි වීම නිසා ඇති වී තිබෙන අතෘප්තිකර ස්වභාවය නැවතත් මතු වෙනවා, දුක ඇතිවෙනවා. ඒ වගේම, ආශ්වාදය ලබාදෙන පුද්ගලයන්ට හෝ දේවල්වලට දැඩි ආශාවක් හෝ බැදීමක් බොහෝවිට අපට ඇතිවෙන්න පුළුවන්. ඒ පුද්ගලයන් සහ දේවල් ස්ථිර නැහැ. තාවකාලිකයි. ඒවා අහිමි වෙනවා. එවිට අපි ඒ දේවලට සහ ඒ පුද්ගලයන්ට බැදී තිබුන ප්‍රමාණයට සාපේක්ෂව දුක ඇතිවෙනවා. ඒ වගේම බාහිරව ආශ්වාදය සොයන ප්‍රමාණයට සාපේක්ෂව ඇතුලාන්තයෙන් විසන්ධි වෙනවා. එහෙත් අපි ප්‍රඥා සම්පන්න නොවනතාක් කල් අපට මේ සත්‍ය දකින්න අමාරුයි.

By Dr. Rohana Ulluvishewa – Palmerston North

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.