අටමස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ
අනුරාධපුර පූජනීය භූමියේ පහළ වූ ශාසනයටත් සමාජයටත් පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් සමන්විත විහාරස්ථානවලටත් සිංහල ගීත සාහිත්‍යටත් මහඟු සේවයක් ඉටු කළ අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ගෞරවණීය දිවි මඟ පිළිබඳව ආවර්ජනය කිරීම අපට මහත් භාග්‍යයකි.
උපත, ගිහි දිවිය සහ පැවිදි වීම
1954 ජූනි 15 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලේ පල්ලේගම නම් සුන්දර ගම්මානයේ දී කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩාර නිලමේතුමා සහ කරුණාවතී කුමාරිහාමි යුවලට දාව උපත ලැබූ උන්වහන්සේ ගිහි නමින් කරඳගොල්ල වලව්වේ නන්දසේන විය. උන්වහන්සේ සිය මුලික අධ්‍යාපනය බුලාගල ප්‍රාථමික විද්‍යාලයෙන් ද පැල්වෙහෙර කණ්ඩලම, පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් ලබාගත් අතර කුඩා කළ සිටම දහමට හා පුණ්‍ය කටයුතුවලට දැක්වූ උනන්දුව නිසාම උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනයට යොමු වූහ.
1967 වසරේ දිනක එවකට රත්නමාලි චෛත්‍යරාමාධිපතිව වැඩ සිටි පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පල්ලේගම උපන් ගමට වැඩම කළ අවස්ථාවක නන්දසේන දරුවාගේ නිවසට ද වැඩම කළ අතර එදා ඒ අවස්ථාව ඒ කුඩා දරුවාගේ දිවියේ ගමන් මග වෙනස් කරනු ලබන දිවියේ සන්ධිස්ථානයක් වන බව නොදැන සිටින්නට ඇත. මේ කුල දරුවා ශාසනයට එක් කර ගැනීමට කැමැත්ත විමසා බැලූ සිරිසුමන නාහිමියන් ඔහුව රුවන්වැලි සෑ විහාරයට රැගෙන එන ලෙස පැවසූහ. ඒ අනුව 1968 ජනවාරි 31 දා රුවන්වැලි සෑ විහාරස්ථානයට ගිය නන්දසේන දරුවා එවකට අටමස්ථානාධිපතිව වැඩ සිටි උඳුරව හල්මිල්ලෑවේ රේවත නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1968 මැයි 09 වැනිදා වෙසක් පුන් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී උතුම් පැවිදි දිවියට ඇතුළත් කරන ලදී.
අතිපූජ්‍ය උඳුරව හම්මිල්ලෑවේ ශ්‍රී සුමන රේවත නාහිමියන් වහන්සේගේ සහ අතිපූජ්‍ය පල්ලේගම සිරි සුමන ධම්මරක්ඛිත සහ පල්ලේගම ඤාණරතන නාහිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍යයෙකු ලෙස පූජ්‍ය පල්ලේගම හේමරතන නමින් සසුන්ගත විය.
අධ්‍යාපනය සහ ශාසනික මෙහෙවර
පැවිදි වීමෙන් පසු, උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙනුත් සඳලංකා ශාස්ත්‍රෝදය පිරිවෙනෙනුත් ද්විතීයීක අධ්‍යාපනය ලැබූහ. 1975 ජූනි 05 වැනිදා මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීමෙන් පසු එහිදී සිංහල, බෞද්ධ දර්ශනය හා පුරාවිද්‍යාව යන විෂයන් හදාරමින් පුරාවිද්‍යා විශේෂවේදී ගෞරව උපාධිය නිම කරන ලද්දේ පන්ති සාමාර්ථයක් ද සහිතවය. එහිදී ලද උසස් අධ්‍යාපනය උන්වහන්සේගේ ඉදිරි පුරාවිද්‍යා රාජකාරීන්ට මහත් පිටුවහලක් විය.
පල්ලේගම හිමියෝ උසස් අධ්‍යාපනය නිම කර යළිත් ශ්‍රී මහා විහාරයේ බෝමළුව විහාරස්ථානයට වැඩම කළහ. 1977 සිට 1988 දක්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු භාරව සිටියේ උන්වහන්සේය. 1982 – 1997 කාලයේ මහා විහාර පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙසත් පරිවේණාධිපති වහන්සේ ලෙසත් සේවය කළහ.
ඒ වනවිට අටමස්ථානාධිපති නාහිමියන්ව වැඩ සිටි පල්ලේගම ඥානරතන හිමි විසින් 1988 දී හේමරතන හිමියන්ව ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තනතුරට පත් කරනු ලැබූහ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයකු ද වූ හේමරතන හිමියන් විශේෂයෙන්ම අනුරාධපුරයේ ජේතවනාරාම විහාරස්ථානයේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දැවැන්ත දායකත්වයක් දැක්වූහ. 1995 වසරේදී නුවර කලාවියේ උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූහ.
උන්වහන්සේ ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරි ලෙස පත් වූයේ 1997 දී අටමස්ථානාධිපතිව වැඩ විසූ ඥානරතන නාහිමියෝ අපවත් වීමෙන් පසුවය. රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන කටයුතු සඳහා ද උන්වහන්සේගේ මඟ පෙන්වීම මනාව ලැබුණි. නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවිය ද මහා විහාර පිරිවෙනේ පරිවෙණාධිපති කෘත්‍යාධිකාරී ධූරය ද හොබවමින් පිරිවෙනේ දියුණුවත් චෛත්‍ය මලුවේ ඇත් පවුර, වැලිමළුව, සුගන්ධකුටිය (මුළුතැන් පූජාව තැබීමට) ඉදි කිරීමත් සලපතළ මළුවේ බුද්ධ මන්දිරය නවීකරණය කිරීමත් කරනු ලැබුවේ උන්වහන්සේ විසිනි. මේ සමයේ වන්දනාකරුවන් වෙනුවෙන් දොළොස්මහේ දන්සල කරවීමට ද උන්වහන්සේ මූලික වූහ.
රුවන්මැලි මහාසෑයේ නැගෙනහිර දොරටුවේ ඉතා අලංකාර මණ්ඩපයක දුටුගැමුණු ප්‍රතිමාව තැන්පත් කෙරුණේ ද හේමරතන නාහිමියන්ගේ මෙහෙයවීම මතය. රුවන්මැලි මහ සෑ මළුවට වැටෙන වැසි වතුර එකතුවීමට සිව් දිශාවෙන් කළ පොකුණුවලින් නැඟෙනහිර පොකුණ බව විශ්වාස කරන රුවන්වැලි මහා චෛත්‍යාරාමය ඉදිරිපිට නටබුන්ව තිබූ කවාකාර පොකුණ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරවන ලද්දේය. ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශයේ අනුග්‍රහය ලබාගෙන රුවන්මැලි මහා සෑයට උතුරු දෙසින් පිවිසෙන මාර්ගය ආබාධිතයින් සඳහා සකස්කර දීම හේමරතන නාහිමියන් අතින් සිදු වූ විශාල මෙහෙවරකි.
2005 දී රුසියාවේ මොස්කව් නුවර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා ජයශ්‍රී මහා බෝ අංකුරයක් වැඩම කර වූයේ ද හේමරතන නාහිමියන්ය. පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි ඉදිවූ බෝධි ධම්ම විහාරයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වැඩම කරවූයේ ද හේමරතන නාහිමියෝය.
2022 නොවැම්බර් 11 වැනි දින අටමස්ථානාධිපති තනතුරට පත් වීමෙන් පසුව බෝමළුව විහාරස්ථානයට වැඩම කළ උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රැක බලා ගනිමින් අටමස්ථානාධිපති තනතුර බබළවනවා මිස තමන් බැබලීමට උත්සාහ නොකරණ උතුම් යතිවරයෙකි.
ගීත රචනයේ සුවිශේෂත්වය හා සාහිත්‍යමය දායකත්වය
නාහිමියන් වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන තවත් අංගයක් වන්නේ උන්වහන්සේගේ කාව්‍ය හා ගීත රචනා හැකියාවයි. උන්වහන්සේ හිටිවන කවියෙහි දස්කම් පෑ යතිවරයෙක් බව දන්නෝ ඉතා විරලය.
1979 දී විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ජාතික ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට ගැයූ ‘මව්ගේ උකුලේ නැළවුණු සමයේ’ ගීතය උන්වහන්සේගේ පටිගත කරන ලද මුල්ම ගීතයයි. තම ගී ඇතුළත් සංයුක්ත තැටියක් ද ‘සඳ එළිය’ නමින් 2004දී එළි දැක්වූ උන්වහන්සේ විසින් ලියන ලද ගීත රැසක් සිනමාවටත් ගීත සාහිත්‍යටත් තිළිණ කර ඇත. මෙම ගීත මගින් බුදු දහමේ හර පද්ධතීන් සහ සංස්කෘතික වටිනාකම් ජනතාව අතරට ගෙන යාමට උන්වහන්සේ සමත් වූහ.
ගී පද රචනා ඇතුළත් පහන නිවී දොළොස්මහේ (1988), අතීතය සිහිනයක් පමණයි (2009), සීතල ගඟුල වගෙයි (2009) සහ සඳ මඬල වී (2022) යන ග්‍රන්ථ හතරක් ද උන්වහන්සේ පළ කර ඇත.
ලැබූ සම්මාන හා ගෞරව
හේමරතන හිමියන් විසින් ලියන ලද ගීත රාජ්‍ය සාහිත්‍ය සම්මානවලින් ද පිදුම් ලබා තිබේ.
‘සීතල ගඟුල වගෙයි’ ගී පද කෘතියට 2009 වසරේ හොඳම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ලැබූහ.
2011 වර්ෂයේ මහින්දාගමනය චිත්‍රපටයේ ගීතයට ඕ.සී.අයි.සී. සම්මානය සහ 2015 දී මහරජ ගැමුණු චිත්‍රපටයේ ගීත රචනය වෙනුවෙන් හොඳම ගීත රචනයට සම්මාන රැසක් ද උන්වහන්සේට හිමි විය.
සඳ මඬල වී ගුවනේ දිලෙයි
සඳ සිහිල වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත් පාවී පාවී ආවොත්
මඳ සුළඟ සේ ගත සිත නිවයි…
පල බරව සෙවණ සදනා
තුඟු රුකකි නුඹ විසල්
ඒ මියුරු පල රස විඳිනා
පින නැතත් සිත තුටින් පිරී යයි…
සසර හමුවන පැතුම්
හිත දරා ගෙන හිදිම්
අද අහිමි වන දේ යළි
හෙට දෙපා මුල රැඳෙයි
මේ නොවෙද ජීවිතේ
හිත නිවන සිතිවිල්ල එයම වේ…
2015 සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ ආචාර්ය පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් මහරජ ගැමුණු චිත්‍රපටයට රචිත ඉහත ගීතයටය. හොඳම පද රචනය, හොඳම ගායනය සහ හොඳම සංගීත අධ්‍යක්ෂණය යන සම්මාන තුනම හිමි වුණෙත් ඒ ගීතයටය.
ගෝල්ඩන් සම්මාන හා ඕ.සී.අයි.සී. සම්මාන උළෙලවලදිත් හොඳම පද රචනය වෙනුවෙන් මේ ගීතයට සම්මාන හිමිවිය. ඒ වසරේම හොඳම ගීපද රචනයට ජනාධිපති සම්මානයත් හිමි වුණේ ඒ ගීය ලියූ අප නාහිමියන්ටය.
කව්, ගී රචනා හෙළ සාහිත්‍යයට දායාද කළ යතිවර පරපුරේ තවත් අග්‍රගණ්‍ය මෙහෙවරක නියැලෙන ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බෞද්ධ දර්ශනය, සාහිත්‍ය රසය තුළින් ජනතාව අතරට ගෙන යමින් සිටී.
මෑතක දී උන්වහන්සේට ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට තරම් භාග්‍යයක් ලැබුණි. අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සුරකිමින් අටමස්ථානයට නායකත්වය දෙමින් කරනු ලබන සේවය ද හේමරත්න මහනාහිමියන්ගේ ශාස්ත්‍රීය සේවය ද ඇගයුමට ලක් කරමින් ඉන්දියාවේ සාරනාත්හි වරණාසි විශ්වවිද්‍යාලයෙන් උන්වහන්සේට ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී. මෙම ගෞරවය උන්වහන්සේගේ අසමසම සේවාවට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමකි.
සමස්ත ශාසනයට ආලෝකයක්
ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන මහනාහිමියන් වහන්සේ යනු පුරාවිද්‍යාව, අධ්‍යාපනය, ශාසනික මෙහෙවර සහ සාහිත්‍ය කලා යන ක්ෂේත්‍රයන්හි බැබළෙන අසහාය චරිතයකි. සමස්ත ශාසනයට ආලෝකයන් වන උන්වහන්සේගේ සරල බව, කරුණාව සහ ධෛර්යය සැමට ආදර්ශයකි. දැන් සිය දිවියේ 72 වන විය ගත කරන උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!
හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි – ඩනීඩින් සිට







