fbpx
15.1 C
New Zealand
Wednesday, November 11, 2026

The Only Sri Lankan Community Newspaper in New Zealand

මොහාන් රාජ් මඩවලයන්! | අචලා නෙළුනිකා | ඕක්ලන්ඩ්

Must read

ඔහු සාහිත්‍යකරුවෙක්. ගුවන් විදුලිය, පුවත්පත් කලාව, රූපවාහිනිය, යන විවිධ මාධ්‍යවල ඔබට හොඳින්  හුරු පුරුදු නමක්. අලුත් පරම්පරාව බොහෝවිට ඔහුව හඳුනන්නේ නව කතාකරුවකු විදිහට.

වෙලින්ටන් සහ ඕක්ලන්ඩ් සාර්ථක ටොක්සික් රාත්‍රීන් දෙකක් නිමකර දැනෙන ඒ හැඟීම ඔහු මෙසේ විස්තර කලා. 

“මට වෙනස් අත්දැකීම් දෙකක්. මගේ පොත් ගැන කතාබස් ලංකාවෙන් පිටත වෙනත් රටවල කිහිප අවස්ථාවකදීම තිබුණත් මේ නවසිලන්තයේ තිබු ප්‍රථම අවස්ථාව සහ මම නවසීලන්තයට ආපු ප්‍රථම අවස්ථාව. ඉතින්  ඒක මට වෙනස් අත්දැකීමක් වුණා.

ඉතින් හර්ෂයි අනුයි මූලිකත්වය අරගෙන නවසිලන්ත ප්‍රජාව අතර කවුරුත් දන්නා SriLankaNZ විසින් මේ වැඩේ හරිම ලස්සනට සැලසුම් කරලා තිබ්බා. මම හිතුවෙත් නෑ මට ප්‍රිය කරන මගේ පොත් කියවන මෙච්චර පිරිසක් නවසිලන්තයේ ඉන්නවා කියලා.

ඉතින් ඒ අය මුණගැසීමත්, කතාබස් කිරීමත්, ඔවුන් සමග මගේ අත්දැකීම් බෙදාගන්න ලැබුන එකත් හරිම සතුටක් සහ වෙනස් අත්දැකීමක්.”

ඔහුගේ විවිධ භූමිකා ගැන අප සමග බෙදාගත්තේ මේ වගෙ අදහසක්.

මගේ භූමිකා අතරින් වැඩියම ප්‍රිය කරනවා කියලා එකක් ඇත්තටම මටත් මටත් හිතාගන්න බැහැ මොකක්ද කියලා.

හැබැයි නවකතාවක පරිච්ඡේද පෙරලෙනවා වගේ ජීවිතෙත් එහෙම chapters පෙරළෙනවට මම ආසයි.

මොකද අපේ ජීවිතයේ හරි කෙටි‍යි. මේ කෙටි ජීවිත කාලය තුළදී ලබන්න පුළුවන් උපරිම ජීවිත අත්දැකීම් විඳින්න ඕනෙ කියලයි මම හිතන්නේ.

මට කැම්පස් ජීවිතයක්, පිස්සුවෙන් වගේ ආදරය කරපු කාලයක්, නිවේදන කරපු, මීඩියාවල සම්බන්ධ වෙච්ච, චිත්‍රපට වලට සම්බන්ද වුන කාල තිබ්බා.දැන් මේ වෙලාවේ නවකතා ලියන චැප්ටර් එකක් තියෙනවා. ඉතින් ඒවා ආපහු  කොහොම පෙරලෙයිද? ආපහු වෙන තැනකට යයිද කියලා මම දන්නේ නැහැ.

නමුත් ඒ සියල්ල අතරේ මම ආසයි ලෝකය පුරා සංචාරය කරන්න.

මගේ එකම එක අභිලාෂය මගේ ඇස් දෙකෙන් මම නොදැකපු ලෝකය දකින එක. නොදැකපු අත්දැකීම් විදින එක.

මම මොකටද වැඩිපුරම කැමැත්ත කියලා මට ඇත්තටම කියන්න බැහැ. මොකද සමහරක් වෙලට මම වැඩිපුරම කැමති දේ තාම විඳලා නැතුව.

ඔහුගේ පෙර නවකතා පරිශීලනය කල පසු toxic වෙනස්ම රචනයක් සහ ලිවීමේ රටාවක් ලෙස වැටහෙනවා.

කතෘවරයෙක් ලෙස ලිවීම් රටාව යාවත්කාලීන කර ගැනීමේ වැදගත්කම

ඇත්තටම මේ ටොක්සික් මගේ අනිත් සියලුම නව කතා සියල්ලටම වැඩි වෙනස් තමයි. ඇත්තට මේක මට හිතාමතාම කරන්න ඕන වෙච්ච එකක්. මම කියන්නේ අපි ජීවිතේ එකම අත්දැකීම ලබන්න අවශ්‍ය නැහැ කියලා.

මට මේ අවුරුදු දෙක තුනකට කලින් තේරිච්ච දෙයක් තමයි මගේ පොත් කියවන  අවුරුදු 13- 25 අතර විශාල පරම්පරාවක් ඉන්නවා.

සමහරු කිව්වේ ඒගොල්ලන්ට වෙනස් අත්දැකීමක් මගේ පොත් වලින් ලැබුනා කියලා. ඒත් වැඩිහිටි පරම්පරාව අතරේ Gen Z පරම්පරාව ගැන තියෙන්නේ හොඳ අදහසක් නෙමෙයි. හැම වෙලේම phone එක අතේ තියාගෙන වෙන දෙයක් නොකර ඉන්න පරම්පරාවක් විදියට.ඉතින් ඒක ඇත්ත තමයි. ඒගොල්ලෝ ඉපදෙන්නෙත් මේ devices එක්ක තමයි.  ජංගම දුරකථන අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. අපිට ඒක නැතුව දැන් ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. සමාජ මාධ්‍යය අපි අපිට අපේ ජීවිතයෙන් ඈත් කරන්න බැරි තරමට අපිට ළං වෙලා තියෙනවා.

ඉතින් මට මේ පරම්පරාව ගැන සෘජු විදියට ලියන්න හිතුනා.

ඒකට ඒගොල්ලන්ගේ ජීවිත වලට එබිලා බලන්න ඕනේ. නැත්නම් ඒක මම ඒගොල්ලන්ට කරන අසාධාරණක්. ඒකට ඇත්තටම වෙනම research කරා මම. මේ අලුත් පරම්පරාවේ ළමයි හිතන විදිහ, ඒගොල්ලන්ගේ පැවැත්ම කොහොමද කියලා. මේ toxic කියන නම භාවිතා කළේත් මෑත කාලයේ ඔය වචනය ගැන ගොඩක් අය කතා වුනා විවිධ දේ ඒ ගැන ලිව්වා. ගොඩක් අය කියන්නේ මේ toxicity අලුත් පරම්පරාවේ අයට ආවේණියක දෙයක් විදියට.

මම නම් කියන්නේ ටොක්සික් එදා ඉඳන්ම මිනිස්සු අතර තිබුණා. නමුත් මේ අලුත් පරම්පරාව අනිත් පරම්පරාවලට සාපේක්ෂව හරි අවංකයි. ඒගොල්ලෝ තමන්ට දැනෙන හැඟීම අවංකව ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි මේ සමහර මිනිස්සු toxic කියලා කියන්නෙ.

මේ අලුත් ළමයින්ගේන්ගේ ජීවිත හරි ලස්සනයි. ඒගොල්ලෝ හරි අවංකයි. මේගොල්ලෝ තමන්ගේ හැඟීම් විවෘතව ප්‍රකාශ කරන පිරිසක්. ඒ කියන්නේ විස සහිත බව ප්‍රකාශ කිරීම තුළදී මේගොල්ලෝ පරණ පරම්පරාවට වැඩේ හරි විවෘතයි. ඉතින් ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ ජීවිත වලට එබිලා බලන්න මට ටොසික් ලියන්න හිතුනේ. මම හිතනවා ඒය ඉතාම සාර්ථකයි කියලා.

ඔහුගේ කෘතීන් සම්බන්ධව සමාජයෙන් එන ගුණ අගුණ ගැන දැක්වූයේ මෙහෙම අදහසක්

ඇත්තටම හරි අවංකව මම කියන්නේ මට ගුණ කියන මිනිස්සුන්ට වැඩිය අගුණ කියන මිනිස්ස්සුන්ට මම ආදරෙයි. දැන් ටිකක් මට හොඳ කියන මිනිස්සු වැඩිද මන්ද කියලා මට හිතෙනවා. මොකද ඒ විවේචනයත් එක්ක සහ අගුණ කීම තුළ ඒ බැණ වැදීම තුළ සෞන්දර්යක් සහ මට දේවල් විශ්ලේෂණය කරගන්න පුළුවන්. හොඳ කියන්නම ගියාට පස්සේ ඇත්තටම මම අතරමන් වෙනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා මට දැනෙනවා. ඒක නිසා මේ මම හැමදාම කැමතියි මට මාව විවේචනය කරන මිනිස්සුන්ට සහ මට බනින මිනිස්සුන්ට.

නවකතාකරනයට AI  වැනි තාක්ෂණ නිසා සිදුවන බලපෑම

ඔය තාක්ෂණය හරියට පාවිච්චි කරන බොහෝ පිරිස් එක්ක මම කතාබස් කරනවා. ඒ සංවාදවලදී මතු වෙච්ච එකක් තමයි දැන් නවකතා පවා AI වලින් ලියන්න පුළුවන්නේ කම්පියුටර් අරගෙන, පෑන් පන්සෙල් අරගෙන ලියන්න ඕනේ නැහැනේ කියලා. එහෙම නවකතා  ලියන්නත් පුළුවන් ඇති. ඒ කතා වල ජීවය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු හිතන විදියට සමාන තාක්ෂණික මෙවලමක් නැහැයි කියලයි මම හිතන්නේ.  මේවා අතහැරලා නම් ජීවත් වෙන්න බැහැ. නමුත් මම තවමත් මේ මේ මොහොතෙත් වෙනකොටත් මම විශ්වාස කරනවා තවමත් මිනිස්සුන්ගේ හිතන විදිහටම  මිනිස්සුන්ට දැනෙන විදිහටම හැඟීම් පිට කරන්න AI වලට හෝ තාක්ෂණයට බැහැ කියලා. නමුත් මම කොයිම වෙලාවකදිවත් ඒක ප්‍රතික්ෂේප කරන්න නම් නැහැ.

නව කතාව සහ කෙටි කතාව කියන ප්ලොට් එක කොයි තරම් වැදගත් වේද?

කෙටි කතාවක් ගත්තාම මේකේ ප්ලොට් එක හරි සරල එකක් වෙන්න පුළුවන්. පොඩි කාරණාවක් සිද්ධියක්  වෙන්න පුළුවන්. නමුත් නවකතාවක් ගත්තම ඒක හරි පළල් , විස්ථීර්ණ නැත්නම් පැතිරෙලා තියෙන දෙයක්.

නව කතාවක් කියන්නේ ඉතින් පළල් ජීවිත ධාරණාවක්, පළල් මිනිස් සම්බන්ධතා ගොඩක් විශ්ලේෂණය කරන එකක්. නමුත් කෙටි කතාවක් කියන්නේ එක ප්ලොට් එකක්, එක සිදුවීමක් එක්ක යන එකක්. ඒ නිසා ඒ දෙක අතර වෙනසක් තියෙනවා කියලා මම හිතනවා.

මම උදාහරණයක් විදියට රැජින පොත ගැන කියන්නම්. ඒක ලියන්න පෙලඹුණේ පොඩි spark එකකින්. මම ඉතිහාසය පීරමින් අනුලා රැජිණ ගැන සොයාගෙන යද්දී මට තේරුණා මිසරයේ  ක්ලියෝපැට්‍රා ඉඳලා තියෙන්නේ ඒ කාලෙමයි කියලා. මේක නොදන්න කාරණාවක් නෙමෙයි හැබැයි කාටවත් මේක spark වෙලා නැහැ.

ඊළඟට ලෝවීනා, තෝමස් මේට්ලන්ඩි සහ ලොවීනා අතර දැඩි ආදරයක් තිබුණ කියලා තමයි ජනප්‍රවාදවලත් තියෙන්නෙ. නමුත් මම මේ ගැන හොයාන යනකොට මට තේරුණා නෑ මීට වැඩිය  ඛේදවාචකයක් තියෙනවා. මේකේ රොඩී පරම්පරාවත් එක්ක රොඩී මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගැට ගැහිච්ච මාර දුක් කන්දරාවක් මේකේ තිබිලා තියනවා.  ඊට පස්සේ මට හොයන් යනකොටත් හම්බවෙච්ච කාරණා අනුව දස්කොන් ප්‍රමිලා සම්බන්ධතා නරේද්‍රසිංහ රජු සහ රොඩී මිනිස්සු අතර තිබුන සම්බන්ධතා හොයාගන්න පුළුවන් වුණා.

නිල්කට්රොල් කතාව ගන්නකෝ, කාශ්‍යප තමන්ගේ තාත්තා ධාතු සේනව මැරුවා පණපිටින් මැරුවා කියන කතාව පට්පල් බොරු කියලා මට තේරුම් ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක හොයන් යනකොට මට තේරුණා ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවනේ. ඇයි එහෙම වුණේ? එහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙම කියලා හොයන් යනකොට තව විවිධ දේවල් අහුවෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේක පොඩි ගවේෂණයක් තමයි. නමුත් එහෙම යනකොට අලුත් දේවල් හම්බවුණොත් තමයි මම ලියන්නේ. ඒ නිසා මේ මේ අමුතු අත්දැකීම් අහුවෙන තැනදී තමයි මම හෙල්ලෙන්නේ සහ ලියන්න ඕන කියලා හිතෙන්න.

ඔහුගේ කෘතින් පරිශීලනය කරද්දී දැනෙන තවත් දෙයක් තමයි  අතීත වර්තමාන අනාගත කාලය සමග කරන හරඹය.

මම කාලය කියන සංකල්පයට සහ විද්‍යාවට හරි කැමති කෙනෙක්. මේ හැම දේම විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. අයින්ස්ටයින් තමයි මුල් වරට කිව්වේ කාලය කියන්නේ මායාවක් කියලා. කාලය කියන්නේ අපි හදාගත්ත එකක්. ඒ කියන්නේ මේ අතීතය සහ අනාගතය කියලා දෙකක් අපි මේ හදාගෙන තිබුනට ඇත්ත වශයෙන්ම මේ පවතින මොහොත තමයි එකම දේ කියලා වගේ අදහසක් අයින්ස්ටයින් කියලා තියෙනවා.

ඕක බුදුහාමුදුරුවොත් ඒ කියන්නේ බුදුන් වහන්සේත් මීට අවුරුදු 2500 කට කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ අතීතය ගැන හිතන්නත් එපා අනාගතය ගැන හිතන්නත් එපා. මේ මොහොත ගැන විතරක් හිතන්න. ඒකට අවධානය දෙන්න කියලා. නමුත් ඒක ඇත්තටම විද්‍යාවෙන් පැහැදිලි කරගෙන ගියාට පස්සේ ඒක විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා මේ අතීතය කියන දේකුත් ඇත්තටම නැහැ. අනාගතය කියන දේකුත් නැහැ. තියෙන්නේ මේ මොහොත පමණයි. කාලය සාපේක්ෂයි ඕනම ඕනම වස්තුවක තියෙන ස්වභාවය  අනුව. දැන් උදාහරණය කරනවා හඳේ කාලය පෘථිවියේ කාලය නෙමෙයිනේ. හඳේ දවස් යන්න වෙනම විදිහකට. පෘථිවියේ දවස් යන්න වෙනම විදිහට.

අපි අඟහරු වලට බැරි වෙලත් ගියොත් එහෙම අඟහරු වල කාලේ ඊට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස්. අපි බ්‍රහස්පති වලට ගියොත් එහෙම බ්‍රහස්පතිවල කාලය සම්පූර්ණෙන් වෙනස්. ඒ කියන්නේ මේ කාලය කියන එක ඒ ඒ වස්තුවට ඒ ඉන්න ඒ කාලය හැදෙන පෘෂ්ටයට නැත්නම් ඒ තැනට සාපේක්ෂයි.

කාලය කියන්නේ මායාවක්.

මම විද්‍යාව එක්ක වෙනස් වෙන්න කැමති මිනිහෙක්.ඒ නිසාම තමයි මම කාලයත් එක්ක සෙල්ලම් කරන්න කැමති.

පූර්ණ කාලීන රැකියාව විදියට ලේඛකයෙක් වෙන්න ඉන්න අපේ අලුත් පරපුරේ අයට

මමත් මගේ ජීවිතයේ විවිධ රස්සාවක් කරලා තියෙනවා.

මුලින්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවෙ රස්සාවක් කළා. ඊට පස්සේ මීඩියා වල සම්බන්ධ වෙලා සෑහන කාලයක් හිටියා. මීඩියාවල යන්න පුළුවන් ඉහළම තැනත් ඉඳලා ඒකේ අත්දැකීම් මම අරගෙන තියෙනවා. මම පොඩි කාලේ ඉඳන්ම ලිවීමට යොමු වුණා. හැබැයි මම මගේ පළවෙනි නවකතාව මාගම් සෝලිය ලියන්නේ 2012 මීඩියා වලින් අයින් වුනාට පස්සේ.

මම පෞද්ගලිකව හිතෙන දේ තමයි අපි එක සැරේ වැඩ ගොඩාක් කරනවා නම් එක වැඩක්වත් හරියන්නේ නැති අවස්ථාවෙන් තියෙන්න පුළුවන්. තමුන් එක වැඩක් හරියට කරන්න. අවධානය යොමු කරන්න. ඒකට professional වෙන්න. මට තියන ප්‍රශ්නෙ තමයි ලංකාව වගේ රටකට ඇත්තටම professional මිනිස්සු නැහැ.

මම කියන්නේ writer කෙනෙක් වුනත් තමන් fiction ලියන කෙනෙක් වුනත් කලාකාරයෙක් වුනත් තමන් යෙදෙන වැඩේ හරි විදියට, ඒක ගැන අධ්‍යයනය කරලා තමන් තමන් පිහිටන තැන කොතනද මම ලියන්නේ කාටද මගේ පාඨකයෝ කවුද මම ඒගොල්ලන්ට ලියන්නේ ඇයි මම මගෙන් එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනාද කියල හිතන්න.

එහෙම හරියටම අවධානය දීලා professionally වැඩක් කරන්න පුළුවන් නම් එතන තමයි තමුන් පවතින්න පුළුවන් එකම තැන. එහෙම එහෙම නැතුව ලියන්නම් වාලේ ලියනවා නැත්නම් book fair එක නිසා ලියනවා කියලා එහෙම ලියාගෙන ගියා නම් මිනිස්සු මාව අතහැරලා ගොඩක් කල්. මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ වැඩක් හරියට කරන්න. තමන් නියලන ක්ෂේත්‍රය මොකක් වුනත් ඒ ක්ෂේත්‍රය ඇතුලේ තමන් ජීවත් වෙලා  ඒකත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් ඕනම ක්ෂේත්‍රයකින් ඕනම කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන්.

කරන දේට හරි අවධානය දීලා වෘත්තීම ලෙස කරන්න. එතනින් එහාට ස්වභාව ධර්මය තමුන්ව බලා ගනියි.

සීතල නවසීලන්තයේ උණුසුම් ප්‍රතිචාර සමග ඉදිරි වැඩ කටයුතුයි සියල්ලම සාර්ථක වීමට ඔහුට ශ්‍රී ලංකන්ස්  අපි සුබ පතමු!

අචලා නෙළුනිකා – ඕක්ලන්ඩ්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.