‘කවියෙක් වෙන්න බැරි නං කවියක් වෙන්න.’ සිංහල කාව්‍ය වංශ කතාවට ‘ශ්‍රී ලන්ක්නස්’හි තැබූ කෙටි ප්‍රවේශයය. ඉක්බිති,
- කවිය කනප්පුවක් කළ හැත්තෑවේ දශකයේ තුන් මහා කවියෝ.
- තාණ්ඩව කවි යුගයට පෑයූ හැත්තෑවේ දශකයේ කවි මියුලැසිය.
- අමර + සේකර + මහ ගම නොවේ.” ඒ මුණිවර කවියා සේකර නම් වේ.
- ප්‍රේමය අඳුරේ තැබූ මහා කවියා.
- හැත්තෑව දශකයෙන් මතු වූ ‘බුධ’ කවි ලකුණ.
යන පියවරයන්ගෙන් පසු මෙවර, විමලරත්න කුමාරගම, තවත් නොමියෙන නමක් ගැන කෙටි සටහනක්.
ලියන්නේ රාජ්‍ය සම්මානලාභී නිවේදක, වජිර ජයවර්ධන, ඕක්ලන්ඩ්.
කවිය සැමවිට උපන්නේ ජනහදවත්වලිනි. මිනිසුන්ගේ හද තුළ නළියමින් මතුවන සංවේදනාවන්ගෙනි. සංවේදී සංවේදනවන්ගේ සුඛ, දුක්ඛ සෝබාවන් රසවත්ව, රිද්මීයව මුණගැසෙන තැනද කවියයි. බොහෝ විට විනෝදාස්වාද මෙවලම් නැති කාලයෙදී එදිනෙද ගැමි ජන ජීවිතයේ පරම වින්දන මාධ්‍යය වූයේ කවියම පමණකි. බිය පහකර හැරීමට මෙන්ම සතුට බෝ කර තැබීමටත් කවිය තරම් සමීප කලාවක් නොවීය. විමලරත්න කුමාරගම නම් අසහාය ගැමියාගේ කවිය උස්ව පෙනෙන්නේ මෙවන් පරිසරයක් තුළය. කුමාරගම කවිය කේවල හඬක අනායාසකර සරල බවකින් එදිනෙදා ගැමි වහරට බරව නැමී ආවකි. කවිය යනු මිනිසුන්ට කතා කරන සන්නිවේදන ක්‍රමයකි. නමුත් මිනිසුන් අතර කවියා කැපී පෙනෙන්නේ සාමාන්‍ය මිනිසා ඉක්මවා යන සූක්ෂම ඇස් බැල්මකින් කවියා සමකාලීන සමාජය කියවන හෙයිනි.
ඇදී යන සුළඟ මොහොතකට නවතන, ඇද හැලෙන වැසි දිය මත රටා අඳින, ගලා යන දිය පහරක ලතාව දකින කවියන් අතර මිනිස් ජීවිතවල හැංගි හැංගී ඉකිබිඳින වේදනාව කවියට නැගීමම විමලරත්න කුමාරගම කවියාගේ ප්‍රබලත්වය මතු කරන්නකි. ඔහුගේ කවි යුගය ලෙස නම් වෙන්නේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරයි. 1940 -1950 දක්වා දශකයයි. සාගර පලන්සූරිය, පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි කවියන් අතර ඔහු ස්වාධීන කවි ලකුණු පෙන්නුම් කළ කවියෙක් ලෙස ප්‍රකටය. කොළඹ පළමු යුගයේ ජාතිකාභිමානයට හා දේශප්‍රේමයට නැඹුරු වූ කවිය දෙවන පරපුර සෞන්දර්යය, ගම, ගැමියා පිළිබදව වන සංවාදය බටහිර රොමෑන්ටික කවීන්ගේ ආභාසය සමග ඔපවත් කළේය.
වයස යාන්තම් 16 වැනි වියේ දී ලිපිකරුවකු ලෙස පත්වීම් ලබන ඔහු පසුව ආදායම් පාලක නිලධාරි ලෙස කටයුතු කර ඇත.’සංවේග වේදනා’ නම් වූ පළමු කවි එකතුව පළ කරයි. ඔහු ගේ කවි තුළ හඟුරන්කෙත, කලවාන, මහියංගනය, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය දිස්ත්‍රික්වල සේවා ලබාගැනීමට පැමිණි ජනතාවගේ රුව මතුව එයි. ඔහු ගෙවා දැමුවේ සීමා සහිත ආයු කාලයකි අවුරුදු 43 ක් වූ දිවිසැරියේ රජයේ සේවය මෙන්ම නිර්මාණ ජීවිතය ද අවුරුදු 27 කි. හපුමලී දෙවන කාව්‍ය පළ කෙරුමයි. කාව්‍ය සංග්‍රහ දෙකක් වුවත් මී වදය, උක්දඬු දුන්න වැනි කාව්‍යා සඟරාවලට ද ඔහු නිරන්තරයෙන් කවි පන්ති සැපැයුවේ ය. කවි දහස් ගණනක් එකතු කරමින් එකවි මගට නව අර්ථ සැපයීමට ආචාර්යය ඩබ්. ඒ. අබේසිංහ ප්‍රවීණයා ගත් පියවරද මෙහිදී සිහි කැඳවීම වටී.
ඇසින් දුටූවන්ට අනුව කුමාරගම හොඳ කඩවසම්, උස අඩි හයකට සමීප ආරෝහ පරිණාහ දේහධාරි තැනැත්තෙකි. ඔහු ගේ අක්බඹරු කෙස් කළඹ පිළිබඳව විශේෂයෙන් සඳහන් වේ. එකල විසූ කවීන් අතර වඩාත්ම කඩවසම් තැනැත්තා ඔහු බවද කියවෙන තැන් එමටය.

ඔහු දිවි ගෙවා ඇත්තේ තනිකඩයකු ලෙස ය.
මළසර වැළඳ ගති හෙමිහිට සවන් පෙති
පෙරදිග කොණක මහ රෑ ඇත ගුවන් පති
මගෙ හදවතේ දහසක් මහ සටන් ඇති
මියගිය සිහින පුබුදින්නට පටන් ගති (හුදෙකලාව)
මගේ ගෙදර
මා පමණයි
සීතලයට
උණුහුමකට
මගේ ගෙදර
මා පමණයි
මගෙ බල්ලා
මගෙ කොල්ලන්
ලෙඩ දුකකට
උණුහුමකට
මගේ ගෙදර
මා පමණයි
මගෙ කිවිකම
මගෙ හොඳ හිත
දකුණත හා
රසදත් ඇස
තිබෙන තුරා
මට තනි නෑ
(තනිකම)
කොළඹ යුගයේ අනික් බොහෝ කවීන්ට ඔවුනොවුන් නිතර හමුවීමට අවස්ථාව තිබුණ ද ඔහු තමා සමග හෘදයාංගම වීමට හුරු වූයේ උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ජීවිතයේ විවිධ මොහොතට පිළිතුරු සොයා පැමිණි ගැමියන් සමගය. ඈත වන්නි පළාත්වල එවක පොලිස් බලයද තිබුණේ ඩී.ආර්.ඕ.මහතා වෙතය. මහ ආණ්ඩුවේ ඒජන්ත වුවද ඔහු සතු අසීමිත බලය හිරකොටගත් මානව හිතවාදියෙකු වූ බව ප්‍රකටය. ඔහු ද්විභාෂා උගතෙක් විය. ද්විභාෂිකත්වය එකල සිංහල කවීන්ට තිබුණේ කලාතුරකින් වූ නිසා ලෝකය කලින්ම දැකීමේ වාසනාව ඔහු සතු විය.

මේ කවි ෂේක්ස්පියර්, වර්ඩ්ස්වර්ත් වැනි රොමැන්ටික් කවීන් ගේ ඇසුරට ළඟ බව විචාරක මතයයි. අවට නිරීක්ෂණ, අත්විඳීම් සහ ඒවා ප්‍රකාශනය තම කවි සන්නිවේදනයේ මූලික ලකුණු නිසි එස ප්‍රකට කළ අයෙකු ලෙස ඔහු අවිවාදිතය.
ඔහුගේ හද බැඳි භූමිය වූයේ මෙන්ම කවි බිම වන්නේද වන්නි යයි. ගිනි ගහන අව්ව, වියළි කටුක සුළඟ, දැවී ගිය තුරු ලතා, දිය සිඳුණු වැව් පත්ල, පැලි මඩ, පණ ගහන කුඩමසුන් එම කවියේ හැඩ මනාව පෙන්නුම් කරයි.
අව්වට මැරි කුඩමස්සන් වේලෙනවා
දිය කලතමින් කණ කොක් රැළ පොරකනවා
අලි බෙටි හරක් බෙටි වතුරට දියවෙනවා
අලියා වැටුණු වැව මේ වැව් දිය බොනවා
සෙවණැලි පවා මැලි ගතියෙන් පොළව මත
වැතිරී තිබේ අද ගී අමතකව ඇත
ඉදිරිය අවට මිරිඟුව ඇත වසා නෙත
ඉදලක් සැලෙන තරමට සුළඟකුදු නැත
(ගමේ වැව)


හදවතේ චිත්තවේග හා බුද්ධියේ තීක්ෂණ බව පෙරා ගෙන ගැමි හද සංවේදනාවන් ඔහු ඉදිරිපත් කළේ අදටත් අපි මවිත කරවමිනි. අහිංසක ගැමියන්ගේ ජීවිත තුළ නිරන්තරයෙන් පවතින සතුට, ශෝකය, මිනිස්කම, ඇදහිලි සහ මානව ගුණාංගයන් කවියෙන් ලෝකයාට කියා පාන්නට විය. හපුමලී, ආරච්චි රාළ, වලස් දඩයම, සිරගෙය, අවුරුදු නිවාඩුව, ආගන්තුක සත්කාරය, අයියනායක, හේරත්හාමි වැනි නිර්මාණයන් ඒ අතර සුවිශේෂීය.
1946 දී රචනා කරන ලද හපුමලී පද්‍ය පන්තිය හපුමලී නම් ගැමි දැරියක් දූෂණය වීමේ සිදුවීම පදනම් කර ගෙන රචනා කරන ලද්දකි.
හඬ හඬා වැලපී වැලපී ගෙහිමි ළග
ඈ කිවූ නමුත් ගම බැලුමට නොහැකි වග
නොතකා ඇයගෙ අසරණ දුක් හුසුම දීග
ඒ කුහකයා පෙන්වීය ගේ අසල මග
හපුමලී පද්‍ය පන්තිය ආරම්භ වන්නේ ස්ත්‍රි වර්ණනාවකිනි. දිග හතලිහ කවි පන්තිය ද ගමේ කටකතාවට මෙන්ම පිරිමි අවස්ථාවාදයට බිලිවූ කතක් හමුවෙයි. එය සීමිත ඉඩක ලියා පලකිරීම අසීරු වුවත් සිහිපත් කිරීම වටී. අහිංසක ගැමි කාන්තාවකගේ ස්වභාවය ඉතාම රමණිය ලෙස නිරූපණය කරමින් ධනපතියකුගේ අතකොළුවක් බවට පත් වීම පිළිබඳව සමාජයේ විවේචනාත්මක ප්‍රශ්නාර්ථයක් ඔහු මෙම අවස්ථා දෙකෙහිම මතු කරයි. හේරත් හාමීලා, සුවඳිලා වැනි චරිතවලට සාධාරණය කළ මේ මහා කවියා අහිමිව ගියද තවමත් අප අතර ජීවත් වන බව නොකියාම බැරිය.
වජිර ජයවර්ධන – ඕක්ලන්ඩ්







