සිංහල අවුරුදු කියන එක දැනේන් නැති මිනිස්සුත් ඉන්න රටේ, අවුරුදු දැනෙන අපි.
අපේ ගෙදර හැමදාමත් අවුරුදුවලට නම් රජ මගුල්ය. ගමේ ආච්චි අම්මාත් කොළඹ ආච්චීත් එදා සිටම මොනා නැතත් අවුරුද්ද සැමරීම ඉහළින්ම කරපුනිසා අපිත් ඒක කරනවා.
“දරදිය ඇදලා ගොමැටි ගාලා මහගෙය කළ එළි කරගන්නේ
බොරදඟ කවලා රටා දමාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල් මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගේ බලා කියාගෙන පෙර අවුරුදු කාලයි එන්නේ”
මෙන්න මේ විදිහටයි ඉස්සර කාලේ අපේ ආච්චි අම්මලා අවුරුද්ද පිළිගත්තේ.
සිංහල හින්දු අවුරුද්ද, බක්මහේ මංගල්ලේ, සූරිය මංගල්ලේ, ඔය මොන මොන නම්වලින් කිවුවත්
මොන මොන නැකතට වැඩ කළත් මං හිතන්නේ අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා අස්වනු (යල කන්නේ) කපලා බත බුලතින් සරු වුණාම අලුත් සහල් මංගල්ලෙන් පටන් ගන්න අවුරුදු සැමරුමෙන් සංකේතවත් කෙරුණේ පසුගිය වසරින් ගෞරවාන්විත ලෙසින් නික්මීම හා නව වසර අභිමානවත් ආකාරයෙන් පිළිගැනීමයි(හරියට අවුරුද්දම වැඩ කරලා බෝනස් ලැබුණා වගේ). ඒක දැනෙන, නොදැනෙන එක තම තම නැණ පමණින් තමා ඉතිං.
පරණ අවුරුද්ද, නොගතය (සංක්‍රාන්තිය- මේ සංක්‍රාන්තියට විතරක් අවුල් වෙනවා නම් ඒක තමාගේ අවුලක්), අලුත් අවුරුද්ද, හිසතෙල් ගෑම වගේ ප්‍රධාන අංගවලින් සමන්විත සිංහල හින්දු
අවුරුද්දට කොච්චර සැදැහැවත් කමක් ඒකට එකතු කරනවද? නැද්ද? ආගමික කටයුතු ඈඳා ගැනීම, ජෝත්‍යෂය ගාවා ගැනීම කාටවත් එහෙම විකාරයක් විදිහට පේනවා නම්, ඒක පේන කෙනාගේ අවුලක්. සංස්කෘතික විවිධත්වය තියෙන්නේ රස විඳින්න මිසක් තලා පෙලා මඩ ගහන්න නෙවී. (වැඩි දුර යන්න ඕනි නැහැ. ඉන්දියානුවන්ගේ දියුණුව සහ සංස්කෘතික බැඳීම් ගැන ටිකක් බලන්න.ආසා හිතෙයි).
උදාහරණයක් විදිහට අපේ ගෙදර ලස්සන කෑම මේසයක් හදලා, බුදු හාමුදුරුවන්ට පහනක් පත්තු කරලා වැඩ කළාට පන්සල් යන්නේ පුළුවන්වෙලාවට තමා. නොනගතේ කියන්නේ පංචෝ දාන, ලූඩෝ, දාම් අදින (දැන්නම් ටීවී බලන), උණුවතුර බෝතලෙන් තේ අරන් බොන, බිස්කට් එකක්,කේක් කෑල්ලක් එහෙම කන වෙලාවක්. වැඩ අල්ලද්දි පොඩි කාලේ ඉඳන් අපි කළේ පොතක් කියවන්න ගන්න එක.
අම්මා නම් මහන්න ගන්නවා.ගනුදෙනු තමා නියමම. අපේ තාත්තා සුවඳ ගහන සීයේ, පනහේ කොල මිටියක් අරන් තමා ගමේ යන්නේ. ජනවාරි අවුරුද්දට තාත්තා කැලැන්ඩර් මාමා වෙනවා වගේමයි සිංහල අවුරුද්දට ගනුදෙනු කිරිල්ලට. (අපිට නම් ඒ ගනුදෙනුවලින් කිරි ඉතිරුනේ නෑ. හැබැයි එයාලට නම් වෙනවාලු). හිස තෙල් ගාන්න ආච්චි අම්මලාගේ මහගෙදරට අපේ ඇසිලින් නැන්දා තමා ඉස්සරෝම වගේ එන්නේ. ඒ නැන්දාට තියෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක්(තිබ්බ කොණ්ඩා ගස් ටිකෙන් තට්ටේ වහනවා වගේ වැඩක්). ඉතිං පුංචිකමට අපි බක බක ගාලා හිනා වුණාට දැන් තමා රඟේ තේරෙන්නේ. අපේ අම්මා කියන විදිහට පුච්චලා, අඹරලා, පාට ගාලා, තෙල් ඩිංගක් ඔලුවට දාන්නේ නැතුව ඉතිරි වෙච්ච කෙස් ගස් දහය පෙන්ෂං යනකම්විග් එකක් නොදා ඉන්න විදිහට රැක ගන්න එක ජීවිතේ අරමුණු අතර උඩ හරියෙන් රෑන්ක් එකක් අරන් දැං. ඒ වගේම තරහා මරහා අත්හරින, නෑකම් අලුත් කරගන්න තවත් අවස්ථාවක් තමා මේ අවුරුදු කාලේ. ආච්චි අම්මාඒ ගැන දවසක් විස්තර කිවුවා මට මතකයි, මං චූටි කාලේ යාලුවෙක් එක්ක තරහ වෙලා සිංහල අවුරුද්දන් පස්සේ ඉස්කෝලේ ගිහාම යාලුවා එක්ක කතා කළා.
ඉතිං මේ වගේ පුළුපුළුවන් විදිහට තමන්ගේ සංස්කෘතිය, බරක් නොවෙන විදිහට අපේ ළමයි අතරට යනවා නම් ඒක තමා කෙරෙන්න ඕනි. කොහොම වුණත් තමන්ට ප්‍රියයන් වට කරගෙන, තමන්ට පුළුවන් විදිහට කිරිබතක් විතරක් හරි උයාගෙන අවුරුදු සමරන එක නම් කෙනෙකුට මානසික අස්වැසිල්ලක් මිස වෙනයම් දෙයක් ලෙස මට නම් නොපෙනේ.
ප.ලි. 1.
පිටි කොච්චරක් වෙලා බදින්න ඕනිද?පැණි සීනි අනුපාතය, අලුවා නම් ඔය පිටිටිකක් කබල් ගාලා, පැණිපත් ටිකක ඒ ටික ඔබලා ගන්න එකනේ. කොකිස් මලක්ද? සමනලයෙක්ද? කජු වැඩිය දාලා අලුවා හදන්න එපා. කෑලි කපද්දි එජස් කැඩෙනවා, කැවුම් හදන්න ගෑස් ලිපේ බෑ. ගින්දර අඩු වැඩි කරන්න හරියට බැරි නිසා. කොකිස් හදද්දි වැඩිපුර කිරි ටිකක් ගන්න. හෙට උයන්නත් ගත්තැකි වගේ “මාගේ” වටිනා උපදෙස් මත හැදුනු අපේ ගෙදර කෑම. කිරි ටොෆී එහෙම තව මග. කොහොමත්තව මාසයක් යනකම් අපේ අම්මා අවුරුදු කෑම හදනවා.
2 .ඊට පස්සේ ඒවා කාලා, කාලා, මම වට පෙට්ටියක් වගේ කියලා ඇඳුමක්වත් මහන්නෑ.
නිසංසලා නවරත්න
ශ්‍රි ලංකාව