පන්තක භාතිය සිරිවර්ධන මහතා විසින් රචනා කරන ලද “උකුසු ගැන්සිය” නම් කෙටිකතාව මෙවර කලාපයේ සිට කොටස් වශයෙන් පළවේ.
1-කොටස
විල්බට්ගේ සහ ඉන්ද්‍රාණිගේ පුතුන් දෙදෙනාගෙන් බාලයා මේනකය. නමුත් පැත්ත පළාතේ කවුරුත් ඔහුට කතා කරන්නේ හැටේවත්තේ බ්‍රයන් කියා ය. ඔහුට බ්‍රයන් යන නම වැටුන හැටි දන්නේ කිට්ටුම යාලුවෝ කීපදෙනෙක් විතරය. ඒ කුඩා කාලයේදීමය. කිට්ටුම යාලුවෝ යනු කසුන් නොහොත් කස්සා සහ මලිත් නොහොත් ජැකාය. වත්තේ හැම එකාටම වගේ අන්වර්ථ නාමයන් ඇත. නමක් වැටී ටික දවසක් යද්දී එය ලියාපදිංචි වෙයි. මේනකත් යාලුවෝත් පොඩි කාලේ පටන් හැදුනේ වැඩුනේ එකට ය.
ඉස්කෝලේ ඇරී ගෙදර එන අතරතුර යාලුවෝ තුන්දෙනා ගම්මැද්දේ ඇවිදිති. ඉස්කෝලේ සිට ඔවුන් ජීවත් වන වත්තට ඇති දුර මීටර් පන්සීයක්වත් නැති වුණත් කිලෝමීටර් දෙක තුනක් ඇවිද යමින් රස්තියාදු ගසා මිසක් ගෙදර එන සිරිතක් මොවුන්ට පොඩිකාලයේ සිටම නැ ගත. මොවුන් පමණක් නොව හැම කොල්ලෙක්ම එසේය. කෙල්ලන් පමණක් පාසැල නිමවූ පසු නිවෙස් කරා යති. ගමක් කීවාට මෙහි වෙල් යායවල් ඇළ දොල, ඒදඬු, නියරවල් නැත. ආසාවට කන්නට ඇටඹ , නාරං නැත. ඇත්තේ රේල් පාරත් ඊට සමාන්තරව යන පටුපාරත් ය. අතරින් පතර කොන්ක්‍රීට් කැඩුනු පටු පාරවල් ය. නිවෙස්වලට යන මඩවලවල් පිරුණු තාර ගැලවුණු පාරවල්ය. එකකට එකක් යාබද ගෙවල් ය. කලාතුරකින් නිවෙසක මිදුලේ තැඹිලි ගසක්, පේර ගසක්, ජෑම් ගහක් තියෙයි. මේ කොළඹ ගෙන්දගම් පොළොවේ මුඩුක්කු ගෙවල්ය.
යාලුවෝ තිදෙනා රේල් පාර දිගේ ඇවිත් පටු මාවතකට හැරී බෝක්කුවක් උඩ වාඩි වෙති.
‘මචං මට ඕනේ බෘස්ලී වගේ නමක්’ මේනක උඩ ප න පයින් පහරක් අහසට දී කියයි.
‘ඉතින් අපි උඹට බෘස්ලීම කියමුකෝ. උඹනේ අපේ චණ්ඩියා’ කස්සා කියයි.
මොවුන් තිදෙනාම වයස අවුරුදු දාහතර ලැබූ කොලු ගැටයන් ය. මේනකට කැත නමක් වැටෙන්න පෙර නමක් දැමීමය යාලුවෝ තුන් ගදෙනාගේ අභිප්‍රාය. අනිත් දෙන්නාට නම් වැටී අහවරය. මේනකට නමක් නොවැටුනේ යහලුවන් ඔහුගෙන් ගුටි කන්න තිබූ බය නිසාය. අම්මා කතා කරන්නේ ‘මේනක පුතා ’ කියාමය.
‘ඒක හරි නෑ. මට ඕනෙ ඒ වගේ නමක් බං’
‘මේ , උඹලැයි තාත්තට මොකෝ වල්බාවා කියන්නේ?’ කස්සා අහන්නේ අනවශ්‍ය ප්‍රශ්නයකි. ඔහු කස්සා දෙස රවා බැ ලීය.
‘ඇත්තටම ඇයි බං ඒ?’ ජැකා අසයි. මේනකගේ මූණ අඳුරුය.
‘එහෙනං ඇයි උඹලගේ තාත්තට හැටේ සුදා කියන්නෙ?’ මේනක ආපිට ඇසීය. මෙවර ජැකාට තද විය.
‘ඒ මුන්ගෙ තාත්තා වත්තේ කසිප්පු විකුණන නිසානේ ’ කස්සා හිනාවෙවී කීය.
‘එහෙමද? එහෙනං ඇයි උඹේ තාත්තට සූස්ති අමරේ කියන්නෙ ?’ ජැකා අතෑරියේ නැත.
‘ඒ අමරේ මාමා ගංජා බොන හින්දලු’ මේනක කීය.
‘හරි දැන් කියපංකො ඇයි උඹලැයි තාත්තට වල්බාව කියන්නෙ කියලා? ඇත්තට වල්බාව කියන්නෙ මොකෙක්ද බං ?’ ජැකා ඇසීය. මේනකගේ තරහ අඩුය .
‘වල්බාව කියන්නෙ කලවැද්දට කියලා අම්මා කිව්වා. තාත්තා දැක්ක දේ හොරකම් කරනවලු. තාත්තා අම්මවත් හොරෙන්ලු උස්සන් ඇවිත් තියෙන්නේ’ මේනකගේ හඬ දුක්බරය. ‘අම්මා මට කිව්වා කවදාවත් හොරකම් කරන්න එපා කියලා’
කස්සයි ජැකායි දෙන්නාම නිහඬය. තම මිතුරාගේ වේදනාව ඔවුන්ට දැනුනි.
‘උඹලගේ අයියට දැන් ගැන්සියක් ඉන්නවා නේද ?’
‘හ්ම්… අපේ අම්මා බනිනවා හොඳටම. ඒත් අයියා අම්මට සල්ලි දෙනවා. පොරට මාර විදියට සල්ලි තියෙනවා හලෝ’ මේනක කියන විට අනිත් දෙන්නාගේ ඇස් උඩ ගියහ.
‘අපේ අම්මා කිව්වේ නිමල් අයිය කුඩු විකුණනවා කියලා’ නිමල් නොහොත් ලෙල්ලා යනු මේනකගේ අයියා ය.
‘මං දන්නේ නෑ බං ඕවා. ඒත් උන් ගාව සල්ලි තියෙනවර මං දැකලා තියෙනවා’ මේනක කීය.
‘හරි, අපි තාම උඹට නමක් දැම්මෙ නෑනේ. දාමු මූට නමක් ’ ජැකා ස්ථිර ලෙස කීය.
‘ම්…. උඹ ආස බෘ සද්දෙට නේද ? කොහොමද බ්‍රා ? බ්‍රෝ ? බ්‍රී ? ‘ ජැකා අසයි . ඔහුට ජැකා යන නම වැටුනේ දිනක් පාසැලේ දී කෙල්ලෙකුට හේත්තු වී සිටිනු ලොකු පංතිවල කොල්ලෝ දැක්කට පසුය. ‘අඩෝ පොඩි එකා උඹ දැන් ඉඳන්ම ජැක් ගහනව නේද ?’ කියා ලොකු කොල්ලෙක් කෑ ගැසුවේ සියලුදෙනාව මහ හඬින් සිනා ගස්සවමිනි. කෙල්ලෝ ටික ලැජ්ජාවෙන් විසිර ගියහ. නම ස්ථිර විය.
‘මචං මට ඕනෙ ලස්සන නමක් දාගන්න’ ඔහු කීය.
‘හරි අපි බ්‍රවුන් කියමු. උඹ කොහොමත් දුඹුරු පාටනේ’
මේනක දෙපසට හිස සැ ලීය.
‘එහෙනං බ්‍රයන් ලාරා කියමු. පොරගේ බැටින් නියමයි මචං….’ එයට මේනකට හිනා ගියේ ඒ නම හිතට අල්ලලා ගිය බැවිනි.
‘හරි බ්‍රයන් නම හොඳයි මචං’ මේනක හයි-ෆයි දැමීය.
‘අපේ අයියගේ යාලු කෙල්ල අහනවා බ්‍රයන් ඇඩම්ස් කියලා පොරක්ගෙ සිංදු. පට්ටලු ඈ’ ඒ කස්සා ය.
‘බ්‍රයන්….’ ජැකා හඬ ගොරෝසු කර කීය. ඉන්පසු තුන්දෙනාම ඒ නම කියා කෑගැසූහ. මේනකට බෘස්ලී පිස්සුව තදින් තිබුණේය. තාත්තගේ සාක්කුවට බැහැලා හොරකම් කරන සල්ලි දී කරාටි පංතියකට ටික කලක් ගියේය. නමුත් ඔහු ඉන්නේ කලු පටි ගැහුවා වගේය. ඔහුගේ වයසේ කවුරුත් මේනකට බයය.
***මතු සම්බන්ධයි.***
පන්තක භාතිය සිරිවර්ධන – ශ්‍රී ලංකාව