ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා ශ්‍රී ලාංකිකයින් තුළ ස්වයං පරිවර්තනයක් අවශ්‍ය යයි යන තේමාව යටතේ පසුගිය කලාප හතර පුරා ගෙන ගිය සංවාදය එම තේමාව පිළිබඳ සමාලෝචනයකින් අවසන් කිරීමයි මේ ලිපියේ අරමුණ.
මේ සංවාදයේ අරමුණ වූයේ සංවර්ධිත, සෞභාග්‍යමත් , සාමකාමී, දූෂණයෙන් තොර හා ප්‍රීතිමත් ජනතාවකට වාස භූමිය වූ නවසීලන්තයේ කලක් ජීවත් වීමෙන් ලැබූ අත්දැකීම් අනුව ශ්‍රී ලාංකික සමාජයේ කුමන ලක්ෂණ, ශ්‍රී ලංකාවට එවැනි රටක් වීමට බාධා වී ඇත්ද යන්න විමසා බැලීමයි. මේ සඳහා පාඨකයින්ගේ ප්‍රතිචාර ලබා ගැනීමේ දී වෘත්තීයමය, සමාජමය හා පවුල් වටපිටාව පිළිබඳ නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් සැසඳීමෙන් ශ්‍රී ලාංකිකයින්ගේ කුමන ලක්ෂණ ලංකාවේ ප්‍රගතියට බාධා වී ඇත්ද යන්න විමසා බැලීමට උත්සාහ දරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තය දීර්ඝ කාලයක් සේවය කළ ඉංජිනේරු, ගුරු, විශ්ව විද්‍යාල ආචාර්ය, ගණකාධිකාරි, විද්‍යාඥ සහ පරිපාලන යන විවිධ වෘත්තිකයින් අප සමග අදහස් බෙදා ගත්තා. වෘත්තීය අංශයෙහි සේවය කරන්න අයගේ සේවයට කැපවීම, තම වගකීම් පිළිබඳ හැඟීම, සේවාදායකයින්ට ගරු කිරීම, විනිවිදභාවය, අවංක බව, විනය ගරුක බව, සත්‍යගරුක බව සහ සෑම තරාතිරමක අයටම එක සමානව සැලකීම යන කරුණු අතින් ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා බොහෝ සෙයින් පිටුපසින් සිටින බවත් එය ශ්‍රී ලංකාවට නවසීලන්තය මෙන් සෞභාග්‍යමත් රටක් වීමට බාධාවක් බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලි විය.
මේ ආකාරයෙන්ම සමාජමය වටපිටාව පිළිබඳව සලකා බලන විට නවසීලන්තවාසී බහුතරයගේ දක්නට ලැබෙන සත්‍ය ගරුක බව,ගුණ ගරුක බව, අවංක බව, නිහතමානි බව, අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යයන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ සාධාරණ චින්තනය නවසීලන්තයේ ප්‍රගතියට හේතු වී තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ බහුතරය තුළ මෙවැනි ගුණ විරල බවක් සහ ඒ වෙනුවට ආත්මාර්ථකාමිත්වය, බොරුව, වංචාව, අන්‍යයන් රැවටීම සහ අන්‍යයන්ගේ යහපත පිළිබඳව සැලකිලිමත් නොවීම වැනි ගති පැවතුම් බහුල බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රගතියට බාධාවක් ලෙස බලපාන බවත් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි විය.
නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ පවුල් වටපිටාව සම්බන්ධයෙන් දක්වනු ලැබූ පාඨක ප්‍රතිචාර අතර වඩාත් අවධාරණය වූ සාධකයක් වූයේ ශ්‍රී ලංකාවේ දෙමාපියන් තම දරුවන් ධනවත්, උගත් වෘත්තිකයන් බවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් තම දරුවන්ව දැඩි පීඩනයකට ගොදුරු වන ආකාරයේ තරඟකාරිත්වයකට යොමුකරන බවත් නවසිලන්තයේ දෙමාපියන්ගෙන් එබඳු අහිතකර බලපෑමක් තම දරුවන්ට සිදු නොකරන බවත්ය. නවසීලන්තයේ දෙමාපියන් විසින් තම දරුවන්ගේ සහජ දක්ෂතාවයන් අනුව ඔවුන්ට කැමති වෘත්තියක් තෝරාගැනීමට නිදහස දී තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ දෙමාපියන් සමාජය විසින් උසස් යයි පිළිගනු ලබන වෘත්තීන් කිහිපයක්ට පමණක් තම දරුවන් කොටු කිරීමට උත්සාහ දරන බවත් ඒ නිසා දරුවන් අනාථ වන බවත් පෙන්වා දෙන ලදි. මෙය ශ්‍රීලංකාවේ ප්‍රගතියට බාධාවක්. ඒ වගේම නවසීිලන්තයට වෙනස්ව ශ්‍රී ලංකාවේ දී තරගකාරිත්වය මගින් බිහිකරන ආත්මාර්ථකාමී වෘත්තිකයින් ගෙන් රටේ පොදු යහපතට සැබෑ සේවයන් සිදුනොවන බවත් අවධාරණය කරනු ලැබිය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා අවශ්‍ය වන්නේ කුමන ආකාරයක ස්වයං පරිවර්තනයක්ද? පාඨකයින් විසින් මතු කොට දක්වන ලද මෙම කරුණුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවත් නවසීලන්තය මෙන් සෞභාග්‍යමත් රටක් වීමට නම් ශ්‍රී ලාංකිකයන් තුළ මෙම යහගුණ වර්ධනය වන ආකාරයේ ස්වයං පරිවර්තනයක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය මෙම ස්වයං පරිවර්තනය අධ්‍යාත්මික දියුණුව වශයෙන් ද හඳුන්වන්න පුළුවන්. අධ්‍යාත්මිකත්වය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනවලින් පෙන්වා දී ඇත්තේ මෙකී යහගුණ සෑම පුද්ගලයෙකු තුළම පවතින බවත් ඒවා පුද්ගලයාගේ සිතුවිලි සහ විද්‍යාමාන ක්‍රියාකාරකම් තුළින් විද්‍යාමාන වන්නේ පුද්ගලයා ආධ්‍යාත්මිකව දියුණු වන විට බවයි. මේ ආකාරයේ ආධ්‍යාත්මික විප්ලවයක් බටහිර ලෝකයේ සිදුවෙමින් පවතින බවට සාක්ෂි විද්වතුන් විසින් සිදු කරන ලද අධ්‍යන මගින් සොයාගෙන තිබේ. මෙය නිහඬ විප්ලවයක් (Silent Revolution) වශයෙන් හඳුන්වයි. අධ්‍යාත්මිකව දියුණු වූ මෙම ජන කොට්ඨාශය විවිධ විද්වතුන් විසින් විවිධ නම්වලින් හඳුන්වන්නේය. Self-Actualizers, Inner-Directed People, Inner-Guided People සහ Cultural Creatives මෙයින් නම් කිහිපයකි. බටහිර සමාජවල වැඩිහිටි ජනගහනයෙන් 20% – 25% දක්වා ප්‍රමාණයක් අධ්‍යාත්මිකව දියුණු වූ ලක්ෂණ පෙන්නුම් කරන බවත් මෙම අධ්‍යාත්මිකව දියුණු වූ ජනගහනය සෑම අවුරුද්දකටම 3% කින් වැඩි වෙන බවත් සොයාගෙන ඇත. මෙම ජන කොට්ඨාසයේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් කිසිම ආගමකට බැඳ නොසිටීමයි. ඔවුන් ආගම් භේද, ජාති භේද, වර්ණ භේද සහ පන්ති භේද ආදී සියලුම ආකාරයේ භේද අතික්‍රමණය කොට සැබෑ මනුෂ්‍යත්වය තමා තුළින් සොයනවා. ශ්‍රී ලාංකිකයින් තුළ මේ ආකාරයේ ස්වයං පරිවර්තනයත් සිදුවීම ශ්‍රීලංකාවේ ප්‍රගතිය සඳහා අවශ්‍ය බව දැන් පැහැදිලියි.
එහෙත් අවාසනාවකට මෙන් මෙම අවශ්‍යතාවය තවමත් ශ්‍රී ලාංකිකයින් වැඩිදෙනා තේරුම් ගෙන නැහැ. ඔවුන් කතා කරන්නේ බාහිර වූ වෙනසක් ගැන. සිස්ටම් චේන්ජ් එකක් ගැන. බාහිර වූ විප්ලවයක් ගැන. බටහිර ලෝකයේ සිදුවෙමින් පවතින ආකාරයේ නිහඬ විප්ලවයක් වෙනුවට මහා මාර්ගවල ඝෝෂා කරන විප්ලවයක් පිළිබඳවය. තම මමත්වය සහ ආත්මාර්ථකාමීත්වය සමග කළ යුතු ඇතුලාන්තයේ අරගලය වෙනුවට , බාහිර අරගල- පිළිබඳ පිළිබඳවය. ඇතුලාන්තයේ අරගලය ජය නොගෙන බාහිර වූ අරගලයකින් පමණක් සිස්ටම් චේන්ජ් එකක් කළ හැකි විය යුතු නමුත් එහි ප්‍රතිඵල දිගුකාලීන වන්නේ නැහැ. මන්ද, සිස්ටම් චේන්ජ් කරන සහ අලුතින් බිහි කරන සිස්ටම් එක ක්‍රියාකරවන පුද්ගලයින් ගේ ආධ්‍යාත්මික නොදියුණු බව සහ ඔවුන් තුළ පවතින ආත්මාර්ථකාමිත්වය නිසා වැඩිකල් යන්නට පෙර එයද දැනට පවතින සිස්ටම් එක මෙන්ම දූෂිත වූ හා අකර්මණ්‍යවූ සිස්ටම් එකක් වන බැවිනි. එය එසේ වන බවට අපේ ඉතිහාසය ම සාක්ෂි දරනවා. අපේ එක් පාඨකයෙක් පෙන්වා දුන් පරිදි, නවසීලන්තයේ පවතින සිස්ටම් එකම ශ්‍රීලංකාවේ පිහිටවනු ලැබූවත් ශ්‍රීලංකිකයින් බහුතරය තුළ ස්වයං පරිවර්තනයක් සිදු නොවුවහොත් ඔවුන් ඒ සිස්ටම් එකක් දැනට පවතින ආකාරයේම දූෂිත සිස්ටම් එකක් බවට ඉක්මනින්ම පත් කරනවා.
රටේ දුප්පත්කම එහි ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවට බාධාවක් බවට කෙනෙකුට තර්ක කළ හැකි නමුත් එම තර්කයේ සත්‍යයක් නැති බවත්, කෙනෙකුගේ දුප්පත්කම ඔහුගේ හෝ ඇයගේ ආධ්‍යාත්මික දියුණුවට බාධාවක් නොවන බවත් විද්වතුන් විසින් පෙන්වා දෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික නොදියුණු බව දුප්පත්කමට හේතුවක් වශයෙනුත් සමහරු දක්වනවා. කෙනෙක් දුප්පත් වී ඉපදිය හැකි නමුත් ඒ පුද්ගලයා ආධ්‍යාත්මිකව දියුණු නම් ඔහු හෝ ඇය ඉක්මනින්ම දුප්පත්කමින් මිදී ධනවත් වන බව පෙන්වා දෙනවා. මන්ද, ආධ්‍යාත්මිකව දියුණු පුද්ගලයා ධෛර්යසම්පන්නයි, උත්සාහවන්තයි, කම්මැලි නැහැ, ඥානවන්තයි, ඒ නිසා රැල්ලට ගහගෙන යන්නේ නැහැ. ඔවුන් තමන් කරන කාර්යය කුමක් වුවත් එයට කැප වී එය හොඳින් සහ සාර්ථකව කරනවා. ඒ පුද්ගලයා අන්‍යයන්ගේ සිත් දිනා ගන්නවා. ඔහුට හෝ ඇයට කාගෙනුත් උදව් ලැබෙනවා. එවැනි පුද්ගලයෙක් දුප්පත්කමින් මිදුණු පසු තමා වටා සිටින අනෙක් දුප්පත් අයටත් දුප්පත්කමෙන් මිදෙන්න උදව් කරනවා. අනෙක් අතට, දුප්පතෙකු වශයෙන් ඉපදුනු පුද්ගලයා ආධ්‍යාත්මිකව දියුණු නොවූයේ නම්, රජය විසින් තමා දුප්පත්කමින් මුදවා ගන්නා තෙක් බලා සිට දුප්පතෙක් විදියටම ජීවත් වී දුප්පතෙක් ලෙසම මිය යන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා ශ්‍රී ලාංකිකයින් තුළ ඇතිවිය යුතු මෙම ස්වයං පරිවර්තනය තමා තුළින් ඇති විය යුත්තක්. ඒ කියන්නේ එක් කෙනෙකුට තවත් කෙනෙක් තුළ ස්වයං පරිවර්තනයක් ඇති කරන්න බැහැ කියන එකයි. කරන්න පුළුවන් උදව් කිරීම පමණයි. කෙනකුට ආධ්‍යාත්මිකව දියුණු වීම තුළින් ස්වයං පරිවර්තනයක් ඇති කර ගැනීමට අවංකවම වුවමනාව තිබෙනවා නම් කිසිම බලවේගයකට ඔහු වළක්වන්න බැහැ. එක් පුද්ගලයෙක් ආධ්‍යාත්මික දියුණුව තුළින් ස්වයං පරිවර්තනය වන විට ඒ පුද්ගලයා තුළින් විද්‍යාමාන වන මානුෂීය ගුණ, ඔහු වටා සිටින අනෙක් අයවත් ඒ ආකාරයේම ස්වයං පරිවර්තනයකට යොමු කරනවා. මීට අමතරව අනාගත පරපුර තුළ මේ ආකාරයේ ස්වයං පරිවර්තනයක් ඇති කිරීම සඳහා උපකරණයක් ලෙස අධ්‍යාපනය පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා පෙරපාසල්, පාසැල් සහ උසස් අධ්‍යාපනය ආයතනවලට ආධ්‍යාත්මිකත්වය ප්‍රායෝගික විෂයයක් වශයෙන් ඇතුල් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි බව අද බොහෝ විද්වතුන් පිළිගන්නවා. එහෙත් ආධ්‍යාත්මිකත්වය ඉගැන්විය යුත්තේ පන්ති කාමර පදනම් වූ සම්ප්‍රදායික විෂයක් ලෙස නොව, පිහිනීම හා සංගීතය වැනි විෂයයන් උගන්වන ආකාරයට පන්ති කාමරය තුළ න්‍යායාත්මක විෂයන් හා ඉන් පරිබාහිරව ප්‍රායෝගික අභ්‍යාසත් සිදු කරන ආකාරයටයි. එවැනි අධ්‍යාපනයක් මගින් දරුවන් තුළ සිදුවන ආධ්‍යාත්මික ස්වයං පරිවර්තනය අනාගතයේ දී යහපත් සමාජයක් බිහි කරාවි. එවැනි යහපත් සමාජයකින් යහපත් නායකයෝ බිහිවේවි.
By Dr Rohana Ulluvis Hewa