fbpx
13.5 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිරිබෝ අයියා එනතුරු හැමදාම බලා ඉන්න උඩුවෙලගාලේ එමානෝනා | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

පුහුණු වැඩසටහනක් සඳහා නවසීලන්තයට පැමිණි ඔබට ගෙවුණු දින කිහිපය දැනුණේ කොහොමද? 

ගොඩක් වැඩ මුළු තිබුණා. මෙරට රජය සමඟ, කාන්තාවන් සමග, ස්ත්‍රී, පුරුෂ වෙනසකින් තොරව සමාන අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනය කළා. මේ රට ටිකක් සීතලයි. ලස්සන රටක්. ඒ වගේම මෙරටේ ජනතාව ඉතාම විනීතව කටයුතු කරනවා.

මේ කාලයේදී ඔබ රංගනයෙන් ඈත් වෙලා හිටියත්  රසිකයෝ කැමතියි ඔබගේ කලා කටයුතු ගැන දැනගන්න. 

මම සිනමාවට ආවේ වයස දාසය වැනි කුඩා වයසක දී. ‘ලස්සන කෙල්ල’ කියන චිත්‍රපටයෙන්. එදා මෙදා තුර චිත්‍රපටි රැසක රංගනයේ යෙදුනා මම. මට හොඳ කීර්තියක් තිබුණා.  සම්මාන රාශියක් ලැබුණා. ඒ හැම දෙයක්ම ලැබුනට පස්සේ මට හිතුනා මගෙන් සමාජයට යමක් දෙන එක තමා වැදගත් කියලා. ඒ නිසා තමා මම දේශපාලනයට ආවේ. දේශපාලනයට ආපු නිසා මට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයත් අයින් කරගන්න වුණා. රංගනයෙන් අයින් වුණා. මොකද රඟපාද්දි  ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මම දැන් ගමට ගිහිල්ලා මිනිස්සුත් එක්ක එකට එකතුවෙලා වැඩ කරද්දි සිනමාවට කාලය දෙන්න බෑ. හැබැයි නුදුරේදීම චිත්‍රපටියක් කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ඔබගේ සිනමා ආගමනය ගැන  මතක් කළොත්?

‘ලස්සන කෙල්ල’ චිත්‍රපටයෙන් ආරම්භ වුණු මගේ සිනමා ගමනේ දී වාණිජ,කලාත්මක, විනෝදාත්මක චිත්‍රපටි රැසකට දායක වුණා. මුල් කාලයේ ගාමිණි ෆොන්සේකා සමග තමා ගොඩක් රඟපෑවේ. පසු කාලයේ දී විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක සමග ප්‍රධාන චරිත නිරූපණය කළා. ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටය මගේ හැරවුම් ලක්ෂයක්. අද කාලේ සමග බලද්දි ඒ චරිතය මතභේදාත්මක නොවුණත් ඒ කාලෙදි ඒ චරිතය හරි මතභේදාත්මක චරිතයක් වුණා. නවකතාවක් ඇසුරින් තමා මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ.

ඔබගේ රංගන ප්‍රතිභාව ඉස්මතු වන ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ ‘එමානෝනා’ ගැන  මතකය කොයිවගේද?

‘සිරිබෝ අයියා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මට කතා කරලා කිව්වා ‘ඔයාට තියෙන්නේ වැඩිහිටි චරිතයක් වගේම හරිම වැදගත් චරිතයක්. හරි අමාරුවෙන් කරන්න ඕන චරිතයක්. ඔයාව වේශ නිරූපණයෙන් ගොඩක් වෙනස් කරනවා. ඒ අභියෝගය බාර ගන්න ලෑස්ති ද’ කියලා. මම ඒක ඉතාම සතුටින් ඒක භාර ගත්තා. මට වයස විසිහයේ දී තමා ඒ චරිතය නිරූපණය කළේ. මම  ඒකෙ හරිම ආස දෙබසක් තියෙනවා. ඒක අද වාගේ මට මතකයි. ‘උඩවෙල ගාලේ එමානෝනා හැමදාම බලා ඉන්නවා එනකන්,’

සිරිබෝ අයියගේ චරිතය නිරූපණය කළේ ජෝ අබේවික්‍රම මහතා. සිරිබෝ අයියා සහ එමානෝනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඒක තමා කතා තේමාව වුණේ.

වානිජ සහ සම්භාව්‍ය චිත්‍රපටවල ඔබ රඟපාලා තියෙනවා. ඔබ චිත්‍රපට තෝරාගැනීම් සිදු කරනවාද ?

ඒ කාලේ ලොකුවටම බැලුවේ වෙලාව ගැන. මම වෘත්තිමය සිනමා නිළියක් හැටියටයි කටයුතු කළේ. ඒක ගරුත්වයෙන් කරන්න පුළුවන් රස්සාවක්. ලක්ෂයකින් එක්කෙනයි දෙන්නයි බිහිවෙන්නේ. සමහර විට ඒක අවභාවිතා වන වෙලාවලුත් ඇති. නමුත් අපේ කාලේ ශ්‍රේෂ්ඨ ගණයේ නළු නිළියෝ හිටියා. මාලනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ශ්‍රියානි අමරසේසේන වැනි අය. ඒ කාලේ අපි අපේ  උපරිමයෙන් චරිතය නිරූපණය කිරීමට උත්සාහ කළා. අපට අවශ්‍ය වුණේ නැහැ දැන ගන්න චිත්‍රපටිය වාණිජ ද එහෙමත් නැත්නම් සම්භාව්‍ය ද කියන එක.

ඔබ නිරූපණය කළ චරිත තුළින් කාන්තාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කතා කරලා තියෙනවා. එවැනි අභියෝග කාන්තාවකට  කලාවට අවතීර්ණ  වීමට හෝ කලාව තුළ ස්ථාවරයක්  ගොඩනගා ගැනීමේ දී ඇතිවෙනවාද?

කලාව තුළ පමණක් නොව දේශපාලනයේදිත් ඒ අභියෝගය කාන්තාවට තියෙනවා. බලන්න අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කාන්තාවන් දොළහයි. දේශපාලන පසුබිමකින් තොරව දේශපාලනයට පැමිණි කාන්තාවක් විදියට ඉන්නේ මම විතරයි. මම දෙපාරක් පාර්ලිමේන්තුවට ආවා. මට නඩුවක් දැම්මා මට ස්විස්ටර්ලන්ත පුරවැසි  භාවයක් තියනවා කියලා. ඇත්තටම මට අවශ්‍ය වුණේ නෑ ස්විස්ටර්ලන්තයේ පුරවැසියෙක් වෙන්න. මගේ සැමියා නිසා මට ලැබුණු දෙයක් ඒක. කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක්. මම ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය අත්හැරියා. හැබැයි ස්විස්ටර්ලන්ත  පුරවැසිභාවය අයින් කරගන්නවා කියන්නේ කොතරම් පරිත්‍යාගයක්ද කියලා ඔයාලා දන්නවා. මම ඒක අකමැත්තෙන් නොවේ කළේ. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඊට පෙරලා ලංකාවේ ජනතාව ප්‍රරතිචාර දැක්වුවා මට. විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා දෙමින් දකුණු පළාතට ඉන්න  එකම කාන්තා නියෝජනය මම. දකුණේ කෙනෙක් කියන්නේ මම හරිම ආඩම්බරයෙන්.

අද වන විට කලාවට වඩා ලොකු වගකීමක් මට පැවරිලා තියෙනවා. කාන්තා සහ ළමා කටයුතු, සමාජ සංවර්ධනය. මේක ලොකු විෂයක්. සීයට පනස් හතරක් ලංකාවේ ඉන්නේ කාන්තාවන්. අපි බලාපොරොත්තු වෙනවා කාන්තාවට හොඳ වැටුපක් තත්ත්වයක් ලබාදෙමින් ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට.

සිනමාව තුළත් කාන්තාවට ප්‍රශ්න තියෙනවා. මගේ කවුරුත් කලාව තුළ හිටියේ නැහැ. මාව ඉහළට තල්ලු කරන්න. අහම්බෙන් ලැබුණු එක රැක ගත්තේ මම. කොයිදේ වුණත් නිකන් ලැබුණු පළියට කරගෙන යන්න බැහැ මහන්සි නොවී.  මම ඒ වෙනුවෙන් දුක් විඳලා තියෙනවා.  චරිතයකට සාධාරණයක් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ.

කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වූ අපේ සිංහල සිනමාවේ අද වනවිට ඔබ දකින සාධනීය දේවල් මොනවාද?

ලෝකෙටම සිංහල සිනමාව කියලා තියෙන්නේ ඒකයි. අපි හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපටි බලනවා. ඒ අතරින් සිංහල සිනමාව  කියලා නියෝජනය කරන්නේ එකයි. ඒක කාටවත් නැති කරන්න බෑ. ඒක තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය රැක ගන්නට සිංහල සිනමාව පෝෂණය කරන්නට ඔබ ට ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ දක්වන දායකත්වය ඉතාම වටිනවා. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින්  කැමති, ආදරෙයි තමන්ගේ රටේ දේවල්වලට.  බලන්න ‘ශ්‍රි ලංකන්ස්’ පත්තරේත් ඒ වගේ.  මම පුදුම වුණා. ඒක විශාල පත්තරයක්. ගොඩක් තොරතුරු තියෙනවා. අපේ සංගීතය, සිනමාව, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර අපට අනන්‍ය දේවල්. ඒවා  වෙන කාටවත් නෑ. ඒ නිසා   අපේ දේට ගරු කරන්න, රැක ගන්නට උනන්දු වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.

ඔබ  රංගනයේ යෙදුණු කාලයේත් ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා සිංහල චිත්‍රපට නියෝජනය වීමක් සිදු වුණාද?

ඔව්. මට හොඳට මතකයි සුමිත්‍රා පීරිස් මැතිනිය අධ්‍යක්ෂණය කළ මම නිෂ්පාදනය කරපු ‘ලොකු දුව’ චිත්‍රපටය Cannes Film Festival  එකට තේරුණා. දැන්වගේ ජාත්‍යන්තර සිනමා උළෙලවල් ඒ කාලේ තිබුණේ නැහැ. අවුරුද්දටම එකයි දෙකයි වගේ තිබුණේ.

වර්තමානයේ ඇතැම් චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උළෙලවල්  නියෝජනය කරනවා. ඒත් ලංකාවේ ප්‍රේක්ෂකයින් ඒ සිනමා කෘති නරඹලා නෑ. ඒ ගැන  ඔබේ අදහස කුමක්ද?

ජාත්‍යන්තර උළෙලවල්වලට පමණක් වුණත් චිත්‍රපටි කළාට කමක් නෑ . මොකද රටින් පිටට ගිහින් වෙනත් අයට අපේ සිංහල චිත්‍රපටි පෙන්නන්න අවස්ථාව ලැබෙනවා. ඒක හොඳ  දෙයක් විදිහට මම දකිනවා.

සිනමා නිළියක් වන ඔබ චිත්‍රපට නිෂ්පාදනයටත් යොමුවෙනවා. ඒ ගැන කතා කරනවා නම්…

මගේ චිත්‍රපට නිෂ්පාදන ආගමනය ගැන කතා කරනවා නම්, මම ඒක සැලසුම් කරලා කරපු දෙයක් නෙවෙයි. ‘පාලම යට’ කියන නවකතාව කියෙව්වා. එකේ ප්‍රධාන චරිතය වුණු ඩොටී ගැන සානුකම්පිත හැඟීමක්  දැනුනා මට. අදත් ඒ ගැන හිතනකොට දුකයි. ඒකට හේතුව තමා සැමියා මිය ගිය ඇය දරුවන් උස්මහත් කරගන්නට, දරුවන්ට උගන්වන්නට යෙදෙන සමාජ සටන. මට අවශ්‍ය වුණා. දුක් විඳින මේ කාන්තාවගේ චරිතය නිරූපණය කරන්න. මට ඒක ලේසි වුණේ නෑ. මම ජීවත්වන පරිසරයත් වෙනස්.

මීට පෙර ඔබ එවැනි චරිතයක් නිරූපණය කරලා තිබුණද?

එවැනි චරිතයක් මම නිරූපණය කරලා තිබුණේ නැහැ. ඒ වගේම එකල සිනමාවෙත් මෙවැනි චරිත නිරූපණයක් තිබුණෙ නෑ. මේ චරිතේ නිරූපණය කරන කොට සනත් ගුණතිලක මහත්තයා මට ලොකු උදව්වක් දුන්නා. ඒ වගේම අද ජීවතුන් අතර නැති එච්.ඩි. ප්‍රේමරත්න මහත්මයත් ඉතාම ආදරයෙන් මතක් කරනවා. මොකද ඔහුගේ වුවමනාවට අපි  ගියා ඒ මුඩුක්කු ගෙවල් තියෙන තැන්වලට. ගංවතුර ගලලා යටවුණු ප්‍රදේශ බලන්නත් ගියා. දැන් නම් ඒ පාලම නෑ. අලුත් පාලමක් හදලා තියෙනවා. නමුත් ගංවතුර ගලන කාලෙට අදටත් මිනිස්සු පාලම උඩට ගිහින් වතුර බැහැපුවාම ආයෙමත් පාලම යට තියෙන  ගෙවල් පේලියට යනවා.

මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ 1990 දි වගේ. ඒ කාලේ තිබුණු සම්මාන උළෙලවල් වලින් මේ චිත්‍රපටයේ සඳහා සම්මාන විසිහතක් දිනා ගන්නවා.

චිත්‍රපට  නිෂ්පාදනයෙන් නතර නොවුණු ඔබ පුවත්පතකුත් ආරම්භ කරනවා ඒ ගැනත් අපිට කියන්න පුළුවන්ද?

මට ශ්‍රි ලංකන්ස් පත්තරේ දකින කොටම මතක් වුණේ මං කරපු පත්තරෙත් මේ සයිස්ම නේද කියලා. මගේ හිතවතෙක් හිටියා සෑම් පෙරේරා කියලා. එයත් එක්ක තමා පත්තරේ පටන් ගත්තේ. අපේ පත්තරේ පටන් ගන්න කලින් ඊට කලින් තිබුණා ‘නීටා’ කියල සිනමා පත්තරයක්. මමත් කිව්වේ ඒ වගේ සිනමා පත්තරයක් කරමු කියලා. ප්‍රෙස් එකකුත් ගත්තා මම. පත්තරේ ඉදිරියට කරගෙන යන්න ලොකු ඕනකමක් තිබුණත් ඒක අතරමග නැවතුනා. මොකද පත්තරයක් කරනවා කියන්නේ හරි අමාරු වැඩක්.  පත්තරයක් විදිහට එළියට එන්නේ  මිනිස්සු කී දෙනෙකුගේ දාඩිය මහන්සිය ද. අපිට පත්තරයක් ගැන එළියේ ඉදලා ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඕක මොකක්ද , ඕක  එච්චර වැඩක් නෙවේ වගේ දේවල්. අපිට එහෙම වෙන්න බෑ. අපි නිතරම ජිවිතේ  හොඳ පැත්ත දකින්න ඕනේ. එතකොට ජීවිතයේ හරි වාසනාවන්තයි වගේම සුන්දරයි. මම නම් හැමදාම උත්සාහ කරන්නේ කෙනෙකුගේ හිත සතුටු කරන්න.

ඔබ වර්තමානය වන විට ව්‍යාපාරික කාන්තාවක්. සාර්ථක ව්‍යාපාරිකාවක් වීමේ රහස මොකක්ද?

මම ජීවිතේ හැම දෙයක් ගැනම හිතන්නේ උපේක්ෂාවෙන්. ජීවිතේ ඉතුරු වෙන්නේ අපි කරන හොඳ දෙයක් විතරයි. මම බෞද්ධයෙක්. ඒ අනුව ජීවත් වෙනවා. මගේ සේවකයින්ට මානුෂිකව සලකනවා. ඒක තමා රහස.

ඔබට දේශපාලනය කරන්න හිතුනේ ඇයි

මට දේශපාලනේ කරන්න හිතුණු ප්‍රධාන හේතුව වුණේ ‘ලංකාවේ කාන්තාවකට දේශපාලනය කරන්න බැහැ’ කියන අභියෝගය. ලංකාවේ කාන්තාවන් දේශපාලනයට ආවේ එක්කෝ සැමියා, තාත්තා ,සහෝදරයෙක්  මැරුණට පස්සේ. එහෙමත් නැත්නම් පිරිමියාගේ අඩුව පුරවන්න තමා කාන්තාව දේශපාලනය කළේ. ඒ අයට මිනිස්සු  ඡන්දෙ දුන්නේ දුක හිතිලා. නැත්නම් අනුකම්පාවෙන්. මම ඒකට අභියෝග කළා. මට උවමනා වුණා මිනිස්සු දුක ගැන හිතලා ඡන්දෙ දෙන එක වෙනස් කරන්න. මාව විශ්වාස කරලා මට ඡන්දය දෙන්න. මාව විශ්වාස කළොත් පෙරළා ඔවුන්ට සේවය කරනවා කියන එක.

මට දේශපාලනෙන් සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ. මගේ දරුවෝ විවාහ වෙලා ඉන්නේ. මට ජීවිතේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මිනිස්සුන්ට උදව්වක් කරන්න තියෙන හොඳම වෙලාව මේක කියලා හිතුනා. මම දේශපාලනය කරන්න පටන් ගත්තේ ගමකින්. තරග කරලා තමා මම පාර්ලිමේන්තුවට ආවේ. මට ගොඩක් අභියෝග ආවා.  ඒවා  ජය අරගෙන තමා මම පාර්ලිමේන්තුවට ආවේ. 2010  ඉඳලා මේ දක්වාම මම දේශපාලනයේ නියැලිලා ඉන්නවා. මම මේක කරන්නේ හරිම සතුටින්. මම විශ්වාස කරනවා මගේ වගකීම අමාරුවෙන් හරි ඉෂ්ඨ කරන්න.

අධ්‍යයන වැඩමුළුවකට නවසීලන්තයට පැමිණි අතරතුර දී ‘ශ්‍රී ලන්කන්ස්’ යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට සම්බන්ධ වූ ගීතා කුමාරසිංහ මහත්මියට ස්තූතිවන්ත වන අතරම ඇගේ ඉදිරි දේශපාලන කටයුතු සහ සිනමා කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකන්ස් කණ්ඩායම හදවතින්ම සුබ පතමු.

සාකච්ඡාව සහ ලිපි සැකසුම :-  දිමුතු විජේසූරිය – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.