fbpx
18.2 C
New Zealand
Monday, April 29, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘බෝ මළුවේ මල් සුවඳක පැටලී…’

Must read

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත  ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැනින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

ගායනය/සංගීතය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර

බුද්ධ ශාසනයට දරුවෙක් ඇතුළු කරනවා කියන්නේ හතර වරිගයම සංසාරෙන් එතෙර වීමට තරම් පුණ්‍ය ශක්තියක් ඇති දෙයක්. පුංචි දරුවෙක් අම්මගේ තාත්තගේ උණුහුමින් ඈත් කරලා පැවිදි ජීවිතයකට ඇතුල් කිරීම එම දෙමව්පියන්ටත් දරුවන්ටත් ඉතාම සංවේදී කාරණයක්. දරුවො හැමදාම කැමති අම්මගේ උණුහුමට තුරුල් වෙලා ඉන්න. නමුත් සිවුරක් දැරීමෙන් පුංචි සාමණේරයන් වහන්සේලාට එම අවස්ථාව මඟ හැරී යයි.

මේ සංවේදී සිදුවීම අළලා ලියැවුණු ගීතයක් සිංහල  ගීතාවලියේන් අපට මුණ ගැසුණේය. ඒ ගීතය හා බැඳුණු රස මතක පිළිබඳව  ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා මතක් කළේ මෙසේය. විශේෂත්වය වන්නේ මේ ගීතය රචනා කර ඇත්තේ ද ප්‍රියානන්ද විජේසුන්දරයන් වීමයි.

මෙම ගීතය මට විශේෂ වන්නේ බුද්ධ ශාසනය පවතින තෙක් දරුවන් බුද්ධ ශාසනයට දරුවන් අම්මලා පූජා කරන තුරු මේ ගීතය පවතිනවා. ඒ නිසා මේ ගීතය මට විශේෂයි. 

කොබෙයිගනේ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට ගිහින් එද්දි, පාන්දර හුළු අත්තක් පත්තු කරගෙන රෝගාතුරව සිටින තම මව බලන්නට ගිය පුංචි සාමණේර නමක් දැකලා ඇති වුණ සංවේදී හැඟීමක් තමා මේ ගීතය ලියන්න පාදක වුණේ. ඊට වසරකට පමණ පසුවයි මගේ අතින් මෙම ගීතය ලියවෙන්නේ. ඒ කාලේ සනත් නන්දසිරි මහත්මාට වුවමනා වෙලා තිබුණා රූපවාහිනියේ “සංඛපද්ම” කියන වැඩ සටහනට ගීතයක් ගායනා කරන්න. සනත් නන්දසිරි මහතා තමයි කිව්වේ “මල්ලි මට සිංදුවක් ලියලා දෙන්න” කියලා.  ඉතින් මගේ මතකයේ තිබුණා උක්ත අත්දැකීම. ඒ මතකය තමා “බෝ මළුවේ මල් සුවඳක පැටලී” ලෙසින් ගීතයක් බවට පත් වුණේ.

ඒ කාලේ මම ඉගැන්වූවේ හොරණ විද්‍යාරත්නේ. පාසලට එහා පැත්තෙ තිබුණේ විද්‍යාරත්න පිරිවෙන. ඒ පිරිවෙනේ ඉන්නවා පොඩි හාමුදුරුවරු. පිරිවෙනේ නීති හරිම තදයි. ගුරුවරුන්ගේ විවේකාගාරය තිබුණේත් හාමුදුරුවරුන්ගේ ආවාස ගේ පේන මානේ. ඉතින් මම දකිනවා පොඩි හාමුදුරුවරු බලන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ  පවුලේ නෑදෑයෝ එන විදිහ. වෙලාවකට අම්මලා අඬනවා. පොඩි හාමුදුරුවරුත් අඬනවා. අනිත් සහෝදර සහෝදරියන් අඬනවා. සිවුරක් දරාගෙන ඉන්න තමන්ගේ පුතාව සිප වැළඳ ගන්නට  අම්මටවත් පොඩි හාමුදුරුවන්ටවත් බෑ. මට පේනවා පොඩි හාමුදුරුවරු සිවුරෙන් හංගගෙන ඇවිත් රස කැවිලි වර්ග තමන්ගෙ නංගිලා මල්ලිලාට දෙනවා. 

ඒ වගේම සමහර වෙලාවට පේනවා පුංචි හාමුදුරුවරු කඩදාසි  බෝල හදාගෙන ක්‍රිකට් ගහනවා. මැච් එකක් තියෙන දවසට අපෙනුත් අහනවා “අරවින්ද කීයක් ගැහුවද? අර්ජුන කීයක් ගැහුවද? වගේ මැච් එකේ විස්තර. සිවුරක් දරන් හිටියට ඒ පුංචි හාමුදුරුවරුන්ගෙන් ළමා ලෝකය අයින් වෙලා නෑ. මේ හැම   අත්දැකීමකම එකතුවක් තමා “බෝ මළුවේ මල් සුවඳක්”  ගීතය.

“බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත  ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැනින්”

බෝ මළුවේ මල් සුවඳ කියන්නෙ අපට හිතාගන්න බැරි සුවඳක්. බෝධීන් වහන්සේට පූජා කරපු මල්වලින් එන සුවඳ ඉතාමත් ඉමිහිරියි. මේ සුවඳ ආත්මීය සුවඳක්. දැල්වෙන පහන්වලින් එන තෙල් සුවඳ, හඳුන්කූරුවලින් නැගෙන සුවඳ මල් සුවඳත් එක්ක මුසු වෙලා  එන්නේ සම්භාවනාවක් වැනි සුවඳක්.  පුංචි හාමුදුරුවරුන්ට දැනෙන්නේ ඒ සුවඳත් එක්ක පැටලිලා එන අම්මාගේ කිරි වල සුවඳ. අපේ අවසාන පැතුම නිර්වාණය වුණත් පුංචි හාමුදුරුවරුන්ට මතක් වෙන්නෙ අම්මගෙ සුවඳ. අම්මාට සමාන කරන්න මේ විශ්වයේ කිසිම දෙයක් නෑ. 

අම්මා කියන්නේ අම්මට විතරයි. පොඩි හාමුදුරුවන්ට හිතෙනවා මේ සියල්ල අතහැරලා, ගමේ දං බෝවිටියා කැලේ මැද්දෙන් අම්මා ළඟට දුවගෙන එන්න. ඒත් බාධකයක් තියනවා.  හිස මුඩු කරලා, ගඩොල් වතුරෙන් නාවලා දරුවන් ගෙදරින් ඈත් කරලා බුද්ධ ශාසනයට ඇතුල් කරලා ඉන්න නිසා. මහණ වුණාට පස්සේ ඒ දරුවන්ට අම්මලා තාත්තලා නෑ. ඉන්නෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ විතරයි. ඒත් පුංචි හාමුදුරුවරුන්ට මතක් වෙන්නේ දෙමාපියන්ගේ උණුහුම, ගෙදර.

“එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා” 

දරුවෙක් සසුනට භාර කළාම “හතර වරිගයම සංසාරේ එතෙර වෙනවා” යැයි කියමනක් සමාජයේ තියෙනවා. ඉතින් මේ පුංචි හාමුදුරුවෝ කියනවා, සංසාරේ මේ යන ගමනේ කවදා හරි දවසක හතර වරිගයම එතෙර කරනවා කියලා. හැබැයි ඒ කාලය අතරතුර ලැබෙන විරාමයෙදි දන්න කියන යාළුවෝ එක්ක සෙල්ලම් කරලා එන්නද කියලා මේ පුංචි හාමුදුරුවෝ අහනවා. ඒත් සිවුර ඇඳගෙන යාලුවෝ අතරට ගියාම යාලුවෝ ටික “පොඩි සාධු” කියලා දණ ගහලා වඳිනවා. ඒ හින්දා අම්මේ මට වෙනදා වගේ යාළුවෝ එක්ක වෙල් ඉපනැල්ලේ දුවලා පැනලා නටලා සෙල්ලම් කරන්න බෑ.

“භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා”

ඒත් මේ පොඩි  හාමුදුරුවෝ පොරොන්දු වෙනවා භවයෙන් භවයේ පෙරුම් පුරලා අම්මලාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා කියලා. හැමෝම සංසාරෙන් එතෙර වුණ දවසක මම එනවා අම්මගේ කිරි සුවඳේ, උණුසුමේ රැඳිලා ඉන්න. ඒත් අම්මේ, මම  එන්නේ කොහොමද?  හතර වරිගයම සංසාරෙන් එතෙර කරද්දි පළමුවෙන්ම නිවන් යන්නේ අම්මා. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ට සංසාරේ කවමදාකවත් අම්මගෙ උණුහුමට, සුවඳට තුරුල් වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ.

මෙම ගීතය ලියැවුණු යුගයේ දී ඇතැම් ගීතවල පද වෙනස් කරනවා, අයින් කරනවා වගේ සිද්ධි වෙනවා. මේ ගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා රූපවාහිනියෙ “සංඛපද්ම “වැඩසටහනට ගායනා කිරීමෙන් පසුව ඉතාම ජනප්‍රිය  වුණා. මේ ගීතය ප්‍රේක්ෂකයන් අතරට යන්න තවත් හේතුවක් වුණේ මේ ගීතයට යොදා ගත්ත  නාද රටාවන්. පිරිත් සජ්ජායනාවක ස්වභාවයට සමාන නාද රටා තමා මේ සඳහා යොදාගෙන තියෙන්නේ. මෙම ගීතය සංගීතවත් කරන්නේ ගායනයෙන් දායක වන සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා.

ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී වැඩසටහනකට මෙම ගීතය ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. නමුත් මේ ගීතය ගුවන් විදුලියේ අනුමත කිරීමේ මණ්ඩලය විසින් අනුමත කළේ නැහැ.  සනත් නන්දසිරි මහත්මයා ඇහුවා “රූපවාහිනියේ මේ ගීතය ප්‍රචාරය වුණා. ඇයි මේ ගීතය අනුමත කරන්න බැරි.”

එවිට ගුවන්විදුලියේ අනුමත කිරීමේ මණ්ඩලයේ සිටි පුද්ගලයන් කිව්වේ “මේ සිංදුව ගුවන් විදුලියේ ගායනා කරනවා නම්  ගුවන් විදුලියෙන් ද අනුමත විය යුතුයි,” කියලා. ඊට පස්සේ මේ සිංදුව අනුමත කළා. ඒත් වචනවල වෙනස්කම් එක්ක. “චුට්ටක් සෙල්ලම් කරලා එන්නද” කියන එක “චුට්ටක් දුවලා පැනලා එන්නද”  විදිහට එයාලා වෙනස් කරලා තිබුණා. ගුවන් විදුලියේ මුල් පටිගත කිරීමේ දී තියෙන්නෙ “චුට්ටක් දුවලා පැනලා එන්නද” කියලා. නමුත් අනිත් හැම පටිගත කිරීමක දීම ගායනා වෙලා තියෙන්නෙ “චුට්ටක් සෙල්ලම් කරලා එන්නද” කියන විදියට. ගුවන් විදුලියේ දී එවැනි සිදුවීම් ද සිද්ධ වෙනවා.

සිංහල ගීතාවලියේ තවත් රසබර ගීතයකින් ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන් සමගින් ලබන කලාපයේදීත් හමුවෙමු.

සැකසුම දිමුතු විජේසූරිය
Edited By Dimuthu Wijesuriya

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.