fbpx
12.9 C
New Zealand
Sunday, April 28, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – රාත්‍රිය වී | ගවිත්‍රි යටිගම්මන, දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුණේ ඇයි හිමිසඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර //
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර
අසන් හිමියෙනේ….
කාට කියන්නද මේ දුක
ඔබ හැර

කලා සොළොස පිරි පුරහඳ
අතැර ගොසින් සිය පියබඳ //
එදා දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
අසන් හිමියනේ…….
කාට කියන්නද මේ දුක
ඔබ හැර

පද රචනය :- සුනිල් ආර්. ගමගේ
ගායනය :- විශාරද දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය:- ආචාර්ය රෝහණ වීරසිංහ

‘ගීතයට අරුතක්’ වැඩසටහන සඳහා දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් ගායනා කරන රාත්‍රිය වී ගීතයට ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා විසින් කරන ලද විචාරයයි මේ.

පවුල් සංස්ථාව වටා  ගෙතුණු  මෙම ගීතයේ බිරින්දෑ තම සැමියාගේ ගෙදර එන විට ඔහුගේ අම්මා  විසින් තමාව ලේලිය ලෙස කෙසේ පිළිගැනීදැයි බයක් ඇතිවේ. ස්වාමියාගේ අම්මා  මට අම්මා කෙනෙක් වෙයිද නැතිනම් සදාකාලික නැන්දම්මා කෙනෙක් වේදැයි සිතන්නට පුළුවන.

විශේෂයෙන්ම අම්මා  ළඟ රැඳී තිබූ පුතාගේ ආදරය වෙනත් කෙනෙකු අතට යන විට හැලහැප්පීම් තිබිය යුතු වේද?

බිරින්දෑගේ එකම ගැලවුම්කාරයා  ඇයගේ ස්වාමිපුරුෂයාය . පුරුෂාධිපත්‍යය තියෙන ලෝකයක ගැහැනිය බත් තම්බන තැනක ඉන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී වෙනස් විය යුතුමය.

කාන්තාව සම තැන ඉල්ලන විට පිරිමියාට පොඩ්ඩක් රිදෙනවා, එය ලෝක ස්වභාවයයි. මේ ගීතය තුළින් එවැනි සදාකාලික  ප්‍රශ්න ගැන කතා  කරන අතර බොළඳ ප්‍රේමයක් ගැන කොහෙත්ම ගෙනහැර දක්වන්නේ නැත.

ගීතය සදහා පාදක වු පෙම්වතුන් යුවල හා බලන කළ පෙම්වතියගේ එකම ගැලවුම්කාරයා ලෙස ඇයගේ ස්වාමි පුරුෂයා  හඳුන්වා දී ඇත. සාමාන්‍යයෙන් දියණියකගේ වීරයා  පියා ලෙස  ව්‍යවහාරයේ පැවතියද මෙහිදී  කාන්තාවගේ වීරයා ස්වාමිපුරුෂයා වේ. පවුල් සංස්ථාවේ මුල් කාලයේදී ආදරය, සතුට  ප්‍රකාශය කළද කාලයාගේ ඇවෑමෙන් තම ස්වාමියාගේ වෙනසක්  දැක්ක හොත්  ඒ බිරින්දෑ    වෙනස විශාල ලෙස දකි.

ඇත්තෙන්ම මේ ගීතයෙන් කියවෙන්නේ තමාගේ ආරක්ෂකයාගේ පොඩි හෝ  වෙනස තමාගේ බයට හේතුවන බවයි. නමුදු කෙලින්ම ඇයට ඔහුගේ වෙනසට හේතුව ඇසිය නොහැක. ප්‍රශ්නයකට මැදිවුණු විට ඇය එය තනිව විඳගැනීමට යයි. එය හරිම අමාරු කටයුත්තකි. සුනිල් ආර් ගමගේ ගීත පද රචකයා  විසින් මෙම ගීතය රචනා කොට ඇත. ඔහුගේ රචනාවන්ට අනුව,

රාත්‍රිය වී නිසලව නිහඩව ඉන්නම්…

නිශ්චල කළුවර රෑක තම දුක, බය එක්කම මේ කාන්තාවට රාත්‍රියේ නිහඩව නිසලව ගෙවා  දැමීමට සිදුව ඇත.

ගීතයේ මුල් පද දෙක තුළ  මනාව මෙය පැහැදිලි කර ඇත.

දීපිකාගේ ගායන විලාශය වචනවලට පණ  පොවයි.  ගායකයෙක් හෝ  ගායිකාවක් විසින් සිදු කළ යුතු කර්තව්‍යයක් ඇත. සංගීතඥයාට එය පැහැදිලි කර දිය නොහැක. විශාරද දීපිකා   ප්‍රියදර්ශනී ගායන ශිල්පිනිය එම වචන උච්චාරණය කරන විලාසය ඉතාම පියකරුයි. විශාරද නන්දා  මාලිනී හැරුණු කොට වචනවලට පණ දුන් මාගේ පරපුරේ ගායිකාව දීපිකා ප්‍රියදර්ශනී යයි. ස්වර ඥානයෙන් හෙබි ඇයගේ ගායනය ඉතාම පූර්ණයි.

පද අර්ථ ගැන තවදුරටත් කතා කළොත්,

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කතාවක කෙළවර 

පෙම්වතාත් සමඟ සුරපුරක් පතාගෙන එන ඇය සැමියාගේ වෙනස් වීම් දරා ගත නොහැකිව යථාර්ථයට හාත්පසින්ම වෙනස් වූ බලාපොරොත්තු ගොන්නක සිරවේ.එයට හේතු ගණනාවක් ඉවහල් විය හැක.  උදාහරණයක් ලෙස සමහර අවස්ථාවලදී  පිරිමියා තම යහළුවන් ඉදිරියේ පොඩි හීනමානයකටද ලක් වන අවස්ථා නැතුවාම නොවේ.

අසන් හිමියනේ කාට කියන්නද මේ දුක ඔබ හැර

ඇයට කියන්නට කිසිවකුත් නැත. අවසානයේ තමාගේ මවට මේ ප්‍රශ්නය යොමු කරන්නේදැයි ඇය සිතන වාර අනන්තය. ඒ අවස්ථාවලදී ද ගැහැනිය තම දෙමව්පියන්ගේ වදන් වලින්ද සිත රිදවා ගන්නට ඇති අවස්ථා  සුලබවේ.

අවසානයේ ඒ කාන්තාවට ඇතිවෙන බය නිසාම එය කැමැත්තකින් හෝ අකමැත්තකින් සිදුවූ විවාහයක් වුවද, එය කාටවත් පැවසීමට හිත නොදෙයි.

ඇය මෙය මිතුරියකට කීවද අනිවාර්යෙන් ඇයගේ මහත්මයාගේ කණේ මෙය තැබිය හැකිය. ඔවුන් ඒ ප්‍රශ්නයට මැදවීමට මැලිකමක් දක්වති. එසේ බලන විට පවුල් සංස්ථාව තුළ එකිනෙකාට යමක් කතා කිරීමට හෝ බෙදා ගැනීමට ඇති එකම පුද්ගලයා බිරිඳ හෝ ස්වාමියා වේ. කාට කතා කර ඒවා තෝරා බේරා කිව්වත් පවුල් සංස්ථාව බිඳ වැටීමට බොහෝ දුරට ඉඩ ඇත.

කලා සොලස පිරි පුරහඳ
අතැර ගොසින් සිය පියබඳ

මෙහි පුරහඳ තමාට උපමා කර ඇති අතර ඇය කලා සොලස පිරි පුරහඳ යැයි හැඳින්වුවද පුරහඳ කළුවර වැටී එය අතහැර ගොස් ඇත.

එදා පිදූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ 

ප්‍රේම කරන කාලය මොනතරම් මෘදු වදන් තෙපලයිද. නමුත් කාලයාගේ ඇවෑමෙන් පුරුෂයා ඇයගේ ලස්සන වර්ණනා නොකළද එයට ගෞරව දැක්විය යුතුමය. නමුත් මෙහි ඒවා නැති වී ගොසිනි

අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

සුනිල්ගේ මේ රචනාවට මම ස්තූතිවන්ත වන අතරම ඔහුගේ ගීත ගොන්නේ ඇති සාර්ථක නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැක.

රෝහණයන්ගේ සංගීතය ගැන අටුවාටීකා කතා කරන්නට අවශ්‍ය වන්නේ නැත. අපේ කාලේ නිර්මාණ ශිල්පියා ඔහුයි. සුභාවිත සුසංයෝගයක් සහිත ‘රාත්‍රිය වී’ ගීතය මා  කැමති ගීතයක් වන අතර විඳින්නට අසන්නට සිතන්නට හැකි නිර්මාණයක් වේ. පිරිමි පක්ෂයට නොවරදවාම මේ ගීතය අසන්නට කියා   ඉල්ලා සිටිනවා.

සාකච්ඡාව – දිමුතු විජේසූරිය- වෙලින්ටන්
ලිපිය සකස් කළේ – ගවිත්‍රි යටිගම්මන- වෙලින්ටන්

 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.