fbpx
12.8 C
New Zealand
Saturday, May 4, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – තණ්හා ආශා…. | දිමුතු විජේසූරිය | වෙලින්ටන්

Must read

තණ්හා ආශා ඔලෝගු කරේ ලා
මඟතොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ
ඒ සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා…

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහ කොළ මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ
තණ්හා ආශා….

අඳුරෙන් ගැලවී එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ අප හැම වල්මත් වී
තණ්හා ආශා…

සැපත විනෝදයේ උපත කඳුළ වේ
විපත පියාවේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා නැත උන් වෙන් වෙන්නේ

ගායනය:- පණ්ඩිත් අමරදේව
පද රචනය:- මඩවල එස්. රත්නායක
සංගීතය:- ආචාර්ය ලයනල් අල්ගම
චිත්‍රපටය:- පටාචාරා

ඔබගේ රසවින්දනය උදෙසා ලියැවුණු ගීතයට අරුතක් ලිපි මාලාවේ අවසන් ලිපිය මෙයයි. ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර මහතා අවසන් ගීතය විදියට තෝරගෙන ඇත්තේ තණ්හා ආශා කියන ගීතයයි. එම ගීතය පිළිබඳ එතුමාගේ අදහසයි මේ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මාවබෝධය සඳහා මූලිකවම ගැටුනේ සොබාදහමත් සමඟ. පරිසරය තමා උන්වහන්සේ ජය ගත්තේ. පරිසරය ඇසුරෙන් තමා බුදුරජාණන් වහන්සේ වැඩි හරියක්ම ධර්මය දේශනා කළේත්. ඉතින් මේ ගීතයත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සාරය කැටිකොට ලියැවුණු ගීතයක්.

මේ ගීතය හැටේ දක්ෂකයේ දී පමණ තිරගත වූ “පටාචාරා” චිත්‍රපටය සඳහා මඩවල එස්. රත්නායක මහතා අතින් ලියැවුණු ගීතයක්.

මඩවල එස් රත්නායක මහතා අපේ සිංහල ගීතයට විශාල දායකත්වයක් ලබා දුන් අයෙක්. ඇතැමුන් මේ ගැන නොදන්නවාද විය හැකියි. ඔහුට නිසි ඇගයීමක් ලැබුනේ නැහැ. එතුමා ගුවන්විදුලියේ යොවුන් සමාජයේ එක් නිෂ්පාදකවරයෙක් වගේම ස්වර වර්ණ වැඩසටහනේ ආරම්භකයා ද වේ. මඩවල එස්.රත්නායකයන් වගේම මහගම සේකරයන් මානවසිංහයන් වැනි දැවැන්තයින් අපගේ ජීවිතවලට ආලෝකයක් ලබා දුන්නා. ඒ ආලෝකයෙන් බැබළෙන විශාල පුද්ගලයින් ප්‍රමාණයක් ලංකාවේ අදටත් ඉන්නවා කවියන් ග්‍රන්ථ කතුවරයන් ලෙසින්.

එතුමන් අතින් ලියැවුණු ගීත ගොන්න අතරින් මා වඩාත් ඇලූම් කරන ගීතයක් තමා තණ්හා ආශා කියන ගීතය. එම ගීතය හරියට ධර්ම දේශනාවකට සවන් දුන්නා වැනි හැඟීමක් ඇති කරනවා.

“තණ්හා ආශා ඔලෝගු කරේ ලා
මඟතොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ
ඒ සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ”

අපේ ජීවිත කාලය පුරාවටම තණ්හාව, ආශාව බෑගයක දාගෙන යන මාර්ගය දෙපස බලන්නේ නැතිව, යන තැනක විස්තරයක් සොයා බලන්නෙත් නැතිව ගමන් කරනවා. හැබැයි අපි හිතනවා තණ්හාව, ආශාව පොදි බැඳගෙන යන මේ ගමනේ අවසානයේදී ආලෝකයක් සතුටක් දකියි කියලා. භෞතික දේවල් අපේ කරගන්නවා මේ තණ්හාව නිසා. අපි තේරුම් ගන්නේ නැහැ, අපි මේ ඇවිදගෙන යන්නේ සංසාරය නම් කාන්තාරයේ ගිනිගත් වැලිතලාවක බව.

“උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහ කොළ මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා අප යන මේ ගමනේ”

වර්ෂාව අධික කාලයට උතුරාගෙන යන ගංගාවල් නියගය ආ විට වේළිලා යනවා. ඒ වගේම ගස්කොළනුත් මැලවෙනවා. අපේ ජීවන ගමනත් ඒ වගේ. මල් පිපෙන ලස්සන වසන්ත කාලය වගේ හැමදාම සුන්දරව ගලා යන්නේ නැහැ. නියං කාලය වගේ කර්කශ, දුක් කම්කටොළු සහිත කාලයකුත් අපේ ජීවන ගමනේ දී මුණ ගැහෙනවා.

“අඳුරෙන් ගැලවී එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ අප හැම වල්මත් වී”

අපි උත්සහ කරන්නේ අඳුරෙන් ගැලවිලා එළියක් හොයන්න. ඒත් අපි ගමන් කරන්නේ අඳුරේ තියෙන අඳුර තුළටමයි. අපේ ජීවිතයේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා යන සියල්ලම මේ තුළ ඇතැයි කියලා අපි හිතනවා. නමුත්
අපි හැමෝම මේ අන්ධකාරය තුළ අතරමං වෙලා ඉන්නේ.

“සැපත විනෝදයේ උපත කඳුළ වේ
විපත පියාවේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා නැත උන් වෙන් වෙන්නේ”

සැප සම්පත්වල, සතුටේ උපත තමා කඳුළ. ඒ කියන්නේ දුක. මේ ලෝකයේ පවතින සැප සම්පත්වල අවසානය එහෙමත් නැත්නම් විනාශය පියා විදිහටයි මඩවලේ එස්. රත්නායකයන් දක්වලා තියෙන්නේ. ඇයි ඔහු පිය පුතු සම්බන්ධයක් මේ තුළට ගෙනත් තියෙන්නේ.

පසුකාලීනව තමා මටත් මේ පිය පුතු සම්බන්ධය ලෙහා ගන්නට හැකි වුණේ. දුකේ උපත පුතා ලෙසත් එහි විනාශය එහෙමත් නැත්නම් අවසානය තාත්තා ලෙසටත් ඔහු අර්ථ නිරූපණය කරනවා. දුක සහ දුක නැතිවීම යන කාරණා දෙක හැම විටම ඉන්නේ එකට. කිසිම දිනෙක දුක සහ දුක නැතිවීම වෙන් වෙන්නේ නැහැ. එකට බැඳිලා ඉන්නවා.

ඉතා ගැඹුරු අර්ථයක් සහිත මෙම ගීතයට සංගීතය සපයන්නේ සිතාර් වාදනයට නිපුණත්වයක් දැක්වූ සංගීතඥ ආචාර්ය ලයනල් අල්ගම මහතා. එතුමන් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට සඳහා සංගීතය සපයා සපයලා තියෙනවා. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රාගයක් තමා එතුමා මෙම ගීතයට උපයෝගී කරගෙන තියෙන්නේ. එම රාගයේ සෑම රාග ලක්ෂණයක්ම කාටවත් නොදැනීම මේ ගීතයට හරි අපූරුවට එතුමා ඇතුල් කරලා තියෙනවා. ඒ නිසාම ගීතයේ අර්ථ රසයට මනා වූ ශබ්ද රසයකුත් ලැබිලා තියෙනවා.

තණ්හා ආශා ගීතය ගායනා කරන්නේ හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් අමරදේවයන් විසින්. අමරදේවයන්ගේ සුගායනීය බව මෙම ගීතයේ රසයට තව තවත් ආලෝකයක් ලබා දුන්නා. අමරදේව සහ රත්නායක සුසංයෝගයෙන් සිංහල ගීත සාහිත්‍යයට විශාල ගීත ප්‍රමාණයක් දායාද වුණා. අදටත් එම ගීත රියලිටි ෂෝවල, වැඩසටහන්වල ගායනා කරනවා.

ගීතයට අරුතක් වැඩසටහන් මාලාව පුරාවටම ප්‍රියානන්ද විජේසුන්දර මහතා ඔහුගේ කාලය, අත්දැකීම්, දැනුම ඉතා නිර්ලෝභීව අපිත් සමඟ බෙදා හදා ගත්තා. ගීතයට අරුතක් වැඩසටහන එතුමා දැක්වූ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තූතිය.

සාකච්ඡාව – දිමුතු විජේසූරිය – වෙලින්ටන්

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.