fbpx
12.2 C
New Zealand
Thursday, April 25, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

ගීතයට අරුතක් – ‘කුමරියක පා සළඹ සැලුනා’ | ප්‍රියානන්ද විජේසුන්දර මහතා සමඟ කළ පිළිසඳරෙහි සටහනක්

Must read

‘ගීත රසවිදින ඔබගේ රසාස්වාදය උදෙසා  ප්‍රියානන්ද විජේසුන්දර මහතා සමඟ කළ ‘ගීතයට අරුතක්’  පිළිසඳරෙහි සටහනක් ඔබ වෙත...’

නවසීලන්තවාසී ඔබට ප්‍රියානන්ද මහතාව අමුතුවෙන් හඳුන්වා දිය යුතුයැයි මා සිතන්නෙ නැත. මේ පාලු සීත රාත්‍රියේ,  බෝමළුවේ මල් සුවඳක, සිත ගාව සිරකාරියයි,  කෙලෙසද කිව මැන සිපගත් දෑතට, මට ආරාධනාවක් කළාදෝ, මගේ ජීවිතේ සතුට රැඳී තිබුණේ,  යලි උදා වූ වසන්තේ ලෙසින, දෑස නිලුපුල් තෙමා වැනි ජනප්‍රිය  ගීත  රැසක පද රචකයා වන ප්‍රියානන්ද  මහතා බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ගී පද රචකයෙකු ලෙස වුවත් ඔහු පුවත්පත් කලාව, ගුවන්විදුලිය, සිනමාව සහ රූපවාහිණිය යන සියලුම ක්‍ෂෙත්‍රයන්හි අගතැන්පත් පුද්ගලයකි.

සිංහල ගේයපද සාහිත්‍ය ඉතිහාසය හා ප්‍රියානන්ද මහතා අතර ඇත්තෙ මනා ලෙස ඔපමට්ටම් වූ සබැඳියාවකි. පනහ දශකය අගභාගයේ සිට නිකුත් වූ ජනප්‍රිය ගී බොහෝමයක තිරයෙන් එපිට කතා බොහොමක් අත්දැක ඇති ප්‍රියානන්ද මහතා කේමදාස මාස්ටර්, අමරදේවයන්  වැනි මහා දැවැන්තයන් ඇසුරේ පෝෂණය වූ තවත් මහා රුක්ෂයක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.

කේ.ඩී.කේ ධර්මවර්ධනයන් අතින් ලියැවුණු, වික්ටර් රත්නායකයන්  සංගීතවත් කළ, අමරදේවයන්  ගායනා කළ ‘කුමරියක පා සළඹ සැලුනා’ ගීතය පිළිබඳ ප්‍රියානන්දයන්ගේ මතකයන් මෙසේ අවදි කෙරුවේය.

මේ ගීතයට පෙර මෙම ගීතය ලියැවූණු හැත්තෑව දශකය පිළිබද මගේ මතකය අවදි කරන්න කැමතියි. හැත්තෑව දශකය කියන්නේ ඉතාම අපූරු දශකයක්.  මේ කාලයේ හින්දි සිනමාවේ ජනප්‍රිය වන ගීත තනුවලට එක රැයකින් සිංහල ගිත නිර්මාණය වූ යුගයක්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා වැනි ගායකයන් එම ගීත ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකින් ගීතය ගුවන් ගත කළ ගමන්, රසිකයන් ගීත වැළද ගත්තා වූ යුගයක් මේ හැත්තෑව දශකය. අද දවසේ වුවද රසිකයන් භේදයක් නැතිව හැත්තෑව දශකයේ ගීත රසවිදිනවා.

‘ඒ වගේම, කේ. ඩී. කේ ගැන මතකය අවදි කළහොත්, ඔහු සංදේශ කාව්‍යන් මනාව ඇසුරු කළ පුද්ගලයකු මෙන්ම එවැනි වාග්  මාලාවන් හා පද හැසිරවීම  මනාව ප්‍රගුණ කළ පුද්ගලයෙක්. ඔහුගේ එම නිපුණත්වය ‘කුමරියක පා සළඹ සැලුනා’ ගීතය රචනා කිරීමේ දී ඔහු මනාව විදහා දක්වා තිබෙනවා.

මෙම් ගීතය පිළිබද බොහෝ අර්ථකතනයන්, පසුබිම් කතා විවිධ මාධ්‍යයන් තුළ මා දැක තිබෙනවා. නමුත් කේ.ඩී.කේ කොතනකවත් ඔහු මේ ගීතය පිළිබද පසුබිම් කතාවක් පවසා නැති අතර, ඔහු ඇසුරු කළ අප ඔහුගේ ගීතයේ විශිෂ්ටත්වයෙන් මන්මත් වූවත් කිසිදිනෙක පසුබිම් කතාවක් පිළිබද විමසීමට උනන්දු වූවේද නැත. කෙසේ නමුත් ගීතයකට සාධාරණ අර්ථකතනයක් දීමට ඕනෑම කෙනෙකුට  සාධාරණ අයිතියක් ඇති බව මගේ අදහසයි.

මාගේ අර්ථකතනයට අනුව මේ ගීතය, කේ.ඩී.කේ ගේ කියැවීමෙන්, පරිණතභාවයෙන් හා නිර්මාණ ශක්තියෙන් ලියැවුණු විශිෂ්ට ගීතයක්.

“කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුනා
කුමරියක පා සළඹ සැලුනා”

තාපසයෙක් කවදාවත් මානසිකව හෝ කායිකව ගැහැණියක් හා නොබැඳුන පුද්ගලයකු  භාවනාවට සමවැදී ඉන්නා අවස්ථාවක, ගැහැනියකගේ පා සළඹක නාදය ඔහුට ඇසෙනවා. ඒ නාදයට දෑස් විවර වූ තවුසාගේ මෙතෙක් කල් ගැහැනියක් වෙනුවෙන් නොබැදුන සිත මේ දර්ශනයෙන් සලිත වන බව මෙයින් කියැවෙනවා.

“උකුල ළැමහස මලවි කරලිය
මුවා කළ ඇගේ දුහුල් සළුතිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැළ වු සුයාමය
කුමරියක පා සළඹ සැලුනා”

කාන්තාව හැඳ සිටි දුහුල් ඇදුම් තුළින් දර්ශනය වූ ඇගේ සිරුරේ හැඩතල ‘උකුල ළැම හස ‘ මලවි කරලිය’ අනංගයාගේ වේදිකාව, එනම් ස්ත්‍රී නිමිත්ත  මනස නැමති සල්ලාලයන් විසින් විවර කළ ඔහුගේ දෑස්වලින් ඔහු දකිනවා. මේ මොහොත ඔහුව තුසිතයට හෙවත් දිව්‍යලෝකෙට, සුරයන්ගේ යාමයට කැඳවාගෙන යාමට සමත් වෙනවා.

“නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
තලා සිද කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් හැඬවු සුයාමය”

නිසල තපෝ වනය මැද ජීවත් වු නමුත්, හැගුම් නැමැති ඇත් සේනාව බැඳ ඇති යඳම් බිඳ හෙලා සියල්ල විනාශ කරන විට, තවුසා විසින් සිය සිත තුළ වූ විනාශය ගැන අවබෝධ කරගන්නවා, ඔහු මෙම දර්ශන තුළ සිත ඇලීමට නොදී පාලනය කිරීමට උත්සහ කරනවා. තැලී පොඩි වී ගිය මල් පෙතිවන් සිත දකින ඔහුට කලින් දෙවියන් නැළ වූ සුයාමය දැන් දෙවියන් හඬවන මොහොතක් බවට පත් වු බව අවබෝධ වෙනවා.

මේ ගීතය ගැන කතා කරන විට මේ හා සම්බන්ධය තවත් රසවත් සිදුවීමක් මතකයට නැගෙනවා.

මේ ගීතය නිර්මාණය වූ අවදියේ දි ගුවන් විදුලියේ ගීත‍යක් ප්‍රචාරණයට පෙර, ගීත අනුමැති මණ්ඩලයක අනුමැතිය ලබාගනිම අනිවාර්යය වූවා. යම් හේතුවකට මෙම ගීතය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කළා.ඒ ගැන විමසූ මට ගීත අනුමත මණ්ඩලයෙන් ලැබුන පිළිතුර වූයේ ‘ මොන සිංදුවක් ද මේ, තාපසයෙක් ගේ සිල් බිදින සිංදුවක්නෙ මේ,’ යන්නයි. පසුව අපගේ දැඩි ඉල්ලිම නිසා මෙම ගීතයට ගුවන් විදුලි ප්‍රචාණය සදහා අවසර ලැබුණා යැයි පවසමින් ප්‍රියානන්දයන් සිය පිළිසඳර හමාර කළේය.

පිළිසඳර ප්‍රියානන්ද විජේසුන්දර
සැකසුම යසසි ගුණරත්න

Discussion with Priyananda Wijesundara
Edited By Yasasi Gunaratne

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.