දිය දහරක් සේ ගලාන ආවෙමි
මුදු සුළඟක් සේ පිට වී යන්නෙමි…
80 දශකයේ නන්දාගේ ‘සත්‍යයේ ගීතය’ ඇරඹෙන්නේ මෙවැන්නකිනි.
‘දහසක් ඉපදී මිය යන පොළවේ
මම ද මියෙන්නට උපන් අයෙක් වෙමි,
මා මළ බව මුළු ලොවට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
මගේ පැතුම, ඔබේ ද පැතුම වේවා! ‘
නන්දාට, සත්‍යයේ ගීතයට කැමති වූ අයට මෙය මතක අතැයි සිතමි. මෙය නන්දා මාලිනියන් ලියූවක්දැයි මම නොදනිමි. සමහරවිට මෙය ලියන්නට ඇත්තේ සුනිල් ආරියරත්නයන් විය හැක. ඒ කුමක් වුවත් ඔවුන් ඉන් අදහස් කළේ කුමක්දැයි අනුමානයක් මා තුළ ඇත.
පහත දැක්වෙන්නේ රුබයියාට් හී විසි වෙනි පැදි පෙළයි. ඛයියාම් ගේ දාර්ශනික අධ්‍යයනයන් වගාවකට සම කළ බවක් හැඟී යන පද පෙළක් ලෙස මෙය හැඳින්විය හැකිය. යමෙක් මළ බව ලොවට දැනෙන්නට නම් එවැන්නෙක්, දැනෙන යමක් ලොවට කළ යුතුය. ඛයියාම් ලොවට දැනෙන නෙක දෑ කළ අයෙකි. ඒ පිළිබඳ මේ ලිපි පෙළේ මුල්ම ලිපියෙහි ලියැවී ඇත. එහෙත් ඉන් ඵල ලබන්නන් නැති වූ කලෙක ඉතිරි වන්නේ කුමක් ද? බීජ වපුරා, පැළ හදා වඩා, අස්වැන්න නෙලූ කල අවසන හරි හමන් ඵලදාවක් නැති වූ විටෙක පත්වෙන ‘ඉච්ඡා භංගත්වය’ ඛයියාම් ඔහුගේ මේ කවියෙන් කියන්නට උත්සහ කරයි. ‘දර්ශනය’ හදාරන්නට ඔහු දැරූ වෙර වැයමේ අවසන ඔහුට පසක් වන්නේ ‘ජීවිතය තණ අග පිණි බිඳක් සේ’ අනියත බව පමණකිය. නැතහොත් එයින් ඔහු උගත් යමක් නැති බවය..
Verse 28.
With them the Seed of Wisdom did I sow,
And with my own hand labour’d it to grow:
And this was all the Harvest that I reap’d –
‘I came like Water, and like Wind I go.’
වෙහෙසී නැණ පැළ පොලොවේ සිටුවිමි,
ඒ පැළවල ඵල කිමදැයි නොදනිමි,
දිය දහරක් සේ ගලාන ආවෙමි,
මුදු සුළඟක් සේ පිට වී යන්නෙමි.
නමුදු, ඛයියාම් කියනා ලෙසින් ‘දිය දහරක් සේ ගලාන ඇවිදින්, මුදු සුළගක් සේ පිට වී යාමට’ කැමත්තක් ඇත්තෝ තවත් සිටිත්ද?…මා හැර …?
By Chrishantha Wevita – Wellington