මල්ලියෙනරක මිතුරන් පිළිගන්ට එපා
නංගියෙනොහොබිනාකම් හුරුවෙන්ට එපා
බෝගම්බරසිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මටවන් දුක වෙන්ට එපා
ඉතා සංවේදී ගී පදවැලක් වූ මෙහි එන සහෝදරයා තම බාල සොයුරියට හා බාල සොහොයුරාට තමන් ගිය වැරදි මග නොගොස් යහපත් ජීවන රටාව වකට ඡීවත් වන ලෙස ආයාචනය කරයි. දෙමව්පියන්ට පසුව අපගේ ජීවිත තුළ සියලු යහපත් දෙය ප්‍රාර්ථනා කරන්නේද ඒ සහෝදරයන්ම ය. එක කුස ඉපිද, එකට ගුලිවී, දුක, සතුට එක ලෙස විඳදරාගෙන උස්මහත් වුවද, අප සියල්ලන්ටම ඇත්තේ විවිධ වූ පෞරුෂයන්ය. අප සමාජය සමග ගනුදෙනු කරන ආකාරය විවිධ වන අතර සහෝදර බැඳීම කිසිදා වෙනස් වන්නේ නැත.
‘ඒ අපේ එකා,’ යන ආදරණීය හැඟීම අප හදවත්වල සදා නොමැකෙන ලෙස ලියවී ඇත. කාලයත් සමග බොහෝ දේ වෙනස් වන විට, විවාහයෙන් පසුව අප සියල්ලන් එකිනෙකා සදාගත් තම ලෝකයන්හි ඡීවන අරගලයන් සමග කාර්යය බහුල වන විට, එකිනෙකාගේ සැප දුක සොයා බැලීමට එදා මෙන් නොහැකි වුවද ඒ අප්‍රමාණ සහෝදර ප්‍රේමය හදවත් තුළින් කිසිදා මැකී යන්නේ නැත.
‘අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුණා කැනිමඬලට අපෙ නිවසේ
එකපත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වූ අද දවසේ.’
‘අම්මා එක්ක දබරව පැන ගිය වත්තේ
ළැම දාගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ.’
‘ඉරට සැපක්දෝ නියඟය අළුලෑම
සඳට සැපක්දෝ ඝණදුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම.’
මෙහි එන ගී පද පේළි ඉතා රසවත්ය. හරවත් ය. ආත්මාර්ථකාමී හැඟීම නිසා සහෝදර ප්‍රේමය අහිමි වූ ආකාරය මනාව පෙළ ගස්වා ඇත. ආත්මාර්ථකාමීත්වයෙන් පිරුණු හදවත් ඇති, තම සහොදරියගේ හෝ සහෝදරයාගේ ජීවිත තුළට එබී අනිසි ලෙස බලපෑම කරනා බොහෝ චරිත අප අතර ඇති අතර ඔවුන් කෙලෙසකවත් කිසිම දෙයකින් සෑහීමට පත්වන්නේ නැත. මෙවැනි බොහෝ සිදුවීම සමාඡයේ ඇති අතර, සෘජුව හෝ වක්‍රව පීඩනයට පත්වූවා වුවත් සහෝදර බැඳීම රකිනාවුන්ද නැතුවා නොවන්නේය.
එය පවුලේ වරදවත්, දෙමාපියන් ගේ වරදවත් නොවන අතර, පුද්ගලයන් ලෙස සමාඡය සමග ගැටෙන කල ජීවිතය යහමින් වින්දනය නොකළවුන් තුළ ආත්මාර්තකාමී හැගීම හට ගැනීම පුදුමයක් නොවේ.
මා පෙර සදහන් කළ ලෙස අතේ ඇති ඇඟිලි පහම එක ලෙස නොවනා සේම එකම පවුලේ වුවද විවිධ සිතුවිලි, ගති ලක්ෂණ, ඇති සාමාඡිකයන් සුලබය.
ආත්මාර්ථය, තන්හාව යන මෙම සියලු දේ අනිත්‍යය වන අතර, බැඳීමක අගයක් නොදන්නා අය එකම පවුලේ වුව සිටීම සරුසාර අස්වැන්නක හට ගන්නා ලද බොල් වී කරලක් වැනිය.
සුරනි මහගොඩගේ
Napier