ශ්‍රී ලංකාවේ පළමු ‘සති පාසල‘
දරුවන් රටක ජීව නාලියයි. කුඩා දරුවා ගසක අරටුව මෙන් මනසින් සහ කයෙන් නිරෝගී වුනොත් පමණයි නොසෙල්වෙන මහා රුකක් සේ රට දැය නංවන්න සහ රට පෝෂණය කරන්න ඔවුන්ට පුළුවන් වන්නේ. දරුවන්ගේ මානසික සහ ශාරීරික සමබරතාවෙන් යුතු යහ ජීවනයක් සඳහා “සතිමත් ගමනක්” ගැන කියා දෙන්න ශ්‍රී ලංකාවේ මීතිරිගල නිස්සරණ වන සෙනසුණේ ප්‍රධාන කම්මට්ටාන ආචාර්ය , ප්‍රධාන සංඝ නායක උඩ ඊරියගම ධම්මජිව මාහිමිපාණන් ලංකාවේ සති පාසලක් ආරම්භ කරනු ලැබුවා.
පුද්ගලයා සකස් වී තියෙනේ සිත සහ කය(ශරීරය) කියන දෙකෙන්. අපේ කය හෙවත් ශරීරය ගැන අපි දන්නවා, ශරීරය දකිනවා, ශරීරයට කන්න දෙනවා, අඳින්න දෙනවා, ව්‍යායාම දෙනවා, පිරිසුදු කරනවා. ඒ වාගේම ශරීරය පවත්වා ගෙන යන්න උදව් කරන ගෙවල් දොරවල්, පාසල්, සහ ආශ්‍රිත සියලු පරිසරය පිරිසිදු කරන්න මහන්සි ගන්නවා, ක්‍රම සහ විධි යොදනවා.
නමුත් අපි අපේ සිත ගැන දැකල තියනවා ද? සිත ගැන දන්නවා ද ? සිතට අවශ්‍ය ආහාර මොනවා ද කියල සොයල තියනවා ද ? සිතට ව්‍යායාම දීලා තියනවා ද ? සිත පිරිසිදු කරලා තියනවා ද?
මුළු ලෝකයම සිත ගැන දැන ගැනීම සහ සිතට ව්‍යායාමයක් දීම ගැන අවධානය යොමු කර නැති බව පැහැදිලියි . ලෝකයේ දරුවන් ඇතුළු වැඩිහිටියන් අසහනය සහ ආතතිය පිරිවරා ගෙන සිටින බවට ලැබෙන ප්‍රවුර්ති බොහෝයි. එය ලෝකයේ එන්න එන්නම වැඩි වෙන බව පෙනෙනවා.
“දුක සැප” සහ “සතුට අසතුට” ජීවිතයක ස්වභාවයක්. එය තේරුම් නො ගැනීම නිසා මිනිසා කරදර ගොඩක ජිවත් වෙනවා. මෙම තත්ත්වය ගැන දැන ගැනීමට සිත ගැන අවබෝධයක් ඇති කර ගන්න ඕන. මේ සිත ගැන මනා වැටහීමක් නොමැති කම නිසා තමයි ප්‍රශ්න කරදර වලින් සිත දූෂිත වෙන්නේ. මෙම සිත දූෂණය වෙන නිසා ආතතිය සහ අසහනය දායාද කරගත් දරු පරපුර සහ වැඩිහිටියන් සවුක්‍ය සම්පන්න නොවන සමාජයක් ගොඩ නැගෙනවා.
මිනිස් සිත නිතරම ජිවත් වෙන්නේ අතීතයේ පසුතැවීම් සමග දුක් වෙමින් සහ නො පැමිණි අනාගතය පිළිබඳ සිහින මවමින් සැක සංකා ඇති කර ගනිමින් . අපි කයෙන් එක තැනක වුනත් සිතෙන් ඉන්නේ විවිධ අරමුණු වල. සිත ඔහේ ඉබාගාතේ යනවා. හරියට පිස්සු හැදුණ වඳුරෙක් වගේ.
මේ නිසා කයෙන් මොන කාර්යය කරන්න ගියත් සිතේ මේ චංචල බව නිසා එම කාර්යයට හිත යෙදීමේ අවධානය ගිලිහෙනවා. ඒ නිසා ජීවත් වීම සඳහා කරන හැම කාර්යක්ම සංකීර්ණ කර ගන්නවා, පටලවා ගන්නවා, අසාර්ථක කර ගන්නවා. මෙම තත්වය නිසා සිත නොදැනුවත්වම පීඩාවට පත් වෙනවා . මානසික සහ ශාරීරික ආතතිය අසහනය ඇති වන්නේ මේ නිසායි.
ඉන්දියාවේ උපත ලැබූ ගෞතම සිද්ධාර්ථ කුමරු තම වීර්යයෙන් මෙම ආතතිය අසහනය ගැන දැන ගන්න, දුක සැප, සතුට අසතුට දැක දැන ගන්න, සැබෑ සතුට විවේකය සොයන්න, ඇත්තටම කියනවනම් ජීවිතයක සත්‍යය සොයා ගන්න විවිධ ක්‍රම අත්හදා බලමින් උනන්දු වුනා. අවසානයේ තමා ළඟම පැවති “සති” චෛතසිකය උපකාර කර ගෙන , දිනක විශ්ව සත්‍යය අවබෝධ කළා . මෙසේ සතිය පුහුණු කර ගෙන , ධර්මය අවබෝධ වුනාට පසුව සිද්ධාර්ථ කුමරු “ බුද්ධ “ නමින් හැඳින්වුවා. පිබිදුණ සිත ඇත්තේ යන අර්ථයෙන්. සතිය මගින් අවබෝධ කරගත් ධර්මය ඇදහිමක් නොවේ. එය ස්වභාව ධර්මය විනිවිද දැකීමක්. ඒ විනිවිද දැකීම සඳහා උපකාර වුන ක්‍රම වේදය තමයි “ සතර සතිපට්ඨානය ”.
කෙටියෙන් මෙම දහමට “සතිය” කියල කියනවා .මේ “සතිය” ජාති, ආගම් බේද වලින් තොර ව මුළු විශ්වයට ම පුරුදු කල හැකි දෙයක් . එය විශ්ව ධර්මයක්. බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව , එම ධර්මය පදනම් කර ගෙන , විවිධ රටවල් වල ඇති සංස්කෘතික සහ සාමාජික ඇගයීම් මුල් කර ගෙන “බුද්ධාගම” ඇති වුනා.
මෙසේ මහා දාර්ශනික, මහා පුරුෂ බුදු පියාණන් වහන්සේ තමන් පුරුදු පුහුණු කල , ෂාක් ෂාත් කල ධර්මය අන් අයටත් සිතක ඇති චංචල ස්වභාවය දැක ගන්න , සිත ගැන දැන ගන්න, සිතට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දෙන්න, සිතට ව්‍යායාමයක් දෙන්න සහ සිත පිරිසිදු කර ගන්න එකම මග ලෙස ලොවට ආදර්ශයෙන් පෙන්වා දුන්නේ “සතර සතිපට්ඨානය හෙවත් සතිය පිහිටුවීමයි”.
ගිහි කල විශ්ව විද්‍යාල ජීවිතයේ පටන් සැබෑ සතුට සොයන්න මහන්සි ගත් අති පුජ්‍ය උඩ ඊරියගම ධම්මජිව ස්වාමීන් වහන්සේ, බුද්ධ සාසනයේ පැවිදිව බුදු පියාණන් වහන්සේගේ මග යමින් තමාගේම මනස කියන විද්‍යාගාරය තුල ශරීරය කියන උපකරණ කට්ටලය උපයෝගී කර ගනිමින්, බුදු පියාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් “ සතර සතිපට්ඨානය” දෝතින් අරගෙන වසර 40 ක් පුරාවට මෙම “ සතිය” පිළිබඳ පර්යේෂණයක යෙදුණා.
සතිය පුහුණු කිරීමේ පර්යේෂණයෙන් ලබා ගත් තමන්ගේ අත්දැකීම් ජාති ආගම් ඛේදයකින් තොරව ලංකාවේ සමස්ත දරුවන්ගේ සතුට සැනසුම සහ යහ ජීවනය සඳහා හඳුන්වා දීමට සහ පුහුණුවක් ලබා දීමට අධිෂ්ඨාන පුර්වකව “සතිය” හඳුන්වා දීම සැලසුම් කලේ “මෙය කල යුතු ද? කල හැකි ද? ඒ සඳහා කාලය ද මේ ? කරන්නේ කොහොම ද ? “ යන්න ගැන මනා අවධානයක් යොමු කරමින්.
· සති ධර්මය ආගමක් නොවන විශ්ව ධර්මයක් නිසා ජාති ආගම් ඛේදවලින් තොරව සාර්ථකව කල හැකි බවත්,
· සමාජයේ පවතින ආතතිය සහ අසහනය වැඩි වෙමින් පවතින නිසා එය කල යුතු බවත්,
· සතිය අකාලික ධර්මයක් නිසා එය ඕනෑම වෙලාවක පටන් ගත හැකි බවත් හොඳින් අවධාරණය කර ගත්තා.
කල යුත්තේ කොහොමද කියන එකට පිළිතුරු වශයෙන් තමයි වර්ෂ 2016 දී ලංකාවේ ප්‍රථම වරට පූජ්‍ය ධම්මජිව ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන සතිය පුරුදු කරන පිරිසක ගේ සහයෝගය ඇතිව බිම් මට්ටමෙන් “ සති පාසල” ආරම්භ කරනු ලැබුවේ.
සති පාසලේ ව්‍යුහාත්මක සංයුතිය , සංවිධානාත්මක මෙහෙවර , කළමනාකාරිත්වය, සහ ක්‍රියාකාරිත්වයට පදනම් වූ දර්ශනය සහ මග පෙන්වීම පූජ්‍ය ධම්ම්ජිව මාහිමිපාණන්ගේ සංස්කරණයකි. දරුවන් කෙරෙහි උපන් කරුණා මෛත්‍රිය නිසාම ඇති වූ ක්‍රමවේදයකි.
සති පාසලේ වටිනාකම සහ කාලීන අශ්‍යතාවය දුටු අධ්‍යාපන ආයතන ඇතුළුව වෙනත් ආයතන සහ සංවිධාන වල වැඩි අයැදුම් කිරීම් නිසා වඩාත් පුළුල් ලෙස සැලසුම් කරමින් සති පාසලේ පැවැත්ම සහ ඉදිරි ගමන ගැන ස්ථිර සාර වැඩපිළිවෙළක් දියත් කිරීම සඳහා සවිමත් අඩිතාලමක් ලෙස වර්ෂ 2017, සැප්තැම්බර් මාසයේ දී තවත් සතිමත් පිරිස් වල සහයෝගයෙන් සති පාසල “සති පාසල පදනම” ලෙස ව්‍යවස්ථා ගත කරනු ලැබුවා. සති පාසල අද ලංකාව පුරාම පාසල්, විශ්වවිද්‍යාල , සියලුම ආගම් වලට සම්බන්ධ දහම් පාසල්,ඉරිදා පාසල්,පිරිවෙන්, ආදී බොහෝ අධ්‍යාපන ක්ෂේත්‍ර වල දිනෙන් දින ප්‍රචලිත වෙමින් පවතිනවා .
සති පාසලේ අපි දකින නායකත්වය ප්‍රශංසනීයයි. දර්ශනවාදී ලාඕත්සු කියන අධ්‍යාත්මික නායකයා විසින් ලියු “Four kinds of leaders”by Lao-tzu”– “නායකයන් හතර දෙනා” යන සටහනේ හඳුන්වා දුන් පහත සඳහන් විස්තරයේ හතර වන ස්ථානයට දැක්වෙන හොඳම නායකත්වය ගැන කරුණු සති පාසලේ නායකත්වයට කදිමට ගැලපෙන බව දුටිමි. එය රටක නායකත්වයටත් වටිනා ආදර්ශයකි.
1. නායකත්වයේ පහලම තැනට වැටෙන්නේ හැම ගේම අගව්රවයට පත් වුන කෙනකි. තමන්ගේ බල උරුමය නිසා , සමාජයේ උසස් මට්ටම් නිසා , දේශපාලන බලවත් කම් නිසා නායකත්වයට පත්වුණ කෙනා.
2. දෙවැනියා වන්නේ බයෙන් ජිවත් වන කෙනෙකි. ඔහු ආයුද සන්නද්ධව පාලනය කරන අතර ඔහුට විරුද්ධව එන අයට දඬුවම් කරන ඒකාධිපති පාලකයෙකි.
3. තුන්වැනියා ආදර ගව්රවයෙන් පාලනය කරන කෙනෙකි . ජනතාවගේ හෘද සාක්ෂිය එකඟ වෙමින්, ඔවුන්ගේ දුක සැප බෙදා ගනිමින් නායක කම් කරන කෙනෙකි.
4. හොඳම නායකයා යනු කැපී නො පෙනෙන පුද්ගලයා ය. ඔහු තමාගේ වැඩ ගැනම කියා පාන්නේ නැති අතර ,අන් අයගේ හැකියාවන් ගැන විශ්වාසය තබයි. තම වගකීම් සහ රාජකාරි කිරීමට අන් අයගෙන් ඉල්ලුම් කරයි. ඔහුගේ නායකත්වය යටතේ තව තවත් නායකයන් බිහි කිරීම ට උදව් දෙන අතර අන් අයගේ සහභාගිත්වය අගය කරයි. ඔහු අනුන්ගෙන් ප්‍රශංසා සහ සැලකීම් බලාපොරොත්තු නොවෙයි. තනිව වැඩ කිරීම වෙනුවට අන් අය සහභාගී කර ගෙන හැම වැඩක් ම යෙදෙන්න කැමැත්ත දක්වයි. ඒ සඳහා පසුබිම සලසා දෙයි. මොහු ගොඩක් කතා කරන්නේ නැත. නමුත් ගොඩක් දේවල් කරන්නෙක් වෙයි. ඔහු කතා නොකලාට , ඔහුගේ ක්‍රියාවෙන් ඔහු කතා කරයි. මෙම තැනැත්තා තම කාර්ය ඉටු කරද්දී , සාර්ථකත්වයේ ඉහලම තැනට පැමිණි විට , ඔහුගේ ජනතාව මෙසේ කියයි “ අපි එය කළා. අපි සියලු දෙනා ම එකතුව කළා”
සති පාසලේ දැක්ම සහ මෙහෙයුම
· සති පාසලේ දැක්ම වන්නේ දරුවන්ට සතිය හඳුන්වා දීම සහ ඒ පිළිබඳ මනා පුහුණුවක් ලබා දීමයි. ඒ පුහුණුව හරහා පුද්ගලික, සාමාජික, සහ පාරිසරික වශයෙන් ගුණ නැණ දියුණු වෙමින් යන සතිමත් බවේ සිට අවදිමත් (අප්‍රමාදය) බව දක්වා යන ජීවන ගමනකට මං පෙත සකස් කර දීමයි.
· සති පාසලේ මෙහෙයුම වන්නේ සතිය ගැන මුලික පුහුණුව , උපදේශනය, වැඩමුළු සහ පාඨමාලා ඔස්සේ , සතිමත් පිරිසක් එකතුව, සමාජ ආයතන සමග සහයෝගයෙන්, සතිමත් ගුරුවරුන් බිහි කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වුර්තිමය පුහුණුව ලබාදීම තුලින් ගුරු ශිෂ්‍ය ඉගනුම් ක්‍රියාවලියක් දියත් කිරීමයි.
මෙම විෂය මාලාව “ශිෂ්‍ය කෙන්ද්‍රීය” ක්‍රම වේදයක් වන අතර ,සරලව එහි ක්‍රියාකාරිත්වය වන්නේ තනි තනි ශිෂ්‍යයින්ගේ සැබෑ හැකියා වන්, දක්ෂ කම් තව තවත් වර්ධනය කර ගැනීම, ඒවා නිපුණතාවයන් බවට පත් වීම, සතිමත් වීම තුලින් ගුණ ධර්ම හොඳින් අවබෝධ කර වීම , ඒ හරහා ජනිත වන සිහි නුවණට මග පෙන්වීම, ඒ තුලින් ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයට සාධනීය දායකත්වයක් සැපයිය හැකි වටිනා කොටස්කරුවන් බවට දරුවන් පත් කිරීමටයි.
සතිය කියන්නේ පුහුණු කල යුතු කුසලතාවක්. මොකද මෙය කියන තරම් පහසු නැහැ. නිතරම වෙනස් වන හිත, එක තැනක නොහිටින හිත ,අයාලේ යන හිත, එකක් කරමින් වෙනත් අරමුණු රැසක් සිතමින් ඉන්න සිත සතිමත් කිරීම පහසු වන්නේ නැහැ. නමුත් සතිය පුහුණු කිරීම කරන්න බැරි දෙයකුත් නොවන බව සති පාසල පෙන්වා දෙනවා.
කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගෙන බටහිර රටවල් වල මෙම සතිය පිහිටුවීමේ වැඩසටහන් වර්තමානයේ ඉතා ජනප්‍රිය වෙමින් තිබෙනවා. ළමයින්ගේ අධ්‍යාපන විෂයන් සඳහා යොදා ගන්න උත්සාහ ගන්නවා.
අපේ රටේ අධ්‍යාපන පද්ධතිය මෙතෙක් දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහන්වලට විවෘත වී නැතත් , ලංකාවේ දරුවන්ගේ යහජිවනය සඳහා “සතිය” අධ්‍යාපන ක්ෂේත්‍රයට ලංකර ඔවුන්ට සැනසිලි දායක සමබර ජීවන මාර්ගයකට මග පෙන්වන්න අද සති පාසල ඉදිරියෙන් ඉන්නවා. ‘සති පාසල‘ ළමයින්ගේ යහ ජීවනයේ හැරවුම් ලක්ෂයක්.
ධම්මජිව ස්වාමීන් වහන්සේ කියනවා “සතිය පුරුදු කිරීම නිසා , සියලු ම ආගම් වල ළමයි , තමන්ගේ ආගම හොඳින් කර ගෙන යනවා වාගේ ම , ආගමක් අදහන්නේ නැති අයත් සතිය හොඳින් පුරුදු කර ගෙන , ඒ සියලු දෙනා සමගම එකමුතුව , සියලු බේද වලින් තොර සැබෑ යහළු කමක් ගොඩ නගා ගන්නවා” කියල.
සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න නම් අපි හැමෝටම ‘සතිය‘ කියන දේ ඉතා වැදගත් වන බව පෙන්වා දෙනවා.
සතිය ගැන නිර්වචනය
සති පාසල නිර්මාතෘ පූජ්‍ය උඩ ඊරියගම ධම්මජිව ස්වාමීන් වහන්සේ “සතිය” නිර්වචනය කරන අදහස් කිහිපයක් පහතින් සඳහන් කරනු ලැබේ.
· මේ මොහොතට එළඹ වාසය කිරීම ,තමන් ඉන්න ඉරියව්වට එළඹ වාසය කිරීම, මම දැන් මෙතන යන්නට අවදි වීම, හිතට එන දේ පමා නොවි දැක ගැනීම, අප්‍රමාදය.
· යෙදෙන කාර්යයට සිත යොමු කර වර්තමාන මොහොතට එළඹ සිටීමෙන් හා තීන්දු තීරණ වලින් තොරව ඒ ඒ මොහොතේ සිහිය පැවැත්වීමේ අත්දැකීම් තුලින් මතු වෙන දැනුවත් විමයි.
· සතිය යන්නෙහි තේරුම හුදෙක් ම, හැම දාම අප කරන දේ සහ කියන දේ ගැන හැකි තාක් දුරට සම්පූර්ණයෙන්ම සතිමත් වී සිටීමයි. අප එදිනෙදා කරන කියන දේ ගැන හොඳින් සැලකිලිමත් ව සිටීමත් ඉන් අදහස් වෙයි.
· ඒවගේම මේ මොහොත කෙරෙහි දැනුවත් බව යොමු කරමින් තීන්දු තීරණ වලින් තොර හැඟීම්, සිතුවිලි සහ ශාරීරික දැනීම් හුදෙක් ම නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා මානසික ස්වාභාවයයි .
· අතීතය ගැන දුක් වීමත් , අනාගතය ගැන සිහින මැවීමත් අනුවණ කමයි. මේ වර්තමාන මොහොතේ ජීවත් වීම නුවණැති බවයි.”
සති පාසලේ හඳුන්වා දෙන සතිය
සති පාසලෙන් දරුවන්ට හඳුන්වා දෙන්නේ “ සති මාත්‍රය” (bare attention )කියන සතිමත් වීමේ මූලාරම්භයි.
සති මාත්‍රය යනුවෙන් අදහස් කරන්නේ ;
· මේ මොහොතට සිහිය පැවැත්වීම,
· මේ මොහොතට පැමිණෙන දෙය හොඳින් දැක ගැනීම , වෙන් කොට හඳුනා ගැනීම,
· හිතට පැමිණි දෙය මත නො ගැටීම,( අවිරුද්ධ ප්‍රතිපදාව),
· සෙමින් නැවතිල්ලේ කටයුතු කිරීම,
· එළඹ සිටි සිහිය නිසා වැඩෙන නුවණ අනුව කටයුතු කිරීම ,
යන මේ සියල්ලේ එකතුවටයි.
සති පාසල විසින් ළමයින්ට හඳුන්වා දෙන “සති මාත්‍රය” පුහුණු කිරීමේ ක්‍රියාවලිය සමන්විත වන්නේ පහත සඳහන් ක්‍රමවේද වලින් ය.
· මේ මොහොත ගැන දැනුවත් වීම
· සතියෙන් ඇවිදීම
· සතියෙන් ඉඳ ගැනීම
· සතියෙන් එදිනෙදා වැඩෙහි දීම
· සතියෙන් ඵලදායි සති-ක්‍රියාකාරකම් වල යෙදීම
· සතියෙන් සෙල්ලම් කිරීම.
සති පාසලේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රම වේදය වන්නේ “සතිමත් ඇවිදීමයි”. ළමා මනසට පුර්ණ අවදියක් ලබා දෙන ඒ වාගේම ඔවුන්ගේ මානසික සහ ශාරීරික යහජිවනය සඳහා ඍජුව ප්‍රතිඵල ගෙන දෙන මෙම “සතිමත් ඇවිදීම” දරුවන් වෙනුවෙන් දායාද කල මිල කල නොහැකි ත්‍යාගයක් වනවා. මුළු ලෝකයේම දරුවන් සඳහා සතිමත් ඇවිදීම ක්‍රමානුකූල ලෙස පළමුවෙන්ම හඳුන්වා දුන්නේ ලංකාවේ සති පාසලයි.
සතිය පුරුදු කරමින් සාමකාමී ලෙස සතුට පිරි ලොවක් බිහි වෙනවා වගේම, කෙනෙකුට මෙම “සති මාත්‍රය” අත් නොහරින වීර්යයෙන් දිගටම දියුණු කර ගෙන නිවන් මගට පිවිසෙන්න අවශ්‍ය නම් පුරුදු ගුරුවරයකු යටතේ එයත් කර ගන්න පුළුවන් කම තියනවා .
නමුත් පාසල් වල ළමුන්ට හඳුන්වා දෙන්නේ “සති මාත්‍රය” පමණයි. එය සැහැල්ලුවෙන් කල හැකි, සෙල්ලමෙන් කල හැකි , සතුටෙන් කල හැකි යහජීවනය සඳහා ඇති වටිනා ම ක්‍රම වේදයයි. එයින් බලාපොරොත්තු වන්නේ යහපත් දරුවකු ලොවට බිහි කිරීමයි.
මෙම “සති” විෂය ළමා මනසත් එක්ක කරන එකක් නිසා ධම්මජිව ස්වාමීන්වහන්සේ ළමයින් සඳහා සතිය හඳුන්වා දීම පැහැදිලි ක්‍රමවේදයක් අනුව මනාව සකස් කර තිබෙනවා. එය ලංකාවට සහ ලොවට විශාල භාග්‍යක් වනවා.
ස්වභාව ධර්මයට ළමයින් අනුයුක්ත කරමින් ක්‍රියාත්මක වන මෙම ක්‍රම වේද තුලින් සතිමත් කම වැඩෙන ළමයින්ගේ මනසේ චිත්තවේගී අවදි මත් කම ක්‍රියාත්මක වෙන බව පෙන්වා දෙනවා. (චිත්ත වේගී සාක්ෂරතාව “Emotional literacy” කියල බටහිරයේ මෙය හඳුන්වනවා) ,පූජ්‍ය ධම්ම්ජිව ස්වාමීන් වහන්සේ මෙයට අර්ථකථනය දුන්නේ “ හැඟීම් මුලික අවදිමත් කම” ( emotional initial awakening) කියල.
මෙම ක්‍රම වේදය හරහා ,සති පුහුණුව අඛණ්ඩව සිදු වෙනවා, මනසේ දියුණු වන කුසලතා නිපුණතා වන් ලෙස දියුණු වෙනවා, නුවණ වර්ධනය වෙනවා , එය චිත්තවේගී බුද්ධිය (emotional intelligence) ලෙස හඳුන්වනවා. මෙම සතිමත් කමේ දියුණුව සතිය පුරුදු කිරීම නිසා ලැබෙන වාසියක්, එය සතියේ ඇති ලක්ෂණයක්. එයට සති නුවණ හෙවත් සති සම්පජන්ය(Clear comprehension) කියල කියනවා. සති නුවණ ඇති සිතට ,සිද්ධියක මුල දැක ගැනීමට , සිද්ධියක් කොහොමද සිදු වන්නේ කියල සැබෑ තොරතුරු සෙමින් සතියෙන් නිශ්ශබ්දව දැක දැන ගන්න පුළුවන් වනවා. පටන් ගැනීම දැක දැන ගැනීමේ කුසලතාව, කියන යෝනිසෝ මනසිකාරය (appropriate attention or wise reflection ) සිදු වෙනවා.
සති මාත්‍ර පුහුණුව–මේ මොහොතට අවදි වෙමින් සතිය පුහුණු වීම (Bare attention)
හැඟීම් ගැන දැන ගැනීම, තේරුම් ගැනීම, පිළි ගැනීම , ප්‍රකාශ කිරීම සහ කළමනාකරණ ක්‍රියාවලිය (හැඟීම් මුලික අවදිමත්කම) (Emotional initial awakening )කුසලතා වර්ධනය.
එම ක්‍රියාවලිය නිසා වැඩෙන කුසලතා නිපුණතා ලෙස වැඩි දියුණු වීම (චිත්තවේගී අවදිමත් කමේ දියුණුව) (Emotional competencies)
සති පුහුණුව – කුසලතා සහ නිපුණතා වර්ධනය – සතියේ බලවත් කම – සිදුවීමක මුල, මැද, අග දැක ගැනීමේ ශක්තිය- සිහි නුවන වැඩිම (චිත්තවේගී බුද්ධිය) (Emotional intelligence)
සරලව කියනවා නම් සති මාත්‍රය හඳුන්වා දීමේ ක්‍රියාකාරකම් තුලින් චිත්තවේගී අවදි මත් කම සිදුවෙන අතර , එම අවදිය හරහා කෙනෙක්ගේ මානව සහ ජිවන කුසලතා , නිපුණතා වශයෙන් වැඩි දියුණු වෙමින්, ඇතිවෙන සිහි නුවන චිත්තවේගී බුද්ධිමත් භාවයයි. මෙම තත්වය අද සති පාසලේ ළමුන්ගේ ප්‍රතිපෝෂණය (feedback) හරහා ද අපට දකින්නට ලැබෙනවා.
අද ලෝකයේ බොහෝ විට පවත්වා ගෙන යන චිත්තවේගී සාක්ෂරතාව ඒ පිලිබඳ කරුණු කාරනා කියල දීමෙන්, “ මෙහෙම වුනොත් මෙහෙම කරන්න” යනාදී වශයෙන් සතිය පිළිබඳ සාහිත්‍යය කරුණු , පෙළ පොත කියවීමෙන් , න්‍යාය කරුණු කියා දීමෙන් සිදු කරන ක්‍රියාවලියක් වශයෙන් දකින්නට පුළුවන්. මෙසේ චිත්තවේගී සාක්ෂරතා ක්‍රියාකාරී කම් හඳුන්වා දීමෙන් පමණක් පවතින චිත්තවේගී ආවේගකාරී තත්වයන්ට සම්පුර්ණ විසඳුමක් වෙන්නේ නැහැ . බට හිරයේ පවතින මෙය ආංශික ක්‍රියාවලියක්.
සිතක හැඟීම් මුලික අවදි මත් කම සාර්ථක ප්‍රතිපදාවක් වෙන්න නම් සති පාසල ක්‍රියාත්මක කරන ආකාරයට පළමු ව “සති ක්‍රියාකාරකම්” ළමයින්ට හඳුන්වා දෙන්න ඕන. එසේ සිදු කෙරෙන අඛණ්ඩ සති පුහුණුව මගින් මනසක “සතිය” තීව්‍ර වෙන්න ඕන. මෙවන් පුරුද්දක් මනසක ඇති වුනොත් එය සිතක විශාල ස්ථිර සාර වෙනසක් ඇති කරනවා. සතියේ බල මහිමය තුලින් සිත අවදි මත් වෙමින්, සැනසුම කරා , යහපත් මාර්ගයක ළමයින් ගමන් කරනවා. නිපුණතා වැඩෙනවා. එතන නුවන දියුණු වෙනවා. (චිත්තවේගී බුද්ධිය) සිහි නුවන සම්පුර්ණ වෙනවා. සිහි නුවන ඇති සිතක ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, සතුට, මුදිතාව, වැඩෙනවා.
සති පාසලේ හඳුන්වා දෙන “සති පුහුණුව” මුළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඇති අනිකුත් විෂයන් සහ කාර්යයන් හොඳින් සහ සතිමත්ව කිරීම සඳහා යොදා ගත හැකි වෙනවා . මේ වන විටත් සති පාසල තුළින් දියත් කල සති පුහුණුව නිසා පාසල් වල ළමයින්ගේ කායික සහ මානසික සුවතාව ලබාගත් ළමුන් බොහෝ සිටින බව ඔවුන්ගේ ප්‍රතිපෝෂණ වලින් දැන ගන්නට ලැබෙනවා.
ගැටවර වයස මොළයේ වර්ධනය පිළිබඳ ඉතා තීරණාත්මක කාලයක් බවද විශේෂයෙන්ම තීරණ ගැනීම, චිත්ත වේග පාලනය හා සමාජ අවබෝධය සඳහා වගකිව යුතු මොළයේ කොටස් වර්ධනය වන්නේ ඒ වයස් මට්ටමේදී බවද ස්නායු විද්‍යාඥයන්ගේ අදහසයි. තරුණ සිසුන්ගේ සතිමත් බව වැඩීම නිසා අවධාන පරාසයත් පන්තියේ වැඩට ඒකාග්‍ර වීමේ හැකියාවත් සංජානන හා චිත්ත වේග නම්‍යශීලී ගතියත් වැඩි දියුණු වන බව වාර්තා වනවා.
මෙම තොරතුරු යොවුන් වයසේ පසු වන අයට මෙන්ම ඔවුන්ට මාර්ගෝපදේශකත්වය දෙන මව්පියන්, ගුරුවරුන් හා උපදේශකයන්ටත් එක සේ වැදගත් වන බව යොවුන් විය මනස සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් විශේෂයෙන් අවධාරණය කරන කාරණයක්. සති පාසල යනු එම සංකල්ප මත ක්‍රියාත්මක වන සතිය උගන්වන, සිත නිවන අසපුවක් යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ.
සතිය පුරුදු කරන දරුවන් සිහි නුවන සහිත විරුවන් වෙයි – ලංකාව එක සේසත් කරන ප්‍රාණ නාලිය වෙයි.
මොහොතින් මොහොත සිත අවදි කරමින් ලැබෙන්නා වූ නිපුණතා වන් පෝෂණය කරමින් මාලයකට සුවඳ මල් අමුණන්නාක් මෙන් සතුට, සැනසුම, සාමය, නිදහස අත්විඳිමින් සතිමත් කමින් අවදිමත් ගමනක් යන්නට ( Journey of Mindfulness) “සති පාසල පදනම” විසින් දරුවන්ට ශක්තිමත් වේදිකාවක් සකස් කර දෙනවා.
මේ වන විට මෙම සති පාසලේ වැඩසටහන ක්‍රමයෙන් වැඩි පිරිසක් අතර ප්‍රචලිත වෙමින් තිබෙන අතර වැඩිහිටියන් ද එහි සාර්ථකත්වය සඳහා ඉතාමත් උද්යෝගයකින් දායක වනු දැකීම සතුටට කරුණකි. “සති පාසල පදනම” සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන “සති පාසල” දරුවන්ගේ සාරධර්ම බිහි කරන, සාරධර්ම වගා කරන, සාරධර්ම මල් ඵල ගන්වන පාසලක් බවට පත්වී තිබෙනවා.
ඒ අනුව මෙම සති පාසල දරුවන්ගේ ඉගනුම්-ඉගැන්වීම් ක්‍රමෝපායන් නව මගකට යොමු කරමින් සිතක් සනසන, දැයක් සනසන, ලොවක් සනසන, ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සති පාසල හඳුන්වා දෙන්න පුළුවන්. “සතිය” නිතරඟයෙන් ජය ගන්නට ළමා මනස පුරුදු පුහුණු කරවමින්, ජය පැරදුම දෙකෙහි දීම සම සිත ඇති කර ගැනීමට අවශ්‍ය ශක්තිය සලස්වමින් ළමා මනස තුළ අසහනය සහ ආතතිය ඇති නොවන ලෙස පුරුදු පුහුණු කරන හෙදකමක් බඳුය.
සියලු ආගම් සහ ජාති ඛේදවලින් තොරව දරුවන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය සහ සමසිත පිළිබඳ ඉගනුම්-ඉගැන්වීම් ක්‍රමෝපායන් ඉදිරිපත් කරන පාසලකි සති පාසල. වාණිජමය පරමාර්ථවලින් තොරව දරුවන්ට “සතිය” පුහුණු කරවන නිදහස් පාසලක් වන මෙහි කළමනාකරණය , ඉගෙනුම්- ඉගැන්වීම් සහ අනිකුත් අදාළ සියලු කාර්ය භාරය සිදු වන්නේ පුජ්‍ය ධම්මජිව ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණය යටතේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කල්‍යාණ මිත්‍ර පිරිසක ගේ උපකාරයෙන්ය .
ජීවිතයේ මුහුණ දෙන “බාධක” “සාධක” බවට පත්කර ගෙන සතුට, සැනසුම සහ සාමය කරා නො සැලෙමින් යන ගමනක් ලෙස මෙම සති පාසල වසර තුන තුළ අත්කරගෙන තිබෙන ප්‍රගතිය අනුව දකින්න ලැබෙනවා.
ප්‍රධාන වශයෙන් සති පුහුණුව නිසා ලැබෙන සති ගුණාංග මත වැඩෙන හැඟීම් මුලික අවදිමත්කම නිසා ළමයා තුළ ආධ්‍යාත්මික වර්ධනයත් ඇති වන බවත් ඔහු පාසලට, ගෙදරට, සමාජයට, රටට, ලොවට යහගුණ වත් සත්පුරුෂයෙක් ලෙස දායක වීම සඳහා පෙළ ගැස්මක් ඇතිවෙලා තියනවා .
“සති පාසල” මේ වන විට ලංකාව පුරාම පාසල්වල, විශ්වවිද්‍යාලවල, සියලුම ආගම් වල ඇති දහම් පාසල් වල, ඉරිදා පාසල්වල, පිරිවෙන්වල ඉතා සාර්ථකව පවත්වා යන අතර පාසල් පරිසරයෙන් පිටත කාර්යාලවල, පොලිසිවල, සෞඛ්‍ය සේවාවල, බන්ධනාගාරවල, කර්මාන්ත ශාලාවල ආදී විවිධ ආයතන, සංවිධානවල ද මෙම සති පුහුණුව පවත්වා ගෙන යනු ලබනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ “සති පාසල” පාලනය යටතේ මේ වන විට ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ඕමානය, නවසීලන්තය ආදී රටවල් ගණනාවක “සති පාසල”බොහෝ සාර්ථකව පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබීම අපේ රටට අභිමානයක්.
සති පාසල පදනම විසින් වසර 2018, පෙබරවාරි මස 24 සහ 25 වන දිනයන්හිදී “සතිමත්” බව පිළිබඳ ආසියාකරයේ ප්‍රථම ලෝක සමුළුව ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වුණා. එහි පරමාර්ථය වුනේ සති පාසලේ අත්දැකීම් ජාතික වැඩ පිළිවෙළක් ලෙස ලොවට විකාශනය කිරීම,සතිමත් බව තුලින් අද වර්තමානයේ පවතින සහ ගැටුම් , අවුල් සහ සංකීර්ණතා වලක්වා ගන්න අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සමාජ සහජීවනය සහ පාරිසරික ආරක්ෂාව සඳහා ශක්තිමත් පදනමක් සියලු ආගම් සහ ජාතීන් එකතුව දියත් කිරීම සඳහා සතිමත් කමේ වටිනා කම බෙදා හදා ගැනීමයි.
සති පාසල ඉදිරි ගමනේ වඩාත් සාර්ථක ප්‍රයත්නයක් ජය ගැනීමක් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල තෝරා ගත් පාසල් 100 ක “සතිය” හඳුන්වා දීමේ යෝජිත ශක්යතා අධ්‍යනය වැඩ පිළිවෙළ දැනට කර ගෙන යනු ලබනවා.
සති පාසලේ ගුණාත්මක , සදාචාරාත්මක සහ ධනාත්මක අඛණ්ඩ දියුණුව අපි දකින්නේ ශ්‍රී ලංකාවේ සහ ලොවෙ දරුවන්ගේ හද විල තුල සති මල් බීජයන් පැල වෙන ආකාරය , මල් පල ගන්න ආකාරය සහ ඔවුන් පැන්සලෙන්, පින්සලෙන්, ඉරියව්වෙන්, අභිනයෙන් සහ ස්වරයෙන් ඉදිරිපත් කරන නිර්මාණාත්මක සම්පත් වලිනි.
සතිමත් ළමයා යහපත් ළමයකු වෙලා , ගෙදරත්,පාසලටත්,සමාජයටත් , වැඩ පොළටත්,රටටත් , ලොවටත් ඒ යහපත් කම බෙදා හදා ගන්න අකාරය දිනෙන් දින අපට “සති පාසලෙන්” දකින්ට ලැබෙනවා.
සති පාසලේ ප්‍රගතිය ඇගයීම කරනු ලබන්නේ ගුරු ශිෂ්‍ය සාකච්ඡා කිරීම, අත් දැකීම් බෙදා හදා ගැනීම, ලියනු ලබන සංකල්පනා, කාව්‍යමය ප්‍රබන්ධ හා විවිධ නිර්මාණාත්මක ක්‍රියා තුළින් මිස බුද්ධි පරීක්ෂණ නිර්ණායකවලින් නම් නොවේ. සතිය ඇගයීමට හැකි වන්නේ වැඩෙන සතිය තුළින් ම වීම සතියේ විශේෂ ලක්ෂණයකි.
මහින්ද දිසානායකයන් පහත දැක්වෙන ධම්ම පද ගාථාවක් ඇසුරෙන් පද ගලපා , ගුණදාස කපුගේ ශුරීන්ගේ ගායනය සඳහා ඉදිරිපත් කල කවි සංකල්පනාව කියවන විට මට මතක් වුනා සති පාසලේ දැක්ම සහ මෙහෙයුම ඒ වගේ නේද කියල . සතිය පුරුදු කරවන , පුහුණු කරවන ළමා මනස සතුට සැනසුම ලඟා කරගෙන ජීවිතය යහපත් දියුණුවකට යොමු කරවන්න “සති පාසලේ” දැක්ම සහ මෙහෙයුම එම ගාථාව තුලින්, එම කවි පබැඳුම තුලින් මනාවට දකින්න පුළුවන් වනවා. ළමා මනසකට මොනවද කරන්න බැරි “සතියක්” ඇත්නම්. එහි වටිනාකම මම දුටුවේ මෙසේ ය ;
“උදකන් හි නයන්ති නෙත්තිකා,
උසු කාරා නමයන්ති තෙජනන්,
දාරුන් නමයන්ති තච්චකා ,
අත්තානන් දමයන්ති පණ්ඩිතා”
“කුඹුරු ආදියට ජලය ගෙන යන තැනැත්තෝ තමන් කැමති තැනට දිය ගෙනයත්, ඊ සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්, වඩුවෝ තමන් කැමති පරිදි ලී නමත්, නුවණැත්තෝ තුමුම තමන් හික්මවා ගණිත් හෙවත් තමන්ගේ හිත දමනය කර ගණිත් “
මහින්ද දිසානායකයන් ධම්මපද ගාථාව ඇසුරෙන් ලිවූ කවි සංකල්පනාව;
දියාලුවෝ වේලි තනා
ඇළ පුරවා දිය හරවා
රන්වන් රන් වී ඇට වලින්
අටු පුරවා නම්
රුක් වඩුවෝ ලී කපලා
යතු ගාලා හැඩ ගහලා
මල් කම් ලිය කම් ඇඳ පුටු
රුවට තනා නම්
ලෝ කරුවෝ ගිනියම් කර
යකඩ තලා පන පොවලා
මුවහත ඇති අවි ආයුධ
නිම කරවා නම්
සසර පුරා සරණ තුරා
දුවන් පනින දඟලන හිත
දමනය කර සුව පත් වෙයි
නුවණක් ඇත්නම්
“සති පාසලේ දරුවන් සතිය පුහුණු කරමින් චිත්තවේගී අවදිමත් කම හරහා මානව සහ ජීවන කුසලතා දියුණු කර ගනිමින්, මනස සංවර කර ගනියි , තමන් හික්මවෙයි, සොබා දහමට ලංවෙයි, රට දැය වෙනුවෙන් සියලු කාර්යන්හි දක්ෂ වෙයි, ජාති ආගම් බෙදා වලින් තොර මානව හිතවාදී ගෙදරට, පාසලට, සමාජයට, රටට, ලොවට යහපත් මනුස්සයෙක් වෙයි “
සති පාසලේ පුංචි ළමුන්
පුංචි පතුල් පොළොවේ තබා
රන්වන් පස සරු කරලා
සතුටින් පුරවයි නම්
සති පාසලේ පුංචි ළමුන්
සෙවනට වී සැනසිලා
ඉරියව්වට හිත යොදලා
සැනසිල්ල ලබයි නම්
සති පාසලේ පුංචි ළමුන්
අරමුණකට හිත යොදලා
සතියෙන් සෙල්ලම් කරලා
සමගිය පෙන්වයි නම්
දුවන පනින දරුවන්ගේ
සොඳුරු ළමා ගති පැවතුම්
ගුණ නැණ පිරි විරුවන් වී
පිවිතුරු ලෙස සුරැකෙන්නේ
සතියක් ඇත්නම්
සති නුවණක් ඇත්නම්
සති විෂයය ඉගෙන ගන්නා හැම කෙනෙක්ම පූර්ණ අවධානයකින් යුතුව තම කාර්ය කිරීමටත් ජය පැරදුම සමසේ බාර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඔහුගේ පෞරුෂය සහ වීර්යය වැඩෙන අතර මඩෙහි උපන් නෙළුමක් “හිරු එළියෙන්” පිබිදෙනවා සේ ළමයින් කරදර බාධක මැද “සති එළියෙන්” පිබිදෙයි.
සෙමින්, සතියෙන්, නිශ්ශබ්දව මල් වගේ පිබිදෙන සති පාසලේ ළමයින් දකින්න මුළු ලොවම සැරසී ඉන්නා බව එදා කුමාරතුංග මුනිදාස ශුරීන් ලියු කවි සංකල්පනාවක් හරහා මම දකිනවා ;
සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී -ගෙනයි එන්නේ නෙළුම් විලේ මේ
අහස දෙසේ රෝස ගසත් සිනාසී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ”
“සති පාසල” එකම පවුලක් ලෙස “සෙමින් , සතියෙන්, නිහඬව” නිතරඟයෙන් , සම සිතින්, ජාති ආගම් බේද නොමැතිව , දැයේ දරුවන්ට සහ ලොවේ දරුවන්ට රැකවරණය , සතුට, නිරෝගිකම ඇති යහජිවනයක් ලඟා කර දෙන්නට උත්සාහ ගන්නේ වෙද කමට වඩා හෙද කම උතුම් බව පෙන්වා දෙමිනි. සති පාසලේ එම සතිමත් වූ උදාර ගමනට අපි සැම ආශීර්වාද කරමු.
රටක් දැයක් ගොඩ නගන්න දරුවන් තමයි අත්තිවාරම. මෙම අත්තිවාරම සවිමත් කලොත් පමණයි රටක් වශයෙන් ගුණ යහපත් කමින් , සමබර ආහාර වලින්,නිරෝගී කමින්, කාර්යක්ෂම කමින් සොබා දහමට අනුයාත රටක් ගොඩ නැගෙන්නේ.
එම “සවිමත්” කම සඳහා එකම මග, එකම විසඳුම “සතිමත්” කමයි.
මෙම කර්තව්‍යය දෝතින් බාර අර ගෙන පූජ්‍ය මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨාන ආචාර්ය පූජ්‍ය උඩ ඊරියගම ධම්මජිව ස්වාමීන් වහන්සේ විසින් දැයේ දරුවන් ගැන ස්නේහයෙන්,මෛත්‍රියෙන් , දයාවෙන්,කරුණාවෙන් ඔවුන්ට මේ අගනා සති පුහුණුව ලබා දෙන්න සැලසුම් කළා. සතර සති පට්ඨානය පුහුණු කර, තමන් ලද ප්‍රායෝගික අත්දැකීම් මුල් කර ගෙන ළමා මනසට අනුයාත වන ලෙස , ළමා මනසට ඔරොත්තු දෙන, ළමා මනසට හානියක් නොවන ලෙස “සති මාත්‍රය” කියන ක්‍රම වේදය “සති පාසල” හරහා හඳුන්වා දුන්නා. අද එය සාර්ථකව ලංකාවේ සහ ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා.
කුඩා දරුවන් ජාති ආගම් බෙදා වලින් තොරව හරි ලස්සනයි. ඔවුන්ට යමක් හඳුන්වා දුන්නොත් දෝතින් බාර ගන්නවා. ඔවුන් අහිංසකයි. ඔවුන්ට අත දුන්නොත් ශ්‍රී ලංකාව “ඉන්දු සයුරේ මුතු ඇටය” කියන නම නැවත ඔප නංවනවා. මුලු විශ්ව සාගරයටම මුතු ඇටය වනවා. ලංකාව “පෙර දිග භාණ්ඩාගාරය” කියන තත්වයට නැවත පත් කරන්න තම ජීවන කුසලතා දියුණු කර ගනිමින් රටක් ස්වයං පෝෂිත කිරීම සඳහා අවශ්‍ය පදනම ශක්තිමත් කරනවා.
ලංකාවේ සති පදනම ගුණ නැණින් යුත් සදාචාර සම්පන්න සතිමත් දරුවන් බිහි කරන්න ක්‍රම සහ විධි සකස් කරනවා. මෙසේ පුහුණුවන ළමයින් තමන්ගේ දක්ෂතා අනුව ඉගෙනීම සාර්ථකව කරනවා. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියල තමන්ගේ හැකියාව කුසලතාව , නිපුණතාවක් කර ගෙන ඉදිරියට යනවා. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” කියන එකට ගරු කරනවා. හැම වුර්තියක්ම අගය කරනවා. ශ්‍රී ලංකාවේ දරුවන් ගුණ නැණ පිරි විරුවන් සේ ජාති ආගම් බේද තුරන් කර “සති ධර්මයෙන්” රට එක සේසත් කරනවා.
වෙබ් අඩවි තුළින් ශ්‍රී ලංකා සති පාසල ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න ඔබටත් පුළුවන්.