fbpx
8 C
New Zealand
Thursday, October 21, 2021

සාර්ථකත්වයට shortcut නෑ – Interview with Suranga Nanayakkara by Sachithra Perera

Must read

ශ්‍රීLankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

මෙවර ශ්‍රීLankaNZ පිළිසඳරට එකතුවන්නේ විද්‍යාඥයෙක්, නව නිර්මාණකරුවෙක් මෙන්ම මහාචාර්යවරයෙක්. මේ  නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර මහතා.

 ඔබේ ගම්පළාත, අධ්‍යාපනය ලැබුවේ කොහෙද කියන තොරතුරු දැනගනිමින්ම අපි අපේ කතාබහට ප්‍රවේශයක් ගනිමු.

මම ලංකාවේ ඉපදුනේ පිළියන්ද. ප්‍රාථමික අධයාපනය පිළියන්දල කණිෂ්ඨ විද්‍යාලයෙනුත් උසස් අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් හැදෑරුවේ. ඉන් අනතුරුව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන්  මගේ ප්‍රථම උපාධියත් පශ්චාත් උපාධියක් ලබා ගත්තා. ඇමෙරිකාවේ MIT ආයතනයෙන් මගේ ආචාර්ය උපාධිය ලබාගත්තා.

·         ඇයි ඔබ විශ්වවිද්‍යාල අධයාපනයට විදෙස්ගත වෙන්නේ?

මම උසස් පෙළ සමත්වුණාට පස්සේ තෝරා ගැනීම් දෙකක් තිබුණා. මගේ උසස් පෙළ ප්‍රතිඵල අනුව මට ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් කිරීමේ  හැකියාවක්  තිබුණා.  ඒ වගේම අපේ නිවස පිහිටලා තිබ්බේත් මොරටුව විශ්වවිද්‍යාලයට ආසන්නවයි. තත්ත්වය එසේ තිබියදීත් මම විදෙස්ගත වුණේ මහාචාර්යවරයෙක් වීමේ මගේ දීර්ඝකාලීන ඉලක්කයට ඉක්මනින් ළඟාවෙන්න ඒ හරහා පුළුවන් වෙයි කියන විශ්වාසය නිසා.

·        ඔබ විශ්වවිද්‍යාල අධයාපනය ලබාගන්නේ සංස්කෘතිය, කෑම බීම, භාෂාව අතින් ලංකාවට වඩා වෙනස්කම් ඇති සිංගප්පූරුවෙන්. ශිෂ්‍යයෙක් ලෙස මේ වෙනස් පරිසරයට මුහුණදුන්නේ කොහොමද?

මම දැනගෙන හිටියා විදෙස්ගත අධයාපනය ලබන එක ලේසි කටයුත්තක් නෙමෙයි කියලා .භාෂාව හා සංස්කෘතිය වෙනස්.  පවුලේ අය හා හිතවතුන්ගෙන් වෙන්වෙලා අලුත් පරිසරයකට හැඩගැහෙන්න ඕනේ. ඒවගේම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කිරීමේදී අභියෝග මතුවෙනකොට හා ආර්ථික ගැටලු ඇතිවෙනකොට අධ්‍යාපන කටයුතු අතහරින්න හිතුන අවස්ථා තිබුණා.  හැබැයි මට ඉලක්කයක් තිබ්බ නිසා මේවා දරාගෙන ඉන්න පුළුවන්කමක් තිබුණා. 

ඒවගේම මේක දිගටම කරගෙන යන්න මගේ පවුලේ අයගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා . ටික කාලයක් යන කොට අලුත් පරිසරයට හැඩගැහිලා අලුත් යාළුවෝ මුණගැහුණා.  ඒ අතරේ හැමතිස්සෙම  මගේ ඔළුවේ තිබුණා මම ආව කාරණය මොකක්ද කියලා.  ඒ වගේම වැඩ කරන්න අවස්ථාවන් ලැබෙන කොට, ටිකෙන් ටික සාර්ථක වෙනකොට  ආරම්භයේදී තිබුණ අපහසුතාවයන් මඟහැරුණා. ඉන් පස්සේ දිගින්දිගටම මේ ගමන  ලේසි වෙනවා මිසක් අමාරුයි  වුණේ නෑ.

මට St. Luvis විශ්වවිද්‍යාලයට ශිෂයත්වයකින් යන්නත් අවස්ථාවක් තිබුණා. හැබැයි හේතු කිහිපයක් නිසා මම හිතුවා සිංගප්පූරුව වගේ රටකට යන එක හොඳයි කියල.  එකක් ඇමරිකාවට වඩා ලංකාවට ළඟයි.  ඒ නිසා මට නිතරම ලංකාවට එන්න යන්න පුළුවන්. ඒ වගේම වෙන රටවලට වඩා සිංගප්පූරුවේ ජීවන වියදමත් අඩුයි.  අනෙක් හේතුව තමයි මට ශිෂ්‍යත්වයක් ලැබුනේ නැතත් සිංගප්පූරුවෙන් ටියුෂන් වියදමයි, අනෙකුත් වියදම් සඳහා යන වියදම මාසික ණය මුදලක් විදිහට දුන්නා.  ඒ නිසා financial assurance එකක් තිබුණා.

 

·         ඔබේ කතාබහේදී කියවුණා ඉංග්‍රීසි භාෂාව අභියෝගයක් වුණා කියලා. නමුත් ඔබ ඉතාමත් විශිෂ්ට අන්දමින් අධ්‍යාපන කටයුතු අවසන් කරනවා පමණක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට මහාචාර්යවරයෙක් ලෙසත්  කටයුතු කරනවා. කොහොමද මේ අභියෝගය ඉතාමත් සාර්ථක අන්දමින් ජයගත්තේ?

ලංකාවේ විභාග ක්‍රමයට අනුව විභාග පාස් වෙන්න ඉංග්‍රීසි අත්‍යවශ්‍යම වෙන්නේ නෑ. ඒ වගේම අධයාපන ක්‍රමය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඉංග්‍රීසි ඉගෙනගැනීමට වඩා විභාග සමත්වීමට.  මේ නිසා ලංකාවේ ළමයින්ට  ඉංග්‍රීසි භාෂාවේ හොඳින් හසුරුවන්න නොහැකි වෙන්නේ ඔවුන්ගේ වෙලාව වැඩිවශයෙන් යොදවන්නේ තරගකාරී විභාග සමත්වීමට පමණක් නිසා.

මම විශ්වාස කළ දෙයක් තමයි ගණිතය, භෞතික විද්‍යාව, රසයන විද්‍යාව ආදී අසීරු විභාග සාර්ථකව සමත් වුණා නම්  ඉංග්‍රීසි ඉගෙනගන්න එක අසීරු දෙයක් නෙමෙයි කියලා. සිංගප්පූරුවේදී මුලින්ම ඉංග්‍රීසි භාෂාවෙන්  දේශන වලට ගියාම ඒ දේශන සියල්ල පටිගත කර ගත්තා.  ඊට පස්සේ ඒ දේශන ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන ශබ්ද කෝෂකෝෂ උදව්වෙන් තේරුම් ගත්තා. ටික කාලයක් මේ විදියට වැඩ කරනකොට වැඩිකල් නොගිහින්ම ශබ්දකෝෂ නැතුවම දේශන තේරුම් ගන්න පුළුවන් වුණා. මට හිතෙන්නෙ භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ අලුතෙන් ක්‍රීඩාවක් එහෙමත් නැත්නම් අලුතෙන් වාදන භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්නවා වගේ දෙයක්. උනන්දුවයි, ප්‍රායෝගික භාවිතයයි තියනවනං මේක අමාරු දෙයක් නෙමේ.

අනෙක් කාරණය තමයි වගේ දේවල් වලට ළමයින්ට උපකාර කරන්න support system එකක් හදන්න ඕනේ. මම මගේ අත්දැකීම්වලින් දැනගත්ත දෙයක් තමයි අපි ඉංග්‍රීසියෙන් කතා කරන්න බය වෙන්නේ වැරදුනාම මිනිස්සු හිනාවෙයි කියල. ඇත්තටම තමන්ගේ මව් භාෂාව කතා කරන්න බැරිනම් තමයි අපි ලැජ්ජවෙන්න ඕනේ. වෙනත් භාෂාවක් කතා කරලා වැරදුනා කියලා එක ලැජ්ජ වෙන්න ඕනෙ කාරණයක් නෙමෙයි. මේ ගැටලුව නිසාම මම අලුතෙන් මෘදුකාංගයක් හැදුවා Sayhello කියලා. ඒකෙන් කරන්නේ තමන් කතා කරන දේ ගැන විශ්වාසයක් නැත්තං, වෙනත් පුද්ගලයෙක් ඒකට හිනාවෙයි කියලා බයයි නම් virtual character එකක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙන එක. එහෙම කතා කරලා පුහුණුවෙලා, තමන්ගෙ උපරිමයෙන් කළා කියලා සෑහිමකට පත් වුණාට පස්සේ ඒ ඕඩියෝ ක්ලිප් එක ගුරුවරයෙක්ට යවලා පරික්ෂා කර ගන්න පුළුවන්. මෙහිදී ගුරුවරයා හා ශිෂ්‍යයා එකිනෙකාව පෞද්ගලිකව හදුනන්නේ නෑ. පසුගිය අවුරුද්දේ දියත් කළ මේ app එක මේ වෙනකොට හැත්ත දාහක් විතර download කරගෙන දෙනවා. 

විදෙස්ගත උසස් අධාපනයේ නව ප්‍රවණතාවයන් මොනවාද?

දැන් ලෝකේ තාක්ෂණයයි, ඉගෙන ගන්න විදිහයි වෙනස්.  ඇත්තටම දැන් විෂයක න්‍යායාත්මක කරුණු මතක තියා ගන්නවා කියන එක ලොකු දක්ෂතාවයක් නෙමෙයි.  සැබෑ දක්ෂතාවය තමයි ඉගෙන ගන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක. ඒ කියන්නේ තමන් දෙයක් හරියටම දන්නවද  නැද්ද කියලා තමන්ටම විනිශ්චය කරගන්න පුළුවන් වෙන එකයි, තමන් ඒ දේ දන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ මම දන්නෙ  නැති දේ දැනගන්නේ කොහොමද කියලා දැනගන්න එකයි. ඒ දෙක කරගන්න පුළුවන් නම් තොරතුරු ඕනතරම් තියනවා.  දැන් අන්තර්ජාලයේ Open courses, දේශන ඕනදෙයක් තියෙනවා.

ඒ වගේම මහාචාර්යවරු  විදිහට දැන් අපේ භූමිකාව වෙනස් වෙලා තියෙන්නේ. අපි උගන්වන්නේ ඒ විෂය ඉගෙන ගන්න එකේ වැදගත්කමයි,   ඉගෙන  ගන්නේ කොහොමද කියන එකයි.  එහෙම නැතුව Education Materialsම නැවත උගන්වලා වැඩක් නෑ.

ඒ වගේම යම් ශිෂ්‍යයෙක් Education Materials ලබාගන්න අවශ්‍ය නිසාම වෙනත් රටකට යන්න හිතනවා නම් එය තේරුමක් නැති දෙයක්. මොකද මේවා අන්තර්ජාලයෙන් ලබාගන්න පුළුවන්. තමන්ටම Self Studies කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට MIT එකේ ‍ඉගෙනගන්න ශිෂ්‍යයෙක්ට ලැබෙන Education Materials ටිකම අන්තර්ජාලයෙනුත් ලබාගන්න පුළුවන්. නොලැබී යන්නේ  අනිත් ශිෂ්‍යන් සමඟම එකට ඉදිමින්ම ඒ විශ්වවිද්‍යාල පරිසරයේ වැඩ කරන්න ලැබෙන අවස්ථාව පමණයි. වෙනත් රටකට යන්න හිතනවානම් යන්න ඕනේ මේ දෙවනුව සඳහන් කළ දේ උවමනානම් විතරයි. විෂය කරුණු විතරක් ඉගෙන ගන්න ඕනේ නම් ඒක තමන් ඉන්න රටේදිම  කරගන්න පුළුවන්.   

ඒ නිසා තමන් උසස් අධාපනයට විදෙස්ගත වෙනවද කියල තීරණය කරන්න ඕනේ තමන්ගේ අනාගත ඉලක්කයට එයින් ලැබෙන රුකුලත්, අත්දැකීම් හා සංස්කෘතික බලපෑම කොයිතරම් වැදගත් වෙනවද යන්න මතයි. ඊට අමතරව විදේශයක රැකියා අත්දැකීම් ලබාගැනීම හා සංක්‍රමණය වීමට ඇති කැමැත්තත් මෙයට හේතු වෙන් පුළුවන්.

 

·         ඔබ හිතන විදිහට පරිගණක හා තාක්ෂණිය අංශයෙන් ඵලදායී අධයාපනයක් (Best Knowledge) ලබාගන්නේ කොහොමද?

 ඇත්තටම පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගන්න ඔබගේ සහතිකය කුමන  විශ්ව විවිද්‍යාලයකින් ද කියන දේ අදාල වෙන්නේ නෑ. පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වෙන්න ඕනේ නම් Eeducation Materials අන්තර්ජාලයෙන් ලබාගෙන ස්වයං අධ්‍යනයේ යෙදිලා න්‍යායාත්මක දැනුම ලබාගන්න පුළුවන්. ‍මේ ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් නම් තොරතුරු තාක්ෂණයේ ප්‍රමුඛ සමාගම් වලින් රැකියාවක් හොයාගන්න එක අපහසු දෙයක් නෙමෙයි.

අනෙක් කාරණය තමයි තමන්ගේ පාරිභෝගිකයන්යන් සමඟ  මෙන්ම ආයතනික  ප්‍රධානීන් සමඟ සාර්ථකව සන්නිවේදනයේ යෙදෙන්න හැකි වෙන්න ඕනේ. ඒවගේම වෘත්තිමය පසුබිමක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. මේ දෙවල් සමඟම තමන්ගෙ නිර්මාණ සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න පුළුවන්.

 

·         ඔබ මහාචාර්යවරයෙක්ට අමතරව විද්‍යාඥයෙක් මෙන්ම නව නිර්මාණකරුවෙක්ද වෙනවා. ඇයි ඔබ නව නිර්මාණ කරන්නේ?

මම කරපු සෑම නව නිර්මාණයක්ම විශේෂ හේතුවක් නිසා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අපි නව නිර්මාණයක් කරන්නේ නව නිර්මාණයක් කරන්නම ඕන කියලා හිතලා නෙමෙයි. ප්‍රායෝගික භාවිතයේදී මිනිසුන්ට ඇතිවන ගැටලු අපි තාක්ෂණය උපයෝගී කරගෙන විසදන්නේ කොහොමද කියන ගැටලුවට උත්තර හොයනකොට තමයි නව නිර්මාණ බිහිවන්නේ. මගේ ප්‍රශ්නය වුණේ තාක්ෂණයත් එක්ක එකතුවෙන්න නම් ඇයි අපිට අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ වෙන්නේ. සාමාන්‍යයෙන් අප මිනිස් ජීවිතයේ කරන දේවල්ම තාක්ෂණයටත් ඒ විදියටම පාවිච්චි කරන්න බැරිද? තවත් විදියකින් කියනවා නම් තාක්ෂණය මෙතරම් දියුණු නම් තාක්ෂණය අපිව ඉගෙන ගෙන, අපිට උදව් කරන්න අවශ්‍යයයිනේ. 

මුලින් කිව්ව වගේ මම සිංගප්පූරුවට යනකොට පරිගණකය හසුරුවන්න වැඩි දක්ෂතාවයක් තිබුණේ නෑ. මම ඒක දැක්කේ මගේ ගැටලුවක් විදියට නෙමෙයි තාක්ෂණයේ ප්‍රශ්නයක්  විදියට. අපි සාමාන්‍යයෙන් පෑනක් එහෙමත් නැත්නම් පොතක් තව කෙනෙක්ට දෙනවා වගේ ඩිජිටල් දේවල් දෙන්න බෑ. එහෙම කරන්න නං මම Touch Typing, Email Dropbox වගේ දේවල්  ඉගෙන ගන්න ඕනේ. මම කරපු එක නව නිර්මාණයක් තමයි යම් දෙයක් තව කෙනෙක්ට දෙන්න අවශ්‍ය නම් අපි කරන්නේ ඒක අතින් අරන් අනිත් එක්කෙනාගේ අතට දෙන එක.  නමුත් තමන්ගේ දුරකතනයේ තියන පොටෝ එකක් හෝ ‍ෆයිල් එකක් තව කාටහරි දෙන්න නම් අතකින් අතකට දෙන්න බෑ. මේ අපහසුතාවය මඟහරවන්න  2011දි මම MIT එකේ ඉන්නකොට ඇප් එකක් හැදුවා. ඒ මඟින් තව කෙනෙක්ගෙ දුරකථනයකට යවන්න ඕන ඡායාරූපයක් හෝ ෆයිල් එකක් මගේඇගිලි තුඩට ගෙන එය අනිත් කෙනාගෙ දුරකථනයට යවන්න පුළුවන්. මෙය හැඳින්වූයේ SPARSH’ කියලා.

තව උදාහරණයක් තමයි අන්ධ පුද්ගලයෙක්ට ස්මාට් දුරකථනයකින් ප්‍රයෝජනයක් ගන්න එක ඉතාම අසීරු ඒ වගේම කාලය ගතවෙන වැඩක්. සාමාන්‍යයෙන් සිදුවන්නේ මුලින්ම දුරකථනය unlock කරගෙන ඡායාරූපයක් ගත්තට පස්සේ සමහර තාක්ෂණික අංගයන්ගෙන් ඒ ඡායාරූපය හඳුනාගෙන ඒ අන්ධ පුද්ගලයාට ඒක පිළිබඳ ශ්‍රව්‍ය විස්තරයක් ලබා දෙන එක.

මෙතනදි මගේ සංකල්පය වුණේ පුංචි කාලේ ඉඳලම අපි පුරුදු වෙලා ඉන්නේ අපිට දෙයක් ගැන දැනගන්න අවශ්‍ය නම් ඇඟිල්ල දික්කරලා අහනවා අරක මොකක්ද, මේක මොකක්ද කියලා.   එම න්‍යාය පදනම් වෙලා අපි කුඩා කැමරාවක් සහිත මුදුවක් නිර්මාණය කරා. අන්ධ පුද්ගලයෙක්ට මේ මුදුව පැළඳ ඇඟිල්ල දික් කළ විට මුදුවේ ඇති කැමරාවෙන් අදාළ භාණ්ඩය හඳුනගෙන ඒ කුමක්ද කියලා කියලා ඔහුට පවසනවා. ඒ මඟින් ඕනෑම දෙයක් ඉතාම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

මේ නව නිර්මාණ කරන මගේ කණ්ඩායමේ 28 දෙනෙක් ඉන්නවා. මේ වන විටත් අප ව්‍යාපෘතීන් දහයක් පමණ කරමින් ඉන්නේ.

·       මේ නව නිර්මාණ පටිපාටිය ( Innovation Process) එක මොනවගේද?

මම තේරුම් ගත්ත දේ තමයි නව නිර්මාණ කරනවා කියන එක  සහජයෙන් එන දක්ෂතාවයක් නෙමෙයි. ප්‍රායෝගික භාවිතයත් නිවැරදි මඟ පෙන්වීමත් තියෙනවා නම් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම නව නිර්මාණ කියන්නේ දවසකින් දෙකකින් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර දේවලට සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්.  මම අපේ භාවිතයේ පහසුවට මේ නව නිර්මාණ පටිපාටිය බොහොම සරල කළා.   මුලින්ම විසඳන්න ඕන ගැටලුව මොකක්ද කියලා නිවැරදිව හඳුනාගන්න අවශයයි. (Discover). දෙවනුව ඒ ගැටලුවේ ලිහාගන්න අවශ්‍ය තැන නිවැරදිව හදුනාගෙන නිර්වචනය කර ගන්න ඕනේ (Define). ඉන් අනතුරුව අපි එක  වැඩිදියුණු කරන්න ඕනේ (Develop). මෙතැනදි යම් ගැටලුවක් විසදන්න යොදාගන්න පුළුවන් ක්‍රම, නව අදහස් කිහිපයක්ම තියෙන්න පුළුවන්. නමුත් කොතරම් නව අදහස් තිබුණත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒවා සාර්ථක වෙන්නේ නෑ. (Deliver) මේ  නව අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලාම තමයි ඒව සාර්ථකද නැද්ද කියලා හොයා ගන්න වෙන්නේ. අපි මේ ක්‍රියාපටිපාටිය හදුන්වන්නෙ 4D Approach කියලා .

 

·       කලින් සදහන් කළා වගේ ඔබ විද්‍යාඥයෙක්, නවනිර්මාණකරුවෙක් හා මහචාර්යරෙයෙක්.

මේ චරිත තුන අතරින් ඔබ වඩාත් කැමති කාටද?

මං පොඩිකාලේ සිටම ගොඩක් කැමැත්තෙන් හිටියේ මහාචාර්යවරයෙක් වෙන්න.  මහාචාර්යවරයෙක් වීම තුළින් මේවෙන කොටත් මට ශිෂ්‍යයින් විශාල ප්‍රමාණයකගේ අනාගතය ගොඩ නගන්න පුළුවන් වෙලා තියෙනවා. 2011 මම මහාචාර්යවරයෙක් වූදා සිට මේ දක්වා ශිෂ්‍යයින් බොහෝ ප්‍රමාණයක් මාත් එක්ක වැඩ කරල  අනාගතය සාර්ථක කරගෙන තියෙනවා. ඒ හැමකෙනක්ම වගේ මා ළඟට ආවාට වඩා සාර්ථක තැනක මේ වනවිට ඉන්නේ. මගේ ශිෂ්‍යයන්ට මට වඩා හොඳ තැන්වලට යන්න මාර්ගය හදලා දීලා මම ලබන්නේ අප්‍රමාණ සංතෝසයක්. ඒ දේ මට ලැබුණේ මං මහාචාර්යවරයෙකු වුන නිසා. ඒ වගේම මම මහාචාර්යවරයෙක් වීම නිසාම තමයි මට නව නිර්මාණ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙන්නේ.

 

·         පොඩි කාලේ සිටම මහාචාර්ය මහාචාර්යවරයෙක් වෙන්න හීන දකින්න විශේෂ හේතුවක් තිබුණද?

හැමෝට පොඩි කාලේ ඉඳලම ඔළුවේ ඇඳුණු සිහිනයක් තියෙනවනේ. ඒ වගේ පොඩිකාලේ ඉදලම මගේ ආශාව තිබුණේ මහාචාර්යවරයෙක් වෙන්න. මම මහාචාර්යවරයෙක් වෙන්න හිතුවෙ මට ජීවිතේ සාර්ථක කරගන්න තියෙන හොඳම මඟ මේක කියන දේ නිසා නෙමෙයි. මම ආසම දේ ඒක නිසා. සමහරවිට මම මේ දේට ආස  වෙන්න ඇත්තේ ක්‍රීඩාවට සහ කලාව‍ට මම වැඩි දක්ෂතාවෙන් පෙන්නුවෙ නැති නිසා වෙන්නත් ඇති.  මම ලොකු කැමැත්තක් සහ දක්ෂතාවයක් දැන්වූයේ දැක්වූයේ ඉගෙන ගන්න.  මගේ පවුලේ කිසිම කෙනෙක් මහාචාර්යවරයෙක් නෙමෙයි විතරක් නෙමෙයි මහාචාර්යවරයෙක් වෙන්න කියලා ගෙදරින් කිසිම බලපෑමක් කළේ නෑ.පොඩි කාලේ ඉඳන්ම මට තිබුණේ කෙටිකාලීන ඉලක්කයක් නෙමෙයි. මගේ ඉලක්කය වුණේ උසස් පෙළට ඒ හතරක් ගන්න එක නෙමෙයි.  ඊට වඩා දුර ඉලක්කයක් මට තිබුණේ.

සමහර ළමයි මගෙන් අහනව සාර්ථක වෙන්න නම් මම කරන්න ඕනේ ඉංජිනියරින්ද නැත්තං computer science ද කියලා.මං කියන්නේ ඒ මොනාවත් වැඩක් නෑ ඔයා ආස මොකද්ද කියන එකයි වඩා වැදගත් වෙන්නේ කියලා. වඩා වැදගත් වෙන්නේ තමන් කැමති ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන එක.

 

·        ඔබගේ ක්ෂ්ත්‍රය වෙන්නේ Humanity in Technology. මොකක්ද මේ Humanity in Technology?

මිනිසාගේ ස්වභාවික හැසිරීම් සමඟ තාක්ෂණය භාවිතා කරන්න බැරි වෙනකොට ඇතිවෙන ගැටලුව තමයි මේක තේරෙන්නෙ නෑ අරක තේරෙන්නෑ කියලා තාක්ෂණය අත්හැරලා දාන එක. එහෙම වෙනකොට මිනිස්සුන්ට හිතෙන්නේ තාක්ෂණය නොදන්නාකම තමන්ගෙ අදක්ෂතාවයක් කියලා. අපි නව නිර්මාණ කළාට වැඩක් නැහැ ඒවා  භාවිතය අපහසු නම්. අපේ අරමුණ තමයි තාක්ෂණය මිනිස්සුන්ට පාවිච්චි කරන්න ලේසිම විදියට, මානුෂික මුහුණුවරකින් ඉදිරිපත් කරන එක. ඒවගේම අපි ජීවත්වන විදිය වෙනස් කරන්නේ නැතුව තාක්ෂණය අපිට ඕන විදිහට අපිට උපකාර කරන්න යොදාගන්න. මේ සඳහා අපි භාවිතා කරන තේමාව වන්නේ Lets Humanities Technology. මම කලින් සදහන් කළ නව නිර්මාණ සියල්ලම වගේ මේ දේවල්. යම් කාර්යයකට  තාක්ෂණය පසුබිමින් සිට උපකාර කරන්නේ නැතුව අපේ මානුෂීය සම්බන්ධතාවයන් වෙනස් කරමින් පාලනය කරන්න ගත්තොත් තාක්ෂණයෙන් මිනිසාට අවශ්‍ය දේ නෙමෙයි වෙන්නේ.

 

·         ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට ඔබේ ජිවිතයේ හැරවුම් ලක්ෂය කුමක්ද?

හැරවුම් ලක්ෂ ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් ප්‍රධාන වෙන්නේ 10 වසරෙදි මම පන්තියේ ප්‍රථම ස්ථානය ලබාගැනීම. මම ඉස්සර අධ්‍යාපනයට ගොඩක් දක්ෂතා දැක්වූ ළමයෙක් නෙමෙයි. බොහෝ අවස්ථාවල වාර විභාගවලින් පහලොස්වැනියා හෝ විසි වෙනියා අතර ස්ථානවල තමයි රැඳිලා හිටියේ. නමුත් 10 වසරෙදි මම පන්තියේ පළවෙනියා වුණා. ඒ අවස්ථාවෙදි මට ලැබුණු අගය කිරීම් හා පිළීගැනීම් නිසා එය මට විශාල උත්තේජනයක් වුණ නිසාම පාසලෙන් ඉවත් වෙනකම්ම මම සමස්ත ශ්‍රේණියේම පළවෙනියා වුණා. ජීවිතයේ හැරවුම් ලක්ෂ කීපයක් තිබුනත් මම හිතන්නේ මම දැන් ඉන්න තැනට එන්න වඩාත්ම වැදගත් වුණේ මම 10 වසරෙදි පංතියේ පළවෙනියා වෙලා අධ්‍යාපන කටයුතු සාර්ථකවීම තුළින් කැපීපෙනෙන්න පුලුවන් කියලා තේරුම් ගත්ත දවස. එම හැරවුම් ලක්ෂයන් තමයි අනිකුත් හැරවුම් ලක්ෂන්ටත් පාර කැපුවේ.

 

·         කාර්ය බහුල වැඩකටයුතු අතරේ ඔබේ මනසට විවේකයක් ලබන්න ඔබ කරන්නේ කුමක්ද?

අපි වැඩ කරන විදියත් එක්ක වැඩි වෙලාවක් ගතකරන්න වෙන්නේ පර්යේෂණාගාරයේ. ඒ නිසා  පර්යේෂණාගාරයත් මට මගේ ගෙදර තරම්ම  ජීවිතයට බොහොම සමීප තැනක්.බොහොම කලාතුරකින් තමයි මටම කියලා වෙලාවක් හම්බ වෙන්න. එහෙම කලාතුරකින් මටම කියලා වෙලාවක් හම්බ වුණත් මම කැමැත්තියි උද්‍යානයක එහෙම නැත්නම් විවේක ස්ථානයකට වෙලා මොකුත්ම නොකර ඉන්න. 

 

·         අවසාන වශයෙන් මේක කියවන පාඨකයන්ට ඔබට දෙන්න තියෙන්නේ මොනවගේ පණිවිඩයක්ද?

මම විශ්වාස කරන්නේ අධ්‍යාපනික වශයෙන් හෝ  වෙනත් දේවල් සම්බන්ධයෙන් තමන්ට ජීවිතේ සිහින තියන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතය අයාලේ යනවා. වැදගත්ම දේ තමයි කවදාවත්ම තමන්ගේ සිහිනවලට යන්න කෙටි මාර්ග හොයන්න එපා. මම මගේ හීනේ හැබෑ කර ගත්තේ අවුරුදු විස්සක් අඛණ්ඩවම මහන්සි වෙලා. කැපවීම තියෙනවා නං තමන්ගේ සාර්ථකත්වයට වාසනාව කියන දේ ඒ තරම් අදාල වෙන්නේ නෑ. කෙටියෙන්ම කියනවා නම් සාර්ථකත්වයට shortcut නෑ

සචිත්‍රා පෙරේරා

Full video interview 

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article

error: Content is protected !!