” නමින් පන්තක භාතිය සිරිවර්ධන වන වෘතියෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස පෞද්ගලික අංශයේ වසර 35 ක් පමණ සේවය කර ඇත. කුඩා කාලයේ සිටම පොත් කියවීමට තිබූ ලැදියාව පසු කාලයක ලේඛකයෙකු වීමට ඔහුට දිරියක් විය. 2020 දී ඔහුගේ ප්‍රථම නවකතාව “සොඳුරු ආඥාදායකයා” නමින් ප්‍රකාශයට පත් කර ඇත. එතැන් සිට අඛණ්ඩව ඔහු ලේඛන කටයුතුවල නිරත වු අතර මේ වන විට නවකතා පොත් දෙකක් සහ කෙටිකතා එකතුවක් ඔහු විසින් ලියා ඇත. එම කෙටිකතා එකතුවෙන් එකක් “පිතෘත්වය” නම් කෙටිකතාව මෙතැන් සිට පාඨක ඔබ වෙත අපි රැගෙන එන්නෙමු. “
උසස් රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස සේවය කරන පාලිත කුඩාවැල්ල වයස අවුරුදු පනස් දෙකක් වන තරමක් කඩවසම් පෙනුමැති ක්‍රියාශීලී පුද්ගලයෙකි. ඔහුගේ වයසේ බොහෝ අයට වඩා පාලිත නීරෝගීකම ගැන සැලකිලිමත් නිසාම, ඔහුගේ ශරීරය තරමක් කෙට්ටුය. ඔහු සතියකට දින තුන හතරක් ඇවිදීමට යයි. යෝග ව්‍යායාම් කරයි. කෑම බීම ගැන ටිකක් සැලකිලිමත් පාලිත දුම්පානය නොකරයි. පාලිතගේ රාජ්‍ය සේවයට දැන් වසර විසිපහක් සපිරේ. තව අවුරුදු හත අටක් සේවය කිරීමට පුළුවන.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රජයේ ලිපිකරු පත්වීමක් ලද ඔහු ලැබ රාජ්‍ය දැව සංස්ථාවේ අම්පාර ශාඛාවේ සේවයට අනුයුක්තව තම රාජ්‍ය සේවය ආරම්භ කළේය.
තම උපන් ගම වූ මාතර පුහුල්වැල්ලේ ජීවිතයට පුරුදු වී සිටි පාලිතට අම්පාර ප්‍රදේශය එහෙම පිටින්ම වෙනස් පරිසරයක් ළං කළේය. තම සේවා ස්ථානයට මද දුරක් ඈතින් නිවසක නවාතැන් ගත් පාලිත දිනපතා වැඩට ආවේ ගියේ බයිසිකලයෙනි. හැතැප්ම දෙකක් උදේ හවස බයිසිකලයෙන් යන එන පාලිත එය විනෝදයක් කර ගත්තේය. වැඩ ඇරී සවසට ගම වටේ රවුමක් ගසා අවට බලා කියාය පාලිත නවාතැනට යන්නේ.
පාලිත වැඩට පැමිණ ටික කලකට පසු රාජ්‍ය පරිපාලන සේවයට සුදුසුකම් ගැනීමට අවශ්‍ය තරග විභාග වෙනුවෙන් උගැන්ම පටන් ගත්තේය. කොළඹ ගොස් අවශ්‍ය පොත්පත් ගත් පාලිත සමහර සෙනසූරදා දිනක කොළඹ පැවති පංතියකට ද සහභාගි වෙයි. කලබලයක් නැතිව පොත්පත් ඉගෙනීමේ වැඩ කරන පාලිත ගෙදර යන්නේ සති අන්තයේය. සිකුරාදා සවස ගෙදර යන පාලිත සඳුදා උදෑසනින්ම ගෙදරින් එයි. නවාතැන් ගෙන සිටින ගෙදර කෑමවල වරදක් නැතත්, පාලිතට තම මව උයන කෑමට වඩා කැමතිය. සඳුදා ගෙදරින් එන විට අම්මා කිසියම් කෑමක් වැඩිපුර සාදා දෙන්නේ තියාගෙන කන ලෙස කියමිනි.
‘පුතා මේක නරක් වෙන්නේ නෑ, තියාගෙන ටික ටික කන්න,’ යි අම්මා කීවත් පාලිත එය ගෙන ගොස් නවාතැනේ අයට දෙයි. තමා පමණක් එය කන්නේ කෙසේදැයි පාලිතට හිතේ. අම්මා විසින් සාදා දෙන මාලු ඇඹුල්තියල්වලට එම ගෙදර අය හරිම කැමතිය. ඒ ගෙදර සිටින්නේ අඹු සැමි යුවලත් පාසල් යන වයසේ දූ දරුවන් තුන් දෙනෙකුත් ය. පාලිත හැකි විටක ඔවුන්ගේ පාඩම් වැඩට ද උදව් වෙයි. ඔහුගේ උත්සාහය එක් වරම SLAS විභාගය සමත් වීමය. ඒ වෙනුවෙන් ඔහු ස්වෝත්සාහයෙන් ඉගෙනීම් වැඩ කරයි.
උනන්දුවෙන් කටයුතු කරන ක්‍රියාශීලී අයෙකු වූ පාලිත කාගෙත් සිත් දිනාගත්තේය. එසේ සිටීමට ඔහු කැමතිය. නමුත් ඔහු එතරම් සමාජශීලී කෙනෙකු නොවීය. කාර්‍ය මණ්ඩලයේ සිටි සුළු පිරිස එකිනෙකා සමඟ බොහෝ කුළුපග අය වූ බැවින් රාජකාරි වෙලාවෙත් නිතර සතුටු සාමීචියේ යෙදෙමින්ය ඔවුන් වැඩ කළේ. එසේ කිරීමට නිදහස් වාතාවරණයක් එහි විය. සති අන්තයේ කාගේ හෝ ගෙදරක හෝ නවාතැනක සෙට් වීම ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වී තිබුණි. එවැනි බොහෝ අවස්ථා නම් පාලිත මඟ හරින්නේ කුමන හෝ බොරුවක් කියාය. යාලුවන්ගේ කරදරයෙන් බේරීමට නොහැකි වුණොත් ටික වේලාවක් සිට මත්පැන් ස්වල්පයක් තොල ගාමින් සිට එතනින් පිට වෙයි. නමුත් පාලිත නොමසුරුව ඒවාට දායක වෙයි. පාලිතගේ හැටි යළුවෝ දන්නා බැවින් ඔහුට වැඩිය කරදර කරන්නේ නැත.
පාලිත වඩා කැමති ස්වභාව සෞන්දර්යය රස විදීමටය. ගමේ කොහේ හෝ ඇවිදින්නට යන ඔහු ඇලකට, දොලකට හෝ වැවකට බැස නායි. වැව් තාවුල්ලේ වාඩි වී පොතක් කියවීමට ඔහු රුචිය. කුඹුරු යායවල්, එළවළු කොරටු මැදින් ඇවිදින්නට යන ඔහු ගොවියන් සමඟ කතාබහ කරමින් අත්දැකීම් ලබයි. සමහර දිනක හැතැප්ම හතර පහ මෙසේ ඇවිදියි. ඔහුගේ විනෝදාංශය මෙයයි. ඔහු අපූරු වින්දනයක් ලබන්නේ පරිසරයේ සුන්දරත්වය ඉහළින්ම විඳ ගනිමිනි. තමාට ලැබුණ මේ අවස්ථාව ගැන ඔහු සතුටු වෙයි. මෙතෙක් කල් ඉගෙනීමට කැප වුණා මිස ඔහු ගමේදීත් ඒ හැටි ඇවිද්දේ නැත.
පාලිත කාර්යාලයේදී වැඩ කරන්නේ වගකීම කරට ගෙනය. නිවාඩු ගන්නේම නැති තරම් ය. කිසි වැඩක් අතපසු කරන්නේ නැත. පාලිතට මේ පුරුදු ඇති වීමට ප්‍රධානම හේතුව ඔහුගේ දෙමව්පියන්‍ගෙන් ලැබූ ආභාසය බව ඔහු දනී. වැඩි ධනවත් කමක් නැතත් ඔවුන් වැදගත් ලෙස ජීවත් වේ. පාලිත ඇතුලු ඔහුගේ සහෝදර සහෝදරියන් හතර දෙනා සහ දෙමව්පියන් අතරත් ඇත්තේ එකිනෙකා කෙරෙහි වූ සෙනෙහසකි, ගෞරවයකි. ඔවුන් අතර විසීම පාලිත මහත්සේ ප්‍රිය කළේය.
‘අක්කලා එක්ක හුරතල් වෙවී හිටිය ඇති දැන්, ’ අම්මා කියන්නේ පාලිතට ඇහෙන්නටය. අක්කලා දෙන්නා කසාද බැඳ ඒ අවටම ජීවත් වෙති. එම නිසා තවම පවුල විසිරී නැත. එය වාසනාවකි.
‘ඔව් ඔව් අම්මේ ! අපිත් මේකට මේ කියන්නේ ඒක තමයි. ඔෆිස් එකේ කෙල්ලෙක්වත් නැද්ද කියලා, ’ යි ලොකු අක්කා විහිලු කරන විට මස්සිනාද කුමක් හෝ විහිලුවක් කරයි. එවිට මල්ලී,
‘ඇයි නැවතිලා ඉන්න ගෙදර ? පාඩම් එහෙම කියා දෙනවා කියලා ඔය කියන්නේ ?’ යි කියා සිනාසිසී දුවයි.
‘ආ උඹට ඕන්නං මං එහෙන් එකක් සෙට් කරලා දෙන්නං, ’ පාලිත එවිට මල්ලිට කෑගා කියයි.
‘මේ මේ ඕවා කොහෙන් කොහොම කෙලවර වෙයිද දන් නෑ,’ මස්සිනා කියන්නේ පාලිතව අවුස්සන අදහසින්ය.
‘ඉතින් ලොකු මස්සිනාට නෙව යුතුකම තියෙන්නේ සොයා බලන්න, ’ එසේ කියන්නේ තාත්තාය. එවිට හැමෝම හිනා වෙවී ඔහුට විහිලු කරයි. සති අන්තය ගත වෙන්නේ එසේය. අවුරුදු දෙකක් ගියා දැනුනේ නැත. ඒ අවුරුදු දෙක තුළ පාලිතට පෙම්වතියක් ලැබුනේ නැත. නමුත් වසර දෙක අවසානයේ ඔහු පරිපාලන සේවා විභාගය උසස් ලෙස සමත් විය.
පාලිතට විශ්වවිද්‍යාලයේදී පෙම්වතියක් සිටියේය. අවසාන වසර වන විට දෙදෙනාම තම සම්බන්ධය අවසන් කරන්න තීරණය කළේ එකිනෙකා අතර තිබූ අවබෝධයෙනි. ඔවුන් දෙදෙනා අතර සමානකම් වලට වඩා වෙනස්කම් වැඩි බව දෙදෙනාටම තේරුම් ගියේ වාසනාවටය.
විශ්වවිද්‍යාලය පෙමට තිත තැබු පාලිතට සිදු වූවේ කුමක් ද මීළඟ කලාපයෙන්…
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka