“හරි එහෙනං ඉතුරුවෙච්ච ලොතරැයි දෙකම දෙන්න මුදලාලි. තව පැයයි දිනුම් අදින්න තියෙන්නේ.”
සර්නේලිස් කඩමණ්ඩියට පැමිණි හැම දිනකම මෙන්ම එදිනද ඔහු මුලාලිගෙන් රුපියල බැගින් ලොතරැයි පත් දෙකම මිලට ගත්තේය. කිසිම දිනක ත්‍යාග නොලැබුන ද ඔහු ලොතරැයි මිලදී ගැනීම නැවැත්වූයේ නැත. එදිනත් මහජන සම්පත ගුවන්විදුලි වැඩසටහන ඇසීමට ඔහු විජේසිංහ ඉස්කෝලේ මහතාගේ ගෙදරට ගොඩ වූයේය. එක් දිනක් ඉස්කෝලේ මහතා සර්නේලිස්ට ලංකාවේ ලොතරැයියේ පැරණි විස්තරයක් කළ හැටි ඔහුගේ මතකයට නැගිණි.
” සර්නේලිස් ඔය ලොතරැයිය ලංකාවේ මුලින්ම පටන් ගත්තේ 1955 සැප්තැම්බර් 15 වැනි දා. එහි පළමු ජයග්‍රාහකයා වූයේ කිරිඅප්පු නයිදේ කියල ගලිගමුවේ කෙනෙක්. ශත 50ක් දීල ගත්ත ඒකෙ නම ආරෝග්‍ය ශාලා ලොතරැයිය. මුල්ම තෑග්ග රුපියල් 97,343.50 ක් වුණා” ඉස්කෝලේ මහතා කියා දෙන විට සර්නේලිස්ට එම ධනස්කන්ධය ගැන ඇති වූයේ ආශාවකි.
“ඔන්න මහජන සම්පත අදින්න පටන් ගත්තා” ඉස්කෝලේ මහතා හඬගා කියන විට සර්නේලිස් තම සිතිවිලි සයුරෙන් අවදි වී ගුවන්විදුලි යන්ත්‍රයට සවන් දෙන්නට වීය.
“ඕ…ඔන්න බලපල්ලා තෑගි අංක, පළවෙනි එක නොම්මර එකොළහ ඊ ළඟට කේ අකුර ඊට පස්සෙ බින්දු තුනයි විසිතුනයි හයසිය එකොළහ” ඉස්කෝලේ මහතා කියවූයේ කාටත් ඇසෙන හඬිනි.
“අප්පෝ!! මගෙ අම්මේ… ඉස්කෝලේ මහත්තයෝ මෙන්න බලන්නකෝ…. ඒ නම්බරේ මගේ… අනේ අප්පෝ” සර්නේලිස් කලබලයෙනි. මුහුණ පුරා සිනහවෙන් පිරී ඉතිරී ගොස් තිබුණි.
” කෝ දීපං බලන්න ටිකට් එක” ඉස්කෝලේ මහතා විමතියෙන් අත දිගු කර ගෙනය.
සර්නේලිස් වෙව්ලමින් ගොත ගසමින් ” මෙ..මෙ මෙන්න … මෙන්න ටිකට් එක..” ඉස්කෝලේ මහතා හරව හරවා බලමින් ඇස් පුංචි කරමින් ටිකට්පත කියවන හැටි හැමෝම බලා සිටියේ උනන්දුවෙනි.
” හහ් හහ් හා එහෙනං අපේ ගමේ සර්නේලිස් ලක්ෂෙට කොඩිය දැම්මා” කියමින් සතුටෙන් ඉපිලෙන විට සැවෝම සර්නේලිස් බදාගෙන සතුට බෙදා ගත්තෝය.
මෙම සිදුවීමෙන් පසු විවාහ යෝජනා රැසක්ම සර්නේලිස්ට ලැබුණේ තම ලොතරැයි ඇදීම ගැන පළාතේ ප්‍රසිද්ධ වීම නිසාය. පාසැලේ ගුරු දෙගුරු සංගමයේ සභාපති ඇතුළු විදුහල්පතිතුමා සර්නේලිස්ගේ ගෙදරටම පැමිණ සතුට පළ කළේය. එහිදී තමා ඉගෙන ගත් විදුහලට බුදු මැදුරක් සාදා දීමට රුපියල් 3000 ක් දීමට සර්නේලිස් කැමැති විය.
එම අතරතුර තම පුංචිඅම්මා හදිසි ආබාධයකින් රෝහල් ගත විය. බෙහෙත් වර්ගවලට අවශ්‍ය මුදල් නැතිව ඇය ආසාධ්‍ය වෙමින් තිබීම සර්නේලිස්ට දරා ගන්නට බැරි වූයේය. තවත් දවසක ගමේ පන්සලේ හාමුදුරුවන් දිනක් ගෙදරටම වැඩියෝය. තම ගම් පළාතටම ලැබුණු මෙම ලොතරැයිය නිසා පත්තරවලින් ලැබුණු සුවිශාල ප්‍රසිද්ධියත් ගෞරවයත් ගැන හාමුදුරුවන් සිහිපත් කළේය. මේවා තමන් පෙර ආත්මවල කරන ලද පිංකම්වල ප්‍රතිඵලයක් බැවින් තව තවත් පිංකම් කරමින් දිව්‍ය තලවල උප්පත්තිය ලබා මෛත්‍රී බුදුන් දැක නිවන් අත්පත් කර ගැනීමට තව තවත් ධෛර්යය ගත යුතු බවට හාමුදුරුවන් කෙටි අනුශාසනයක් ද කළෝය. ඉන් පසු පන්සලේ බණ මඩුවේ වහලට රුපියල් 2500 ක් පූජා කිරීමට හැකිවීම සර්නේලිස්ගේ හිතට සතුටක් වීය.
මාතර නගරයේ පදිංචි ගුරුවරයෙකුගේ රූමත් දියණිය වෙනුවෙන් විවාහ යොජනාවක් විල්බට් කපු උන්නැහේ විසින් සර්නේලිස්ට ගෙන ආවේ “තවත් ජය මල්ලක්” යැයි කියමිණි.
“ඔන්න සර්නේලිස් ඔක්කොම හරී. හැබැයි කලිසම් සපත්තු දමන්න වෙනවා. ඕවා මොනවද? ඔය කොල්ලො කුරුට්ටොත් අඳින්නේ?” කපුවා දිගටම කියවන්නට වූයේය.
ගමේ රාළහාමිද කැටුව මනාලිය බලන්නට ගිය සර්නේලිස්ට ටික දිනකට පසු මගුල තීන්දු වුයේය. අවසානයේ කපුවා එක් කොන්දේසියක් ඉදිරිපත් කළේය.
” ඔන්න එහෙනං මගුල තීන්දුයි. මම කිව්වා මනාල මහත්තයාට කාර් එකක් නෙවෙයි දෙකක් වුණත් ගන්න සල්ලි තියෙනවා කියලා. සර්නේලිස් දැන් ඉතින් කාර් එකක් ගනිමු. කොහොමත් සර්නේලිස් වගේ අයටද කාර් තියෙන්නේ? ” කපුවා කියා දැමුවේය.
තම බිරිඳගේ ඕනෑ එපාකම් අඩුවක් පාඩුවක් නොකළ ඔහු ඇය සමග විනෝද ගමන් ගියේ ඇයගේ පවුලේ අයත් සමගය. ඥති මිත්‍රාදීන්ගේ ආදරයට පාත්‍ර වූ සර්නේලිස්ට මගුල්, පිරිත්, දානමාන උත්සවලට ආරාධනා ලැබුණේ ගෞරවයටත් එක්කමය. කාලය ගතවන විට තමන් ළඟ තිබු මුදල වියදම් වී ගෙදර කෑම් බීම් පවා සීමා කරන්නට සිදුවිය. කුළි නිවසට මුදල් ගෙවීම අසීරුවූ බැවින් තම මාමණ්ඩියගේ ගෙදරට යාමට අලුත් ජෝඩුවට සිදුවිය.
අතේ සතේ නැතිව අසරණ වනවිට තම යාළුවන් නැදෑයන් පමණක් නොව සුරූපි බිරියද සර්නේලිස්ව අතහැර දැම්මේය. අවසානයේ මෝටර් රථය විකුණා ගමට ගොස් එළවළු කොරටුව වගා කරගෙන ජීවත් වීමට ඔහුට සිදු වුවද හවස කිරමාර නදියෙන් ඇඟ පත සෝදා ගෙන කඩපිළකට යන ඔහු ලොතරැයියක් මිලදී ගත්තේය.
දයා ප්‍රතාපසිංහ – ඕක්ලන්ඩ්