fbpx
11.4 C
New Zealand
Tuesday, April 30, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

පීතෘත්වය – 07 | පන්තක භාතිය සිරිවර්ධන | ශ්‍රී ලංකාව

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

පීතෘත්වය (කොටස්  10 කින් යුත් කෙටි කතාව) 7 වන කොටස

මෙතෙක් කතාව :

මැදි වියේ පසුවන උසස් රජයේ නිලධාරියෙක් වූ පාලිත ධනවත් තරුණියක හා විවාහ වී   සිටින අතර පෙර පෙම්වතියක වූ කාංචනාගේ දියණිය කාර්යාලයට  පැමිණපාලිත  ඇයගේ පියා බව කියයි. … … … පාලිතගේ මුළු ශරීරයම හිරි වැටී ගියා සේ දැනුනි. මේ ඇත්තටම මගේම ලේ ද? පාලිතගේ දෙනෙත් තෙත් වන්නේ නිතැතිනි. අද එතැන් සිට…

‘නෙත්මිණි, දුව  මට ඕනේ අම්මා එක්ක කතා කරන්න. මේක බරපතල තත්ත්වයක්. පුතාට තේරෙනවනේ ? තාත්තා මොනවා හිතයිද ? මට මේවා ගැන ටිකක් කල්පනා කරන්න ඕනා’ පාලිත කතා කළේ අඩ සිහියෙන් මෙනි. නෙත්මිණි නැගිට්ටාය.

‘මට ඕන වුණේ මගේ ඇත්ත තාත්තව දැක ගන්න. මට ඒක පුළුවන් වුණා. ඔයාව දැක්ක ගමන්ම මට ඒක තේරුනා. මට දැන් සතුටුයි. මං ආවේ මොකවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ අම්මයි තාත්තයි මට අඩුවක් කරන්නේ නැතුව හැදුවා. මං ඒකට එයාලට සදා ණය ගැතියි. දරුවෙකුට තමන්ගේ ඇත්ත අම්මා, තාත්තා කවුද කියලා දැන ගන්න අයිතියක් තියෙනවා. මං කැමතියි සර් DNA ටෙස්ට් එකක් හරි කරලා ඇත්ත සොයා ගන්නවා නම්.  මට ඕනා මගේ ඇත්ත අම්මයි  තාත්තයි ළඟ ජීවත් වෙන්න. ඒක තමයි දරුවෙක්ට ඕන උතුම්ම දේ. ඒක කොයිතරම් දෙයක් ද කියලා තේරෙන්න වැඩිහිටියෝ ආයිත් දරුවෝ වෙන්න ඕනා. අම්මා මට ගොඩක් දේවල් කියා දීලා තියෙනවා. මාව භාර ගන්නව ද නැද්ද කියන එක මගේ ඇත්ත තාත්තා වුණ සර්ට භාරයි. මෙච්චර කල් හිටියා වගේ ව්‍යාජ විදියට ඉන්න මට ඕනේ නෑ. එහෙම වුනොත් මං තනියෙන් ජීවත් වෙනවා…’ නෙත්මිණිගේ දෑසින් කඳුළු රූටා වැටේ.  ගැහෙන හදින් පාලිත නැගිට ඇයව තුරුල් කර ගත්තේය. ඔහුව තදින් බදාගත් ඇය ඉකි ගසමින් හඬන්නට විය.

* * *

පාලිත තම හැඳුනුම්කම් මත රටේ පිළිගත් ඉහළම ලැබ් එකට කියා ඔහුගේත් නෙත්මිණිගේත්  DNA ටෙස්ට් එකක් එදාටම දා ගත්තේය. ඒ කාංචනා සමඟ කළ දිගු කතාබහකින් පසුවය. යෙහෙලියගේ පියා පැමිණි විට ඔහු සමඟ කතාබහ කොට නෙත්මිණිගේ වගකීම භාරගත් පාලිත, නෙත්මිණිව කැටුව ගොස් පරීක්ෂණයට මුහුණ දුන්නේය.  නෙත්මිණිට ඇති වූ සතුට කෙතරම් දැයි ඇයගේ මුහුණෙන් පෙනේ.  ඇයට තම මව ගැනත් පාලිත ගැනත් ඇති වුණේ දරුවෙකු තුළ මව්පියන්  ගැන ඇතිවෙන මහත්වූ සෙනෙහසයි. විශ්වාස යයි. පාලිත එදා සවස නෙත්මිණිව යෙහෙලියගේ ගෙදරට ගොස් ඇරලූයේ ඇය කැමති රෙස්ටුරන්ට් එකකින් දවල් කෑම කමින් පැයක් පමණ  ඇය සමඟ කතාබහ කර කර සිටියාට පසුය.

නෙත්මිණිගේ අව්‍යාජ, නිරවුල්, තැන්පත් සිතුවිලි ගැන ඔහුට පුදුම සිතුනි. තම පුතාටත්  එසේවන්නට තිබුණා නම්. පුතා හොඳ අධ්‍යාපනයක් ලබමින්, විනීත  ලෙස වැඩුනත් ඔහුගේ හිත එහේ මෙහේ විසිරෙයි. ගෙදර පරිසරයත් ඔහුගේ යහලුවනුත් එයට බලපාන බව ඔහු දනී. හැම කෙනාම එක වගේ නොවේ. ඔහු ක්‍රීඩාවට දක්ෂකම් පෙන්නයි. විනෝදයට වැඩි බර නොදාන මෙන් පාලිත ඔහුට අවවාද කරත් ගෙදර පරිසරය ඔහුට වැඩි අනුබල දෙන්නේ විනෝදයටය. ඔහුගේ අම්මාත් මාමලාත් සතියකට සැරයක් කොහේ හෝ පාටියක් දමයි.  සංගීතය සපයන්න කියන්නේ පුතාටය. ඔහුත් එයට ආසාවෙන් යොමු වෙයි. එම සංගීතය පාලිතට අමිහිරිය.  මඳ වේලාවක් රැඳෙන පාලිත හෙමින් සැරේ මාරු වෙයි.

කාංචනා සමඟ දුරකථනයෙන් කළ කතාබහ පාලිත නැවත කාර්යාලයට පැමිණි පසු මතකයට ආවේ චමත්කාර ජනක හැඟුම් මවමිනි.  පුටුවේ වාඩිවී දිගු කල්පනාවකට වැටුනු ඔහුට කලකට පසු ඇසුනු ඇගේ හඬ අතීතයට ගෙන ගියේ සිත කුල්මත් කරවමිනි. ඇගේ හඬ, සිනාව, කතාව එහෙමමයි. තමා ඇයට කොතරම් ආදරය කළාදැයි  දැනෙන්නේ  දැන් ය. නිසි කලට දැඩි තීරණයක් ගන්න ධෛර්යයක් තමා තුළ නොතිබීමෙන්  වෙච්ච දෙයක්. ඔහුට හැඬුම් යන්න එයි. ඔහු සිත දැඩි කරගෙන එය වළක්වා ගත්තේ දෑස්වල කඳුළු පිරෙන්න ඉඩ දෙමිනි.

‘අනේ පාලිත, මට සමාවෙන්න. මගේ හිතේ සැකයක් තිබුණත්  මං කාටවත් හැඟෙව්වේ නෑ. මං කොහොම කියන්නද ?  මට දුක මේ දේ නොකීමෙන් මං ඔයාටත්  සුමේධටත් දෙන්නටම බොරුවක් කළ එකටයි. මං මෙච්චර  කල් මේ රහස හංගගෙන හිටියේ ලේසියෙන් නෙමෙයි. දුව ටිකක් ලොකු වුණාම මං අම්මට කිව්වා. අම්මා හොඳටම බැන්නා. දුවගේ හැසිරීම ඔයාගේ  විදියමයි. හරිම නිවිච්ච ළමයා. ඔයාගේ නහයමයි. එයා ලොකු වෙනකොට ටිකක් මුරණ්ඩු වෙන්න ගත්තා. මගෙන් ප්‍රශ්න ඇහුවා ඔයා ගැන. එයාගෙන් බේරෙන්න බැරි වුණා. ඔයාගේ පින්තූරයක් එයා කොට්ටේ යට තියාගෙන ඉන්නේ. ඔයා තමයි එයාගේ තාත්තා පාලිත. එයා ඒක තදින්ම විශ්වාස කරනවා. එයා සුමේධට එකතු නෑ. දෙන්නා නිතරම රණ්ඩු. මං දන්නේ නෑ එයා මෙහෙම ගමනක් එයි කියලා.  මට සමාවෙන්න පාලිත. මට ඔයාව ලැබුනේ නැත්තෙ මගේ අවාසනාවට වෙන්න ඇති. මං කාටවත් දොස් කියන්නේ නෑ. ඔයාට මේකෙන් ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ මං.  මම  දුවව ගෙන්න ගන්නම් ’ කාංචනා හඬමින් කියූ සැටි කණ් තුළ දෝංකාර දෙයි.

පසුදා ඔහු රැස්වීමක සිටින විට ඇමතුමක් ආවේ ලැබ් එකෙනි. රැස්වීම අවසන් වූ වහාම ඔහු ලැබ් එකට ගොස් වාර්තාව ගත්තේය. ඔහුගේ හිත මේ වන විටත් නෙත්මිණි දුව විසින් පැහැරගෙන අවසන්‍ ය. ඇය ඔහුගේම දුව බවට ටෙස්ට් රිපෝට් එක සනාථ කළේය. මෙය විද්‍යාවේ හාස්කමකි. මිනිස්කමට හාස්‍යකි. ඔහු වැඩට ගියේ සතුටෙනි. ඔහුගේ සිතේ බියක් හෝ චකිතයක් ඇති නොවීම ගැන ඔහුටම පුදුමය. ඔහු සවස නෙත්මිණි දුවව බැලීමට යාමට තීරණය කළේය.

පාලිතගේ බිරිඳගේ තීරණය කුමක්ද ? නෙත්මිණිට වෙන්නේ කුමක්ද ? ඉදිරි කොටසෙන් …

By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.