fbpx
16.9 C
New Zealand
Tuesday, April 23, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

සිරිපා ගමන – 08 | එල්.එච්. ධර්මදාස

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

රත්නපුරය, ගිලීමලේ හරහා ගමන පසු ගිය කලාපයේ පළ වීය. මෙවර මළුවට ළඟා වීම තෙක්…

සිරිපා මළුවට කරුණා කිරීම

මහගිරිදඹ නැග සුළන් කපොල්ල පසු කළ අපි 2000.05.02 වන දින පෙ.ව. 11.35 ට සිරිපා මළුවට පිවිසීමු. මළුවට පිවිසි විගස අප ශ්‍රී පාද ස්ථානයේ කෘත්‍යාධිකාරී දාපනේ ජයසුමනාරාමාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ගරු කෝප්පකන්දේ සුමනතිස්ස හිමිපාණන් බැහැ දැකීමට ගියේ කොටපොල ගැටබරුව රාජමහා විහාර කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්ද්‍රවිමල හිමිපාණන් අප හඳුන්වා දෙමින් ලියන ලද ලිපියත් සමගින්ය. සුමනතිස්ස හිමිපාණන් අප ඉතා ලෙන්ගතුව පිළිගත්තේ අප සමග ගිය පාලිත පෙර පටන් උන්වහන්සේ හඳුනන දායකයෙකු වීමත් හේතුකොට ගෙනය. 

සංඝාවාසයේ ඉහළ මාලයේ කාමරයක් අස්පස් කළ උන්වහන්සේ මෙට්ට එලා විවේක ගැනීමට ඉඩ සලසා විශාල උණු තේ භාජනයක් කිතුල් හකුරු සමග සපයා තිබුණි. අපි ඉතාමත් සතුටෙන් තේ පානය කළෙමු. අනතුරුව අපි මෙතෙක් දුෂ්කරව මග ගෙවා පැමිණි ප්‍රධාන අරමුණ වූ අතිශය පූජනීය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය හෙවත් ශ්‍රීපාපද්මය නමස්කාර කළෙමු. අපට තෙල්, හඳුන්කූරු, කපුරු, පහන්, තිර ගෙන ගිය ද මල් ගෙන යාම අපහසු විය. මළුවට නගින අතර වලස්මුල්ල ප්‍රදේශයෙන් පැමිණි සැදැහැවත් මහත්මයෙක් මහගිරිදඹේ දී මළුවේ නෙලුම් මල් පන්සියයක් තබා ඇති බවත් ඒවා පූජා කරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියේය. එතුමා කියු පරිදි අපි එහි තිබු නෙලුම් මල් සකසා පැන් ඉස ශ්‍රී පාද පද්මයට පූජා කර දොළොස්මහේ පහනට තෙල් වත්කර දැල්වීමු. 

පද්ම නමස්කාරය හා පිං අනුමෝදනාව

අනතුරුව මේ සා දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව නිරෝගීව, ශක්තිමත්ව ගමන් කිරීමට අප හැදුවැඩු දෙමව්පියන්ට ද අප වෙත ආහාර පාන සපයා නන් අයුරින් අපට උදවු පදවූ කළ අපගේ ඥාති මිත්‍ර සියලුදෙනාට ද අප මෙතෙක් කල් ගත් සියලු ආහාර පාන සැපයීමට අනේක විධ දුක් මහන්සියක් ගත් අප දුටු නොදුටු සියලු ගොවි, කම්කරු, මෙහෙකරු සියල්ලන්ටම පිං ප්‍රාර්ථනා කරන ලද්දේ දෑසට නැගී කඳුළු සමඟින්ම ය. ඈත එපිට නොපෙනෙනා කඳු වළළු, ගිරි කුළු පසුකර අඩියෙන් අඩිය තබා මෙපමණ දුරක් පැමිණීම පිළිබඳ ළය පිරී ඉතිරී යන සතුටක් අප සියලු දෙනා වෙතින්ම පළවිණ. 

අනතුරුව සමන් දෙව්රාජයා වෙනුවෙන් වූ දෙවොල කරා යන විට එම තේවාව භාර කපු මහතා කෘත්‍යාධිකාරී නාහිමියන්ගේ උපදෙස් පරිදි අප වෙනුවෙන් ක්‍රමවත්ව යාතිකා කර අපව රැක දෙන්නැයි සමන් දෙව්රාජයාණන් වෙත කන්නලවු කර පූජාවක් පවත්වන ලදී. අපි ගෙන ගිය පඬුරු මහ මළුවටත් ශ්‍රී පාද පද්මයටත් දේවාලවලටත් ඔප්පු කර සියලු වතාවත් කළෙමු. 

නායක හිමිපාණන්ගේ ආගන්තුක සත්කාරය

වතාවත් කර පැමිණෙන විට නායක හිමිපාණන් අප වෙනුවෙන් දහවල් ආහාර සකසා නිම කරවා තිබිණ. උන්වහන්සේගේ ඇරයුමෙන් දන් ශාලාවේ මේසයට ඇර තිබු බත් සහ ව්‍යංජන, කෙසෙල් ගෙඩි, අලුවා, හැලප, වැලිතලප වැනි ආහාරයෙන් අපි කුස පුරවා ගත්තෙමු. මෙය අපට මහාර්ග දීමනාවකි. අප සේසතම පිදුවත් සරි නොවන එම ආහාර මෙම දුෂ්කර ගිරි ශිඛරය වෙත දෙව් අනුහසින් පහළ වූවාක් මෙන් විය. ආහාර ගත් පසු එතනට වැඩි නායක හිමිපාණන් තවත් රසමස වු අවුළුපත් බොහොමයක් අපට දී ඒවා ද භුක්ති විඳින ලෙස වදාළ නමුත් අපගේ කුස්වල කිසිදු ඉඩක් නොවිණි. 

සිරිපා මළුව තුළ කුඩා වන්දනා නඩ දෙකක් හැර වෙනත් බැතිමතුන් නොවිණ. ඔවුන් ශ්‍රී  පා පද්මය භක්තියෙන් නමස්කාර කර, කරණීයමෙත්ත සුත්‍රය සජ්ජායනය කර, දෙවියන්ට පිං දි මහත් භක්තියෙන් පද්මයේ හිස තබා නමස්කාර කළෝය. නිසංසල පරිසරයේ අපිදු සැනසිල්ලේ නැවත වරක් වන්දනා කර සිරිපා පද්මය මතට පිරිසිදු කළ පඬුරු තබා, පද්මයේ දෙතුන් වරක් හිස තබා නමස්කාර කළෙමු.

සැමදා ඇවිලෙන අඩි හයක් පමණ උස පිත්තලෙන් තැනු දොළොස්මහේ පහන නොයෙක් ශාක, ඖෂධ හා තෙල් වර්ග දමා දැල්වීම හේතුවෙන් තෙල් දමන තට්ටු උඩටම මතු වී පිරී ගොස් තිබිණි. ඖෂධ සාරය සමඟ මුසු වූ කළු පැහැති තෙල් පහත තට්ටුවේ පිරී තිබිණි. 

මළුවේ දකුණු පස අද්දර සවි කර තිබු ඝණ්ඨාව නාද කරනුයේ පූජා කිරීමේ ගාථාවන් කියමිනි. අපිදු ගිය වාර ගණනට සරිලන වාර ගණනක් ගාථා කියමින් ඝණ්ඨාරය නාද කළෙමු. 

සීතල සුළඟත් ශාන්ත සුවදායී වියළි පරිසරයත් නිමක් නැතිව ඈතින් ඈතට දිස්වන මනරම් කඳු වැටී හා පහත් බිම් යාය දිස්වන වටපිටාවත් සිතත් ගතත් නෙතත් සනසවාලීය. වරින් වර වළාකුළු අප සැම වසාගෙන පැතිරෙන විට සියලු පරිසරය ආවරණය වී අහස් ගැබ තුළ අපි හුදකලා වූවාක් මෙන් වීමු. 

සිරිපා මළුව

දැවැන්ත ගල් කුළු එක මත එක පිහිටීමෙන් මතුපිට වූ මීටර පනහක් තරම හරස්කඩක් ඇති මළුව උවමනාවෙන් සමතලාව සකසා තිබු අතර මීටරය ක් පමණ උස වූ පද්මය පිහිටි රන්සිවි ගෙය රිදී පහනින් බැබළින. රන්සිවි ගෙය දකුණු දිබ්බාගයට මුහුණලූ දොරකින් ද එම දොර ආවරණය වන සේ ඉහළින් කොන්ක්‍රීට් වහලක් සහිත ආවරණයකින් ද  යුක්ත විය. බැතිමතුන් පූජා කළ අලුත් සුදු රෙදි පිරුවටවලින් පද්මය වසා තිබුණි. ඉදිරි මල් අසුන් විවිධ මල්වලින් පිරී ගොස් තිබිණ. මීටරයක් පමණ දිගින් හා මීටර් බාගයක් පමණ පළලින් යුත් ගලින් නෙලූ පා සළකුණක හැඩයෙන් යුතු සිරිපා පද්මය මතුපිටින් දක්නට තිබුණ ද, ඉන්ද්‍රනීල මාණික්‍යයේ ඇති බුදු හිමියන් පිහිට වූ සිරිපා ලකුණ පාදම ලාංඡනයට යටින් නිදන් කර ඇති බව බැතිමතුන්ගේ විශ්වාසය වේ.

සිරිපා මළුව තුළ වර්ග මීටර හයසීයක් පමණ වූ ඉඩකඩ ඉතා පිරිමැස්මෙන් හා ක්‍රමානුකුලව තාක්ෂණ ශිල්ප උපයෝගී කර ගනිමින් ගොඩනැගිලි රාශියක් ඉදි කර තිබිණි. උඩ මළුව තුළ ශ්‍රී පාද පද්මය ආවරණය වන රන්සිවි ගෙය ද ඓතිහාසික සමන් දේවාලය ද මල් ආසන ද ඉදි කර ඇත. එම ගොඩනැගිලි මුදුනෙන්ම පිහිටා ඇත. ඉන් මීටරයක් පමණ පහළින් වූ මළුවේ බැතිමතුන් ගැවසෙන ඉඩකඩ ද දොළොස්මහේ පහන හා ඝණ්ඨාර කුළුන ද දකුණුපසින් පිහිටා ඇත. එහිම කාර්යාලය හා දෙමහල් සංඝාවාසයක් ද සකසා තිබිණි. උතුරු දෙසට ගබඩා කාමර, ගිනිහල් ගෙය හා දාන ශාලා, සංඝාවාසය හා වැසිකිළි, කැසිකිළි සහිත ගොඩනැගිලි පද්ධතියකි. බටහිර දෙසට වන දෙමහල් සංඝාවාසයේ ඉහළ මාලය නවාතැන් කාමර කිහිපයකින් ද  කොරිඩොවකින් හා වැසිකිළි නානකාමරවලින් යුක්ත වේ. යටමහල බැතිමතුන්ගේ ගිමන් හැරීමට ශාලාවක් සේ සකසා තිබිණ. මළුවේ පහත මාලයේ නැගෙනහිර දිශාවට මුහුණලා බැතිමතුන්ට දෙමහල් විශ්‍රාම ශාලාවක් තනා ඇත. උඩ මළුව වටා තාප්පයක් බැඳ ඇති අතර පහත මළුවේ සීග්‍ර බෑවුම් ඉමේම ආරක්ෂක පවුරු ඉදි කර ඇත. 

මළුවේ දෙපසින් පහතට බසින මාර්ග දෙකකි. බටහිර දෙසට බැස යන මාර්ගය හැටන් නල්ලතන්නිය දක්වා ද නැගෙනහිර දෙසට බැස යන මාර්ගය ශ්‍රී පලාබත්ගල දක්වා ද ගමන් කෙරේ. පලාබත්ගල මාර්ගය හැරමිටි පානේ දී කුරුවිට මාර්ගය හා සම්බන්ධ වේ. මළුවට ප්‍රධාන විදුලි මාර්ගයකින් ජල විදුලිය සපයා ඇති අතර කිලෝමීටර දෙකකට පමණ පහළ සිට ජල මාර්ගයකින් ඉහළට වතුර පොම්ප කෙරේ. මෙම සැපයුම් මාර්ගයෙහි ජල පොම්පාගාර පහක් වන අතර සියල්ලම විදුලියෙන් ක්‍රියා කෙරේ. ගොඩනැගිලි හා මළුව ඉතා පිරිසිදුව සිත් ගන්නා ලෙස නඩත්තු කෙරෙමින් පවතී.

අප වන්දනා කළ අවස්ථාවේ ශ්‍රී පාද ස්ථානයේ කෘත්‍යාධිකාරී දාපනේ ජයසුමනාරාමාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපුජ්‍ය ගරු කෝප්පකන්දේ සුමනතිස්ස නාහිමිපාණන් හා ශ්‍රී පාද ස්ථානයේ වර්තමාන භාරකාර අතිපුජ්‍ය දම්පහළ සීලානන්ද නායක ස්ථවිරයන් වහන්සේ ද වැඩ සිටියහ. කාර්යාල කාර්ය මණ්ඩලයේ කළමනාකාරතුමා සමන් දේවාලයේ කපු මහතාණන්, මුළුතැන් ගෙයි කටයුතු කරන මහත්මයෙක් හා කාර්යමණ්ඩලයේ තවත් මහත්මයෙක් ද කටයුතුවල නිරත වෙමින් සිටියහ. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කාර්යාලයේ විවිධ තොරතුරු, ආධාර ප්‍රකාශ ආදිය නිකුත් කළහ. ආධාර වෙනුවෙන් නිසි කුවිතාන්සි නිකුත් කිරීම සිදු විය. 

ඊළඟට සිරිපා මළුවේ සිට…

මතු සම්බන්ධයි…
By L.H. Dharmadasa
Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.