මේ අපූරු මිනිසා මට හමුවූයේ අලුත් අවුරුද්දට කඩිමුඩියේ ජනෙල් රෙදි තෝරා හෙම්බත්ව සාප්පුවේ පසෙකටවී විඩා හරිමින් සිටි මොහොතේදීය. මේ වනවිට මුලු සාප්පුවේම ඇති මෝස්තර සියල්ල මා තෝරා අවසන් කොට තිබිණ . පිටත මහා වරුසාවක් පැවතියෙන් වෙනත් කඩයකට යාමට මගක්ද දැන් නොමැත. මුදලාලි මා හිතවත් අයෙකු වූ බැවින් අසල ගබඩාවෙන් අලුත් මෝස්තර කිහිපයක් ගෙන්වා දෙන තුරු ඔහුගේ කවුන්ටරය පසෙකින් මා රඳවා ගත්තේය.
මේ අවස්ථාවේ සාප්පුව තුළ පොරබදන සෙනඟට ඉහලින් එක්වරම අර අපූරු මිනිසා සිහින් උස්වූ සිරුරකින් හෙබි ඔහු දිගු සෙවනැල්ලක් පතිත වන්නාක් මෙන් මහ වැස්සේම සාප්පුවේ ප්‍රධාන ද්වාරය වෙත පාදුර්භූත වූයේය.
තැනින් තැන හුණු සහ පේන්ට් කැටිති විසිරී කොලාජ් සිතුවමක් මෙන් දිස් වුණු ඔහුගේ කලු පැහැ පදම්වූ පරණ කබායෙන් ඔහු පින්තාරුකරුවකු යයි මම එක්වරම නිගමනය කළෙමි. ඔහු තවමත් හුණු තැවැරුණු වාටිය සහිත තෙත් වූ කලිසම එක් අතකින් ඔසවා සිටියේය. ‘වෑන් ගොග්’ නම් සුප්‍රසිද්ධ සිත්තරාගේ ‘පරණ සපත්තු’ සිතුවම පරිද්දෙන් මොහුගේ සපත්තු දෙකද හුණු වලින් පදම් වී ඇඹරී තිබුණි. අනෙක් අතෙහි වූ බඩු මල්ල දැනටමත් පිරිලාය. අවුරුදු ලිත බෑගයෙන් වැටෙන්නට ඔන්න මෙන්නය.
“ජනෙල් රෙදි …” කියමින් ඔහු කෙලින්ම ඇදී ගියේ කඩයේ ගෝලයන් සිටින දිසාවටය. අනතුරුව ඔහු සෙමින් යමක් මිමුණුවා පමණි. පින්තාරුකරුවාගේ සිතැඟියාවන් ක්ෂණිකව අවබෝධ කරගත්තා සේ ගෝලයා ජනෙල් රෙදි කිහිපයක් දිග හැරියේය. පින්තාරුකරුවා එල් හැඩයට වූ අනෙක් කවුන්ටරයට බරවී ඔහුගේ බඩු තුණ්ඩුව පිරික්සන්නට ගත්තේය. ඔහුට ජනෙල් රෙදි තේරිමේ වගේ වගක් නැත. ඊටත් නොදෙවනිව ගෝලයා පින්තාරුකරුගේ සියලු වර්ණ මෝස්තර ඉර්දියෙන් දැනගත්තා සේ රෙදි පිළියෙල කරන්නට ගත්තේය.
මෙය නම් අපූරු ජනෙල් රෙදි තේරීමකි.
සවින්දීත් මාත් ප්‍රතිවිරුද්ධ මත දරමින් ජනෙල් රෙදි තීරණය කිරීමේ මහා වාදයක පැටලී සිටින්නේ දින ගණනාවක සිටය. ඒවායෙ වර්ණ සංකලන, නූල් රටා, චාම් බව, ස්වාභාවික අමුද්‍රව්‍ය, කලාත්මක බව ආදී කිසිවකින් අපට එකඟතාවයකට ඒමට නොහැකිවිය.
අවසානයේදී අපි ඉන් විරසක වූයෙමු.
“ඔයාම බලල හොඳ ටිකක් ගේන්ඩ”
සිත් රිදවීම් සඟවාගෙන ඈ එසේ නිහඬ වූවාය.
අවුරුද්දට උත්කර්ශයෙන් සැරසෙමින් සිටියදී ඇයගේ සිත් රිදවීම ගැන පසුව මම බොහෝ දුක් වූයෙමි. ඉතින් අප දෙදෙනාටම ගැලපෙන මෝස්තරයක් තවමත් සොයා ගත නොහැකිව මම දැන් මෙතැන දෙලොවක් අතර අතරමංව සිටිමි.
“ අර මනුස්සයා රෙදිවල පාටවත් බැලුවෙ නැහැනේ ; ජනෙල් රෙදි කිව්ව එච්චරයි “
පින්තාරුකරු සාප්පුවෙන් නික්ම ගිය පසු මම මුදලාලිට මාගේ විමතිය පල කළෙමි.
“අපේ ගෝලයෝ දන්නවා එගොල්ලන්ට ඕනි විදිය “
“ගෙදර ගියාම තමයි ප්‍රශ්න”
“එහෙම නෑ. ගෙදර පවුලට මෙයා ගෙනියන කෝකත් ලස්සනයි“
මින් මම මදක් තිගැස්සුනෙමි.
“එතකොට පාට මෝස්තර…? “
“අවුරුද්දට ජනෙල් රෙදි, එච්චරයි”
මුදලාලි සිනාසෙමින් පවසයි.
“දැන් එයාගෙ පවුල ඔය ටික අද රෑම මහලා එල්ලනවා. පහුවෙනිදා පොඩි ළමයි ඒක දැක්කම තියන සතුට. තාත්තා ලස්සන ජනෙල් රෙදි ගෙනල්ල කියලා උඩ පැන පැන ගේ වටේ දුවනවා.”
මුදලාලි මදක් බැරෑරුම් ලෙස මා දෙස බලා සිටියේය.
“ඒක තමයි අවුරුද්ද “
“ඒක තමයි අවුරුද්ද” මටත් එසේම කියවින.
“මමත් හැමදාම බලනවා අවුරුද්දටවත් සැහැල්ලුවෙන් ඉන්ඩ. අපිට කවදාවත් බැහැ” මුදලාලි දිග කතාවකට මුලපුරයි.
මේ අවස්ථාවේ ගෝලයෙක් විසින් මගේ රෙදි පැමිණ ඇති බව දැන්වූයෙන් මම වහා එදෙසට ඇදුනෙමි.
එහෙත් බැලූ බැල්මට ඒ මෝස්තර කලින් ඒවාටත් අන්තය.
දැන් කුමක් කරන්නද?
“සර්ගෙ නෝන දවසක් ඇවිල්ල තේරුවේ මේ ටික”
වෙනත් ගෝලයෙක් හදිසියේ පැමිණ රෙදි රෝල් කිහිපයක් කබඩ් මුල්ලකින් ගෙන හැර පෑයේය.
මේ අලුත් පිටුවකි.
මම වහා සවින්දීට දුරකථන ඇමතුමක් දුන්නෙමි.
“මට හරියටම මතක නැහැ, ගොඩාක් කල්. හැබැයි ජනෙල් රෙදිනං තේරුවේ නැහැ.”
මෙය හාරා ඇවිස්සීමට දැන් කාලයක් නොවේ.
කවුන්ටරය මත වර්ණවත් පක්ෂීන් රැසක් මුදා හරින්නාක් මෙන් ගෝලයා අලුත් රෙදි මෝස්තර දිග හරියි. ඒවා මටම සිතාගත නොහැකි කැමති අකැමති මිශ්‍ර වූ අතීරණාත්මක රික්තකයකට මා හෙලයි.
“ඔය ටික දෙන්න”
පින්තාරුකරු එක්වරම මට ආවේශ වුවාක් සේ මම ඒවා දෙස නොබලාම කැමත්ත පල කළෙමි.
මේ අවදානම් ක්‍රීඩාවක් බව සිත කෑගසයි. එහෙත් උදෑසන සිට මේ තේරීම් උන්මාදය කෙසේ හෝ අවසන් වීම සිතට සැහැල්ලුවක් ගෙනෙයි.
“අර කලින් ආපු කෙනාට ඔයා කොහොමද එක පාරම රෙදි තේරුවෙ?”
ගෝලයා පාර්සලය සදන අතර මම ඔහුගෙන් පින්තාරුකරු වෙනුවෙන් සිදුකළ ඉන්ද්‍රජාලික රෙදි තේරීම ගැන විමසමි.
“එයා හැමදාම මෙහෙන් තමයි බඩු ගන්නෙ”
“හැමදාම බලන්නෙ නැතුවද ගන්නෙ?”
ගෝලයා උපහාසත්මක සිනාව මඩිමින් වචන ගලපයි.
“එයාට ඕනි ජනේලෙන් මීදුම පේන්ඩ. එච්චරයි”
“මීදුම පේන්ඩ?”
මම ප්‍රතිරාව නංවන විට අවට සිටින ගෝලයෝද සිනාසෙති.
“එතකොට ජනේලේ ?”
“එයාට ජනේලෙ නෙවෙයිලු ලස්සන“
“එහෙනං”
“ජනේලෙන් පේන දේලු”
එහි ඇති දාර්ශනික පදනමකින් මට පින්තාරුකරු ගැන පහන් චිත්‍රයක් මැවෙයි.
‘විකාර කතා’ යයි ගෝලයා සෙමින් කොඳුරමින් මගේ රෙදි පාර්සලයේ වැඩ නිමවයි.
“මම හෙට ගෝලයෝ එවන්නම් ඔය ටික එල්ලන්ඩ” කියමින් මුදලාලි ගෝලයකු අත රෙදි පාර්සලය මගේ වාහනයට පිටත් කරන ලදි.
‘සවින්දී කැමති වේවිද’ යි සිතට වදදෙමින් මම වැස්සේම වාහනය සෙමින් පණගන්වමි.
‘ඕක තමයි අවුරුද්ද කියන්නෙ‘ මුදලාලි පැවසූ යමක් තවමත් මා සිත දෝංකාර දෙයි.
ගෙවල් සරසමින් හදවත් පාරා ගන්නා අප අවුරුදු වෙළදපොල
කුණාටුවේ දහසක් තේරිම් මැද යටපත්වන සරලත්වයේ නැවතීම් තිත් සොයමින් වල්මත්ව ඇතිවා නොවේද?
නිවසට පැමිණි පසු මා මුහුණත් වැසෙන සේ ලොකු ජනෙල් රෙදි පාර්සලය ඔසවාගෙන සාලය වෙතට යනවිට සවින්දී දෙගිඩියාවෙන් බලා සිටියාය.
“අවුරුද්දට ජනෙල් රෙදි” යි දැඩි අවිනිශ්චිත හැඟීමකින් මම ඇය ඉදිරියේ පාර්සලය දිගහැරියෙමි. ජනේලයකට එක් රෙද්දක් දිගහැර තැබූ ඇය මා වෙතට හැරෙමින්,
“අනේ හරිම ලස්සනයි“
කුඩා දරුවකු මෙන් ඇගේ මුහුණේ සතුට මුලු ගේ පුරාම අවුරුදු සිරිය විසිරෙන්නාක් මෙනි.
දැන් ඇය ඉමහත් උද්යෝගයෙන් ජනෙල් රෙදි නොයෙක් රටාවන්ට තබමින් මා අභියස අලුත් ලෝකයක් නිමවයි.
ජනෙල් රෙදි වලට පොරබදින අපට ඒ තුළින් අලුත් ඇසක් සදන නුතනත්වයේ අභිනිෂ්ක්‍රමණය වැනි අර අපූරු මිනිසාගේ සරළත්වයේ ප්‍රතිරූපය තවමත් මසිත උත්ප්‍රාසයෙන් පුරවයි.
ජනේලයෙන් එපිට පෙනෙන ඈත කඳු වැටියේ මිහිදුම් වළාකුළු සෙමින් එරබදු යායට මෝදුවන අපූරුව මම බොහෝ වේලාවක් බලාගෙන සිටිමි.
ඒ.එම්.එල්.අත්තනායක – ඕක්ලන්ඩ්