‘මගේ නම සිනමන්’ නමින් ඉන්දියානු ලේඛක විකාස් ප්‍රකාශ් ජෝෂි ලියූ ළමා පොතෙහි ‘Kitchen Raid’ කතාව මීට පෙර කලාපයක ඉංග්‍රිරිසියෙන් පළ වීය. මේ එහි සංක්ෂිප්ත සිංහල අනුවාදයයි.
කොල්කටා තම අම්මාගේ මහගෙදරට ගිය රෝෂන්ට තම ඥාති සොහොයුරා සහ සොහොයුරිය වන සෞරදීප් සහ සුදක්ෂිනා ද එහි පැමිණ සිටීම සතුටට කාරණයක් වී ය. පසුදින උදෑසන කුස්සියට ගිය ඔහු නිලංජනා පුංචි සහ දිදීමා ද සමඟින් ලහි ලහියේ රාස්ගුල්ලා, සන්දේශ්, චොම් චොම් සහ ලන්චා විශාල ප්‍රමාණවලින් සකස් කරනු දුටුවේය. රෝෂන්ගේ තොල කට තෙත් වී ගියේය. මුඛය තුළම දිය වී යන පැණි බේරෙන රාස්ගුල්ලා, සේදයක් සේ සුසිනිඳු සන්දේශ්, රන්වන් දුඹුරු පැහැ චොම් චොම් සහ බඩගිනි අලි පවුලක් පෝෂණය කිරීමට සෑහෙන තරම්!
සෞරදීප් සහ සුදක්ෂිනා මේ සියල්ල ගිල දැමීමට පෙර ඔහු එක්තරා සැලසුමක් කළේ ය.
පවුලේ අය සමග ‘කොල්කටා දර්ශන්’ නගර සවාරියක නිම කර ආ රෝෂන් විවේකයකින් පසු තමාට වැඩි කෑම රුචියක් නොමැති බව කියමින් ඉතා සැහැල්ලු රාත්‍රී ආහාර වේලක් ගත්තේය.
‘දවස පුරාම අව්වේ එහා මෙහා ගිහින්, දුප්පත් කොල්ලා,’ පුංචි පැවසුවාය. ‘පැරසිටමෝල් එකක් ගන්න. හිසරදය ද?’
‘නෑ, හිසරදයක් නෑ. ම්ම්…අඅ…මම කිව්වේ, ඔව් ටිකක්… පොඩි හිසරදයක්. මම ටිකක් කන්නම්.’ හෙතෙම කාටත් සැක මතු නොවෙන්නට වග බලා ගත්තේ ය.
‘පූනේවල දී හාමතේ හිටියා වගේ අද හවස මෝග්ලායි පරාටා එක්ක චිකන් චොප්සි තලු ගගහ කද්දී නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ.’ ඇහිබැම එස වූ සීයා නම් විහිළුවක් කළේය.
රාත්‍රී කෑමට බත් සහ ගුග්නි ටිකක් ගත් රෝෂන් තට්ටු ඇඳේ ඉහළ ඇඳ මතට නැග, සිලින්ඩරාකාර ‘කෝල් බාලිෂ්’ කොට්ටය අල්ලා හිසට තබා සිවිලිම දෙස බලාගත්වන ම සිටියේය. ‘ඩබ්බා’ භාජනවල ඇති ඒ රසකැවිලි මතකය මුවට කෙළ නැංවූයේ ය. සියල්ලන්ම තම තමන්ගේ නිදන කාමර තුළට වැදගත් විට රෝෂන් තවමත් ඇඳේ වැතිරී සිවිලිම දෙස බලා සිටියේ අවදියෙන් සිටීමට දැඩි ලෙස වෑයම් කරමිනි. අනුක්‍රමයෙන් නිවසේ සියලුම ශබ්ද නැති වී ගියේය. සියල්ලන්ම නින්දට වැටුණු සෙයකි. මහ රෑ බෙංගාලි කතාමාලා සහ දේශපාලන සාකච්ඡා තවදුරටත් නො ඇසේ.
දැන් කාලය උදා වී ඇත.
ආධාරකයක් ලෙස ඇඳ විට්ටම අල්ලාගෙන ඔහු හෙමින් සීරුවේ පහතට බැසීය. ඔහුට මුලදී කිසිවක් දැකගත නොහැකි විය. ඔහු විමතියට පත් කරමින් , ඔහුගේ දෑස් අඳුරට හැඩගැසීමට අකමැති විය. එය තමාගේ පරිකල්පනය ද නැතහොත් අන්ධකාරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තීව්‍රද? ඔහු ස්වල්ප වේලාවක් බලා සිට අවසානයේ තීරණය කළේ ඉදිරියටම යා යුතු බවයි.
රෝෂන් තම දෑස පිරිමැද්දේය. තම මෙහෙයුම අතහැර දැමිය යුතු දැයි ඔහු මොහොතකට තමා සමඟම වාද කළේය. නමුත් සෞරදීප් ගොරවන හඬ සවනට වැකුණෙන්, එය දැන්ම සිදුකළ නොහැකි වේ නම් නැවත කිසිදා සිදුකළ නොහැකි වන බව රෝෂන්ට අවබෝධ විණි.
කල්පයක් තරම් වූ දීර්ඝ කාලයක් බලා සිටීමෙන් පසුව, අවසානයේ ඔහුට වටපිටාව පිළිබඳ ඡායා මාත්‍රයක් පෙනෙන්නට වීය. එය පාර සොයා ගැනීමට ප්‍රමාණවත්ය.
කුස්සිය පිහිටා ඇත්තේ කොහිද, තම කාමරයේ සිට එහි යන්නේ කෙසේද යන්න ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණි. සෙමින් සෙමින් අතපත ගාගෙන ගොස් කාමරේ දොරෙන් කුස්සියටත් අන්තිමට ශීතකරණයටත් ළඟා වීමට රෝෂන්ට හැකි විය.
ඔහු නානාප්‍රකාර ඩබ්බා බඳුන් විවෘත කරගෙන හිතේ හැටියට රසකැවිලි ගිල දැම්මේය. විශේෂයෙන් රාස්ගුල්ලා සහ සන්දේෂ් කීයක් කෑවාද යන්න ඔහුට නිච්චි නොමැති වුවද අවසානයේ ඔහුගේ බඩ පුපුරා යෑමට තරම් ආසන්න විය.
රෝෂන් නැවතත් ආපසු යන්නට හැරුණු නමුත් එළිය පාර සොයාගන්නට තරම් ප්‍රමාණවත් නොවිණි. අවසානයේ ඔහු තීරණය කළේ හතරගාතෙන් වැටී කාමරය දෙසට බඩගාගෙන යාමටයි. ඔහු ආපසු එන අතරතුර නිදන කාමරයේ දොරේ හිස හප්පා ගත්තේය. හැඬුම් නැවතීමට ඔහුට කළ හැකි එකම දේ වූයේ දෙතොල් තදින්ම සපා ගැනීම පමණි. අවසානයේ ඉතා සෙමින් සහ සෑහෙන අපහසුවෙන් ඔහු තට්ටු ඇඳ මතට නැග ගත්තේය.
උදෑසන ඔහු අවදි වූයේ උස් හඬින් ඇසුණු කලබගෑනියක සද්ද බද්ද සමඟය.
‘මොන විකාරයක් ද මේ?’
‘මොකද්ද මේ කරලා තියෙන්නේ ?’
කෙසේ වෙතත් අම්මා සහ පුංචි කතා කරන විට කන් අඩි පිපිරෙන්නට තරම් ඝෝෂාවක් නිර්මාණය වේ. දෙපයේ ඇඟිලි තුඩු මතින් නිදන කාමරයේ දොර අසලට ගිය රෝෂන් හිස යන්තමින් එළියට දමා කුස්සිය දෙසට නෙත් යොමු කළේය.
‘කවුරුහරි රාස්ගුල්ලා මහා ගොඩක් කාලා දාලා ! මාගෝ!’ අම්මා මුර ගෑවාය. නිලංජනා පුංචි බඳුන තුළට එබී බැලුවේ වැරදිකාරයා භාජනයේ පතුලෙන් සොයාගැනීමට මෙනි. දිදීමා අනිත් භාජන ද එකින් එක විවෘත කළාය.
‘සන්දේෂ් සහ චොම් චොම් පවා!’ දිදීමා කෑගැසුවාය. ‘මං අහන්නේ කවුද මෙච්චර කෑවේ?’
‘ෂූරෝ වෙන්න ඕන. එයා පුදුම විදියට කෑදරයි. ‘ අම්මා රළු ලෙස පැවසුවාය.
නිලංජනා පුංචි ඇහි බැම එසවූ නමුත් ප්‍රතිචාර දැක්වූයේ නැත.
‘මම ඇත්තටම නිදාගෙන හිටියේ.’ සෞරදීප් තරයේ කියා සිටියේය.
රෝෂන් ප්‍රමෝදයට පත් විය. ඔහු දත් මැදීමට මෙන් නොසැලකිලිමත් ලෙස නානකාමරය වෙත යාමට තීරණය කළේය. අම්මා එක්වරම කොක්හඬලා සිනාසුණාය.
‘රෝෂන් මෙහෙ එන්න.’අම්මා කීවාය. ඔහු ඉදිරියට ගියේය.
‘නිලාංජනාදී අපේ රෝෂන් දිහා බලන්නකෝ.’
සියල්ලන්ගේම නෙත් ඔහු වෙත යොමු වූ අතර ඔවුන් සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්හ. කුමක් දෙස ඔවුන් බලා සිටින්නේ දැයි රෝෂන් කල්පනා කළේය.
‘කෝකා, මම අහන්නේ, ඊයේ රෑ ඔයා රාස්ගුල්ලා සහ සන්දේශ් කීයක් කෑවා ද?’
පුංචි, ඇයගේ දෙතොල් රවුම් කරමින් ඇසුවේ ඉතා කරුණාවන්ත ලෙසිනි.
‘මම එකක්වත් කෑවේ නෑ… ඒවා කෑවේ කුභක්ෂණා යි… සෞරදීප් නුයි!’ සියල්ලෝම ප්‍රතිචාර ලෙස උස් හඬින් සිනහසෙන්නට වූහ.
‘මං එකක්වත් කෑවේ නෑ තමයි, ඔය පේන්නේ.’ දිදීමා දෑතින් මුව වසාගෙන සිනාසුණාය.
සිනා හඬ මධ්‍යයේ අම්මා ඔහුගේ උරහිසෙන් අල්ලාගෙන ඔහුව ඇදගෙන නාන කාමරයට ගියාය.
‘කණ්නාඩිය බලන්නකෝ බබා.’
රෝෂන්ට ලැජ්ජාවෙන් මැරෙන්නට සිතුණි.
ඔහුගේ මුළු කමිසයම මෙන්ම කට දෙපස ද රාස්ගුල්ලා කෑලි, මැල්පුවා සිරප් පැල්ලම්, සන්දේශ් සහ චොම් චොම් වලින් වැසී ගොසිනි. නැවත යහන කරා යාමට තිබූ කඩිමුඩිය හේතුවෙන් ඔහුට අත් සහ කට සේදීමට පවා මුලුමනින්ම අමතක වී තිබුණි. ‘මුහුණ පුරාවට පැණි රස දේවල් ගාගෙන මම මෝඩ වඳුරෙක් වගෙයි.’ රෝෂන්ට දැනුණේ අසරණ කමකි.
උදෑසන ආහාරය ගත් විගස, රෝෂන්ගේ අමාශය තීරණය කර තිබුණේ ඔහු රාත්‍රියේ අනුභව කළ බෙංගාලි රසකැවිලි ප්‍රමාණය පමණට වඩා වැඩි බව ය. ඔහු ඉක්මණින් ගොස් නාන කාමරයට වැද බොහෝ වේලාවක් එහි රැඳී සිටියේය.
ඔව්.., නාන කාමරයෙන් එළියට ආවට පසු රෝෂන් සිතුවේය. ඕනෑවට වඩා ලබා ගත් කළ රසකැවිලි පවා නරක දෙයක් විය හැකිය. කෙසේ වෙතත් රාස්ගුල්ලා ඉතා ප්‍රණීත වුයේය. ඔහු කෙරේ පසුතැවීමක් නොවීය. රසකැවිලි අනුභව කිරීම ඉන්දියානු ළමයෙකු ලෙස ඔහුගේ යුතුකම වූ අතර සෑම ඉන්දියානු ළමයෙකුම තම යුතුකම ඉෂ්ට කළ යුතුව තිබිණි.
නමුත් එහි දීප්තිමත් පැත්තක් ඇති බව, සිද්ධිය ගැන දැනගත් විට සීයා පෙන්වා දුන්නේය.
ඔහු රෝෂන්ගේ උරහිසට තට්ටු කරමින් කතා කළේය ‘ හොඳ පැත්ත දකින්න රෝෂන්. අඩුම තරමින් දැන් ඔයා දන්නවා, බැලූනයකට ඕනෑවට වඩා හුළං පිම්බාම සිද්ධ වෙන දේ.අඩුම තරමේ දැන්, අලියෙක් බෙටි දමනකොට දැනෙන හැඟීම ඔයා දන්නවා’
By Vikas Prakash Joshi – Pune, India
Translated by – Charika Janith – Sri Lanka