fbpx
11.3 C
New Zealand
Friday, May 3, 2024

The Only Sri Lankan Community Newspaper in New Zealand

මානසික සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික පරිණතභාවය | ආචාර්ය රෝහන උල්ලුවිස්හේවා | පාමස්ටන් නෝරත්

Must read

SrilankaNZ
SrilankaNZhttps://www.srilankanz.co.nz
ශ්‍රී LankaNZ is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population of over 18,000 all over New Zealand. The demand for entertainment in literacy media itself gave birth to ශ්‍රී LankaNZ

ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝබර් 10 වැනිදාට  යෙදුනා. ලෝක සෞඛ්‍ය සංවිධානය  මගින් ප්‍රකාශිත මෙම ලෝක  මානසික සෞඛ්‍ය දිනයේ සමස්ත පරමාර්ථය වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍යට සහාය වීම සඳහා උත්සාහයන් බලමුළු ගැන්වීමයි. මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම පාර්ශ්වකරුවන්ට ඔවුන්ගේ වැඩ ගැන කතා කිරීමට සහ මානසික සෞඛ්‍ය සේවාව ලොව පුරා සිටින පුද්ගලයින් සඳහා යථාර්ථයක් බවට පත් කිරීමට තවත් කළ යුතු දේ  කිරීමට මෙම දිනය සලසා දෙනවා.

මානසික සෞඛ්‍ය සහ  ආධ්‍යාත්මික පරිණතභාවය අතර  පවතින  කිට්ටු සම්බන්ධතාවය පිළිබඳව  මෑතක සිට මනෝ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. පුද්ගලයෙකුට ආධ්‍යාත්මිකව පරිණත නොවී මානසිකව සෞඛ්‍ය සම්පන්න විය හැකිද? එසේ නොවේ නම්, මානසිකව සෞඛ්‍ය සම්පන්න නොවී ජීවිතය ආධ්‍යාත්මිකව පරිණත විය හැකිද? නොඑසේ නම් ආධ්‍යාත්මික පරිණතභාවය සාක්ෂාත්කර ගැනීම  සහ මානසික සෞඛ්‍ය සාක්ෂාත්කර  ගැනීම යනු දෙකක්  නොව එකක්ද?  මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා පළමුවෙන්ම  ආධ්‍යාත්මික පරිණතභාවය යනු කුමක්ද? මානසික සෞඛ්‍ය යනු කුමක්ද? යන කරුණු පැහැදිලිව තේරුම් ගන්න ඕන.

සංස්කෘත භාෂාව පිළිබඳ විද්වතුන්ට අනුව ‘ආධ්‍යාත්මික’ යන වචනය නිර්මාණය වී තිබෙන්නේ ‘අධි’ සහ ‘ආත්ම’ යන සංස්කෘත වචන දෙකෙහි එකතුවෙන්. ‘අධි’ යන වචනයේ ‘උතුම්’ හෝ ‘උසස්’ යන තේරුමත් ‘ආත්ම’ යන වචනයේ අර්ථය  ‘පුද්ගලයා’ වශයෙන් ද  ගත්විට ආධ්‍යාත්මය යනු පුද්ගලයකුට එළඹිය හැකි උතුම්ම හෝ උසස්ම තත්ත්වය වශයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. එවිට ආධ්‍යාත්මික පරිණතභාවය යන්නෙහි තේරුම පුද්ගලයෙක් එම උසස්ම තත්ත්වය කරා  පරිණාමය   වීමයි. එම උසස්ම තත්ත්වයට පුද්ගලයෙක් පත්වන විට ඒ පුද්ගලයා තුළින් සැබෑ මානුෂීය ගතිගුණ මතුව වෙනවා. ඒවා ආධ්‍යාත්මික ගුණ වශයෙන් හඳුන්වනවා.

පුද්ගලයෙක්  ආධ්‍යාත්මිකව පරිණත වන විට ඒ පුද්ගලයා තුළින්  විද්‍යමාන වන ආධ්‍යාත්මික   ගුණ සහ පුද්ගලයෙක්  මානසිකව සෞඛ්‍ය සම්පන්න වන විට ඒ පුද්ගලයා තුළින් විද්‍යමාන වන ගුණ දෙකක් නොව එකක්ම බව මේ පිළිබඳව පර්යේෂණ පවත්වා ඇති විද්වතුන්ගේ අදහස් සමාලෝචන කරන විට පෙනී යනවා. අමෙරිකා එක්සත් ජනපදයේ ‘ජාතික මානසික සෞඛ්‍ය සංගමය’ විසින් මානසික සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන්ගේ ලක්ෂණ දහයක් දක්වා ඇත

  1. ඔවුන්ට හැමවිටම   තමන් ගැන හොඳක්, සතුටක් හෝ තෘප්තියක්  දැනෙනවා.
  2. ඔවුන් බිය, කෝපය, ආදරය, ඊර්ෂ්‍යාව, වරදකාරි හැඟීම හෝ කනස්සල්ල වැනි හැඟීම්වලින් යටපත් නොවේ.
  3. ඔවුන්ට කල් පවතින හා තෘප්තිමත් පෞද්ගලික සබඳතා ඇත.
  4. ඔවුන්ට වෙනත් පුද්ගලයින් සමඟ සුවපහසුවක් දැනේ.
  5. ඔවුන්ට තමන්ටම සහ අන් අය සමඟ සිනාසීමට හැකිය.
  6. භේද තිබුණත් තමන්ටත් අනුන්ටත් ගෞරවයක් තියෙනවා.
  7. ජීවිතයේ බලාපොරොත්තු සුන්වීම් පිළිගැනීමට ඔවුන්ට හැකි වේ.
  8. ඔවුන්ට ජීවිතයේ ඉල්ලීම් සපුරාලීමට සහ ඒවා පැනනගින විට ඔවුන්ගේ ගැටළු විසඳා ගත හැකිය.
  9. ඔවුන් තමන්ගේම තීරණ ගනී.
  10. ඔවුන් හැකි සෑම විටම තම පරිසරය හැඩගස්වා ගන්නා අතර අවශ්‍ය විටෙක එයට අනුගත වේ.

මේ ආකාරයට  මානසික්ව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකුගේ ලක්ෂණ වශයෙන් නිරන්තරයෙන් තමා තුළ පවතින සතුට, තෘප්තිමත්භාවය සහ සාමය, අන්‍යයන් සමඟ සහජීවනය,  අන්‍යයන්ගේ සතුට සහ යහපැවැත්ම සඳහා නිරන්තරයෙන්  දායක වීම  කෙටියෙන් දක්වන්න පුළුවන්. ආධ්‍යාත්මිකව පරිණත වූ පුද්ගලයන් තුළින් ද මෙම ලක්ෂණම  විද්‍යමාන වන බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඉන් පෙනී යන්නේ පුද්ගලයෙක්  ආධ්‍යාත්මිකව පරිණත වන විට ඒ පුද්ගලයා මානසිකව සෞඛ්‍ය සම්පන්න වන බවයි.

ආධ්‍යාත්මිකව පරිණත නොවූ පුද්ගලයා දකින්නේ බෙදුණු ලෝකයක්. එවැනි  පුද්ගලයන් තුළ පවතින මමත්වය නිසා මම, මගේ සහ මම නොවන, මගේ නොවන වශයෙන් මූලික බෙදීමක් හටගන්නවා. එවිට එවැනි පුද්ගලයෙකුගේ සිතිවිලි සහ හැසිරීම් තමාට පක්ෂපාත වෙනවා. අන්‍යයන්ට සාපේක්ෂවව තමා ගැන හිතන්න පුරුදු වෙනවා. තරගකාරීව හිතන්නත් තමා අන්‍යන්ට වඩා ඉහළින් තැබීමටත් උත්සාහ ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්  අන්යෝන්‍ය සබඳතා පළුදු වෙනවා. තරහ, ඊර්ෂ්‍යාව, වෛරය සහ ක්‍රෝධය මගින් සිත අපිරිසිදු වෙනවා. මානසික පීඩනය සහ ආතතිය හටගන්නවා.

එහෙත් අධ්‍යාත්මිකව පරිණත වූ පුද්ගලයා තුළ දැඩි මමත්වයක් නැහැ. ඒ නිසා  අන්‍යන්ට සාපේක්ෂව තමා ගැන හිතන්නේ නැහැ. අන්‍යයන් සමඟ තරග කිරීමටත් අන්‍යයන් පරයා ඉහළට යාමට උනන්දුවක් නැහැ. අන්‍යයන් තමා ගැන කුමන ආකාරයක සිතයි ද යන්න පිළිබඳව කනස්සල්ලක් නැහැ. තමා පිළිබඳව  හොඳ ප්‍රතිරූපයක්  අන්‍යයන් තුළ නිර්මාණය කිරීමට සහ නඩත්තු කිරීමට උනන්දුවක් නැහැ. ඒ පුද්ගලයා නිදහසේ ජීවත් වෙනවා තමන් කැමති විදියට. එහෙත් තම සහජ හැකියාවන් උද්දීපනය කොට වඩාත් හොඳින් අන්‍යන්ට සේවය කළ හැකි පුද්ගලයෙක් වීමට උත්සහ ගන්නවා. ආධ්‍යාත්මිකව පරිණත නොවූ පුද්ගලයා තුළ මෙන් සෘණාත්මක සිතුවිලි හට ගන්නේ නැහැ.අන්‍යයන් සමඟ සහජීවනයෙන් ජීවත් වෙනවා. ඒ නිසා තමාටත් අන්‍යයන්ටත් මානසික පීඩනය ඇතිවන ආකාරයේ සිතිවිලි සහ  හැසිරීම් නැහැ.

ආධ්‍යාත්මිකව පරිණත වූ පුද්ගලයා තුළ  නිරන්තරයෙන් පවතින සතුට සහ තෘප්තිය ඇතුළාන්තයේ පවතින නිවීම සහ සැනසීම නිසා උත්පාදනය වන්නක්. පාරදෘශ්‍ය මනෝවිද්‍යාඥයින් (Transpersonal Psychology) මෙය හඳුන්වනවා  නො-ඇවිස්සුණු සතුට (Non-aroused Happiness) සහ  මූලික රේඛීය සතුට (Baseline Happiness) වශයෙන්. මෙය  මනුෂ්‍යයන් වශයෙන් අපට උරුම වූ ස්වාභාවික සතුටයි. මෙම සතුට අත්විඳීම සඳහා කිසිවක් කළ යුතු නැහැ. ඒ සඳහා බාහිර ලෝකයෙන්  කිසිවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ තම සිත සංසුන්ව පවත්වා ගැනීම පමණයි.  නමුත්  ආධ්‍යාත්මිකව පරිණත නොවූ පුද්ගලයාට තම සිත පිළිබඳව පවතින අනවබෝධය නිසා තමා තුළ පවතින මෙම සතුට පිළිබඳව හැඟීමක් නැහැ.  ඒ නිසා තමා කැමති දේවල් ලබා ගැනීමෙන් සහ අකමැති දේවල් තමා කරා පැමිණීම වැළැක්වීමෙන් වෙනත් ආකාරයක සතුටක් සොයනවා. මෙය හඳුන්වනවා  ඇවිස්සුනු සතුට (Aroused Happiness) වශයෙන්. එය කෘතිම සතුටක්.  එය සතුටකට වඩා  උද්‍යෝගයක් (Excitement) හැටියට  හඳුන්වන්න  පුළුවන්.  ආධ්‍යාත්මිකව පරිණත නොවූ සෑම  පුද්ගලයෙක්ම මෙම කෘතිම සතුට ලුහුබැඳ යාමට ඇබ්බැහි වෙලා.  ඒ නිසා තමාට කැමති දේවල් බාහිර ලෝකයෙන් සෙවීමට, සොයාගත් දේවල් පරිභෝජනය කිරීමට සහ තමා වෙතම තබා ගැනීමට මෙන්ම අකමැති දේවල් තමා කරා පැමිණීම වැළැක්වීමට විශාල සටනක යෙදීමට සිදු වෙනවා. මෙහි විපාකයක් වශයෙන් අන්‍යයන් සමග සම්බන්ධතාවය පළුදු වෙනවා, මානසික  පීඩනය සහ මානසික ආතතිය ඇතිවෙනවා, මානසික සෞඛ්‍ය පිරිහෙනවා.

මේ ආකාරයට  පුද්ගලයෙක්  ආධ්‍යාත්මිකව පරිණත වන විට ඒ පුද්ගලයා මානසිකව සෞඛ්‍ය සම්පන්න වන බවයි. ආධ්‍යාත්මිකව පරිණත වීම සඳහා ආගමික ක්‍රමවේද මෙන්ම ආගමික නොවූ විද්‍යාව මත පදනම්  ක්‍රමවේද  ද පවතිනවා. මානසික ප්‍රතිකාර සඳහා මෙවැනි ආධ්‍යාත්මික ක්‍රමවේද  යොදා යොදාගැනීමේ  ප්‍රවණතාවයක් දැන්  ඇතැම් බටහිර රටවල  මනෝ වෛද්‍යවරුන් අතර දකින්න  පුලුවන්.

By Dr. Rohana Ulluvishewa – Palmerston North

Facebook Comments Box

ශ්‍රීLankaNZ සමාජ සත්කාරය අඛණ්ඩවම පාඨකයන් වෙත රැගෙන එන්නට ඔබගේ කාරුණික දායකත්වය අත්‍යාවශ්‍යමය. එය ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මෙන්ම පුවත්පතට ලිපි සපයන සම්පත් දායකයින්ට ද ඉමහත් ධෛර්යයක්වනු ඇත. ශ්‍රී ලන්කන්ස් පුවත්පතේ ඉදිරි ගමනට අත දෙන්න.

BECOME A SUPPORTER
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img
spot_img

Latest article

Consider a contribution…

ශ්‍රී LankaNZ(ශ්‍රී ලංකන්ස්) is a free distributed Sri Lankan Community Newspaper that aims to reach a Sri Lankan population all over New Zealand. If you would like to appreciate our commitment, please consider a contribution.