දයා ප්‍රතාපසිංහගේ ‘දූවිලි මල්’ කෙටි කතා එකතුවේ ‘ජම්බු ගෙඩියෙන් කැපුන කොඩිවිනය’ කතාවේ අනුවාදයකි.
රොසලින් දෙපා ගසා දමා පැදුරෙන් නැගිට ඉඟසුඟ නලවා යකැදුරා සමග බෙර පද තාලයට නටන්නට පටන් ගත්තා ය.
‘අහසේ ගොසින් ඉරුයට සැඟවුණත් වරෙන්
පොළවේ ගොසින් වැලියට සැඟවුණත් වරෙන්
මහ මුහුදේ ජලයට සැඟවුණත් වරෙන්
ලෙඩ කළ යකා කොතැනක සැඟවුණත් වරෙන්’
සර්නේලිස් ගායනා කළේ ය. රොසලින්, සර්නේලිස් සමග හරි හරියට නටාගෙන නටාගෙන ගියාය.
‘තොටුපල ගලට ඇවිදින් යකු මග බැලුවා
දුටු අඟනන්ව රෑ සිහිනෙන් ලෙඩ කෙරුවා
යුතු ලෙස දෙන්ට සත් දොළ බිලි අද මැරුවා
තොට කඩවර දොළ ගෙන දිය පිට වැඩුවා’
සරනේලිස් සද්දය වැඩි කළේ ය.
‘දොළ ගෙන දිය පිට වැඩුවා,’ කළු මහත්තයා අග අල්ලා නැන්සි අක්කා සමීපයට පැමිනුණේ ය. ඇය රොසලින්ගේ සැමියා වූ කදිරාගේ අම්මාය.
‘ලෙඩා තදටම ආවේශ වෙලා,’ කළු මහත්තයා රහසින් කීවේ ය.
‘උන්දැ?’ ඇය ගස්සා ගත්තා ය. ‘ඉමිය ගෑනි. ඕකි ආවේස වුණේ අද ඊයෙයැ.’
බෙර හඩ ඇසුණේ ය. ස්තෝත්‍ර ගැයුනේය. යුවල නැටුවෝය.
‘මෙදොළ අරන් සත්සක්වල හිටන් වරෙන්
මෙදොළ අරන් හිස සත්කඩ පලා වරෙන්
මෙදොළ අරන් ලේ හත් ගොටු බිබී වරෙන්
දෙන දොළ අරන් ලෙඩ කළ යකු හනික වරෙන්…’
‘ඒ්..ඒ්..ඒ..ලෙඩ කළ යකු හනික වරෙන්…’
ටික වෙලාවකින් යකැදුරා ඇයව ආතුර පැදුරේ වාඩි කරවීය. ආවතේව කොලුවා හරි හරියට උත්තර බඳිමින් අඩුපාඩු සැපයීය. කට්ටඩියා එක දිගටම ජප මන්ත්‍ර ගායනා කළේය. එළිවන ජාමයේ එක් වරම කෑ ගසාගෙන නැගිට ගත් රොසලින් ගුරුන්නාන්සේ අත තිබූ පොල්මල් ඉත්ත උදුරාගෙන කිනිති විසිවන තුරු දෑතින්ම ඔහුට තලන්නට වූවා ය. ඉන්පසු හති වැටී හඬමින් පැදුර මත ඇද වැටුණා ය.
‘හප්පා…අඩව්ව සැර වැඩි වුණා. මාන්සි පාටයි,’ කියමින් යකැදුරා සිනාසුණේ ය.
‘අනේ,’ නැන්සි හාමි හිස ගස්සා දැම්මාය. ‘උන්දැට හති? තව නටතෑකි,’ ඇය හීන්හාමිගේ කනට ළංකර කීවාය.
පාන්දර හතරට කුකුළා අඬලද්දී ආරූඩ වූ සර්නේලිස් ඉස්පිම්මේ ගෙදර ඉදිරිපිට ඇති කොස් ගස යටට දිව්වේය.
‘අන්න අතන දැන් අඩිය තියෙනවා
මෙන්න මෙතන දැන් යකු නලියනවා
දන්න මුනිදු බණ මං පවසනවා
මෙන්න යකුනි දොල අරගෙන යනවා’
‘ඒ..ඒ..ඒ.. යකුනි දොළ අරගෙන යනවා…’
සර්නේලිස්, ආරූඩයෙන් හිස සොලවමින් නටමින් අත් පද්දමින් මිදුල කෙළවර පිනි ජම්බු ගහ මුල නතර වී ය.
‘දරුවා සේපාලයෝ, හාරපං මෙතන,’ යයි ඔහු මාපට ඇඟිල්ලෙන් ගහ මුල තැනක් පෙන්වා ඔහුගේ පුතාට අණ කළේ ය. සේපාල අත වූ කිණිස්සෙන් බිම හාරා කොඩිවිනය එළියට ගත්තේ රැස්ව සිටි කවුරුත් පුදුමයට පත් කරවමිනි. දෑස් ලොකු කර බැලූ සර්නේලිස්, කොඩිවිනය තම උරහිස වූ ලේන්සුවෙන් ඔතා බඩතුරේ ගහගෙන ස්තෝත්‍ර කියවන්නට වීය.
‘ජම්බු ගෙඩියෙන් කැපුනු රූපය – වස්දොස් නිසා ගෙවුනු සාපය
අදින් ඉවරයි යක්ෂ වේශය – පවුලේ සැමටම දෙන්න සාමය.’
‘ඒ්..ඒ..ඒ.. පවුලේ සැමටම දෙන්න සාමය.’
හීන්හාමි අග ඇල්ලුවේ ය.
‘මන්තර නැන බල ජප කොට
නම් කුරු රැගෙන මෙලෙසට
මින්පසු වින නැතිය ඔබහට
කොඩිවින කැපුවා සුන් කොට.’
ආතුරයාගේ නළලත ඊ ගහ තබමින් සර්නේලිස් සපථ කළේ ය.
‘ඒ්.. ඒ්.. ඒ්.. කොඩිවින කැපුවා සුන්කොට’
අළුයම සියල්ල නිමවන විට ‘කොඩිවිනය කැපීලා,’ යි රොසලින් කදිරාට මිමිණුවාය. ‘හිස රුදාව නෑ.’
‘මම ඔය බොරු කට්ටඩිලා වගේ නෙවෙයි. කරනදේ හරියට කරනවා.’ ගුරුන්නාන්සේ කීවේය.
‘අපේ එකා මදිවට මහසෝනත් රවට්ටගෙන,’ යි කියූ නැන්සි අක්කා ගේ තුළට දුව ගියා ය. පොරොන්දු වූ පරිදි ගනුදෙනු ලබා ගත් සර්නේලිස් පිටව ගිය පසු කදිරා ළඟට ඔහුගේ දඟකාර පුතා දුව ආවේය.
‘තාත්තේ, මේං-’ ඔහු යමක් තම පියාට දුන්නේ ය. ඒ හොඬල අලයකින් කපා පාට කළ බෝනිකකෙුගේ මෙන් රූපයකි. ‘මං ඊයෙ රෑ හිටියේ ජම්බු ගහ උඩ.’
‘මේ රෑ? මං හිතුවේ උඹ බුදි කියලා කාමරේ. දෙයියෝ සාක්කි,’ කදිරා තම පුතු අල්ලා ගත්තේ ය. ‘ඉතිං?’ කදිරා තමාට ලැබුණු රූපය දෙස බැලවේය. ‘මේක?’
‘නටන අංකල් එක්ක හිටිය අයියා ඕක ගහ යට දාලා පස්වලින් වැහුවා. ගහෙන් බැහැලා කකා හිටිය ජම්බුව එතනට දාලා ඒක මං ගත්තා.’
‘කවුද සේපාලයා?’ කදිරා වටපිට බැලවේ ය. ‘කට්ටඩියාගේ පුතා? එතකොට කොඩිවිනේ ඒකයි,’ කියමින් බිලීපිත්ත ගැස්සුවාක් මෙන් කෙලින් වී සිට ගත් කදිරා මුල්ලේ වූ දොර පොල්ල අතට ගත්තේ ය.
By Daya Prathapasinghe – Auckland