පීතෘත්වය (කොටස් 10 කින් යුත් කෙටි කතාව) 9 වන කොටස
මෙතෙක් කතාව…
පාලිත මැදි වියේ පසුවන උසස් රජයේ නිලධාරියෙකි. බණ්ඩාරවෙල සේවය කරද්දී ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ කාංචනාගේ දියණිය පැමිණ ඇය ඔහුගේ පියා බව පවසා සිටියි. එය නිවැරදි පව සනාථ වූ පසු පිය සෙනෙහසට ඉඩ දෙමින් ඔහු ඇයගේ පීතෘත්වය භාර ගනියි. ඔහුගේ බිරිඳ කියන්නේ කුමක්ද ? අද එතැන් සිට…
නිවසට ආ පාලිතගේ වෙනස බිරිඳ දුටුවාය. ඔහු දෙස ඕනෑකමින් බලා සිටි ඇය යමක් අසන්නට පෙර ඔහු කාමරයට වැදුනේය. ඔහු ඇය සමඟ කතාවට වැටුනේ රෑ නින්දට ඇඳට ආ පසුය. ඔහු වටින් ගොඩින් කියන්නට යද්දී ඇයගේ ප්‍රතිචාරය යහපත් නැති බැවින් කතාව නැවැත්තුවේය. පසුදා උදේ සෙනසුරාදා බැවින් ඔහු පුතාව ක්‍රීඩා පුහුණුවීම්වලට එක්ක ගියේ, රියැදුරු එන්න ප්‍රමාද වන බැවිනි. මෙවැනි දිනවල පුතාව ගෙනි යන්නේ බිරිඳය. ඔවුන් කාරයට ගොඩවන විට ඇය පුදුම වී ඔහු දෙස බලා සිනාසුනා මිස කිසිත් නොකීවාය. පුතා, තමා සමඟ යන්න සතුටු බව ඔහු දනී.
‘මට ඕනා සිංදුවක් අහන්න පුලුවන්. අම්මා දාන්නේ එයාට ඕන චැනල් එකක් විතරයි. ඒත් අහන්නෙත් නෑ. යනකං ෆෝන් එකේ එල්ලිලා’ පුතා සිනාසෙමින් කියයි.
යන ගමන් පාලිත පුතාව කතාවට අල්ලා ගත්තේය. හවසට තමා ඔහුට වැදගත් දෙයක් කීමට යන බවත් එයට කිසිසේත් කලබල නොවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ඔහු පුතාට ඇති ආදරය කිසිවිටක වෙනස් නොවන බව ඔහු කීවේය. පුතා බැලුවේ අමුතු විදියටය.
‘ම්ම්ම්… තාත්තා අම්මව ඩිවෝස් කරන්නද හදන්නේ ?’ ඔහු පොල්ලෙන් ගැහුවා සේ ඇහුවේය. පාලිතට පුදුම සිතුනි. අද කාලේ එවුන්ගෙ හැටි. ඔහු අමාරුවෙන් සිනා වුණේය.
‘න්..නෑ ..එහෙම දෙයක් නෑ. නමුත් ටිකක් වෙනස් කතාවක්. මං පස්සේ කියන්නම්කෝ..’
‘ඕකේ තාත්තා. ඒත් තාත්තා සතුටෙන් නෙවෙයි ඉන්නේ නේද ?’ ඔහු ඉංග්‍රීසියෙන් ඇසීය. ඔහු තමා ගැන නිරීක්ෂණය කරන බව දැන පාලිත පුදුම වීය. තමා පුතා සමඟ කතා කරනවා හොඳටම මදි බව ඔහුට වැටහේ.
‘ම්…සතුට කියන්නෙ හරි අමුතු දෙයක්නේ පුතා. ඔව්, මං සමහර වෙලාවට අසතුටෙන් ඉන්නේ කියලා ඔයාට පේන එක හරි. හැබැයි ඒ ඔයා නිසා නෙවෙයි ’
‘මං දන්නවා තාත්තා. තාත්තට වැඩ වැඩියි නේද ? ඒත්…. තාත්තා අපිව දාලා යන්න හදන්නේ නෑ නේද ?’ පාලිතගේ උගුර හිරවෙන්න එයි…
‘නෑ මගේ පැටියෝ. කවදාවත් නෑ. මං හවසට කියන්නම්කෝ ඒ දේ. ඔයා මාව තේරුම් ගනියි කියලා මං හිතනවා’ පාලිත ඊට වඩා යමක් කියන්නට ගියේ නැත. පුතා කිසිත් ඇසුවේත් නැත.
පාලිත ඉන්පසු නෙත්මිණිට කතා කර බැලුවේය. ඇය කෝච්චියේ යන ගමන් ය. ඉන්පසු පාලිත කාර්යාලයට ගොස් ප්‍රමාද වූ ලිපිගොනුවේ වැඩ ඉවර කළේය. සවස නිවසට ආ පසු ඇඟපත සෝදා සුව පහසුව වාඩි වී තේ එකක් බොන විට බිරිඳ ඇවිත් ළඟ වාඩි විය.
‘ඔයා මොනවද මට ඊයේ රෑ කියන්න ආවා නේද ? ඔයාගේ විදිය අමුතුයි. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?’ මොන ගැටලු තිබුණත් තමාත් බිරිඳත් අතර රණ්ඩුසරුවල් නම් වී නැත. ඇයත් එසේ රණ්ඩු කරන ජාතියේ කෙනෙක් නොවේ.
‘ඔව්. ප්‍රශ්නයක් තමයි. ටිකක් බැරෑරුම් එකක්. හැබැයි ඔයා මේක කලබල නොවී අහගන්න ඕනා’ පාලිත සියලු විස්තර ඇයට කීවේ, කිසිවකුට මෙය නොකියන ලෙස පොරොන්දු කරවාගෙනය. එන්න එන්න අඳුරු වී ගෙන ගිය ඇගේ මුහුණ කතාව නිම වූ පසු කේන්තියෙන් රතු විය.
‘මට සමාවෙන්න මෙහෙම දෙයක් කියන්න වුණාට. ඒත් ඔයා මොකක්ද මේ ගැන කියන්නේ ? මං පුතාටත් මේ ගැන කියන්න තීරණය කරා ’ ඇය සෑහෙන වෙලාවක් නිහඬව දෑස් රතු කරගෙන සිටියාය. ඇය ඇස්වල කඳුළු පිස දැම්මාය. පාලිතට ඇය ගැන අනුකම්පාවක් ඇති වුණි.
‘ඔයා මට කලේ අවනම්බුවක්, අසාධාරණයක්. ඔයාටත් මේක අවනම්බුවක්. කවදාවත් හිතුවද මෙහෙම දෙයක් වෙයි කියලා ? මං කොහොමද කාටවත් මේ දේවල් කියන්නේ, පාලිත ? ඔයාට පිස්සුද මේවා අපේ පුතාට කියන්න’ ඇයගේ වාග් ප්‍රහාරය තියුණුය, දැඩිය.
‘ඔයා මේ කෙල්ලට කීයක් හරි දීලා අයින්වෙන්න. වෙන මොනවා කරන්නද ? ඔය අම්මණ්ඩි කියා දීලා එවන්න ඇති. උන්ට ඕන සල්ලි. කීයක් හරි දීලා ඕකෙන් ගැලවෙනවා’ පාලිත දෙස රවා බැලූ බිරිඳ පුටුව පස්සට ගස්සා නැගිට යන්නට ගියාය. පාලිතගේ පපුවට උල් පිහියකින් ඇන්නා මෙන් දැනුනි. හිටි තැනම ගල් ගැසුනු පාලිත ඔලුවේ අත ගසාගෙන බොහෝ වේලා සිටියේය.
ඔහුට අවදි වුණේ පුතාවිත් අතින් අල්ලා කතා කරන විටය.
‘ඇයි අම්මාට හොඳටම තද වෙලා ? තාත්තා අම්මට මොකවත් කිව්වද ?’ ඔහු පාලිත අසලින් ඉඳගත්තේය.
‘හ්ම්ම්.. ඔව්. මං පුතාට කියන්නම් කියපු එක මං අම්මට කිව්වා. ඒකයි ඔය. අම්මා කියනවා ඔයාට කියන්න එපා කියලා ඔය දේවල්’ පාලිත පුතාව ළං කරගෙන බදා ගත්තේය.
‘ඇයි ? තාත්තට ඕනේ දෙයක් මට කියන්න පුලුවන්. මං පොඩි ළමයෙක් නෙවෙයි. මං කාටවත් කියන්න යන්නේ නෑ ’
‘ම්ම්ම්… මං ඔයාට පස්සේ කියන්නම් කෝ පුතා. මට හරි මහන්සියි’
නෙත්මිණි ගෙදර ගොස් පාලිතට කතා කළාය. හෙට එන්නේ නැති බවත් දින දෙකක්වත් ගෙදර ඉන්න බවත් ඇය කීවාය. පසු දින කාංචනාත් පාලිතට කතා කළාය. කෙසේවත් දුවව නම්මා ගත නොහැකි බවත් ඇයට පාලිත ළඟට එන්න අවශ්‍යම බව දුව කියන බවත් කාංචනා කීවාය. එසේ නැතිනම් ඇය බණ්ඩාරවෙල එන්නේ නැති බව කියන බවත් ඇය කීවාය.
‘එයා කොළඹ ඉඳන් කැම්පස් යයි පාලිත. ඔයා, ඔයාගේ පවුල් ජීවිතය අවුල් කර ගන්න එපා. එයාට කැමති දෙයක් කරගන්න දෙන්න’ කාංචනා කියයි. පාලිතගේ සිත රිදුනේය.
රෑ කෑමට බිරිඳ ආවේ නැත. රෑ නිදන කාමරයේ දී ඇය පාලිතගෙන් ඔහු ගත් තීරණය ගැන ඇසුවාය. ඔහු නිහඬව සිටියේය. ඔහුට තද හිසේ රදයක් තිබුණි. මුළු රෑම ඔහුට නින්ද ගියේ නැත. ඉරිදා දවස තුළම බිරිඳ ඔහු හා කතා නොකළාය. සඳුදා උදේ ඔහු වැඩට ගියේ විඩාපත්වය. උදේ එකොළහට පමණ කාංචනාගෙන් ඇමතුමක් ලැබින.
පාලිතගේ තීරණය කුමක්ද ? නෙත්මිණිට සිදුවන්නේ කුමක්ද ? ඉදිරි කොටසින්..
By Pantaka Bhatiya Siriwardhana – Sri Lanka